සෑම ජන කොටසකගේ ම ආදරණීය නායකයා

සෑම ජන කොටසකගේ ම ආදරණීය නායකයා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය පිළිබඳ කතා කළ යුත්තේ, විමසිය යුත්තේ එතුමා පළමු වරට ජනාධිපති පදවියට පත් වූ දාත් අදත් අතර කාල සීමාව තුළ රටේ ජාතික, ආගමික, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලනික ක්‍ෂේත්‍රවල සිදුවූ පරිවර්තනයන් කෙතරම් දුරට රටට හිතකරවී ද නැති ද යන තක්සේරුව සමඟ ය.

සමස්තයක් හැටියට ගත් කළ එතුමා ජනාධිපති ලෙස පත් වන විට මුළු රටම පැවැතියේ අතිශය භයානක තත්ත්වයකය. ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුතු වූ පැසිස්ට්වාදී ත්‍රස්ත කොටි සංවිධානයේ යුද්ධය මුළු රටම වෙළා ගෙන සිටියේය. ඒ වන විට මේ ත්‍රස්තයෝ මුළු උතුරු නැගෙනහිර පළාතම තම අණසකට යටත් කරගෙන උන්හ. ඊළාම් රාජ්‍යය ලංකා සිතියමේ ලකුණු කර උන්හ. ඔවුන්ගේ අධිකරණ, පොලිසිය, පරිපාලනය උතුරු නැගෙනහිර දෙපළාතේ ක්‍රියාත්මකව තිබිණි. මේ රටේ අහිංසක දෙමළ ජනතාව කොටි ත්‍රස්තයන්ගේ ග්‍රහණයට නතුවී සිටියහ.

ඒ තත්ත්වය උදා කර ගනු වස් පුරා දශක තුනක් ඔවුහු යුද්ධයක නිරත වී සිටියහ. උතුරෙන් සහ නැගෙනහිරින් සිංහල මුස්ලිම් ජනතාව පලවා හැරියෝ ය. සිංහල මුස්ලිම් ගම්මානවල නිරායුද වැසියන් සමූහ වශයෙන් ඝාතනය කළහ. ශ්‍රී මහා බෝධි මළුවේ සිල් සමාදන්වී සිටි උවැසි උවැසියන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළහ. ලෝක බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා මාළිගයට බෝම්බ ප්‍රහාර එල්ල කර එහි අඩක් විනාශ කළහ.

කොළොන්නාව තෙල් ගබඩාවලට, කටුනායක ගුවන් තොටට, මහ බැංකුවට, විදුලි සංදේශ මූලස්ථානයට ඇතුළු රටේ ආර්ථික මර්මස්ථාන ගණනාවකට බෝම්බ ප්‍රහාර එල්ල කර මිනිස් ජීවිත හා දේපොළ විනාශ කළහ.

තම දේශපාලන මතය ප්‍රතික්‍ෂේප කළ සිංහල, දෙමළ, මුස්ලිම් දේශපාලන නායකයන් රැසක් කොටි ත්‍රස්තයෝ බිලි ගෙන උන්හ. උදේ නිවසින් පිටත්වන අය සවසට ආපසු පැමිණෙනු ඇති දැයි මෙරට ජනතාවට බියෙන් සැකෙන් සිටින්නට සිදු විය. ආගමික, සංස්කෘතික, ජාතික උත්සවයක් නිදහසේ පවත්වන්නට අපට හැකියාවක් නොතිබිණි. පිස ගත් බත් පත නිදහසේ භුක්ති විඳින්නට මෙරට ජනතාවට අවස්ථාවක් නොවීය. නිදහසේ ගමනක් බිමනක් යෑමේ හැකියාවක් නොවීය.

කොටි ත්‍රස්තයන් ලොව පුරා ගෙන ගිය ප්‍රචාරක වැඩපිළිවෙළ හේතුවෙන් සහ ඇතැම් වකවානුවල බලයේ සිටි ආණ්ඩු කොටි ත්‍රස්තයන් වර්ධනයට ගත් ක්‍රියා මාර්ග හේතුවෙන් අන්තර් ජාතික වශයෙන් අපේ රටේ කීර්ති නාමය අන්තයට කෙළසී තිබිණි. කෙටියෙන් කියතොත් කොටි ත්‍රස්තයන් සමඟ වූ යුද්ධය දිනන්නට නොහැකි යුද්ධයක් යැයි ජාතික මෙන්ම අන්තර් ජාතික වශයෙන් මතයක් ස්ථාපිත වී තිබිණි.

මහින්ද රාජපක්ෂ ජනපතිඳුන් කොටි ත්‍රස්තයන් මර්ධනය කිරීමේ මානුෂික මෙහෙයුම ඇරැඹුවේ ඔවුන් සමග සාකච්ඡා කර අසාර්ථක වූ පසුය. මේ මානුෂික මෙහෙයුමේ දී එතුමා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කෙරෙහි මහත් විශ්වාසයක් තැබීය. මානුෂික මෙහෙයුම් මෙහෙයැවීම එතුමා සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ට භාර කළේ ඔහු යුද්ධයේ අත්දැකීම් ඇති අයකු නිසාය. ඔහුගේ අනුමැතිය, අනුදැනුම හා උපදෙස් මත ආරක්ෂක අංශවලට අවශ්‍ය සියලු පහසුකම්, උපකරණ හා සහයෝගය මහින්ද රාජපක්ෂ මහතා නොමදව ලබා දුන්නේය.

පූජාච පූජනීයානං

මානුෂික මෙහෙයුම සාර්ථකව ඉදිරියට යන විට කොටි ත්‍රස්තයන් පෝෂණය කළ, ඔවුන්සුරතල් කළ, ඔවුන්ට උඩගෙඩි දුන් ජාතික හා අන්තර් ජාතික බලවේග හැකි සෑම උත්සාහයක්ම දරමින් මෙහෙයුම නතර කරන්නට එතුමාට බලපෑම් කළේය. බටහිර අධිරාජ්‍යවාදී බලවේග විශේෂයෙන් කැපී පෙනුණි. මහින්ද රාජපක්ෂ මැතිඳුන් කුඩා රටක නායකයකු වුවත් ඒ දුෂ්ට බලවේගවල බලපෑම්වලට, තර්ජනවලට, අභියෝගවලට මුහුණ දුන්නේ දැවැන්ත රටක බලගතු නායකයකු මුහුණ දෙන ආකාරයටය. තම රටේ ස්වාධීනත්වයට කිසිවකුට ඇඟිලි ගසන්නට නො හැකි බව එතුමා අභීතව ප්‍රකාශ කළේය.

මානුෂික යුද්ධය ජයග්‍රාහී අවසාන අදියරට එළඹෙන කල කොටි ත්‍රස්තයන් ආරක්ෂක පළිහක් ලෙස යොදා ගත් අහිංසක දෙමළ ජනයා මුදා ගැනීමට අපේ ආරක්ෂක හමුදාවන්ට එතුමා දුන් උපදෙස් හා නායකත්වය මවිත කරවන සුළුය. අවම හානි යටතේ ලක්ෂ හතරක් වූ දෙමළ ජනතාවක් අභ්‍යන්තර අවතැන්වූවන් ලෙස ආරක්ෂිත කඳවුරු කරා රැගෙන එන්නට එතුමා හමුදාවට නායකත්වය දුන්නේ ය. ඒ අවස්ථාවේ මේ අභ්‍යන්තර අවතැන් වූවන් ගැන ඔවුන්ගේ ජීවිත ගැන සුබ සාධනය ගැන ඉහත කී දේශීය හා විදේශීය කොටි හිතවාදී බලවේග කිඹුල් කඳුළු සැලූ ආකාරය අප කාගේත් මතකයේ ඇත.

ඉන්දියාවේ තමිල්නාඩුවේ අවස්ථාවාදී දේශපාලඥයෝ අපට එරෙහි වූහ. එහෙත් කෘතහස්ථ රාජ්‍යතාන්ත්‍රික බවකින් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සමග අවබෝධයකින් යුතුව කටයුතු කළ මහින්ද රාජපක්ෂ ජනපතිඳුන් ඒ අභියෝගය ද ජය ගත්තේ ය.

මේ සියලු දුෂ්කරතා මැද කොටි ත්‍රස්තයන්ගේ යුද බලය ශ්‍රී ලංකා භූමියෙන් අතුගා දමන්නට එතුමාට හැකි විය. එහෙත් එතුමා ඉන් ඉස්පාසුවක් ලබන්නට අවස්ථාවක් නොවීය. ලක්ෂ හතරක අභ්‍යන්තර අවතැන් වූවන්ගේ ගැටලුවට වහ වහා විසඳුම් සොයන්නට එතුමාට සිදු විය. අවතැන් වූවන්ගේ ජීවන තත්ත්වය ගැන විවිධාකාර චෝදනා දේශීය හා විදේශීය වශයෙන් එල්ල වන්නට විය. ඒවාටත් නිසි පිළිතුරු දෙමින්, ඉවසීමෙන් සහ දුරදක්නා නුවණින් යුතුව කටයුතු කළ ජනපතිඳුන් මේ වන විට අභ්‍යන්තර අවතැන් වූවන් ආපසු ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කර අවසාන කර ඇත.

මානුෂික මෙහෙයුම අවසාන වනවාත් සමග ම එතුමා උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතුවලට අත ගැසුවේය. සිය අනෙක් සහෝදරයා වූ බැසිල් රාජපක්ෂ මහතාට එතුමා ඒ කාර්යය භාර කළේය. ඒ අනුව අද වන විට උතුරු නැගෙනහිර දෙපළාත තුළ සිදු වූ සහ සිදුවෙමින් පවතින සංවර්ධනය ලොව මවිත කරවන සුළුය.

උතුරු නැගෙනහිර පමණක් නොව රටේ සෙසු ප්‍රදේශවල සංවර්ධන කටයුතු සඳහා ද එතුමා පියවර ග්තතේ මානුෂික මෙහෙයුම පවතින අතර වාරයේදීම ය. පැවැති ආණ්ඩුවලට ආරම්භ කරන්නට හැකි නොවූ කෙරවළපිටිය තාප බලාගාරය, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය එතුමා ආරම්භ කළේය. හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ ඉදිකිරීම් අරඹා එහි පළමු අදියර නිමා කළේය. හම්බන්තොට අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හා දියගම දැවැන්ත ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කර දැයේ දූ දරුවන්ට දායාද කළේය.

ජාතියේ ප්‍රාණ නාලිය බඳු ගොවි ජනතාවට ලබා දුන් පොහොර සහනාධාරය නිසා රට සහලින් පෝෂණය විය. ලොව බලවත් රටවල් ආර්ථික අර්බුදවලට ගොදුරු වන අතරේ අපට දෙපයින් නැගී සිටින්නට හැකි ආකාරයට එතුමා අපේ රටේ ආර්ථිකය කළමනාකරණය කළේය. එතුමා මේ සියල්ල කළේ එකම රාජ්‍ය දේපළක් හෝ පෞද්ගලික අංශයට හෝ විදේශීය සමාගම්වලට හෝ විකුණා දමන්නේ නැතිවය.

ආගමික හා සංස්කෘතික වශයෙන් ද රට නව මාවතකට යොමුකිරීමට මහින්ද රාජපක්ෂ මහතා අමතක නො කළේය. දෙදහස් හයසිය වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඒ සඳහා එතුමා හොඳ නිමිත්තක්කරගෙන රට පුරා ආගමික හා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කළේය. යුද්ධය නිසා විනාශ වූ වෙහෙර, විහාරස්ථාන, හින්දු කෝවිල්, මුස්ලිම් දේවස්ථාන, කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි ප්‍රතිසංස්කරණයට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේය.

රටේ ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වන යටිතල පහසුකම් සංවර්ධනය ද මහින්ද රාජපක්ෂ මහතා වේගයෙන් කළේය. අතුරු මාර්ග කොන්ක්‍රීට් කිරීම, ප්‍රධාන මාර්ගවල කාර්පට් ඇතිරීම පමණක් නොව ඇන හිට තිබූ කොළඹ – කටුනායක, කොළඹ – මාතර අධිවේගී මාර්ග ඉදි කිරීම ද එතුමා ආරම්භ කර ශීඝ්‍රව වැඩ නිම කරමින් පවතී.

රටේ සංවර්ධනයට දේශීය විදේශීය ආයෝජකයන් යොමු කර ගැනීමේ සාර්ථක උත්සාහයකට එතුමා නායකත්වය දෙමින් සිටී. විනාශ වෙමින් පැවැති රාජ්‍ය අංශය ශක්තිමත් කළේය. පන් ලක්ෂයක්තරම් පහළ සංඛ්‍යාවකට ඇද වැටී තිබූ රාජ්‍ය සේවය දොළොස් ලක්ෂයක් දක්වා වර්ධනය කළේය. දුම්රිය, ලංගම වැනි රාජ්‍ය ප්‍රවාහන සේවා ශක්තිමත් කළේය. මේ සියල්ල එතුමා ඉටු කළේ කොටි හිතවාදී අන්තර් ජාතික බලවේගවල සහ බටහිර රටවල පැළපදියම් වී සිටින ලාංකික කොටි හිතවාදීන්ගේ අඛණ්ඩ දුෂ්ට අභියෝග මැද බව අප අමතක නොකළ යුතුය. අදත් දෛනික කටයුතුවලින් වැඩි වේලාවක් මේ දුෂ්ට බලවේගවලට මුහුණ දෙන්නට වෙන් කරන්නට එතුමාට සිදු වී ඇත.

සියලු පක්ෂ පාට භේද අමතක කර ගෙවුණු වසර හයක එතුමාගේ පාලන කාලය දෙස බලන කල රටේ සෑම අංශයකම සංවර්ධනයක්, ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව කවුරුත් පිළිගනු නිසැකය. දැන් එතුමා හමුවේ ඇත්තේ රටේ ආර්ථිකය වඩ වඩා ශක්තිමත් කරමින් එතුමාම පවසන පරිදි ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම සහ දෙමළ ජනතාවගේ සාධාරණ ප්‍රශ්නවලට සෑම පාර්ශ්වයකටම පිළිගත හැකි සෑම පාර්ශ්වයකටම සාධාරණ දේශපාලන විසඳුමක් කරා රටට නායකත්වය දෙන්නටය.

ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලන සංහිඳියාව, ස්ථාවර බව එතුමා අද ගොඩනගා අවසන්ය. ඉතිහාසයේ කවර කලකවත් නොවූ ආකාරයේ දේශපාලන එකමුතුවක්, සන්ධානයක් එතුමා ගොඩනඟා ඇත. ප්‍රධාන විපක්ෂයේ ප්‍රබල චරිත එතුමා සමග අත්වැල් බැඳගෙන ඇත. වාමාංශික පක්ෂ, සුළුතර ජනයා නියෝජනය කරන පක්ෂ එතුමාගේ නායකත්වයෙන් යුතු සන්ධානයේ අද හවුල්කාරයෝ වෙති. අද එතුමා සෑම ජන කොටසකගේම ආදරණීය නායකයා ය.

උදා වී ඇති මේ සියලු කාරණා, සාධක සහ වාතවරණ රට ඉදිරියට සාර්ථකව මෙහෙයවන්නට එතුමාට ආශිර්වාදයක් වී ඇත. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන රටට සෞභාග්‍යය උදා කරන්නට නායකත්වය සපයන්නට එතුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරමු.