සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව ආයෝජකයන් වැඩිවීමට හේතුවක්

සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව ආයෝජකයන් වැඩිවීමට හේතුවක්

- අගමැති දි. මු. ජයරත්න

යුද්ධයක් නොමැති දේශපාලන ස්ථාවරත්වය ඉහළම මට්ටමක තිබෙන යෝධ සංවර්ධන මාවතක ගමන් කරන අප රට පිළිබඳ ලොව ඇතැම් රටවල් මේ මොහොතේ මවිතව බලා සිටින බව අගමැති දි. මු. ජයරත්න මහතා පැවසීය.

මෙලෙස සෑම අතින්ම රට ඉහළම ස්ථාවර මට්ටමක තිබිය දී මෙරට ඇතැම් කණ්ඩායම් තම පටු අරමුණු වෙනුවෙන් රටට එරෙහිව ජාත්‍යන්තරයට අසත්‍ය ප්‍රචාර ගෙනයාමේ අසාර්ථක උත්සහයක මේ මොහොතේ ද නිරතවන බවද හෙතෙම කීය.

“විසිට් කැන්ඩි 2011” සංචාරක හා වෙළෙඳ ප්‍රදර්ශනයේ දෙවනි දින 11දා විවෘත කරමින් ඒ මහතා මේ බැව් පැවසීය.

රට නිවැරැදි මෙන්ම ජයග්‍රාහී මාවතට යොමු වී ඇති මේ වකවානුවේ ජාති, ආගම්, පාට පක්ෂ අමතක කැර රටේ සියලු ජනතාව මේ මගේ මාතෘ භූමියයි යන හැඟීමෙන් ක්‍රියා කළහොත් වැඩි කල් නොගොස් රට ආසියාවේ ආශ්චර්ය කිරීම අපහසු නොවන බවද අගමැතිවරයා කීය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය රට තුළ මුලුමනින්ම පරාජය කළද ඩයස්පෝරාව හරහා එල්.ටී.ටී.ඊ. සෙවනැළි තවදුරටත් ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන බවත් මෙරට ඇතමුන්ගේ ක්‍රියා කලාප හරහා සිදුවන්නේ එම ඩයස් පෝරාවට සහය දීමක් බවත් ඒ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ අගමැතිවරයා මෙසේද කීය.

“මේ වසරේ මේ වනවිට මෙරටට සංචාරකයන් ලක්ෂ හයක පමණ ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. අපේ ඉලක්කය වසර අවසන් වනවිට එය ලක්ෂ අට දක්වා වැඩි වීමයි. මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් තුනෙන් දෙකක් පමණ මහනුවරට පැමිණෙනවා. එම සංචාරකයන් වඩාත් මේ කන්ද උඩරට පරිසරයට කැමතියි. වෙරළ සේම සොබාව සෞන්දර්යය පරිසරයට සංචාරකයන් වඩාත් කැමත්තක් දක්වනවා.

සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ අප රටට ආයෝජකයන්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් ද දක්නට ලැබෙනවා. පසුගිය කාලයේ ආයෝජකයන් 16 දෙනෙකු මෙරටට පැමිණ මෙරට කර්මාන්ත ශාලා ආරම්භ කිරීම ගැන අපත් සමඟ සාකච්ඡා කළා. ඒ අයගෙනුත් වැඩි පිරිසකගේ කැමත්ත මහනුවර ඇතුළු කන්ද උඩරට කලාපයේ කර්මාන්ත ශාලා ආරම්භ කිරීම ගැනයි. අපට තිබෙන ප්‍රධානතම ගැටලු වන්නේ ඒ සඳහා අවශ්‍ය විශාල ඉඩකඩ ප්‍රශ්නයයි.

ආසියාවේ ඉතා ශීඝ්‍රයෙන් දියුණුවෙමින් පවතින රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබෙනවා. මෙනිසාද සංචාරකයන්ගේ ආයෝජකයන්ගේ වඩාත් අවධානය අප රටට යොමුව තිබෙනවා.

ඉතිහාසයේ යුග අතර මහින්ද රාජපක්ෂ යුගයට සුවිශේෂී වටිනාකමක් හිමිවෙනවා. යුග පුරුෂයන් රටට පහළ වූ සෑම අවස්ථාවකම ඉතිහාසය පුරා රට පුදුමාකාර සංවර්ධනයකට ලක්වුණා. අද අප ගතකරන්නේ රටෙහි සංවර්ධනයේ ස්වර්ණමය යුගයකයි. කෙටි කලක් මෙතරම් සංවර්ධනයකට රට යොමු වූ වෙනත් යුගයක් මගේ දේශපාලන කාලය තුළ මා දැක නැහැ.

මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා:-

005 වනවිට අප රටේ තිබුණේ ඇමරිකන් ඩොලර් 900ක ඒකපුද්ගල ආදායමක්. එය මේ වනවිට 2200 දක්වා වැඩිවී තිබෙනවා. 2010 වනවිට අපේ එහි ඉලක්කය ඇමරිකන් ඩොලර් 4800 කි.

දේශපාලන ස්ථාවරත්වය ඉහළම මට්ටමක තිබෙන ලොව රටවල් අතර අප රට ආදර්ශවත් ලෙස ඉදිරියෙන්ම සිටිනවා. මෙයද අපට මේ මොහොතේ රටේ සංවර්ධනයට විශාල ශක්තියක්.

විවිධ කර්මාන්ත අතරින් මධ්‍යම පළාත ප්‍රමුඛ ස්ථානයක සිටිනවා. ඒ අතර අප රටේ පෞඩත්වය ලොවට පෙන්වාදිය හැකි කර්මාන්ත ද රැසක් තිබෙනවා.

උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක, පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන, මධ්‍යම පළාත් සභා අමාත්‍යවරුන් වන අධිනීතිඥ සුනිල් කිත්සිරි අමරතුංග, බන්දුල යාලේගම, මධ්‍ය පළාත් සභා මන්ත්‍රීවරුන්වන ගුණතිලක රාජපක්ෂ, මානෙල් බණ්ඩාර, අකුරණ ප්‍රාදේශීය සභා උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා