යුගාන්ධකාරය නිමාකළ ජන නායකයා

යුගාන්ධකාරය නිමාකළ ජන නායකයා

ශ්‍රී ලාංකීය දේශපාලනයට නව අරුතක් සපයමින් දැයම එක්සේසත් කළ ජාතියේ පියාණන් වූ මහින්ද රාජපක්ෂ ජනපතිඳුන්ගේ පදවිප්‍රාප්ති අභිෂේක මංගල්‍යයේ දෙවන ආගමනයෙන් වසරක් සපිරෙන හා ජන්ම දින සැමරුම නිමිත්තෙන් ශුභාශිංසන ගෙන ඒමට ලැබීම මම මහත් භාග්‍යයක් කොට සලකමි.

වසර තිහක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය පරාජය කරමින් යුගාන්ධකාරය නිමා කරන්නට ජනතාව දුන් වරමට ගෞරවයක් එක්කරමින් අභිමානවත් ඉතිහාසයක් ඔබ අපට උරුමකර දුන්නෙහිය. නොසැලෙන විශ්වාසය හා අප්‍රතිහත ධෛර්ය ජයග්‍රහණයට මං සළසන බව ඔබ පසක්කර දුන්නෙහිය.

සුබ අනාගතයක් වෙනුවෙන් සිහින මැවූ ජනතාවගේ අභිලාෂයන් හා මහින්ද චින්තන ප්‍රතිපත්ති මනාව ගැළපුණි. සමාජයේ එක් කොටසකට පමණක් සීමා වූ වරප්‍රසාදයන් පොදුවේ සැමට භුක්තිවිඳිය හැකි පරිසරයක් නිර්මාණය කරමින් සංවර්ධනයට නව අරුතක් එක්කළෙහිය.

නිවැරැදි මග ගැනීම, වගකීම සහ ජනතා සේවයට කැපවීම ඔබගේ නායකත්වයෙන් මා ලද වටිනාකම්ය. ඔබ දුන් අවවාදයෙන් හා ආදර්ශයෙන් මම ශක්තිමත් වූයෙමි. මිනිසත්කම නායකත්වයට ආබරණයක් බව පසක් කර දුන් ඔබ ආශ්චර්යමත් නායකයෙකි. මා රටට කළ සේවය ඔබගේ නායකත්වයෙන් මා ලද උරුමයයි. මාගේ ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය ඔබ කෙරෙහි ඔවුන් තැබූ විශ්වාසයයි.

කෙටි කාලීන දේශපාලන අරමුණු සහ පුද්ගලාභිලාශයන් මුදුන් පමුණුවා ගන්නට නොව ඔබ තිරසාර සංවර්ධනයක් තුළින් අනාගත පරපුරට සමෘද්ධිමත් දේශයක් තනා දෙන්නට නිරන්තරයෙන් කැපවී සිටින ප්‍රතිපත්තිගරුක නායකයෙකි. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කරන්නට නව සංකල්ප බිහි කළ ඔබ ආදර්ශමත් නායකයෙකි. ජනපතිඳුනි, ඔබ යන මග සුබ ලකුණු පහළ වේවා “ චිරාත් කාලයක් යෙහෙන් දිනේවා...” යි බැතිසිතින් ශුභාශිංසන පිරිනමන්නෙමි.