දකුණු ආසියාවට අලුත් ගැම්මක්

දකුණු ආසියාවට අලුත් ගැම්මක්

ලෝක ආර්ථික වර්ධනයේ එන්ජිම ආසියාව යි. එහි බලසම්පන්න කොටසක් දකුණු ආසියාවට අයත් වේ. එම ප්‍රකාශය කළේ ඉන්දියාවේ අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා ය. ඒ මීට වසර කිහිපයකට පෙර ය. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් මේ කලාපයෙහි ජීවත් වෙති. ඒ අතර ඉන්දියාව ලෝක බලවතුන් නියෝජනය කරන තත්ත්වයට ළඟා වෙමින් සිටී. දකුණු ආසියාව තුළ ගොඩනැඟෙමින් පවතින ආර්ථික හා දේශපාලනික සහයෝගීතාව ගැන අමෙරිකාව ද ඇස ගසාගෙන සිටී.

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ලෝකයට බලපෑමක් කළ හැකි වැදගත් සංවිධානයක් හා එකමුතුවක් අපට ඇති බව ය. බොහෝ දෙනා දන්නා පරිදි 1985 දී බංගලා දේශයේ ඩකා නුවරින් ආරම්භ වූ දකුණු ආසියානු සහයෝගීතා සංවිධානය මේ වන විට සාර්ථක ජයග්‍රහණ රැසක් සමඟ තවදුරටත් ශක්තිමත් වෙමින් පවතී. සාර්ක් රාජ්‍ය නායකයන්ගේ දාහත් වන සමුළුව පැවැත්වූයේ මාලදිවයින් රාජ්‍යයෙහි ය. එය දකුණු ආසියාවට ම තවත් සාර්ථක අත්දැකීමක් විය.

සාර්ක් සංවිධානයේ දාහත් වන රාජ්‍ය නායක සමුළුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද? එය ඉතා වැදගත් ප්‍රශ්නයකි. මේ සමුළුවේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කැපී පෙනෙන පුද්ගලයා හෙවත් නායකයා බවට පත් ව සිටියේ ය. ජනාධිපතිවරයා ගේ දේශනයට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි. “අත්තාහි අත්තනෝ නාථො – කොහි නාථො පරොසියා” යන බුදු වදන උපුටා දක්වමින් කතා කළ මහින්ද රාජපක්‍ෂ මහතා දකුණු ආසියාවට තනි ව නැඟී සිටීමේ හැකියාව ඇතැ’යි කියා සිටියේ ය. එය කළ හැක්කේ දකුණු ආසියාවේ රටවල් සාමුහික ව අභියෝග ජයගැනීම සඳහා පෙළ ගැසීමෙන් ය.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කර ඇතත්, තවත් සාර්ක් රටවල් කිහිපයක් දරුණු ලෙස ත්‍රස්තවාදයෙන් බැට කයි . ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, නේපාලය, බංගලිදේශය ඒ අතර ප්‍රධාන වේ. එම රටවල ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා එක් අතකින් ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා උපාය මාර්ග අතිශයින් ම ප්‍රයෝජනවත් ය. තව අතෙකින් එම රටවල ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සාර්ක් රටවල් සාමුහිකව ක්‍රියා කළ යුතුව \;බ්. එබඳු වැඩසටහනක් මීට පෙර ජනාධිපතිවරයා විසින් ම යෝජනා කරන ලදී. එය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කියා සිටියේ ය.

වඩාත් වැදගත් වන්නේ ද්විපාර්ශ්වික සාකච්ඡා ය. ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ඝනිස්ථානය, මාලදිවයින් යන රාජ්‍යයන් සමඟ ඉතා වැදගත් සාකච්ඡාවන් ගණනාවක් පැවැත්විණි. ඉන්දියාව මේ කලාපයේ පමණක් නො ව ආසියාවේ ද බලවත් රාජ්‍යයෙකි. එය ලෝකයේ විශාල ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය යි. බලගතු හා සාර්ථක වෙළෙඳ පොළක් ශ්‍රී ලංකාවට උතුරින් පිහිටා ඇති බව අමතක නො කළ යුතු ය. ඉන්දියන් විරෝධයක් පවත්වා ගැනීමෙන් අපට ලැබිය හැකි වාසියක් නැත. ඉන්දියාව ශ්‍රී ලංකාව සූරාකෑමට ඉදිරිපත් වී ඇතැ’යි කීම පවා වැදගත් කියමනක් නො වේ.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ මුහුදු සීමාවන් උල්ලංඝනය වීම් ගැන දෙරටේ රාජ්‍ය නායකයෝ සාකච්ඡා කළ හ. දෙරටේ ම ධීවර කාර්මිකයෝ සිය මුහුදු සීමාවන් ඉක්මවති. මෙය විසඳීමට තරමක් අපහසු හා දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලුවකි. මේ ගැටලුව විසැඳිය හැක්කේ දෙරටේ ම රාජ්‍ය අංශවල සුහද බලපෑමකින් පමණි. මහින්ද රාජපක්‍ෂ මහතා එම යථාර්ථය වටහාගෙන ක්‍රියා කරනු පෙනෙයි. දෙරටේ වෙළෙඳ කටයුතු තවදුරටත් වර්ධනය කරනු සඳහා සාකච්ඡා පැවැත්විණි. ඉන්දියාවේත් - ශ්‍රී ලංකාවේත් දේශපාලන හා ආර්ථික සම්බන්ධතා අලුත් ගැම්මකින් ක්‍රියාත්මක වේ. ඒ දෙරටේ ම රාජ්‍ය නායකයන්ගේ අවබෝධය නිසා ය.

සාර්ක් සංවිධානය සඳහා අරමුදලක් පිහිටුවීම සඳහා මීට වසර කිහිපයකට පෙර ක්‍රියා කෙළේ හා යෝජනා කළේ ජනාධිපතිවරයා ය. ආහාර සංවිධානයක්, සාර්ක් විශ්වවිද්‍යාලයක් දක්වා එම යෝජනා පුළුල් විය. මේ වැඩසටහන ඉදිරියට ගෙන යෑමේදී සාර්ක් රටවල් සඳහා පොදු මුදල් ඒකකයක් හා වීසා නො මැති ව මේ කලාපයේ රටවල්හි සංචාරය කිරීමේ හැකියාව සාර්ක් ජනතාවට ලබාදීම ද අරමුණක් ලෙස පවතී. යුරෝපා සංගමය ක්‍රියා කරන්නේ එම ආකාරයට ය. එම සංගමය ලෝකයට බලපෑමක් කරන සංවිධානයෙකි. සාර්ක් සංවිධානය ශක්තිමත් කළහොත් යුරෝපා සංගමයේ තත්ත්වයට ළඟා විය හැකි බවට විශ්වාසය පළකළ හැකි ය.

මාලදිවයිනෙහි විලිංගිලි දූපතේ; ෂැන්ගි‍්‍රලා හෝටලයේ දී පැවැති දාහත් වන සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ දී හා ද්විපාර්ශ්වික සාකච්ඡාවල දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දිගින් - දිගට ම කියා සිටියේ දකුණු ආසියා රටවල ගැටලු විසැඳීම සඳහා ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ය. එය ගැටලු විසැඳීම පහසු කරයි. අනෙක් අතට රටවල් අතර සාමුහිකත්වය වර්ධනය කරයි. මේ අනුව නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය සඳහා කමිටුවක් පත් කිරීමට ද ඇෆ්ගනිස්ථානයේ සිසුන් සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල අවස්ථාව ලබාදීමට ද තීන්දු කැරිණි.

බෞද්ධයාගේ ඉමහත් ගෞරවයට හා වන්දනයට පාත්‍ර වූ ලුම්බිණි ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන රැසක් නේපාලයේ පවතී. ඇතැම් සිද්ධස්ථාන ගරා වැටෙන්නට පටන්ගෙන තිබේ. ඇතැම් සිද්ධස්ථාන වෙළෙඳුන් විසින් ආක්‍රමණය කර තිබේ. මේ ස්ථාන සංරක්ෂණය සඳහා වැඩපිළිවෙළක් යෙදීම ඉතා කාලෝචිත ය. ඇෆ්ඝනිස්ථානයේ උසස් අධ්‍යාපනය යුද්ධය නිසා කඩාකප්පල් වූ තැනක පවතී. අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඒ රටට උදවු කිරීම වටී. ඒ මඟින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට ද යහපතක් වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා