ජනාධිපතිතුමා නොසිටින්නට උතුර දකුණ අද රටවල් දෙකක්

ජනාධිපතිතුමා නොසිටින්නට උතුර දකුණ අද රටවල් දෙකක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ධුර කාලයේ දී සිදු වූ අතිමහත් සේවාව සහ ඒ සඳහා ජනපතිගේ මැදිහත් වීම හා කැපවීමත් රටේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයාගේ දායකත්වය පිළිබඳව ශ්‍රිලනිප මහ ලේකම්, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිදුකළ සංවාදයක් ඇසුරින් මේ ලිපිය සැකැසුණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තියේ පළමු වසර සමරන මේ මොහොතේ දී මුළු රටම සිතිය යුතු එක් කරුණක් තිබේ. එනම් 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත් නොවුනා නම් අප රටට එළඹෙන ඉරණම කුමක් ද යන්නයි. එය ඇත්තෙන් ම සිතීමට පවා බිහිසුණු තත්ත්වයකි. 2001 සිට 2004 දක්වා අගමැතිධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. විධායක බලය පවා නොමැතිව වික්‍රමසිංහ මහතා අස්සන් කළ මේ ගිවිසුම කොටි සංවිධානය ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් කරන ‘පාවාදීමේ’ ගිවිසුමක් බවට පත්ව තිබුණි. එය රටක් ලෙස අප විසින් සිදුකර ගත් විශාල වරද්දා ගැනීමකි.

2005 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වී රනිල් ජයගත්තේ නම් අද අප සිටින්නේ කොතැනදැයි සිතා ගැනීමට පවා දුෂ්කරය. ඒ තරමටම ඒ අතීතය අවිනිශ්චිතය. ඒ අවිනිශ්චිත භාවය දුරු කළ පුද්ගලයා වූයේ අන් කිසිවකු නොව මහින්ද රාජපක්ෂ මහතා ය.

අතීතයේ දී පවා දුර්වල පාලකයන් බිහි වූ සෑම විටම රට දෙකට, තුනට බෙදී ගියේ ය. එදා රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වූවානම් අද උතුරත්, දකුණත් යන දෙකොන රටවල් දෙකක් බවට පත්වීමට ඉඩ තිබුණි.

1948 සිට 1983 දක්වා බලයේ සිටි සෑම පාලකයකුටම විවිධ ආකාරයේ අභියෝගවලට මුහුණදීමට සිදුවිය. 1962 එල්ල වූ හමුදා කුමන්ත්‍රණ තර්ජනය, 1964 දී සිදු වූ තෙල් ජනසතුවේ දී සිදු වූ ජාත්‍යන්තර තර්ජනය, 1971 කැරැල්ල මේ අතරින් ප්‍රධානය. එහෙත් අප රට මුහුණ දුන් ප්‍රබලම තර්ජනය වූයේ තිස් අවුරුදක් පැවැති යුද්ධයයි. එම අභියෝගයට මුහුණ දීමට විවිධ පාලකයන් උත්සාහ කළත් එම අභියෝගය ජයගැනීමට ඔවුන් ඛ්සිවකුට හැකි නොවීය. එම අභියෝගය ජයගැනීමට පුළුවක්කම ලැබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ය. ඔහු ලබාදුන් ඍජු දේශපාලන නායකත්වය නිසා යුද අභියෝගය ජයගත්තේ යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

ඇතැමුන් කියන ආකාරයට මේ යුද ජයග්‍රහණය ලැබුවේ ත්‍රිවිධ හමුදාවේ ශක්තියෙන් පමණි. එය එසේ නම් මේ යුද ජයග්‍රහණය මීට පෙර ලබා ගැනීමට පුළුවන්කම තිබුණි. එහෙත් එය එසේ නොවුණි. ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය හා යුද, ගුවන්, නාවික හමුදා ශක්තිය සමඟ මේ යුද අභියෝගය ජයගත්තේ යැයි සඳහන් කිරීම අසත්‍යයක් නොවේ.

පසුගිය අවුරුදු තිහ පුරා මෙරට දේශපාලන ස්ථාවරත්වය සම්පූර්ණයෙන් ම ගිලිහීගොස් තිබුණි. මහ බැංකු ප්‍රහාරය, ගුවන් තොටුපොළ ප්‍රහාරය, කොළොන්නාව තෙල් පිරිපහදු ප්‍රහාරය නිසා මෙරට ආර්ථිකය අස්ථාවර තත්ත්වයට පත්ව තිබුණි. මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැකිය. එමෙන් ම සංවර්ධනය ද එක තැන පල්වෙන තත්ත්වයක් උදාවිය. මේ සියල්ලටම හේතු වූයේ රටේ පැවැති යුදමය වාතාවරණය සහ යුද්ධය නිමා කිරීමට එවකට සිටි පාලකයන් අසමත් වීමය. ඒ තත්ත්වය වෙනස් කිරීමට පුළුවන්කම ලැබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ය.

මීට පෙර යුද්ධය මෙහෙය වූ දේශපාලන නායකයන් අතරමඟදී යුද්ධය නතර කළේය. ජාතික හා ජාත්‍යන්තර අභියෝග ජයගනිමින් නිසි ඉලක්කය වෙත යුද්ධය මෙහෙය වූයේ ජනාධිපතිතුමා ය.

එක් අවස්ථාවක දී ආරක්ෂක හමුදා ප්‍රභාකරන් සිටින ස්ථානය වෙත පැමිණ වටකර තිබුණි. එහෙත් එදා සිටි ජනාධිපතිවරයාගේ නියෝගය මත ඒ මෙහෙයුම අතරමඟ නතර කරන්නට සිදුවිය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එසේ ක්‍රියානොකළ අතර රණවිරුවන්ට අවශ්‍ය ශක්තිය ලබාදීමට කටයුතු කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනපති ධුර කාලය සුවිශේෂ එකක් බවට පත්වන්නේ ඒ නිසාය. එමෙන් ම 2005 දී ජනාධිපති ධුරයට රාජපක්ෂ මහතා පත්වීම යුද ජයග්‍රහණයේ ආරම්භය යැයි සඳහන් කිරීම අසත්‍යයක් නොවේ.

එහෙත් විපක්ෂයට මේ යුද ජයග්‍රහණයේ මල් වට්ටියට අත ගැසීමට නොහැකි විය. පසුගිය දශකය ඇතුළත විපක්ෂයට මුහුණදීමට වූයේ අවාසනාවන්ත ඉරණමකටය. ටිල්වින් සිල්වා මහතා අපි සමඟ සන්ධානගත වූවත් ඔවුන්ට අප සමඟ එක්ව කටයුතු කරන්නට අවස්ථාව නොලැබුණි.

ජවිපෙ කළ යුතුව තිබුණේ යුද්ධයට සහාය ලබාදෙමින් කටයුතු කිරීම ය. ඔවුන් එසේ කටයුතු කළා නම් යුද ජයග්‍රහණයෙන් පසු ආණ්ඩුවෙන් ඉවත්ව ඔවුන්ගේ දේශපාලනය කරගෙන යාමට ඉඩ තිබුණි. එය එසේ වූවානම් ජවිපෙ අදත් ශක්තිමත් දේශපාලන පක්ෂයකි. එජාපය ද 2006 දී අපත් සමඟ එකඟතා ගිවිසුමකට එළැඹීමට කටයුතු යෙදුණි. එහෙත් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත එම අවබෝධය බිඳ වැටුණි.

එජාපය යුද්ධයට අකුල් හෙළන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහි ප්‍රතිඵලය වූයේ ජනතාව තව තවත් එජාපයෙන් ඈත්ව යාමය. මෙමඟින් එජාපය අතිශය දුබල දේශපාලන පක්ෂයක් බවට පත්විය. යුද ජයග්‍රහණය නැමැති මල් වට්ටිය අත නොගැසීම ඔවුන් දේශපාලන වශයෙන් සිදුකරගත් අනුවණකමකි.

අද අප මුළු ලෝකයෙන් ම වාසනාවන්ත රටක් බවට පත්ව සිටිමු. මැද පෙරදිග කලාපය පුරා අරගලය, යුද ගිනිය, යුරෝපයේත්, ඇමරිකාවේත් ඇත්තේ අරගලකාරී තත්ත්වයකි. අපේ අසල්වැසි ඉන්දියාව, පාකිස්තානයත් යුද ගිනිවල පැටලිලාය. බෝම්බ පුපුරා යාම නිසා ජනජීවිතය අවුලකට පත්ව තිබේ. එහෙත් අප රට එසේ නොවේ. සාමය සමඟිය උතුරා යමින් තිබේ. මේ තැනට රට පත් කිරීමට කටයුතු කළේ ජනාධිපතිතුමාය.

පසුගිය කාලයේ දී අප රටට අභියෝග 3ක් ජයගැනීමට තිබුණි. යුද අභියෝගය ජයගත්තත් ආර්ථික අභියෝග ජයගැනීමටත්, ජාත්‍යන්තර කොටි සෙවනැලි පරාජය කිරීමටත් ඉතිරිව තිබේ. අප විශ්වාස කරන ආකාරයට ජාත්‍යන්තර අභියෝග හා ආර්ථික අභියෝග ජයගැනීමේ ශක්තිය ද ඇත්තේ ජනාධිපතිතුමාට ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර අභියෝගයන් ජයගැනීමටත්, ජාත්‍යන්තරයේ වැරැදි මත නිවැරැදි කිරීමටත් කටයුතු කර තිබේ. එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී හා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදීත් ජනපති අදහස් පළ කළ අතර ඒ අදහස් ජාත්‍යන්තරය විසින් පිළිගෙන තිබේ. ඒ නිසා කොටි හිතවාදීන්ගේ ප්‍රචාරයන් අහෝසි වෙමින් තිබේ.

මෙරට විශාලම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූයේ ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේදීය. වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග මෙන් ම මොරගහකන්ද ඇතුළු ජලයෝජනා ක්‍රම ද මේ පාලන යුගයේ නිර්මාණයන්ය.

ඒ මා සඳහන් කළේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් පමණි. එයට අමතරව තවත් මධ්‍යම පරිමාණ හා සුළු ව්‍යාපෘති රැසක් ද සක්‍රිය ලෙස පවතී. මේ සියල්ලම ගත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුගය තරම් රට සංවර්ධනයේ මංපෙත් විවර වූ යුගයක් නොතිබූ තරම්ය.

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙත ගමන් කිරීම හුදු මැතිවරණ සටන් පාඨයක් හෝ තේමා පාඨයක් නොවේ. මනාලෙස ක්‍රියාකාරි වූ වැඩපිළිවෙළකි. ඒ වැඩපිළිවෙළ සාර්ථක ලෙස ඉදිරියට ගෙනයාමට ජනාධිපතිතුමාට හැකියාව හා ශක්තිය තිබේ. එයට සහාය ලබාදීම පක්ෂ විපක්ෂ සැමගේ වගකීමකි යුතුකමකි.