රට එක්සේසත් කළාවූ ජනපතිඳාණෝ

රට එක්සේසත් කළාවූ ජනපතිඳාණෝ

ශ්‍රීලංකාද්වීපය බහුවිධ සමාජයකි. වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ජන සමාජයේ ජනවාර්ගික හා අන්තර් ආගමික වැඩසටහන්වල නියැලුණ අයෙක් ලෙස අදාළ විෂය පිළිබඳව මහඟු අත්දැකීමක් මවිසින් ලබා ඇතැයි මම සිතමි. එල්. ටී. ටී. ඊ. සංවිධානය සමගත්, වෙනත් විවිධ සටන්කාමී කණ්ඩායම් සමඟත් විවිධ සන්ධාන සංවිධාන හැටියට, අපි දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීමු.

මාගේ මතකයේ හැටියට 2003 වසරේ එල්. ටී. ටී. ඊ. කණ්ඩායම් සමඟ ජාතික හා ආගමික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානය හැටියට අප සාකච්ඡාවට සූදානම් වූයේ අප සිරිලක්ද්වීපයට තිරසාර සාමයක් (Sustainable Peace) රැගෙන ඒමේ අරමුණෙනි. ඒ සඳහා අප කිලිනොච්චියේ එල්. ටී. ටී. ඊ. මූලස්ථානයට යා යුතුව තිබිණි.

මෙම ගමන පිටත්වීමට පෙර අපි කඩිමුඩියේ අරලියගහ මැදුරට පිවිසිමු. මෙම ගමන සඳහා මහාචාර්ය කුඹුරුගමුවේ ස්වාමීන් වහන්සේත්, පූජ්‍ය එගොඩ උයන ඥානවිමල ස්වාමීන් වහන්සේත්, වටිනාපහ සෝමානන්ද ස්වාමීන්වහන්සේත්, ගලගම ධම්මරංසි ස්වාමීන් වහන්සේත්, කළුපහන පියරතන ස්වාමීන් වහන්සේත් අප කණ්ඩායමට අයිති විය. එවකට අග්‍රාමාත්‍යව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා අප අතරට පැමිණ අප සමඟ සාකච්ඡාව ඉතාමත් මිත්‍රශීලීවත්, අවංකවත් ආරම්භ කෙළේය.

එතුමාගේ ඒකායන බලාපොරොත්තුව හා පරමාර්ථය අපට එතුමා පැවසුවේ අව්‍යාජවමය. එනම් ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් මිත්‍රශීලීව, සහෝදරත්වයෙන්, එක්සේසත්ව ජීවත්වීම එතුමාගේ එකම බලාපොරොත්තුව බවයි. එමෙන්ම රජයේ ඇතැම් අයගේ වැරදි ක්‍රියා කලාපයන් පිළිබඳව එතුමා සෑහීමකට පත් නොවී සිටියේය. එතුමා කරන්නා වූ අදහස් අව්‍යාජවූත්, නිර්භීතවූත් ඒවා බව මම පසක් කර ගතිමි. මන්ද එතුමාගේ මුහුණ තුළ නිර්ව්‍යාජත්වය සටහන්ව තිබිණි.

මහින්ද චින්තනය

2005 මැතිවරණයට ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස එතුමාගේ පැමිණීම වැළැක්වීමට පක්ෂයේත් විපක්ෂයේත් ඇතැම් අය කටයුතු කළෝය. එතුමාගේ කකුලෙන් ඇදීමටද ඇතැම් අය ඉදිරිපත් විය. මහින්ද චින්තනය පළමුවරට දොරට වඩින දා එම උත්සවයට මමද විශේෂ පුද්ගලයෙක් ලෙස සහභාගී වීමි. ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෑතින් පළමුවරට මහින්ද චින්තන පොත් පිංච ලැබු සිව් දෙනා අතරට මමද එක්වීමි. මහින්ද චින්තනය දොරට වඩින දා එතුමා වෙනුවෙන් කිතුනු යාච්ඥාව පුදකලේ මවිසිනි. එතුමාට ජනතාවගේ ආදරය ලැබෙන අතරවාරයේ එයට ඊර්ෂ්‍යා වූ ඇතැම් අය එතුමා සම්බන්ධ වැරදි ප්‍රචාර ගෙන යන්නට විය. එතුමන් ජනපති වරම ලැබුවහොත් බෞද්ධ නොවන ජනතාවට පීඩනයක් එල්ලවන බව ඇතැම්හු පැවසූහ. මහින්ද චින්තනය දොරට වැඩියදා සවස අරලියගහමැදුරේ ජාතික රූපවාහිනී සංස්ථාව විසින් ආවරණය කරනු ලැබූ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් අපි පැවැත්වීමු. මෙම සාකච්ඡඡාව මෙහෙයවනු ලැබුවේ මවිසිනි. ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේද අප සමග සිටියහ. මම ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් ප්‍රශ්න කළේ එතුමා පත්වූ අපසු ශ්‍රී ලංකාවේ බෞද්ධ නොවන ජනතාවට පීඩනයන් එල්ල කිරීමට සැලසුමක් ඇතැයි ඇතමුන් ඇතිකරන මතයේ සත්‍ය කුමක්ද යන්නයි. එතුමාගේ පිළිතුර ඉතා ගැඹුරු එහෙත් තියුණු එකක් විය. එම පිළිතුර අද මෙන් මාහට මතකය.

“මම බෞද්ධයෙක්. මම දහම් පාසල් ගිය කෙනෙක්. බුදු දහමේ අනෙක් ආගම්වලට ගෞරව දැක්වීම සහ මිනිසත්කම පිළිබඳව කියා තිබෙනවා. බුදු දහම පිළිගන්නා කෙනෙකුට, එම ධර්මය රකින්නෙකුට, වෙනත් ආගමිකයෙකුට හිරිහැරයක් කරන්න අයිතියක් නැහැ. මම බෞද්ධයෙක් නිසාම මම අනෙක් ආගම් රකින්නට බැඳී සිටිනවා. මේ රටේ සියලු ජනතාව මාගේ සහෝදරයන් සහ සහෝදරියන් ඔවුන්ව රැකීම මාගේ වගකීමක්.”

වෙරළාසන්න ප්‍රදේශවල

සෑම ආගමකටම ගරු කිරීම ක්‍රියාවෙන් පෙන් වූ නායකයා...

මෙම පිළිතුර පිළිබඳව මම අතිශයින්ම සතුටුවීමි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීම සඳහා කුමන්ත්‍රණ කරන බලවේගයන්ට එරෙහිව අපි සටන්වැදිමු. වෙරළාසන්න ප්‍රදේශවල සහ මොරටුවේ කිතුනුවන් අතර ප්‍රචාරය වන වැරදි මත ඉවත්කිරීම සඳහා ගරු ජීවන් කුමාරණතුංග අමාත්‍යතුමාත්, අද මහබැංකු අධිපතිව සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතාත් මමත් මූලාසනය දරමින් මොරටුවේ සියලු කිතුනු නායකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මොරටුව ග්ලෝබ් හෝටලයේදී සංවිධානය කළෙමු.

එහිදී සියලු වැරදි අදහස් නිවැරැදි විය. සියලු දෙනා සත්‍ය තේරුම් ගත්තෝය. මෙම රැස්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ නමැති ජනාධිපති අපේක්ෂකයාට දේශපාලනික වශයෙන් උදව් සැපයීම යන චෝදනාව මත මාගේ නිකායේ බල අධිකාරිය විසින් මා පූජකවරයෙන් තහනමට ලක් කරනු ලැබිණි. එම තහනම එම වසරේ දෙසැම්බර් 31 වන දා තෙක් ක්‍රියාත්මක විය. ඉන් පසු ඔවුන් විසින් එය ඉවත් කරනු ලැබිණි. මෙම සියලු කුමන්ත්‍රණ පරදා 2005 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනාධිපති; ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩ භාරගනු ලැබිණි. එම වැඩ භාරගැනීමෙන් සුළු මොහොතකට පසු මට එතුමාගේ හිස මත අත තබා දේවාශිර්වාද ගෙන ඒමට වාසනාව හිමි විය.

ත්‍රස්තවාදය

ශ්‍රී ලංකාද්වීපයෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රට නිදහස් කර ගත් මොහොතේ මම වඩාත් සතුටුවූයේ ජනාධිපතිවරණයේදී මාගේ තීරණය කෙතරම් නිවැරැදිදැයි මාහට හැඟීගිය බැවිනි. අප දියසෙන් කුමරා සිය මව්බිම කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවාගනු ලැබිණි. අපගේ දුක් ගින්දර සෝ සුසුම්වලට එදා සිට තිත තැබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනත්කිසිදු ජනාධිපතිවරයෙකු නොකරන මෙහෙවරක් ශ්‍රී ලංකාවේ සියලු ආගම්වලට ඉටු කළේය. බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කිතුනු ආගම් වෙන වෙනම අමාත්‍යාංශ හතරක් යටතේ එකිනෙකාගේ අතරේ කිසිදු සබඳතාවක් නොමැතිව පැවතිණි. ජනාධිපතිතුමා සියලු ආගම් එකම අමාත්‍යාංශයක සෙවණක් යටතට ගෙන එය ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශය යනුවෙන් නම් කොට එහි අමාත්‍ය ධුරය තමන්ම තබාගනු ලැබුවේ ආගමට දහමට එතුමා දක්වන සුවිශේෂී ස්ථානය පැහැදිලි කරමින්ය. අද එම අමාත්‍යාංශය බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය්‍යාංශය යනුවෙන් අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මැතිතුමාට බාරදී ඇත.

ආගමික මධ්‍යස්ථාන

කිසිදු රජයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සලකා නැති ආකාරයට ආගමික මධ්‍යස්ථානවල ප්‍රගතියටත් ආගමික උතුමන්ලාටත් එතුමා සලකනු ලැබ ඇත. බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කිතුනු දේවස්ථානවලටත් එතුමාගේ සේවය හිමි විය. ආගමික කටයුතු අමාත්‍යාංශයේ වසර 4 ක් නොකඩවා ජනාධිපති තුමාගේ උපදේශකයෙකු ලෙස සේවා කළ මම එම අමාත්‍යාංය මගින් ආගම්වලට රජය මගින් කරනු ලැබූ සේවාවන් පැහැදිලිව දනිමි. එම අමාත්‍යාංශයේ සෙවනේ සිට භික්ෂූන් වහන්සේ, මව්ලවි තුමන්ලා, හින්දු කුරුක්කල්වරු, කිතුනු පූජක තුමන්ලා සමීපතම මිතුරන් වූහ. ආගමික මිත්‍රත්වය ඇති විය. එකිනෙකාගේ වැඩසටහන්වලට අනෙක් ආගමික නායකයෝ සම්බන්ධ වූහ. සුබ පැතුම් ගෙන ආහ. ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු සේවකයන්ට සම්බන්ධවීමට වසරේ විශේෂ දිනවල බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කිතුනු ආගමික උත්සව සමරති. මෙය මීට පෙර තිබුණු වැඩසටහන් මාලාවක් නොවේ. අරලියගහ මැදුරේ සියලු ආගමික උත්සව ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වන්නේ සියලු ආගම්වලට එතුමා දී ඇත්තා වූ ගෞරවය නැවත මතක් කරමිනි. සෑම පොහෝ දිනකම ජනාධිපතිතුමාගේ සහ එම පවුලේ අයගේ මූලිකත්වයෙන් අරලියගහ මැදුරේ පොහෝ දින බෞද්ධ වැඩසටහන් ක්‍රියාත්මකය.

සංවර්ධන සංග්‍රාමය

ආගමික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ භික්ෂූන් වහන්සේ, මෙන්ම මෞලවි තුමන්ද, කුරුක්කල් තුමන්ලාද සමග අපි ඉතා සහයෝගයෙන් වැඩකටයුතු කරන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේය.

එතුමා අග්‍රාමාත්‍ය ධුරයේ සිටියදී ශ්‍රී ලංකාවේ වැඩිම ජනතාවක් ඛ්මුවූ අග්‍රාමාත්‍යතුමා ලෙස වාර්තාවක් තැබීය. එතුමා ජනාධිපතිවූ දිනයේ සිටම කෙතරම් ජනතාවක් තමන්ට සමීප වූවාද යන්න ජනතාවගේ ප්‍රශ්නවලට සවන් දුන්නාද ඒවාට කෙසේ පිළිතුරු දුන්නාද යන්න මෙරට ජනතාව දනියි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ දෙවන අභිෂේකයේ පළමු වසර නිම කිරීමේ උත්සවය ජයග්‍රාහී ලෙස අපි අද සමරමු. එතුමාගේ වචනයෙන්ම මෙරට ජීවත්වන්නේ රටට ආදරය කරන ජනතාව සහ රටට හතුරුකම් කරන සුළු පිරිසක්ය.

රටට ආදරය කරන සියලු දෙනා වර්තමානයේ රජය ගෙන යන සංවර්ධන සංග්‍රාමය ජයගැනීම සඳහාත්, විදේශ කුමන්ත්‍රණකාරී හස්තයන්ගෙන් මිදී ස්වාධීන ස්වෛරී ශක්තිමත් සිරිලක් දෙරණ ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්ය බවට පත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ නායකත්වය වටා අද පෙළ ගැසී ඇත.

මෙම දෙවැනි අභිෂේකයේ පළමු වර්ෂ පූර්ණයේදී අප සැම එතුමාණන්ට ශුභාශිංසන ගෙන එමු. එතුමා රැක ගනිමු. දේවාශිර්වාද පතමු.