කෝටිපති කතට සහ පුතාට මරණීය තර්ජනය කර කෝටියක කප්පම් ඉල්ලලා

කෝටිපති කතට සහ පුතාට මරණීය තර්ජනය කර කෝටියක කප්පම් ඉල්ලලා

සැකකරු එතැනම සේවය කළ ඥාති පුතෙක්

බම්බලපිටියේ ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවකට මරණීය තර්ජන එල්ල කර රුපියල් කෝටියක කප්පම් ඉල්ලූ කප්පම්කරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (13) පෙරවරුවේ මෝදර දී අත්අඩංගුවට ගෙන තිබේ.

ද්‍රවිඩ ජාතිකයෙකු වූ මෙම සැකකරු කප්පම් සඳහා යොදාගත් ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් කීපයක් ද සොයාගෙන ඇත.

කෝටිපති දෙමළ ව්‍යාපාරික කාන්තාවට පිටකොටුවේ ඉහළ පෙළේ ව්‍යාපාරික ආයතනයක් තිබේ.

ඇය සහ ඇගේ පුතා විසින් මෙම ව්‍යාපාරික ආයතනය පවත්වාගෙන යති. මීට සති කීපයකට ඉහත සිට නිර්නාමික දුරකථන හරහා ඇයගෙන් රුපියල් කෝටියක කප්පම් ඉල්ලා තිබේ.

කප්පම් නොදුන්නොත් ඇය සහ ඇගේ පුතා ඝාතනය කරන බවට පවසා ඇත.

පෙරේදා (11) මෙම කාන්තාවට සැකකරුගෙන් කෙටි පණිවිඩයක් ලැබී තිබේ. එහි සඳහන් වූයේ නැවත කප්පම් ඉල්ලා නොසිටින බවත්, ඔවුන් ඝාතනය කරන බවත්ය. මින් කලබලයට පත් එම කාන්තාව අදාළ පැමිණිල්ල කොළඹ අපරාධ කොට්ඨාසයට ඉදිරිපත් කර තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්‍ෂණ පවත්වා ඊයේ (13) පෙරවරුවේ කප්පම්කරු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව පරීක්‍ෂණ පැවැත්වීමේදී හෙළිවූයේ එම කප්පම්කරු මෙම ව්‍යාපාරික කාන්තාවගේ ඥාති පුත්‍රයෙකු බවයි. ඔහු කලක් ඇයගේ ව්‍යාපාරික ආයතනයේ සේවය කර ඇත. පසුව ඇතිවූ මුදල් ගනුදෙනු ප්‍රශ්නයක් නිසා ඔහු එම ස්ථානයෙන් ඉවත් කර ඇත. සැකකරු මෙම කප්පම් සිද්ධියට අදාළ සියලු තොරතුරු පාපොච්චාරණය කර තිබේ. ඔහු අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. ආර්. එල්. රණවීර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හේමන්ත දික්ඕවිට, පොලිස් පරීක්‍ෂකවරුන් වන ආර්. එම්. බී. රත්නායක, පියපාල සහ පොලිස් කොස්තාපල්වරුන් වන සමීර සහ තුෂාර යන අය පරීක්‍ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා