ජනපතිතුමනි, ඔබ යුග පුරුෂයෙකි

ජනපතිතුමනි,

ඔබ යුග පුරුෂයෙකි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ දෙවැනි පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරුම සහ ජන්ම දිනය නිමිත්තෙන් සුබපැතුමක් එක් කරන්නට ලැබීම සතුටට කරුණකි.

ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ රටටත්, සිංහල ජාතියටත්, සම්බුදු සසුනටත් විවිධ උපද්‍රව ඇති වූ අවස්ථාවලදී එකී විපත් සංසිඳුවා රට, දැය, සමය රැක ගැන්මට විවිධ යුගවල දී දුටුගැමුණු, විජයබා, ගජබා, පැරකුම් වැනි නරපතියන් සේම අනගාරික ධර්මපාලතුමන් වැනි යුග පුරුෂයන් පහළ වූ බව පැහැදිලි කරුණකි. පසුගිය දශක තුනක කාලයක් තිස්සේ අප රටේ ඇතිව තිබූ අවාසනාවන්ත වාතාවරණය දුරු කර ස්ථිරසාර සාමයක් මෙරටට උදාකළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් ද එවැනි යුගපුරුෂයෙකු ලෙස හැඳින්වීමට කැමැත්තෙමි.

එඩිතර නායකත්වයත්, නොපසුබස්නා ධෛර්යයත්, ස්වදේශානුරාගයත්, ආගමික හැදියාවත්, අවංක කැපවීමත් යනාදී අගය කළ යුතු පුරුෂාර්ථයන්ගෙන් හෙබි මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ දේශපාලන දිවිය අතිශයින් ම ආදර්ශ සම්පන්න වූවකි. රුහුණු ගිරිවාපත්තුවේ ඉපිද, මෙරට ජනතාවගේ හද ගැස්ම නිවැරැදිව හඳුනා ගත් එතුමා ජනතා නායකයෙකු ලෙස පියවරින් පියවර ආ ගමන් මඟ ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් ලෙස සනිටුහන් වනු ඇත. විශේෂයෙන්ම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙහිදී මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් ලබා දුන් නිවැරදි නායකත්වය ප්‍රශංසනීය වේ.

එය අගයනු වස් අස්ගිරි, මල්වතු උභය මහා විහාරයන් මගින් පිරිනැමූ ‘විශ්වකීර්ති ශ්‍රී ත්‍රිසිංහලාධීශ්වර’ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත විය.

වර්තමානය වන විට යුද බිය තුරන් ව ගොස් ශ්‍රී ලාංකිකයෝ නිදහසේ සිය ජීවන රටාව පවත්වා ගෙන යති. මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මෙරට ජනතාව දෙවන වරට ද සිය රාජ්‍ය නායකයා ලෙස තෝරා ගනු ලැබුවේ මහත් බලාපොරොත්තු ඇතිව බව නොරහසකි.

විශේෂයෙන් අප රටට හිතැති, රටේත් ජනතාවගේත් අනාගතය පිළිබඳව දූරදර්ශී ව සිතන ආදර්ශමත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම ජනතා බලාපොරොත්තුවක් වූ බව දෙවැනි පදවිප්‍රාප්තිය සමරන මොහොතේ සිහිපත් කිරීම අවශ්‍ය ය. එය අපේ ළමා සහ තරුණ පරපුරට ජනපතිතුමන්ගෙන් ලැබෙන අමිල දායාදයක් ද වනු නිසැකය.

ඒ සඳහා ජනපතිතුමන්ට මහාසංඝරත්නයේ ආශීර්වාදයත්, අනුග්‍රහයත්, මඟ පෙන්වීමත් නිරතුරුව ලැබෙන බව ද සඳහන් කරනු කැමැත්තෙමි. පසුගිය කාලය තුළ විවිධ අභියෝගයන්ට මුහුණ දී එතුමන් ලැබූ පරිණතභාවය තුළින් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ම සතුටින් විසිය හැකි සමෘද්ධිමත්, සදාචාර සම්පන්න දේශයක් ගොඩනැඟීමට වඩාත් කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි ද පටු වාදභේදවලින් තොර ව ඒ සඳහා සියලු රටවැසියන්ගේ අවංක සහයෝගය ලැබිය යුතු බව ද සඳහන් කරමි.

එකී යහපත් අරමුණු සාර්ථක කර ගැනීමට අතිගරු ජනාධිපතිතුමන්ට ත්‍රිවිධ රත්නයේත්, ශ්‍රීමත් දළදා වහන්සේගේත් නොමඳ ආශීර්වාදය ලැබේවායි ආශිංසනය කරම්හ.