දෙමළ බස කතාකරන ප්‍රථම ජනපති ලක් පොළොවේ උපන් සැමට මවුබසින් අමතන විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයා

 දෙමළ බස කතාකරන ප්‍රථම ජනපති ලක් පොළොවේ උපන් සැමට මවුබසින් අමතන විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයා

මානව වර්ගයාට උපතින් දායාද වූ මවුබස විශිෂ්ට සමාජයට යහ පැවැත්ම සහතික කරයි. මවුබස මවු කිරි තරම්ම මිනිසාට සමීප වූවකි. මූලිකම මවුබසින් පෝෂණය ලබන මිනිසා අනුක්‍රමයෙන් විවිධ භාෂා ප්‍රගුණ කර ලොව තරණය කළ ද, තමන්ගේ මවුබස පරිහරණය කිරීම තරම් මිහිරක් මිනිස් සිතට ජනිත කරවිය හැකි වෙනත් භාෂාවක් නොමැත. මේ නිසා ඒ ඒ ජනතාව තම තමන්ගේ මවු බස පාරම්පරික දේපලක් ලෙසින් ආරක්ෂා කරති. ගෞරවය දක්වති.

මේ පෞද්ගලික බැදීම හේතුකොට ගෙන තම භාෂා දේපළට බාහිර පාර්ශවයකින් අහිතකර බලපෑම් එල්ල වන විට ඒ ඒ භාෂාවල අයිතිකරුවන් ප්‍රචණ්ඩ වීම වැළැක්විය නොහැක. තම මවු බස රැකගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කළ මිනිසුන් මෙන් ම දේශපාලන හා සමාජීය බලයක් ලෙස භාෂාව යොදාගත් අවස්ථාවන් ද දේශපාලන ලෝකයේ විරල නොවේ.

මානව සන්නිවේදනයේ ප්‍රබල මෙවලම වූ භාෂාව යම් රටක් තුළ දී අදහස් හුවමාරුව, අනෝන්‍ය බැඳීම තහවුරු කිරීම, ලෝකය ජයගැනීම ආදී සමාජයේ සුබ සෙත වෙනුවෙන් යොදානොගෙන සමාජය තුළ අසමඟිය වර්ධනය කිරීමට හේතු කාරකයක් වන්නේ නම් එම රටේ දියුණුවට එය විශාල බාධාවක් වේ.

භාෂාව නිසා ජන කොටස් අතර, අසමඟිය වර්ධනය වූ අවස්ථාවන් රැසක් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සනිටුහන් වී ඇත. එම තත්ත්වය අපේ රටේ දියුණුවට බාධාවක් වූ බව ද නොරහසකි. 50 දශකයේ දී රටේ එක් පිරිසක් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට ඝෝෂා කළ අතර, යාපනයේ ජනතාව ශ්‍රී අකුරේ තාර ගෑහ. ශ්‍රී අකුර දෙමළින් ලිවිය යුතු බවට අදහස් පළ කළහ. ඒ ඒ භාෂාවල අනන්‍යතාවය රැකගැනීමට ජනතාව දක්වන ඇල්ම ජන කොටස් අතර, අසමගිය වර්ධනය වීමට පාර කැපිණි.

මේ අසමඟිය ජය ගැනීමට කළ යුත්තේ යුද වැදීම නොව සෑම ජන කොටසක් ම තම රටේ ජනතාව භාවිත කරන භාෂාව ඉගෙන ගැනීමයි. එසේ ම සියලුම ජන කොටස්වල භාෂාවන්ට ඇති අයිතිය තහවුරු කිරීමට රජය කටයුතු කිරීමයි.

තවත් අයගේ භාෂාවක් ඉගෙන ගැනීමේ ඔවුන්ගේ මවු භාෂාවෙන් කතා කිරීමෙන් ඇති වන්නේ බිඳිය නොහැකි සමීප සම්බන්ධතාවයකි. එහෙත් අවාසනාවට මේ රටේ භාෂා නීති ක්‍රියාත්මක කළ රාජ්‍ය නායකයින්ට තම රටේ ජනතාව වැඩි වශයෙන් භාවිත කරන දෙමළ සිංහල භාෂා දෙක පිළිබඳව වැඩි අවබෝධයක් නොවීය. එයින් බහුතරය සිංහල කතා කළ ද දෙමළ භාෂාවෙන් දෙමළ ජනතාවගේ හදවතට කතා කළ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලන ඉතිහාසයට එක් වී හමාරය.

දෙමළ බසින් කතා කරන ප්‍රථම ජනාධිපති

මහින්ද රාජපක්ෂ මහතා දෙමළ බස මනාලෙස හැසිරවීමට පටන් ගත්තේ 2002 වසරේ පමණදීය. ද්‍රවිඩ මිතුරන් රැසක් සමීපව ඇසුරු කළ ඔහු දෙමළ බසින් කතා කරමින් එම භාෂාව ප්‍රගුණ කළේය. මේ දෙමළ භාෂා නිපුණතාවය නිසා ම ඔහුට දෙමළ ජනතාවගේ සංස්කෘතිය හා අනන්‍යතාවය පිළිබඳ මනා වැටහීමක් ඇති විය. කෙනෙකුගේ මවු බසින් ඇමතීම තරම් තවත් හෘදයාංගම ඇමතීම් රටාවක් නොමැත. ජනතාව අතර අන්‍යෝන්‍ය බැඳීම විශ්වාසය තියුණු කිරීමට මේ භාෂා නිපුණතාවය පාලමක් විය. තම රටේ ජන කොටසකගේ භාෂාව ජාත්‍යන්තර සමුළුවල දී පවා අමතක නොකළේ ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී දෙමළ භාෂාව ද තම කතාවට එක්කර ගනිමින් උත්තරීතර සමුළුවක් ඇමතූ ප්‍රථම ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය. මෙයින් ලොවට පසක් කළේ තම රටේ සියලුම ජන කොටස් තමා නියෝජනය කරන බවයි. සමානාත්මතාවය විදහා පෑම මෙලෙස තම රටේ සෑම ජනකොටසක් ම නියෝජනය කරන බව ලොවට ඒත්තු ගැන්වීම තුළින් ප්‍රකට වන්නේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික භාවයයි.

දෙමළ ජනතාව විශේෂයෙන් තරුණ කොටස් වන්නවානවිල් ආරම්භ කිරීම

වල විනෝදාස්වාදය සඳහා ශ්‍රී ලංකාවේ පළවන මාසික සඟරාවක් නොමැති කමේ අඩුපාඩුව දුටු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ බසින් මාසික සඟරාවක් ආරම්භ කරන ලෙසට ලේක්හවුස් ආයතනයට ලබා දුන් උපදෙස් අනුව වන්නවානවිල් නමින් සඟරාවක් ආරම්භ කෙරිණි. එය මේ වන විට වාර්තාගත අලෙවියක් ලබමින් දෙමළ ජනතාව අතර ජනප්‍රිය වී තිබේ. සාමාන්‍යයෙන් යාපනයේ ජනතාව උදෑසනින් ම පුවත්පත් බැලීම සිදුකරනු ලබති. ලේක්හවුස් ප්‍රකාශනයක් වූ තිනකරන් දිනපතා පුවත්පත යාපනයට ලැබීමේ දී සිදුවන ප්‍රමාදය දැනගත් ජනාධිපතිවරයා වහාම යාපනය සඳහා උදෑසනින් පුවත්පත ලබාදීමට හැකි කටයුතු ඉටු කරන ලෙසට ලේක්හවුස් ආයතනයට උපදෙස් ලබා දුන්නේ ය. ඒ අනුව තිනකරන් යාපනයේ මුද්‍රණය ලෙසින් නව කලාපයක් යාපනයට උදෑසනින් ම ලබා දීමට කටයුතු යෙදී ඇත. උතුරුකරයේ ජනතාවගේ සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා මෙතෙක් පැවැති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් මුළු උතුරු නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි කොකාවිල්හි බහුකාර්ය සම්ප්‍රේෂණ කුලුණ ආරම්භ කෙරේ උතුරත් දකුණත් සන්නිවේදනයෙන් යා කිරීම උදෙසා ය.

මලෙස තම රටේ සෑම ජන කොටසකගේ ම භාෂා දේපොළ ආරක්ෂාකර දීමට අන්‍යෝන්‍ය සුහදතාවය හා විශ්වාසය ආරක්ෂාකර දීමට මහින්ද රාජපක්ෂ මහතා තරම් කැපවුණු ජනාධිපතිවරයෙකු මෙතෙක් බිහි නොවූ බව සත්‍යයකි.

එලෙස ඔහු කැපවන්නේ රටේ අනාගතය සාර්ථක කිරීම සඳහා සියලුම ජන කොටස් ශ්‍රී ලාංකිකයන් යන මානසිකත්වය හදවත් තුළට තිව්‍ර කිරීම උදෙසාය.

30 වසරක යුද්ධය ජයග්‍රහණය කළ ඔහු රටට ප්‍රකාශ කළේ මින් මතුවට මේ රටේ සුළු ජාතිය හා මහ ජාතිය යනුවෙන් ජන කොටස් නොමැති බවත් මේ රටේ ඇත්තේ රටට ආදරය කරන හා රටට ආදරය නොකරන මිනිසුන් වර්ග දෙක පමණක් යැයි අවධාරණය කළේය.

එසේම එතුමා කිලිනොච්චියේ දී ද්‍රවිඩ ජනතාව හමුවේ මම සිංහල මම දෙමළ මම මුස්ලිම් යනුවෙන් මිනිසුන් බෙදී වෙන්වී සිටි කාලය හමාර බවත්, සියලුම දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස රට ගොඩනැගීමේ කාර්යයට එක්වන ලෙසත් ය.

රටක ජීවත්වන සියලුම ජන කොටස් ඒ රටේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදා ගැනීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දුර දක්නා ඥාණයත්, භාෂා නිපුණතාවයත් ඉවහල් වූ බව අනාගතයේ එකමුතු රටක ජීවත්වන මිනිසුන් පවසනු නොඅනුමානය.