ජාතියේ නියමුවා ඔබයි

ජාතියේ නියමුවා ඔබයි

1960 දශකයේ දී නීති ශිෂ්‍යයෙකු වූ එක්තරා තරුණයෙකු, සමඟි පෙරමුණු රජයේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසින් පළමු පාර්ලිමේන්තුවේ දී මට මුණගැසිණ.

එවක ඔහුගේ වයස අවුරුදු 23 ක් පමණ වන්නට ඇතැයි මම සිතමි.

1970 සමගි පෙරමුණු රජයේ පළමු පාර්ලිමේන්තු සැසි වාරයේ පළමු කතාව කළ මේ ලාබාල මන්ත්‍රීවරයා සිය කථාව කළ සමස්ත කාලය තුළම පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කෘතහස්ත දේශපාලනඥයින් සියල්ලන්ම එක් මොහොතකට විශ්මයට පත් කළ බව මගේ විශ්වාසයය.

මහින්ද රාජපක්ෂ නම් මේ යුග පුරුෂයා, පරිණත දේශපාලනඥයෙකු පමණක් නොව, පරමාදර්ශී දේශපාලන නායකයෙකුද වන බවට වන, පළමු පහන්සිල දැල්වූයේ එදා ය.

කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ඩී. ඒ. රාජපක්ෂ මැතිඳුන්ගේ දේශපාලන ගමන් මඟද, අතික්‍රමණය කරමින්, ජනතා හිතසුව පිණිසම කැපවන, උදාර ජන නායකයෙකුගේ ගති ලක්‍ෂණ ඔහු එදා ප්‍රකට කෙළේය.

සියලු අභියෝග හමුවේ නොසැලෙන අධිෂ්ඨාන ශක්තියකින් හා උට්ඨාන වීර්යයෙකින් යුතු තරුණ රාජපක්ෂයන්ගේ දේශපාලන හැකියාවන් උරගා බැලීමේ තීරණාත්මක වටපිටාවක් නිර්මාණය වූයේ 1977 වර්ෂයේ දී සමඟි පෙරමුණු රජයේ පරාජය ද සමගය.

ජනතා වේදිකාව තුළ, නිල් කමිස කාරයන්ගේ හදවත් තුළ, මහින්ද මන්ත්‍රීවරයා ජීවමාන වන්නට පටන් ගත්තේ එදා සිටය.

ජයවර්ධන පාලන සමයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට විඳින්නට සිදු වූ අනේක විධ, හිරිහැර, දුක් කම්කටොලු හමුවේ ඔවුන් සමඟ එක පෙළට සිටගත් දේශපාලන චරිතයක් වී නම්, ඒ මහින්ද රාජපක්ෂයන් ම මිස අන් කිසිවකු නොවේ.

පෞද්ගලික සුඛ විහරණය හෝ බාල ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් ජනතාවාදී දේශපාලනඥයන් සේ පෙනී සිටින බහුතරයක් අතර ඔහු සැබෑ ලෙසම තැලී පෑගෙන පොඩි මිනිසාගේ පන්තිය නියෝජනය කෙළේය. අද මෙන් ජනමාධ්‍යයේ ප්‍රසාරණයක් නොවූ එකලද ගම් නියම්ගම් සිසාරා, සියලු පොඩි මිනිසුන්ගේ හදවත් තුළ ඔහු ජීවමාන වූයේය.

ජයවර්ධන යුගයේ දී තරම් ජනතා නියෝජිතයන්ගේ පවා මානව හිමිකම් උල්ලංඝනය වූ කාලයක් උදාවී යැයි මම නොසිතමි.

එකල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් කප්පාදුවට ලක් කළේ බුරුතු පිටිනි.

ඒ සඳහා කැමති කැමති හේතු නිර්මාණය කිරීමේ හැකියාවද, පාලක එජාපය සතු විය.

එවිට කප්පාදුවට ලක්වූ තම සහෝදර නියෝජිතයින්ගේ මානව අයිතීන් ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් තනිව අරගල කළ එකම පුද්ගලයෙකු අප අතර විය. හේ, මහින්ද රාජපක්ෂ පමණි. ඔහු මේ සියලු තත්ත්වයන් ජාත්‍යන්තරයට ගෙන ගියේය.

ජිනීවා හි මානව හිමිකම් කොමිසමට මේ සියලු අසාධාරණයන් පැමිණිලි කෙළේය.

ඒ හැකියාව තිබුණේ මහින්දටම පමණි. පාලක පන්තියේ අසාධාරණයට එරෙහිව ඔහු තැබූ ඒ පළමු පියවර ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔහු වටා ඒකරාශි වීය.

ලෝකයාට සත්‍යය හෙළිදරව් කරමින්, ජනතාවගේ අසාමාන්‍ය ජනමතය අයුක්තියට එරෙහි “පාදචාරිකාවක්” බවට පරිවර්තනය කරන්නේ ද මේ අසහාය පුරුෂයාමය.

කොළඹ සිට කතරගමටත්, කොළඹ සිට රත්නපුරයටත් මහින්ද රාජපක්ෂයන් මෙහෙයවූ පාද චාරිකා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ පමණක් නොව දේශපාලන යුග පුරුෂයන්ගේ නාමාවලියේ ද රන් අකුරින් සටහන් තැබෙන සුවිශේෂී සන්ධිස්ථානයකි.

1994 වර්ෂයේ දකුණු පළාත් සභා මැතිවරණ සමයේ ඇඹිලිපිටිය සූරියවැව සිද්ධියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ලේ, දහදිය, කඳුළු හලා සිරගතවූ මා වෙනුවෙන්, මගේ අයිතිවාසිකම් වෙනුවෙන්, පෙනී සිටි නීතිඥවරයා ද අන්කිසිවකු නොව මේ උදාර ජනනායක මහින්ද රාජපක්ෂයන් ම බව මා පවසන්නේ එක්තරා ආඩම්බරයකිනි.

තමන් වෙනුවෙන්, අනුන් වෙනුවෙන් මෙන්ම දන්නෝද, නොදන්නෝද වෙනුවෙන්, ඔහුගේ කැපවීම එක හා සමානය. තනි පුද්ගලයෙකු වශයෙන් මෙන්ම, දේශපාලනඥයෙකු වශයෙන්ද ඉවසීමේ ගුණය ප්‍රඥාවන්ත ලෙස පරිහරණය කළ පුද්ගලයන් අපට හමුවන්නේ ඉතාමත් කලාතුරකිනි.

ඒ කලාතුරකින් හමුවන දුර්ලභ ගණයේ දේශපාලනඥයන් අතුරින් ප්‍රමුඛස්ථානය මහින්ද රාජපක්ෂයන්ට හිමිවන බවට කිසිවකුටත් විවාදයක් තිබිය නොහැකිය.

කිසිවක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රමය වෙනුවට අහිංසාවාදීව සියල්ල ජය ගැනීමේ ගුණය ඔහු අපට කියා දුන්නේය. සිය ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් වෘත්තිකයන් අතර ද කවදත් හිත හොඳ දේශපාලනඥයෙකු වීමේ භාග්‍යයත් මාධ්‍ය තුළ “මහින්ද අයියා” යන ආදර බර යෙදුමත් එදා ඔහුට අපූරුවට ගැළපුණේ එබැවිනි.

මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රථම ජනාධිපති ජනරැලිය ගම්පොල නගරයේ පැවැත්වීමට එතුමන් තිරණය කළ හේතුව මා අදටත් නොදන්නා නමුත්, එදින මගේත්, ගම්පොල ආදරණීය ජනතාවගේත් උණුසුම් ආශීර්වාදයෙන් ඇරැඹි ඒ නායකත්වයේ ගමන් මඟ චිරාත් කාලයක් රටේත්, ජනතාවගේත්, අභිවෘද්ධිය වෙනුවෙන් පෙරටම ගමන් කරන බව සහතික වශයෙන් ම කිව හැකිය.,කිවයුතු යමක් කිවයුතු මොහොතේම සෘජුව ප්‍රකාශ කරන, නොසැලෙන ගුණයෙන් යුතු දේශපාලනඥයන් පිළිබඳ ලෝක ආදර්ශයන් පවා අල්ප යුගයක, මහින්ද රාජපක්ෂ යනු, ඒ සියලු ශ්‍රේෂ්ඨ ගුණාංගයන්ගේ මනා පිළිබිඹුවක් බවට, ලෝකයාටම ප්‍රත්‍යක්‍ෂ කළ මොහොත ලෙස 2009 වර්ෂයේ මැයි 18 දා සඳහන් කළ හැකිය.

ඒ ලෝකයේ සියලු මහා බලසම්පන්න රටවල් පවා, තුවක්කුවෙන් පරාජය කළ නොහැකි යැයි කී වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ ඔහුගේ අනුගාමිකයන් ස්ථිර ලෙසම තුවක්කුවෙන් පරාජය කොට දමිළ ජනතාව ප්‍රමුඛ සමස්ත ශ්‍රී ලාංකික ජාතියේ නිදහස, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තහවුරු කරවීමට ඔහු සමත් වීම නිසාය.

එය කළහැකි කිසිදු ජන නායකයෙකු එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි නොවූවා සේම මතුවටද බිහි නොවන බව මම ඉඳුරාම පවසමි.

අග්‍රාමාත්‍යවරයෙකු, ජනාධිපතිවරයෙකු නැතහොත් රටේ නායකයෙකු වීමේ, සුන්දර සිහින ඕනෑම දේශපාලනඥයෙකු තුළ ඉබේ දලු ලද හැකිය.

එය වරදක් හෝ දොසක් ලෙස දැකීමේ හැකියාවක් ද නැත.

නමුත්, රටට ආදරය කරන, රටේ ජනතාවට ගෞරව කරන, රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා මුළුමනින්ම කැපවන ජනාධිපතිවරයෙකුවීම, නිකම්ම ජනාධිපතිවරයෙකු වීමට සිහින දැකීම තරම් සරල නැත.මහින්ද රාජපක්ෂ නම් ජනාධිපතිවරයා, රටටත්, රටේ ජනතාවටත් වඩා සුවිශේෂී වන්නේ එතැනදීය.

ඔහු රටට ආදරය කරන නායකයෙකි. ජනතාවට ගෞරව කරන ජනාධිපතිවරයෙකි. රටවැසියන් ආරක්ෂා කිරීමට මුළු හදවතින්ම කැපවූ මහා සෙනෙවියෙකි. එවන් වූ නායකයෙකු සිටින රටක, රටවැසියන් සැබවින්ම වාසනාවන්තයෝ ම වන්නාහුය.

ඒ වාසනා ගුණය රටේ ආධ්‍යාත්මික මෙන්ම භෞතික සංවර්ධනය සඳහා ද මහත් ආලෝකයක්ම සපයන බව නොකිවමනාය.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා වායු නිධි ඇති බවට වන පළමු ඉඟිය දැන් රටට ලැබී තිබේ. එය ඉඟියක් පමණක් නොව, තහවුරු කරගත් යථාර්ථයකි.

ඉදිරියට උදාවනු ඇත්තේ, ඒ රන් අස්වනු නෙළා ගැනීමේ වකවානුවය.

නිදහසින් පසු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ තෙල් ගවේෂණ ක්‍රියාවලි සිදු විය. එහෙත් ප්‍රතිඵල නෙලා ගැනීමට ඒ කිසිවෙකුටත් වාසනාව උදා වුයේ නැත.

මහින්ද යුගය යනු රටේ වාසනාවන්ත යුගය ලෙස මා නම් කරන්නේ එබැවිනි. මහා යුද සෙනෙවියකු සතු ධීර, වීර, තේජෝ බල පරාක්‍රමයත්, පියෙකු සතු ලෙහි ගුණයත්, පුණ්‍යවන්ත මිනිසෙකු විෂයෙහි තිබිය යුතු වාසනා මහිමයත් නොඅඩුව ඔහු සතු විණ.

ආසියාවේ ආශ්චර්යය බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරන්නේ යැයි ඔහු මුලින්ම පවසන විට, බොහෝ දෙනෙකු ඒ දෙස බැලුවේ සමච්චලයෙනි.

තවමත් ඉතා ස්වල්ප දෙනෙකු මේ ධෛර්යමත් අධිෂ්ඨානයට වැරදි පූර්වෝකථන සපයමින් සිටී. ඒ පිරිස පිළිබඳව අපට ඇත්තේ අනුකම්පාව මුසු දයාවක් මිස, ක්‍රෝධයක් හෝ ද්වේෂයක් නොවේ.

මන්ද, මහින්ද රාජපක්ෂ යනු කරන දේ කියන – කියන දේ කරන නායකයෙකු බව අන්සියල්ලන්ටම, පෙරාතුව මා හොඳින් දැන සිටින නිසාය. යුද්ධයෙන් පරාජය කළ නොහැකි යැයි කී ප්‍රභාකරන්, ඔහු යුද්ධයෙන්ම පරාජය කළා පමණක් නොව, සමස්ත කොටි ජාලයම මුලිනුපුටා දැමීය.

ප්‍රභාකරන් පරාජය කරන බව මහින්ද රාජපක්ෂයන් මුලින්ම පවසන විටද සියල්ලෝම ඔහු දෙස බැලුවේ සමච්චලයෙනි.

සමච්චලයෙන් එම ප්‍රකාශය බැහැර කළා පමණක් නොව, තමන්ගේම රටේ ඔහු තනි වුවාක් බඳු තත්ත්වයකට පත් විය. එහෙත් ඒ තනිකම අභියෝගයක් කොට තමන්ගේ අභිමානය පමණක් නොව, රටේ අභිමානය ද ඔහු ආරක්ෂා කළේය.

මාගම්පුර නැව්තොට පිළිබඳ කතාවද එයමය. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඉදිකිරීමේ පසුබිම කතාව ද ඊට නොදෙවැනිය.

මහින්ද රාජපක්ෂ යනු රටට අති විශේෂ නායකයෙක් වන්නේ මේ කාරණා නිසාම පමණක් නොවේ.

ඔහු හිතට එකඟව කතා කරන ජනාධිපතිවරයෙකි. හිතට එකඟව ක්‍රියා කරන නායකයෙකි.

ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන්ම තහවුරු කොට තිබෙන, අති සුඛෝපභෝගී ජීවිතය පසෙකින් තිබිය දී ඔහු සෑම විටෙකම ජීවත් වන්නේ ජනතාවගේ ගෙමිදුලේය.

දිළිඳු ගෙපැලක, දරලිපේ ඉදෙන, කැකුළු හාලේ බතක්, පොල් සම්බෝලයක්, කරවල බැදුමක්, ඔහුට රජ බොජුන් පරදන්නේ එනිසාය.

නාමල්ට, රෝහිතට, යෝෂිතට තරමටම සිරිසේනලාගේ, දයාවතීලාගේ, මොහොමඩ්ලාගේ මෙන්ම ශිවසංකරන්ලාගේ දරුවන්ට ද ඔහු අප්‍රමාණව ආදරය කරයි.

ඒ දරුවන් ආදරයෙන් වැළඳ ගන්නේ එබැවිනි. සිප ගන්නේ කැමරාවට නොව, හදවතින්ම බව දන්නේ ඒ හදවතේ දයාගුණය හඳුනන්නෝම පමණි.

එබැවින්, මහින්ද රාජපක්ෂ නම්, මේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාණන්ට ආදරණීය ආශීර්වාදය පිරිනමන්නේ රටේ අග්‍රාමාත්‍යවරයා හෝ දෙවන පුරවැසියාය යන අභිමානික හැඟීමට වඩා, එවන් ගෞරවනීය ජන නායකයෙකුගේ සෙවණ ලබන, රටක සාමාන්‍ය පුරවැසියෙකු වීමේ භාග්‍යය උදාකරගත් සංවේදී මනුෂ්‍යයෙකු ලෙසින් බව නිහතමානීව සටහන් කරමි.

මහින්ද රාජපක්ෂ නම්

ජාතියේ නියමුවාණෙනි,

ඔබේ නායකත්වය චිරාත් කාලයක්

මේ ශ්‍රී ලංකා මව් භූමියට ලැබේවා!

ඔබට දීර්ඝායුෂ වේවා!