දේශය අවදි කළ දේශානුරාගය

දේශය අවදි කළ දේශානුරාගය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වෙනි විධායක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවැනි පදවි ප්‍රාප්තියේ පළමු වසර අද ලක් ජනතාව මහත් හරසරින් යුතුව සමරන්නේ නිදහස් රටක් උරුමකර දී දේශීය චිත්තනය අවදි කළ එකම රාජ්‍ය නායකයා ලෙස ලක්වැසියන් අවිවාදයෙන් පිළිගන්නා නිසාය.

වර්ෂ 1978 දී ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරටට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස පත්ව මේ නව ක්‍රමයෙන් ගැහැණියෙක් පිරිමියෙක් කිරීමත් පිරිමියෙක් ගැහැණියක් කිරීමත් හැර අන් සියල්ල සිදුකළ හැකි සුපිරි බලයන් ඇති බව රටට ඒත්තු ගැන්වීය.

එහෙත් ඔහු බලයේ සිටි 11 වසරක පමණ කාලය තුළ රටට විනකළ බෙදුම්වාදී ත්‍රස්තවාදය උත්සන්න වූවා විනා පරාජය කිරීමට නොහැකි විය.

ගිනි පුපුරක්ව තිබූ බෙදුම්වාදය ත්‍රස්තවාදයක් බවට පත්කරමින් මුළු රටක් ගිල ගන්නා මහා ගිනි ජාලාවක් බවට පත්කළේ මෙම යුගයේ දී බව නොරහසකි. සුපිරි විධායක බලය තිබුණද රටේ ඒකීය භාවය දෙදරා ගියේය. ලක්වැසියන්ට නිදහසේ රට පුරා ගමන් බිමන් යෑමේ අයිතිය ද අහිමිව තිබිණි.

වඩමාරච්චි පාවාදීම, ඉන්දියානු පරිප්පු හෙළීම, 83 කළු ජූලිය, විදේශීය සාම සාධක හමුදා මෙරටට පැමිණීම වැනි අර්බුදකාරී මෙන්ම ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කළ සිදුවීම් ද මෙම පාලන කාලයේ හටගත් මැකිය නොහැකි කළු පැල්ලම් ලෙස දේශපාලන ඉතිහාසයේ ලියවී ඇත.

ආර්. ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා ය. ඔහුද ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට කටයුතු කළේය. සාකච්ඡා, වටමේස, මිල මුදල්, ආයුධ ප්‍රදානය කිරීම් ආදී ඔහුට ආවේණික ක්‍රමයන් තුළින් ත්‍රස්තවාදය විනාශ කරන්නට මාන බැලූ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඒ ත්‍රස්තවාදයේම ගොදුරක් වී අකාලයේ මහ මඟදී ජීවිතයෙන් සමුගත්තේය.

අනතුරුව ඩී.බී. විජේතුංග මහතා තුන්වන ජනාධිපතිවරයා ලෙස බලයට පැමිණියේය. ඔහුද බලයේ සිටි සුළු කාලයේදී මේ කප තිබෙනතුරු ඊලම නොදෙමි යන මතයේ පිහිටා කටයුතු කළද ජනතාවට නිදහස් රටක් උරුම කර දීමට සමත් නොවීය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ශ්‍රී ලංකාවේ හතරවන විධායක ජනාධිපතිවරිය ලෙස බලයට පත්වී රටට පිළිලයක් වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය විනාශ කිරීමට කටයුතු කළේය.

ප්‍රේමදාස මෙන් ඇයද එල්.ටී.ටී.ඊ.යේ ඉලක්කයක් වූ අතර, ත්‍රස්තවාදය නිසා ඇයට අහිමි වූයේ ජීවිතය නොව එක් ඇසක් පමණි. ඇයගේ පාලන සමයේ දී යුදමය ක්‍රියා උත්සන්න කෙළේය.

ලැබූ ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද රැසකි. චන්ද්‍රිකා මැතිණිය විධායක ජනාධිපතිධූරයේ සිටියදීම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්විය. ජේ.ආර්.ගේ පාලනයෙන් ව්‍යාප්ත වූ බෙදුම්වාදී ත්‍රස්තවාදයට නීත්‍යානුකූලභාවය ආරෝපණය වූයේ රනිල් වික්‍රමසිංහගේ මැදිහත් වීමෙනි. සුප්‍රකට සටන් විරාම ගිවිසුම කොටි බලය තව තවත් තීව්‍ර කළේය.

2005 වසර වන විට මුළු රටම විනාශ මුඛයට පත්ව තිබුණි. හෙටක් ගැන සිතිය නො හැකි ජනතාවක් ජීවත් වන රටක් ගොඩනැගී තිබුණි. දෙන දෙයක් දීලා මේ කරුමෙන් ගොඩ එමුයි බොහෝ දෙනාගේ මතය විය. කිසිදා විනාශ කළ නොහැකි ලොව දරුණුතම සංවිධානය ලෙසට හංවඩු ගසාගත් එල්.ටී.ටී.ඊය ශක්තිමත් ජාත්‍යන්තර ප්‍රචාරක ජාලයක් පවත්වාගෙන ගියේය.

නවීන අවි ආයුධ වලින් සන්නද්ධ විය. ඔවුන්ගේම ත්‍රිවිධ හමුදාවක්, උසාවි, බැංකු පොලිසි වෙනම රටකට ඇවැසි සියල්ල සම්පූර්ණ කරගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 98% නොසිතූ මහා ජයග්‍රහණයට සෘජු නායකයා වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාය.

එතුමාගේ අධිෂ්ඨානය යටපත් කරන්නට ප්‍රභාකරන් 30 වසරක් ගොඩ නඟාගත් මිනීමරු බලයට නොහැකි විය. අවුරුදු 30ක් රට විනාශ කළ ත්‍රස්තවාදය සේනාධිනායක මහින්ද රාජපක්ෂයන් අවුරුදු 2 1/2ක් තුළ මව්බිමෙන් තුරන් කළේය. අපේ හමුදාවෝ ප්‍රභාකරන් මරා දමා තිබිණි. එම සුවිශේෂී ජයග්‍රහණය එතෙක් ලෝකයේ කිසිදු රටක් අවිගත් ත්‍රස්තවාදයට එරෙහිව නොකළ මහා වික්‍රමයකි. ජයග්‍රහණයට පෙරත් පසුවත් ජනාධිපතිවරයාගේ එකම අභීත වාක්‍යය වූයේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිම යන්නයි.

ඔහුට පෙර බලයේ සිටි කිසිම විධායක ජනාධිපතිවරයෙකුට කළ නොහැකි මේ විස්මිත කාර්යය ඉටු කිරීමට හැකි වූයේ එතුමා මව්බිමට ඇති ආදරය ගෞරවය මූලික කොට සැලකූ නිසාමය. තමා ගැන නොසිතා රට ගැන සිතූ නිසාමය. තමා උපන් බිම අර්බුදයට පත්වූ විට රට වෙනුවෙන් තම දිවි පරදුවට තබා ස්වකීය යුතුකම මැනවින් ඉටුකළ විරුවන්ගේ ඉතිහාස කථා අතරට මහින්ද රාජපක්ෂ ජීවමාන චරිත කතාව ද එක්විය.

දේශීය චින්තනය පෙරදැරිව මව්බිම පිළිබඳ උපන් ජාති මාමකත්වය එතුමාට ස්වකීය පාරම්පරික ජන්මය විසින්ම උරුම කර දී තිබුණි. කවදත් දේශ හිතෛෂීන්ට තෝතැන්නක් වූ රුහුණේ ගිරුවායපත්තුවෙන් බිහිවූ රාජපක්ෂවරුන්ගේ අදීන චින්තනය මහින්ද රාජපක්ෂයන්ගේ වත්මන් ක්‍රියාකාරීත්වයට පන්නරය විය.

අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයට එරෙහිව නැගී සිටි රුහුණේ සිංහයා වූ ඩී.එම්. රාජපක්ෂයන් මෙන්ම 56 පෙරළියට මඟ හෙළිකළ ප්‍රගතිශීලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකිරීමට පුරෝගාමී වූ ඩී.ඒ. රාජපක්ෂ පිය පරම්පරාවේ දුක් විදින මිනිසුන් වෙනුවෙන් කකියන ලේ මහින්ද රාජපක්ෂ තුළද නිදන්ගතව තිබුණි. මේ නිසාම මහින්ද රාජපක්ෂයන් සැමවිටම තීරණ ගත්තේ රට පෙරටුව තබාගෙනය. දේශීයත්වය ආගමික නැඹුරුව එතුමාගේ සෑම කාර්යකදීම පෙරමුණ ගත්තේය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය විනාශ කිරීමට අපේ හමුදාව කළ ක්‍රියාමාර්ග පමණක් ලක් ජනතාවට ග්‍රහණය විය. එහෙත් ඊට එරෙහි වූ ජාත්‍යන්තර බලවේග මැඬලීම පිළිබඳව එතරම් අවබෝධයක් රට වැසියන්ට නොවූ බව මගේ විශ්වාසයයි. එල්.ටී.ටී.ඊ.ය ට හිතවාදී ජාත්‍යන්තර බලවේගයන්ට එරෙහිව නියම ශ්‍රී ලාංකිකයෙකු ලෙස තීරණ ගැනීමට එතෙක් බලයේ සිටි කිසිම රාජ්‍ය නායකයෙකුට නොහැකිවීම නිසා ලක්ජනතාව අවුරුදු 30ක් අන්ත දුක්පීඩා වින්දාහ. සැබවින්ම 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි නිර්භීත නායකයෙකු මේ රටේ පාලකයා නොවුනානම් ශ්‍රී ලංකාව අද රාජ්‍යයන් දෙකක් වී හමාරය.

මහින්ද රාජපක්ෂ තරම් තම රටවැසියා කෙරෙහි විශ්වාසයෙන් යුතුව කටයුතු කළ රාජ්‍ය නායකයෙකු තවම පත්ව නැත. ත්‍රස්තවාදය පරාජය කරන්නට එතුමා විදේශ හමුදා වල සහය පැතුවේ නැත. විදේශීය යුද උපක්‍රම, උපදේශ ලබාගත්තේ ද නැත. තම රටේ හමුදාවට එය කළ හැකි බව අවබෝධ කරගෙන එඩිතර දේශපාලන නායකත්වය සැපයීය. තමාගේ හමුදාව පිළිබඳව මෙන්ම තම රට වැසියා පිළිබඳව ද උපරිම විශ්වාසයක් තබා කටයුතු කළේය.

එසේම ජයග්‍රහණයෙන් අනතුරුව ඔහු දෙස් විදෙස් හි සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කළේ මව්බිම ගොඩනැගීමට එක්වන ලෙසටයි. එහිදී ඔහුට සිංහල, දෙමළ, මුස්ලිම් ආදී බෙදීම් නැත. ලංකාවේ උපන් සියල්ලෝම එකම ජාතියකි. එනම් ශ්‍රී ලාංකිකයෝ යන මතයේ සිට රට වැසියාට ආදරය කරන මෙවන් ජන නායකයෙකුගේ පදවිප්‍රාප්තිය සැමරීමට ජනතාව එක්වන්නේ නිතැතිනි.

රටක දියුණුවට සමෘද්ධියට දේශානුරාගය මෙන්ම ජාතිවාත්සල්‍ය අත්‍යවශ්‍ය සාධකයකි. ලෝකයේ දියුණු රටවල් පිළිබඳව විමසුම් නුවණින් බැලීමේදී එය ප්‍රත්‍යක්ෂ වන කරුණකි. ලොව ඕනෑම ජාතියක ඉතිහාසය හා සසදන කළ ශ්‍රී ලාංකිකයෝ අනභිභවනීය ඉතිහාසයකට උරුමකම් කියන අභීත ජාතියක් ලෙස ප්‍රකටව ඇත.

එහෙත් පසුගිය කාලයේ සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියාවන් හේතු කොට ගෙන ශ්‍රී ලාංකිකයන් තුළින් උදාර ශිෂ්ටාචාරයක ඇවතුම් පැවතුම් ක්ෂය වී ගියා පමණක් නොව ජාතික අභිමානයද දියවී ගියේය. යටපත් වෙමින් තිබූ උදාර හැඟුම් යළි විකසිත කරමින් ශ්‍රී ලාංකීය එකමුතුව ලොවට විවර කළේ මහින්ද රාජපක්ෂයන්ගේ දූරදර්ශී චින්තනය නිසාමය.

පාංශු දේහධාරී රූපකායත් ප්‍රතාපවත් උඩු රැවුලත්, රාජපක්ෂවරුන්ගේ ඉතිහාසය කියාපාන රතු පැහැති සාටකයත් මහින්ද රාජපක්ෂ සලකුණ විය. ලොව බලවත් රාජ්‍යයන්ට කළ නොහැකි වූ ත්‍රස්තවාදය විනාශ කළ අභීත ප්‍රතාපවත් ශ්‍රී ලාංකිකයා වශයෙන් ඕනෑම රාජ්‍ය නායක සමුළුවකදී කැපී පෙනෙන චරිතයක් ලෙසින් ජාත්‍යන්තරය තුළ නොමැකෙන නමක් තබන්නට එතුමන්ට හැකිවීම ශ්‍රී ලාංකීය ජාතියේම වාසනාවකි. ආසියානු කලාපයේ සාක් රටවල සභාපතිත්වය, ලෝක ජනගහනයෙන් 1 /3ක් නියෝජනය කරන ට් 15 සංවිධානයේ ජාත්‍යන්තර නායකත්වය හා පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ද මහින්ද රාජපක්ෂ ලොව පිළිගත් ජාත්‍යන්තර නායකයෙකු විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිධුරයට පත්ව මුල් යුගයේදී විරුද්ධවාදීන් රටතුළ මතයක් ගොඩ නගමින් ප්‍රකාශ කළේ මහින්දට ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළ නොහැකි බවයි. ඔහු ගැමි පරපුරක් නියෝජනය කරන්නෙක් නිසා දියුණු රටවල සම්ප්‍රදායන් නොදන්නා බවයි. එහෙත් ඒ සියලු දුර්මත පලවා හරිමින් තමා පිළිබඳ ආත්ම විශ්වාසයෙන් හා රට වැසියා පිළිබඳ අපරිමිත විශ්වාසයෙන් යුතුව අධිෂ්ඨාන සහගත මිනිසෙකු වශයෙන් ශ්‍රී ලංකාව ලොව දියුණුම රටක් බවට පරිවර්තනය කිරීමේ ගමනට ඔහු නායකත්වය සපයයි.

ලොව ඕනෑම බලවත් රාජ්‍ය නායකයෙකු සමග කරට කර සිටිය හැකි නායකයෙකු අපේ පුංචි ශ්‍රී ලංකාවේ සිටින බව ජාත්‍යන්තරය පසක් කර හමාරය. ජයගත නොහැකි කිසිදු අභියෝගයක් එතුමාට නොමැත. අසීරුයැයි කියූ ඉලක්ක ජයගෙන ඇත. ඊලඟට කළයුත්තේ ආර්ථිකය ඉසුරුමත් කිරීමයි. රට වැසියාගේ යුතුකම වන්නේ මේ රාජ්‍ය නායකයා සමඟ එක්ව ඉසුරින් පිරි රටක් නිර්මාණය කරගැනීමට දායක වීමයි.

ලෝකයේ බොහෝ මිනිසුන් සිටියද සත් පුරුෂයෝ ඉතා දුර්ලභය. එවන් සත්පුරුෂයන්ගේ පහළවීම පූර්ණ චන්ද්‍රයා අඳුර පළවා හැර ලෝකය ඒකාලෝක කරන්නාක් මෙන් සත් වගට සැනසීම උදා කරයි.

ලක් වැසියෝ අද ඒ සත්‍යතාවය අත්විඳිමින් සිටිති.

මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබට සුබ උපන්දිනයක් !