බිම වැටී මිය ගියැයි කී පුංචිබණ්ඩා පහරදී ඝාතනය කළැයි සැකයක්

නාවලපිටිය දෙකිඳ ගම්වාසීන් කම්පාවෙන්

බිම වැටී මිය ගියැයි කී පුංචිබණ්ඩා පහරදී ඝාතනය කළැයි සැකයක්

සමාජයේ මූලිකම ඒකකය පවුල් සංස්ථාවයි. පවුලක යහ පැවැත්ම සමාජයට ආශිර්වාදයකි. එවන් පවුලක් නාවලපිටියේ ගමක ජීවත් වූහ. පවුලක සතුට හා සමගිය පෙන්වීමට ගමේ කවුරුත් උදාහරණයට ගත්තේ පොඩි මැණිකේ හා පුංචි බණ්ඩලාගේ නිවසය.

පිරිමි දරුවන් දෙදෙනකු දායාද කරගත් මේ පුංචි පවුලේ ස්වාමි භක්තියත් දාරක ස්නේහයත් කැටි කොට ගත් ආදරය සෙනෙහස සතුට සමගිය නිරතුරුවම තිබුණි. දෙන්න දෙමහල්ලෝ මැදි විය පසු කරත්දී පවුලේ වැඩිමලා වූ ලොකු පුතාට රැකියාවක් ලැබීම කා හටත් සැනසුමක් ගෙන දෙන්නක් විය.

ආරක්ෂක අංශයේ රැකියාවක් ලොකු පුතා ධනුෂ්ක බණ්ඩාරට ලැබුණි. පොඩි පුතා වන මංජුල බණ්ඩාර සිය මවුපියන් බලාගෙන නිවසේම නතර වූයේ ඔහුගේ වැඩිමහල් සොයුරාගේ උපදෙස් අනුවය.

මොවුන්ගේ පියා වන උඩගෙදර පුංචිබණ්ඩා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගලබොඩ දුම්රිය ස්ථානයේ සේවය කළ අතර හෙතෙම දිනපතා නිවසේ සිට සේවයට ගියේය.

නාවලපිටිය දෙකිඳ ප්‍රදේශයේ පදිංචිව පුංචි බණ්ඩා සිය සේවාස්ථානයට ආවේ ගියේ දුම්රියෙනි.

පසුගිය ඔක්තෝබර් 29 දින පුංචිබණ්ඩා සිය සේවා ස්ථානයේ සිට නිවසට පැමිණියේ සුපුරුදු පරිදි දුම්රියෙනි. ගමේ පිහිටි අඹගහ ළඟ නැවතුමෙන් දුම්රියෙන් බැසගත් ඔහු වැවේගම පාසල ළඟින් ඇති පාර දිගේ සිය නිවෙසට යන්නට ගියේය.

හවස 3.30 ට පමණ ඇත. පුංචි බණ්ඩා සැහැල්ලුවෙන් සිය නිවසට පියමං කළද ඔහුට පාසල පහු කිරීමට නොහැකි විය. ඒ ඔහුගේ ජීවිත ගමනද එතනින් පහු කිරීමට නොහැකි වු නිසාවෙනි.

මේ අතර නාවලපිටිය නගරයට ගොස් නැවත නිවෙස කරා එමින් සිටි ගමේ තවත් කෙනෙකු පුංචි බණ්ඩා බිම වැටී සිටි අයුරු දැක ගැනීමට ලැබුණි. වහාම ඔහු තම පුතුටද කතා කොට පුංචි බණ්ඩා නාවලපිටිය රෝහලට රැගෙන යාමට කටයුතු කළහ. පුංචි බණ්ඩාගේ නිවසටද මේ බව දැන්වීය.

නාවලපිටිය රෝහලට පුංචිබණ්ඩා රැගෙන ගියද ඒ වන විටත් ඔහු මලොව හැර ගොස් ඇති බව දැන්වීමෙන් පසු අවශ්‍ය නීතිමය කටයුතුද සිදු කළේය. නාවලපිටිය රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පුංචිබණ්ඩා මිය ගොස් ඇත්තේ බිම වැටීමෙන් හිසේ අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයක් නිසා බව ප්‍රකාශ වීම නිසා ඔහුගේ අවසන් කටයුතුද ආගමික වතාවත්වලින් පසු දෙකිඳ පොදු සුසාන භූමියේදී සිදු කළේ පසුගිය 31 වන දිනය.

පුංචිබණ්ඩාගේ භූමදාන කටයුතු සිදු කළද ගම පුරා පැතිර ගියේ මහත් ආන්දෝලනාත්මක කතාවකි. එම කතා අනුව පුංචිබණ්ඩා මිය ගියේ බිම වැටීමෙන් නොව දෙදෙනකු එක්ව පහරදීමෙන් බව කියවිණි.

මේ අතර නාවලපිටිය පොලිසියට හා පුංචිබණ්ඩාගේ නිවෙසටද නිර්නාමික ලියුම් ලැබිණි. ඒවායින් පුංචි බණ්ඩාට පහර දුන්නා යැයි කියන පුද්ගලයන්ගේ නම් ගම් පවා සඳහන්ව තිබුණි. ඒ අනුව පුංචිබණ්ඩාගේ පවුලේ අයගේ පැමිණිලි මත නාවලපිටිය පොලිසිය වහාම පරීක්ෂණ ආරම්භ කළේය.

ගම්පොළ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු නාවලපිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී බී. විමලදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත නාවලපිටිය වැඩබලන පොලිස් ස්ථානාධිපති ගමගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති සුගත් විජේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සඳහා පරීක්ෂණ ආරම්භ කළේය. එහිදී පුංචිබණ්ඩාගේ ඥාතීන්ගෙන් හා ගමේ කීප දෙනෙකුගෙන්ද කට උත්තර ගැනීමට එම පොලිස් කණ්ඩායම කටයුතු යොදා තිබුණි.

එහිදී මොරගහකන්ද රාලලාගේ පොඩි මැණිකේ නැමැති පුංචි බණ්ඩාගේ බිරිය මෙසේ පවසා සිටියාය.

මහත්තයා 29 වෙනිදා උදේ 9.30 ට වැඩට ගියා. එයා ගලබොඩ ස්ටේෂන් එකේ වැඩ කරන්නේ. වැඩ ඉවර වෙලා හවස තුන හමාරට විතර එන කොට වැවේගම ඉස්කෝලේ ළඟදී මේ සිද්ධිය වෙලා තියෙන්නේ. මහත්තයා මැරුණේ වැටිලා නෙවෙයි ගමේ දෙන්නෙක් ගහලා කියලා අපට ආරංචි වුණා. අපේ ගෙදරට මේ බව දන්වලා නිර්නාමික ලියුමකුත් ආවා. අපිට මේ ගැන විශාල සැකයක් තිබුණා.

මහත්තයත් එක්ක එකට වැඩ කළ ගමේ කෙනෙක් එක්ක අමනාපයක් තිබුණා. අපිට මේ නිසා මරණය සැකයි. පුංචි බණ්ඩාගේ වැඩිමහල් පුතු වන ධනුෂ්ක බණ්ඩාර මෙසේ පැවසීය. ‘මම සේවය කරන්නේ යුද හමුදාවේ. මිය ගොස් ඉන්නේ මගේ පියා. තාත්තාගේ මරණය සිදුවූ හැටි අපට විශාල සැකයක් තිබෙනවා. ගමේ හැම ;දනාම කතා වුණේ තාත්තා මිය ගියේ ගමේ දෙන්නෙක් ගහලා කියලා.

‘මම වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. පුංචි බණ්ඩා සමග ඒත් මම දැන් විශ්‍රාම ගිහින් ඉන්නේ. සිද්ධිය වුණ දවසේ මම නාවලපිටිය නගරයට ගිහින් බස් එකේ ඇවිත් එදා ගෙදර යන කොට මම දැක්කා පුංචි බණ්ඩා බිම වැටිලා ඉන්නවා. මම ඉක්මනට මගේ පුතාටත් කතා කරලා පුංචි බණ්ඩා නාවලපිටිය රෝහලට අරන් යන්න කටයුතු කළා. රෝහලට රැගෙන ගියද පුංචි බණ්ඩා මිය ගිහින් කියලා දැන ගත්තා.’ පොලිස් කණ්ඩායම මේ කරුණු අනුව ඒ බව නාවලපිටිය මහේස්ත්‍රාත් පූර්ණිමා ගමගේ මහත්මිය වෙත දන්වා පුංචි බණ්ඩාගේ මළ සිරුර නැවත ගොඩ ගැනීමට කටයුතුª කරනු ලැබීය. ඒ අනුව නාවලපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සේනකසිංහ මහතාගේද සහභාගිත්වයෙන් පූර්ණිමා පරණගමගේ මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ පුංචි බණ්ඩාගේ සිරුර නැවත ගොඩ ගනු ලැබීය.

එහිදී පුංචි බණ්ඩාගේ බිරිය හා පුතුන් දෙදෙනා සිරුර හඳුනාගත් අතර ග්‍රාම නිලධාරී හා මල්ශාලාකරු ද එම ස්ථානයට කැඳවා තිබුණි. මහේස්ත්‍රාත්තුමිය මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත ශරීරය මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. බී. සෙනෙවිරත්න මහතා වෙත යොමු කරරන ලෙස දැනුම් දුන්නාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා