මහින්ද චින්තනයෙන් වැඩිහිටි සැමට විශ්‍රාම වැටුපක්

මහින්ද චින්තනයෙන් වැඩිහිටි සැමට විශ්‍රාම වැටුපක්

ගෙවී ගිය හය වසර තුළ සමාජ සේවා අමාත්‍යාංශය මේ රටේ වැඩිහිටි මෙන්ම, උපකාර ලැබිය යුතු ජන කොටස් සඳහා ඉටු කළ මෙහෙය සුවිශාලය. ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු උපදෙස්, මඟපෙන්වීම සහ තම ඉදිරි සැලසුම් ගෙන හැර දැක්වූ සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගේ අදහස් මෙසේ වෙයි.

වසර 2005 සිට 2011 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් ද, ආර්ථික වශයෙන් ද ජයග්‍රහණ රැසක් ලබා තිබේ. එම කෙටි කාල පරාසය නිදහසින් පසු යුගයෙහි සාර්ථකම දේශපාලන පරිච්ඡේදය ලෙස හැඳින්විය හැකිය. මේ සියල්ලටම ප්‍රධාන සාධකයක් තිබේ. එනම් නායකත්වයේ දර්ශනයයි. දර්ශනයක් හා කැපවීමක් නැති නායකයෙකුට රටක් ඉදිරියට ගෙන යා හැකි නොවේ. සෝවියට් දේශය ගොඩනැගූ ලෙනින්ට, මහජන චීනය ගොඩනැඟූ මාවෝ සේතුංට, වියට්නාමය ගොඩනැගූ හෝචිමිංට පැහැදිලි හා සාර්ථක දර්ශනයක් තිබිණි. ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ මහතාට ද එබඳු පැහැදිලි දුර දක්නා දර්ශනයක් හෙවත් දැක්මක් තිබේ. මහින්ද චින්තනය යනු එම දැක්මයි. මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව වර්තමානය වන විට දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතී. සමාජයේ විවිධ ස්ථරවල පුද්ගලයින් ඒකරාශිව මෙම දැවැන්ත අභියෝගයට පෙළගැසෙමින් සිටිති.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්ය බවට පත් කරලීමේ මෙම යෝධ සංවර්ධන ක්‍රියාදාමයේදී වැඩිහිටියන්, ආබාධිතයන් ආදී කොටස් අමතක කරලුයේ නම් එම සංවර්ධනයේ සර්ව සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකිය. ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළ වැඩිහිටියන් සහ අනෙකුත් සමාජ කොටස් පිළිබඳ පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව යමින් සමාජ සේවා අමාත්‍යාංශය මේ වන විට වැඩිහිටියන්, ආබාධිත පිරිස්, තනි මවුපිය පවුල් ආදි කොටස්වල සුබ සාධනය වෙනුවෙන් විශාල කාර්යයභාරයක් ඉටුකරමින් සිටියි.

ශ්‍රී ලංකාව වයෝවෘද්ධත්වයට පත්වන ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවන රටක් වශයෙන් ඉහළ ස්ථානයක ලා සැලකේ. 2000 වර්ෂයේ සිට මිලියන 18.9 ජනගහනය අතුරින් 9.3% ක් නොහොත් 1,760,000ක පිරිසක් වයස අවුරුදු 60 ඉක්මවූ අය ලෙස ගණන් බලා තිබේ. 2025 වර්ෂය වන විට මෙම ජනගහනය 25%ක් වනු ඇතැයි ද 2050 වර්ෂයේ දී 50%ක් වනු ඇතැයි ද ගණන් බලා තිබේ.

එහෙයින් වර්තමාන ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධයන්ගේ ප්‍රමාණය සහ ඉදිරියට ඉස්මතු වෙමින් පවතින ප්‍රවනතා කෙරෙහි දැඩි සැලකිල්ල යොමු කිරීම අවශ්‍යය.

පරමායුෂ වැඩිවීම, මරණ සංඛ්‍යාව, කුඩා පවුල් ඇතිවීම, ජනගහනය තුළ වයස්ගත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇත. මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රධාන වයස් කාණ්ඩ තුන තුළ ද සුවිශේෂි වෙනස්කම් සිදුවී වයස අවුරුදු 80 සහ ඊට වැඩි කොටස්, ‘මහලුතම මහලු’ අයට 10%ක්ද, අවුරුදු 70 වැඩි ‘මහලු මහලු’ අය 30%ක්ද වූ අතර අවුරුදු 60 වැඩි ‘තරුණ මහලු’ අය ඉතිරි කොටස වෙයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙ මිලියනයක් වූ පිරිසක් තවත් ආබාධිත විශාල ප්‍රමාණයක් දැනට ජීවත්වන්නේ ගම්බද ප්‍රදේශවලය. මේ ප්‍රදේශවල සේවා අවශ්‍යතා ඉතා උග්‍රව පවතී. ඔවුහු තනි ලෙස පැතිරී ජීවත්වන අතර එම ස්ථාන කරා යාම ද දුෂ්කරය.

මේ කාරණය විශ්ලේෂණය කර හඳුනාගත් මා සමාජ සත්කාරක ජංගම සේවා වැඩසටහන් මාලාවක් උතුරු නැගෙනහිර ඇතුළුව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශ නිළධාරිනට උපදෙස් දෙන ලදී. මේ අනුව මේ වන විට රටපුරා සමාජ සත්කාරක ජංගම සේවා 73ක් පවත්වා තිබේ.

මෙහි දී අඩු ආදායම්ලාභි ආබාධිත අය සඳහා රුපියල් 3000 මාසික දීමනා ස්වයංරැකියා සඳහා රුපියල් 10,000 ක ආධාර මුදල්, නිවාස නොමැති අඩු ආදායම්ලාභි ආබාධිතයන් සඳහා රුපියල් 1,50,000 බැගින් නිවාස ආධාර වැඩිහිටියන් සඳහා ඇස් පරීක්ෂා කර ඇස්කණ්ණාඩි ලබාදීම, නොමිලේ වෛද්‍ය සායන සහ ඖෂධ ලබාදීම, රෝද පුටු, අත්වාරු, කිහිලිකරු, නියමිත බර නොමැති දරුවන් සඳහා අධිපෝෂණ කිරිපිටි ලබාදීම වැඩිහිටි හැඳුනුම්පත් ලබාදීම, ආදි සේවාවන් රැසක් ඉටු කරනු ලබයි.

ආබාධිතයන් සිය කැමැත්තෙන් ම ආබාධ තත්ත්වයට පත් වූවකු නොවේ. ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක ආබාධිත තත්ත්වයට පත්විය හැකියි. මෙවැනි අයට අනුකම්පාව දැක්වීම අප සමාජයේ සහජ පුරුද්දක් ලෙසට පත් වී ඇත. මෙම ක්‍රමය වෙනස් කළ යුතුයි. එයින් ආබාධිතයනට සෙතක් සැලසෙන්නේ නැති අතර ඒ වෙනුවට ඔවුන්ගේ සහජ හැකියාවන් හඳුනාගෙන ඔහු හෝ ඇය රටට අවශ්‍ය සංවර්ධනයේ කොටස්කරුවකු කර ගැනීමේ වැඩපිළිවෙළක් ප්‍රතිපත්ති මාලාවක් සමාජ සේවා අමාත්‍යාංශය මගින් මේ වන විටත් සකසා ඇත.

1988 අංක 27 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධි විධාන අනුව රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය සංස්ථාවන්හි ඇබෑර්තු පිරවීමේ දී 3%ක් අවශ්‍ය සුදුසුකම්ලත් හා ආබාධිත තත්ත්වය ඔවුන්ගේ කටයුතුවලට බාධා නොවන, ආබාධ සහිත තැනැත්තන්ගෙන් පිරවිය යුතුය. රාජ්‍ය සේවයේ සේවය කරන මවුපියන්ගේ ආබාධ සහිත දරුවන්ට ජීවිත කාලය පුරා විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට මඟ සලසා දී ඇත.

2005 නොවැම්බර් 14 වන දින නිකුත් කරන ලද අංක 1419/7 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රවේශ පහසුකම් ඇති කිරීම පිළිබඳ සමාජ සේවා ඇමැති විසින් නිකුත් කරන ලද විශේෂ නියෝගය අනුව අලුතෙන් ඉදිකරන සියලුම පොදු ගොඩනැගිලිවල ප්‍රවේශ පහසුකම් සැලසෙන ලෙස ඉදිකිරීම් අනිවාර්ය කර ඇත. දැනට එසේ පහසුකම් නොමැති ගොඩනැගිලි වල අවුරුදු 3ක් ඇතුළත ප්‍රවේශ පහසුකම් සැලසෙනසේ ඒවා නවීකරණය කිරීම අනිවාර්යය වේ. ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තවදුරටත් සුරක්ෂිත කිරීමේ අරමුණින් ආබාධ සහිත පුද්ගලයන්ගේ මානව හිමිකම් සම්බන්ධ සම්මුතිය බලාත්මක කිරීමට එකඟව ශ්‍රී ලංකාව ද අස්සන් කරන ලදී.

සංඥා භාෂාව බිහිරි ජනතාවගේ සන්නිවේදන මාධ්‍ය වේ. එකී භාෂාව නොමැති ඒ බිහිරි පුද්ගලයනට තම අදහස් ප්‍රකාශ කිරීමට හා තොරතුරු ලබා ගැනීමට නොහැකි වන අතර බිහිරි දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීම හා රැකියා අවස්ථා ලබා ගැනීම ද අපහසු වේ. සංඥා භාෂාව බිහිරි ජනතාවගේ සන්නිවේදන මාධ්‍ය වුවත්, එම සන්නිවේදන මාධ්‍ය භාවිතා කරන්නේ ඔවුන් පමණක් ම නොවේ.

බිහිරි දරුවන්ගේ මවුපියන්, බිහිරි මවුපිය, දරුවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, අසල්වැසියන්, ඔවුන් අධ්‍යාපනය ලබන පාසල්වල ගුරුවරුන් හා වෙනත් සිසුන් සංඥා භාෂාව භාවිතා කරති. එහෙත් පොදු සමාජය හා ගැටීමේ දී බිහිරි පුද්ගලයා සමඟ ගනුදෙනු කරන පාර්ශ්වය සංඥා භාෂාව නොදැනීම ඔහුට සමාජ ප්‍රවාහයට එක්වීම වලක්වන ප්‍රධාන බාධාවක් වේ.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන මා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයට අනුමැතිය ලැබුණු අතර සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කර ඇත.

‘වයස අවුරුදු 65 ඉක්මවන සෑම පුද්ගලයෙකුටම විශ්‍රාම වැටුපක් ලබාදීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්නෙමි’ මහින්ද චින්තනය යථාර්ථයක් බවට පත් කරමින් ප්‍රථම පියවර ලෙස අවුරුදු 80 වැඩි පුද්ගලයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමට සමාජ සේවා අමාත්‍යාංශය සැළසුම් කොට ඇත.

ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම සේවා කොට්ඨාසයකම පිහිටුවා ඇති වැඩිහිටි කමිටු සඳහා ප්‍රදේශයේ කොන්ත්‍රාත් කිරීම සඳහා පිළිගත් සමිතියක බලය ලබාදීම. මේ මගින් ඔවුන්ගේ සමිතිවල අරමුදල් වැඩිකර ගැනීමට හැකිවේ.

රුපියල් 100/- සිට රුපියල් 500 දක්වා තිබූ මහජන ආධාර මුදල (පිං පඩිය) රු. 500 සිට රු. 1000 දක්වා වැඩිකර දීම සිදු කර තිබේ.

වාසනා සම්පත ලොතරැයියෙන් ලැබූ 5%ක ආදායම 10% දක්වා වැඩිකර ගැනීමත්, රාජ්‍ය නොවන සංවිධාන සමාජ සේවා අමාත්‍යාංශයේ අයිතිය යටතට ගැනීමටත් කටයුතු යොදා ඇත. දැනට ශ්‍රී ලංකාව පුරාම තනි මාපිය පවුල් 12%ක් සිටින බවට ගණන් බලා ඇත. මෙම පිරිසගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට හැකිවිය.

මනෝ වික්ෂිප්තභාවය (Autism) හේතුවෙන් තදබල ලෙස ආබාධිත තත්ත්වයට පත්ව ඇති දරුවන්, නිවෙස් මට්ටමින් හඳුනාගැනීම සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දැනුම ලබා දී අනතුරුව එවැනි ළමුන් හඳුනාගැනීම සහ ඔවුන් ෙවෛද්‍යවරුන් වෙත යොමු කිරීම. මෙන් ම එසේ හඳුනාගත් දරුවන් සඳහා ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීමේ මධ්‍යස්ථාන ඇරඹීම ද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි හා/ පළාත්/ කලාප/ කොට්ඨාස/ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කොටගෙන මෙවැනි දරුවන් සඳහා සේවා සැපයීම ද මෙබඳු ළමයින් සඳහා දැනට සේවා සපයන ආයතන හඳුනාගෙන එම ආයතන ආධාර ලබාදිය යුතු තත්ත්වයක පවතී නම් මූල්‍ය ආධාර ලබාදීම හා ඒවායේ තත්ත්වය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට ද පියවරගෙන ඇත.

ප්‍රජා මූලික පුනරුත්ථාපන (සී. බී. ආර්.) වැඩසටහන දැනට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන බැවින් මෙබඳු දරුවන්ට එම වැඩසටහන යටතේ පුහුණුව ලබාදීම හා ඔවුන් එමඟින් ප්‍රධාන ප්‍රවාහයට අන්තර්කරණය කිරීමට කටයුතු කිරීම ද සිදුකරනු ලබයි.

වැඩිහිටි නිවාස සංකල්පය ඉදිරියට ගෙන යාම මා පෞද්ගලිකව විරුද්ධ කරුණක් වුව ද අසරණ වූ වැඩිහිටියන් වෙනුවෙන් නිසි ප්‍රමිතියෙන් යුතු වැඩිහිටි නිවාස පවත්වාගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද උපදෙස් මත අප අමාත්‍යංශය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම වැඩිහිටි නිවාස යළිත් අනිවාර්යයෙන් ම ලියාපදිංචි කිරීම දැන් අරඹා ඇත.

වැඩිහිටි ජනගහනය රටේ ශ්‍රමබලකායට එක් කරගෙන ඔවුන් වඩාත් ඵලදායි පුරවැසියන් බවට පත් කිරීමට නම් ඔවුන්ගේ නිරෝගී බව ඉතා වැදගත් වෙයි. මේ තත්ත්වයට වැඩිහිටියන් යොමු කිරීමට යෙදූ සුදුසුම පිළියමක් වන්නේ ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘මතට තිත’ වැඩසටහනයි. මත්පැන් පානයෙන් දුම්පානයෙන් තොර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසක් බිහි කිරීමට ඒ තුළින් අද හැකිවෙමින් තිබේ.

වැඩිහිටියන් සඳහා වූ හැඳුනුම්පත ද අප ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ තවත් සේවාවකි. මෙම හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් රාජ්‍ය ඔසුසල්වලින්, රජයේ රෝහල්වලින්, ප්‍රවාහන සේවා ඇතුළු සේවා රැසක දී ප්‍රමුඛ ස්ථානය ලබාගන්නට හැකිවෙයි.

දීර්ඝ කාලීන යුද්ධයක් අවසානයේ නිදහස්ව නිවහල් ව ජීවත්වන වැඩිහිටි පරපුරක්, එසේ ජීවත්විය හැකි සමාජයක් අද අපට උරුම වී තිබේ. එම ජයග්‍රහණයේ නියමුවාණන් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සමාජ සේවා අමාත්‍යාංශය මගින් ඉදිරියේ දී මෙරට ජනතාවට ඉටු කළ හැකි මෙහෙය අතිවිශාලය.

සාකච්ඡා කෙළේ

බුද්ධිකා ඉඹුලාන