රංගන හේරත්ගෙන් ආක්‍රමණශීලී පිතිහරඹයක්

රංගන හේරත්ගෙන් ආක්‍රමණශීලී පිතිහරඹයක්

සංගක්කාර ලකුණු 144යි

* ශ්‍රී ලංකාව 413යි

* පාකිස්තානය කඩුලු 2කට ලකුණු 35යි

රංගන හේරත්ගේ ආක්‍රමණශීලී පිතිහරඹයත් ඔහු සහ කෞශල් සිල්වාගේ අගනා කඩුලු සබඳතාවත් මත ශ්‍රී ලංකාව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසාන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 413ක් වාර්තා කිරීමට සමත් විය. ඊයේ දෙවැනි දින තරගය නතර කරන විට පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 35ක් ලබා ගෙන සිටියේය. ශ්‍රී ලංකා මුළු ලකුණු සංඛ්‍යාව 359ක්ව තිබියදී ඊයේ සවස තේ පානයෙන් පසුව පිටියේ එක්වූ සිල්වා හා හේරත් තරගයට නව ජීවයක් ලබා දෙමින් 9 වැනි කඩුල්ල සඳහා පන්දු 67කින් ලකුණු 54ක් එක් කිරීමට සමත් වූහ. වේගවත් ඉනිමක නියැළුනු හේරත් පන්දු 35කින් නොදැවී ලකුණු 34ක් ලබා ගත් අතර හතරේ පහර 4ක් හා හයේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්ව තිබිණි.

සිල්වා පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමග ලකුණු 39ක් රැස් කළේය. පිළිතුරු ඉනිමේදී පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල 5 වැනි ඕවරයේදීම බිඳ වැටුනේ මහේල ජයවර්ධනගේ අති විශිෂ්ට උඩ පන්දු රැකීමක් ප්‍රදර්ශනය වෙමිනි. චානක වෙලගෙදරගේ පන්දුවට මොහමඩ් හෆීස්ගේ (6) පිත්ත අගින් නික්මුණු උඩ පන්දුව ‘තර්ඩ් මෑන්’ හතරේ සීමාව කරා පියාසර කරමින් තිබියදී තෙවැනි ‘ස්ලිප්’හි පන්දු රකිමින් සිටි ජයවර්ධන ඔහුගේ දකුණු පැත්තට පනිමින් පන්දුව අල්ලා ගත්තේය.

පාකිස්තාන අනෙක් ආරම්භක පිතිකරු ටව්ෆික් උමාර්ටද ලබා ගත හැකිවූයේ ලකුණු 19ක් පමණි. හේරත්ගේ පන්දුවකට මුහුණ දීමේදී කෞශල් සිල්වාගේ ‘ස්ටම්ප්’ කිරීමට හසුව ඔහු 15 වැනි ඕවරයේදී දැවී ගියේය. ඒ වන විට මුළු ලකුණු ප්‍රමාණය 35ක්ව තිබිණි. කඩුලු 2 ට මුළු ලකුණු 245 සිට ඊයේ දෙවැනි දින තරගය ඇරැඹූ ශ්‍රී ලංකා පිලේ කඩුලු 2ක් උදය වරුවේදී බිඳ වැටිණි. මහේල ජයවර්ධන හා ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය පිතිකරුවන් වූ අතර දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 300ක් රැස්කර ගෙන සිටියේය.

උදය වරුවේ තරගයේදී ශ්‍රී ලංකාව ඕවර 27.2කදී ලබා ගත්තේ ලකුණු 55ක් පමණි. තරගය සඳහා ඔවුන්ගේ මේ මන්දගාමී අවතීර්ණ වීම ප්‍රයෝජනයට ගත් පාකිස්තානුවෝ පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරමින් කඩුලු 2ක් ලබා ගැනීමට සමත් වූහ. ඊයේ දිනයේ යැවූ 8 වැනි ඕවරයේදීම ජයවර්ධන දැවී ගියේය. ජුනයිඩ් ඛාන් එවූ කෙටි පන්දුවකට ‘පුල්’ පහරක් එල්ල කිරීමට ගත් උත්සාහය වැරදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ජයවර්ධන දැවී ගියේය.

පන්දු 108කට මුහුණ දුන් ඔහු හතරේ පහර 2ක් සමග ලකුණු 39ක් ලබා ගත්තේය. පෙර දින තරගය නතර කරන විට නොදැවී ලකුණු 32ක් ලබා ගෙන සිටි ජයවර්ධනට ඊයේ තවත් ලබා ගත හැකිවූයේ ලකුණු ජයවර්ධන හා සංගක්කාර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 33.4ක් ඇතුළත ලකුණු 84ක සබඳතාවක් වාර්තා කළහ. දිවා ආහාරයට පෙර අවසන් ඕවරයේදී ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේය. සංගක්කාර සමග සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක (ඕවර 19.3කදී) සබඳතාවකට දායක වෙමින් සිටි මැතිව්ස්ගේ පිත්තේ අග ගෑවුනු පන්දුව කඩුලු රකින අද්නන් අක්මාල් සැණින් ඩැහැ ගත්තේය. එක් හතරේ පහරක් එල්ල කළ මැතිව්ස් ලකුණු 17කට දැවී ගිය අතර මේ ලකුණු ප්‍රමාණය ලබා ගැනීම පිණිස ඔහු පන්දු 70කට මුහුණ දුන්නේය. දිවා ආහාරයෙන් පසුව යැවුනු සිවුවැනි ඕවරයේදී ‘සංගා’ දැවී ගියේය. ලකුණු 144ක අනගි ඉනිමක් ක්‍රීඩා කළ සංගක්කාර දැවී ගියේ ඔහුටත් අදහාගත නොහැකි අයුරිණි.

‘බවුන්ස්’ වී ආ සයීඩ් අජ්මාල්ගේ කෙටි පන්දුවට ‘පුල්’ පහරක් එල්ල කිරීමට යාමේදී සංගක්කාරගේ පිත්තේ අඩියේ වැදුනු පන්දුව ඉතා ඉහළට ගිය අතර ඊට යටින් ‘ස්ලිප්’ ස්ථානයේ සිට යූනුස් ඛාන් එය අල්ලා ගත්තේය. ශ්‍රී ලංකාව කඩුලු 5 ට මුළු ලකුණු 304යි. මංගල ටෙස්ට් වරම් ලැබ ඊයේ පිටියට පිවිසි කෝසල කුලසේකර හතරේ පහර 2ක් සමග පන්දු 28කින් ලකුණු 15ක් ලබා ගෙන අජ්මාල්ගේ පන්දුවකට කඩුල්ල මුවා කොට ආපසු ක්‍රීඩාගාරයට ගියේය. ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 330ක් විය. ඊළඟ ඕවරයේදී, ලකුණු පුවරුවට තවත් එක් ලකුණක් පමණක් එකතුව තිබියදී සුරාජ් රන්දිව් (1) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අතර මෙවර පන්දු යවන්නා වූයේ උමාර් ගුල් ය. දිවා ආහාරයට පෙර මෙන් ම සවස තේ පානයටද පෙර යැවුනු අවසන් ඕවරයේදී ශ්‍රී ලංකා කඩුල්ලක් බිඳ වැටිණි. කෞශල් සිල්වා හා ධම්මික ප්‍රසාද් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 12.1කදී ලකුණු 28ක් එක් කරමින් සිටියදී ප්‍රසාද්, ජුනයිඩ් ඛාන්ගේ පන්දුවකට කඩුලු රකින අක්මාල් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා