ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත්කොට නීතියෙන් වසංව සිටි අයෙක් දැලේ

ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත්කොට නීතියෙන් වසංව සිටි අයෙක් දැලේ

ස්ත්‍රි දුෂණයක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව මහනුවර මහාධිකරණයෙන් ඇප පිට නිදහස්ව සිට අධිකරණය මඟහරිමින් පසුව ඇපකරුවන් ලවා තමන් මියගිය බවට අධිකරණයට ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කැර වසර පහක පමණ කාලයක් සැඟවී සිටි බව කියන පුද්ගලයකු මධ්‍යම දිසා විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නාච්චාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු බෝගම්බර බන්ධනාගාරයේ සිටියදී ඇප මත නිදහස ලබා පසුව අධිකරණය මඟහැර සිට ඇති බව පොලිිසිය පවසයි.

සැකකරු සමඟ ඔහුගේ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනාද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රධාන සැකකරු වෙනුවෙන් ඔහුගේ ඇපකරුවන් දෙදෙනා රිය අනතුරකින් ඔහු මියගිය බවට ව්‍යාජ මරණ සහතිකය අධිකරණයට ඉදිරිපත් කැර තිබේ. අදාළ මරණ සහතිකය පිළිබඳ සැක සිතී මහනුවර මහාධිකරණ විනිසුරුවරයා විසින් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස පොලිසියට උපදෙස් දී තිබිණි. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එස්. බී. අඹන්වල, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති නිහාල් සමරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත මධ්‍යම දිසා විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණරත්න බණ්ඩා, පොලිස් පරීක්ෂකවරුන් වන එම්. රනෙයිතු, චින්තක, බණ්ඩාර යන නිලධාරින් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියේ ප්‍රධාන සැකකරු අසූ වියැති වන අතර ඔහු මෙයට වසර 12 කට පෙර ගම්පොළ ප්‍රදේශයේදී තරුණියකට අතවර කැර තිබෙන බවට චෝදනා ලැබ සිටියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා