තහනම් උත්තේජන ජාතික ආයතනයට පූර්ණ ස්වාධීනත්වයක්

තහනම් උත්තේජන ජාතික ආයතනයට පූර්ණ ස්වාධීනත්වයක්

වැරදිකරුවන්ට සහයෝගයක් නෑ

- මහාචාර්ය අර්ජුන ද සිල්වා

ක්‍රීඩා වෛද්‍ය ආයතනය තුළ ස්ථාපිත කොට තිබූ තහනම් උත්තේජන ජාතික ආයතනය වෙනම ගොඩනැගිල්ලකට ගෙන ගොස් ස්වාධීනව පවත්වාගෙන යා යුතු බව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. වෛද්‍ය ආයතනයේ හා තහනම් උත්තේජන ආයතනයේ ප්‍රධානියා ලෙස එකම පුද්ගලයෙකු කටයුතු කිරීම සුදුසු නොවන බවද සිල්වා මහතා පෙන්වා දෙයි. එහෙයින් තහනම් උත්තේජන ජාතික ආයතනයට පූර්ණ ස්වාධීනත්වය ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා පැවැසීය.

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්වීමෙන් අනතුරුව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ කරුණු අනාවරණය විය. “ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රතිකාර කරන පිරිසම තහනම් උත්තේජන පරීක්ෂාව සිදු කරනවා. ඒ මගින් විශ්වාසය බිඳෙනවා “ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජන භාවිතා කර වැරදිකරු වුවහොත් කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය. “වරදක් කර ඇත්නම් අපේ කෙනා කියා බේරා ගන්නේ නෑ. තහනම් උත්තේජන භාවිතා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග ජයග්‍රහණයෙන් පසුව වරදට හසුවෙනවා.

ඒ බව දැන දැනත් තහනම් උත්තේජන ගැනීමෙන් රටේ කීර්ති නාමයට හානි සිදුවෙනවා. තහනම් උත්තේජන ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වගේම ඔවුන්ගේ පුහුණුකරුවන්ටත් දඬුවම් දීම කළ යුතුයි“ සිල්වා මහතා පැවැසීය. ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳම සේවාවක් ලබාදීම ඉදිරි කාලයේදී සිදු විය යුතු බවද සිල්වා මහතාගේ විශ්වාසය වී තිබේ. “අපේ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාවේ හොඳම වෛද්‍ය කණ්ඩායමක් සිටිය යුතුයි” ක්‍රීඩා වෛද්‍ය ආයතනයට දේශපාලන බලපෑම් තිබෙනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහාචාර්යවරයා පැවැසුවේ එවැනි බලපෑමක් සමස්ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේම දැන් නොමැති බවය.

“මේක දේශපාලනය කරන තැනක් නොවෙයි” සිල්වා මහතා පැවැසීය. වසර 1991 සිට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා ලෙස විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා කටයුතු කළේ ය. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ කැබිනට් සංදේශයක් මත මහචාර්ය අර්ජුන ද සිල්වා මහතා ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලෙන් බිහිවූ දක්ෂ ඔරු පැදීමේ ක්‍රීඩකයෙකු වූ ඒ මහතා රාගම ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා