බටහිර බලවේග හමුවේ නොසැලී සිටි නායකයා

බටහිර බලවේග හමුවේ නොසැලී සිටි නායකයා

එක්දහස් නවසිය පනස් හයේ රටේ සිදුවුණ මහා සංස්කෘතික විප්ලවයත් සමඟ රටට ආදරය ඇති දරුවන් පිරිසක් බිහිවුණා. එම දරුවන් අතරින් ජ්‍යෙෂ්ඨතමයෙක් තමා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපේකම සහ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත් නායකයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ජනාධිපතිතුමාගේ සහ මගේ සම්බන්ධය දශක තුනකට අධිකයි.

මේ රටේ අවුරුදු 2500 ක් පැරැණි පක්ෂ දෙක් තිබෙනවා. ගිහි සහ පැවිදි එම පක්ෂ දෙකයි. මේ පක්ෂ දෙක තුළින් රට ආරක්ෂා වුණා. ඒ පක්ෂ දෙකෙන් හදපු නායකයෙක් ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාව හඳුන්වන්න පුළුවන්.

එදා රටේ තිබුණ වාතාවරණයත් සමඟ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට රටේ ජනතාව එවන් නායකයකු රටට අවශ්‍යයි කියන මතයේ සිටියා. රටේ දේශප්‍රේමී ජනතාව එකට අත්වැල්බැඳ ගනිමින් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව ජනාධිපති කළා. ජනාධිපතිතුමා රට බාරගැනීමත් සමඟ අප රට මුහුණ දුන් විශාලතම, භයානකම ප්‍රශ්නය වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුණා. ඒ සඳහා හේතු වුණේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ජනාධිපතිතුමා ලබා දුන් නිවැරැදි නායකත්වය යි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නිරතුරුවම ජනතාව සමඟ සිටින නායකයෙක්. මාළුවෙක් ජීවත්විය යුතුව තියෙන්නෙ ජලයේ. ජලය නැත්නම් මාළුවා විනාශයට පත්වෙනවා. ඒක අවබෝධ කරගත් දේශපාලනඥයන් නිරතුරුවම ජනතාව සමඟ ඉන්නවා. හරියට මාළුවෙක් දියේ සිටිනවා වගේ. මේක තේරුම් ගත් නායකයෙක් තමා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා. ඒ නිසයි ඔහුට සතුරන් මිතුරන් සමඟ එකට කටයුතු කරන්න පුළුවන්කම ලැබිල තිබෙන්නෙ.

බුද්ධ චීවරයේ වටිනාකම අවබෝධ කරගත්, එහි සුවඳ දැනුන නායකයකු වශයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාව හඳුන්වන්න පුළුවන්. අතීතයේ එතුමා ගමනක් යන විට කුසගින්නක් දැනුනොත් ඔහු යන්නෙ හෝටලයකට නොවේ; පන්සලකට. පන්සලේ දන්ගෙට ගොස් එහි තිබෙන කෑම ටිකක් කාල පන්සලේ හාමුදුරුවන්ට වැඳල තමයි එතුමා ගියේ. අදත් ඒ සිරිත් හිටපු ගමන් මතු වෙනවා.

සංඝරත්නයේ ඇසුරෙන් ජනාධිපතිතුමාගේ ජීවිතයට විශාල ශක්තියක් ලැබුණා. අද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා දෙවැනි වරටත් ජනාධිපති තනතුරට පත්වී තිබෙනවා. මෙන්න මෙතන ඉඳලා ඔහු ඉතා කල්පනාකාරීව වැඩකටයුතු කළ යුතුයි.

මෙම පදවිය ලබා ගැනීමට වඩා පදවිය පවත්වා ගැනීම දුෂ්කර බව මම එතුමාට කියා තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එදා පළමුවරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරනවිට රට තිබ්බේ ඉතා භයානක තත්ත්වයක. බටහිර ද්‍රෝහී බලවේගයන් එදා අපේරට ප්‍රබල ලෙස ආක්‍රමණය කර තිබුණා. එම ආක්‍රමණවලින් මේ රට තවම සම්පූර්ණයෙන් මිදිල නැහැ. අදත් ඒ බලවේග විවිධ අන්දමින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි ආරම්භය ඉතා සන්සුන් මනසකින් යා යුතුයි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නායකයකු ලෙස සියලු දෙනා එකතු කරගෙන යාම වරදක් කියල අපි කියන්නෙ නැහැ. නමුත් ඔහුව මේ පදවිය දක්වා ගෙනාපු පිරිසක් ඉන්නවා. ඒ පිරිසේ අදහස්වලට නිරන්තරව සවන්දීම ජනාධිපතිතුමාට ඉතා වැදගත් වෙනවා.

රටේ මූලික ප්‍රශ්න කීපයක් තිබෙනවා. බොහෝ අය අද කතා කරන්නෙ ත්‍රස්තවාදය නිසා අතරමංවූ දමිළ ජනතාව යළි පදිංචි කරවීම ගැනයි. හැබැයි දශක තුනක ත්‍රස්තවාදය නිසා අතරමං වූ සිංහල පිරිසක් ද ඉන්නවා. ඒ අතරමං වූවන් ගැන කවුරුත් කතා නොකරන්නෙ ඇයි? මෙන්න මේ ප්‍රශ්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි .

රට විනාශ කරන බටහිර බලවේග ඉදිරියේ නොසැලී සිටි නායකයෙකු වශයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාව හැඳින්විය හැකියි. ඉදිරියටත් එසේම විය යුතුයි. ජනාධිපතිතුමා ගන්නා සෑම තීරණයක් ගැනම ගැඹුරින් සිතා බැලිය යුතුයි. තබන හැම පියවරක්ම ප්‍රෙවිශමෙන් කල්පනාකාරීව තැබිය යුතුයි. මම එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.