ඉඩම් ගනුදෙනුවෙන් බී.සී.සීයට මිලියන 1120ක්

ඉඩම් ගනුදෙනුවෙන් බී.සී.සීයට මිලියන 1120ක්

බී.සී.සී. ලංකා ආයතනය පිහිටි කොළඹ ඉඩමෙන් අක්කර 4ක් රජයේ ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා දීමට රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කොළඹ නගර මධ්‍යයේ කර්මාන්තශාලාවක් නොතිබිය යුතු බවට රජය ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීන්දුව මත පදනම්ව ඇමැති මණ්ඩලය ගෙන තිබූ තීන්දුවක් අනුව ඉඩම පවරා ගැනීම සිදු කර තිබේ. ඉහත කී ඉඩම් ගනුදෙනුව වෙනුවෙන් බී.සී.සී. ආයතනයට ගෙවීමට තක්සේරු වී ඇති මුදල රුපියල් මිලියන 1,120කි.

මෙලෙස ඉඩම් පවරා ගැනීම නිසා බී.සී.සී. නව කර්මාන්ත ශාලාවක් අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ වතුපිටිවල ස්ථාපිත කිරීමට සමාගම කටයුතු යොදමින් සිටී. බී.සී.සී. සමාගම සතු සබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ පොල් තෙල් පිරිපහදුව වෙනුවට නව තාක්ෂණයෙන් යුත් අති නවීන කර්මාන්තශාලාවක් ලෙස මෙය ඉදි කිරිමට සැලසුම් කර ඇතැයි ද එම සමාගම පවසයි. රාජ්‍ය ආයතනයක් වන බී.සී.සී. ආයතනය පොල් තෙල් හා ඒ ආශි‍්‍රත නිෂ්පාදන පවත්වා ගෙන යාමෙන් පෞද්ගලික වෙළෙඳ ඒකාධිකාරයට අවශ්‍ය පරිදි වෙළෙඳපොළ හැසිරවීමට ඉඩ නොදී පාරිභෝගිකයා රැකගැනීමට කටයුතු කරමින් සිටින බවත් සමාගම පවසයි.

රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශි‍්‍රත තිසේරා මහතාගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී පැවැසුවේ තම අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ දී වැඩි රැකියා අවස්ථා ලබා දෙමින් රජයට බරක් නොවන ලාභදායී රාජ්‍ය ආයතනයක් ලෙස බී.සී.සී. ආයතනය සුරක්ෂිත කිරීම තම අපේක්ෂාව බව යි. වැසී යාමට ආසන්නව පැවැති රාජ්‍ය ආයතනයක් වූූ බී.සී.සී. ලංකා ආයතනය ලාභදායී ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කිරීමෙන් පසු ආයතනය නැවතත් නිෂ්පාදන ක්‍රියාවලියට එක්වී පසුගිය මාසයේ රුපියල් දස ලක්ෂයක ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා