ජාතියට පණ පොවන සංවර්ධන සැලැස්ම

ජාතියට පණ පොවන සංවර්ධන සැලැස්ම

මහින්ද චින්තන වැඩ පිළිවෙල

ජනිදහසින් පසු බලයට පත් වූ සෑම රජයක් විසින්ම ශ්‍රී ලාංකීය ජනතාවගේ සාමාජයීය, ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම පිණිස වැදගත් කාර්යභාරයක් ඉටුකරන ලදී. මෙරට විශාලතම වියදම් කිරීමේ ඒකකය මෙන්ම සේව්‍යා වශයෙන් රජය කටයුතු කරති. ඒ අනුව 1948න් පසුව මේ රටේ බලයට පත් සෑම රජයක්ම ජනතා සුබසෙත අරඹයා විවිධ සැලසුම් ක්‍රියාත්මක කෙළේය. හතළිහ දශකයේ අග භාගයෙන් ඇරැඹී මේ සැලසුම් පනහ, හැට, හැත්තෑව, අසූව දශකය පසුකොට මේ වන විට විසි එක්වන සියවසේ මුල් භාගයට පැමිණ තිබේ.

මේ කාල වකවානුවලින් හතළිහ දශකයේ පටන් හැත්තෑව දශකය තෙක් රාජ්‍ය අංශයේ වැඩි සහභාගීත්වයක් රටේ ආර්ථික දියුණුව උදෙසා දක්වන ලදී. අසූව දශකයේ පටන් සමාජ අවශ්‍යතා ඉටු කිරීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය වැඩි වශයෙන් ලබාගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබිණි.

නිදහස ලබන අවධිය වන විට රජයේ කටයුතු ප්‍රධාන වශයෙන් නිදහස් සෞඛ්‍ය සේවා, නිදහස් අධ්‍යාපන පහසුකම් සහ සාමාන්‍ය රාජ්‍ය පරිපාලන කටයුතු පවත්වාගෙන යෑම වැනි මූලික සමාජ අවශ්‍යතා සැපැයීමට සීමා විය. එනමුත් පෞද්ගලික අංශයට ද ආර්ථිකය තුළ ප්‍රධාන ක්‍රියාකරු ලෙස ක්‍රියාත්මක වීමට රජය පසුකාලීනව ඉඩකඩ සලසා දුන් බව ඉතිහාසය විමැසීමේදී දක්නට ලැබේ. රජයේ ක්‍රියාකාරීත්වය විශේෂයෙන්ම යටිතල පහසුකම් සැපැයීම වැනි සහයක සේවා සැපයීමට සීමා විය.

යටිතල පහසුකම් පිළිබඳව යම් විමැසීමක් සිදු කිරීමේදී අධිවේගී මාර්ග, වරාය, ගුවන්සේවා වැනි ආර්ථික යටිතල පහසුකම් සැපයීම, සෞඛ්‍ය, නිවාස, අධ්‍යාපන වැනි මහජන උපයෝගීතා යටිතල පහසුකම් දියුණු කිරීම කෙරෙහි විවිධ රජයන්ගේ අවධානය යොමුවිණි.

මේ සියලු දෑ සිත්හි දරා නිදහසින් පසු මේ රට පාලනය කළ රජයන්ගේ සංවර්ධන සැලසුම් ගැන කතා කරමු.

වසර 1947 – 1948, 1952 – 1953 සය අවුරුදු සංවර්ධන සැළැස්ම.

ඩී. එස්. සේනානායක මැතිතුමාගේ යුගය

මැතිවරණ වේදිකාවලට සීමා වී තිබූ ජාතික සංවර්ධන සැළසුම් මැතිවරණයෙන් පසුව රටේ සංවර්ධනයට, දියුණුවට යොදාගනු ලැබූ පළමුවැනි රාජ්‍ය ආයෝජන වැඩසටහන ලෙස 1947 සිට 1953 දක්වා කාලපරිච්ඡේදය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ සය අවුරුදු සැළැස්ම හැඳින්විය හැකිය. මේ මුළු කාලසීමාව සඳහා සැළසුම් කළ රජයේ මුළු ආයෝජනය රුපියල් දස ලක්‍ෂ එක් දහස් හත්සිය තිස් නවයක් (දසලක්‍ෂ1739) හෙවත් 1947 න් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හැට හතක් (67%) විය.

වසර 1951 – 1952, 1956 – 1957 ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ යුගය

මෙම සංවර්ධන සැළසුමේ මූලික අරමුණ වූයේ සෑම භාණ්ඩයක්ම පිටරටින් ගෙන ඒම වෙනුවට හැකි තරම් ආනයන ආදේශන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සහ මෙරට රැකියා උත්පාදන වැඩි කිරීමයි.

අප රට විශාල ලෙස බටහිර ලෝකය මත යැපීම් අඩු කිරීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ නිමි භාණ්ඩවල දේශීය නිෂ්පාදනය වැඩිකිරීම ද රජයේ ඉලක්කය විය.

මෙලෙස ඇරඹි සය අවුරුදු සංවර්ධන සැලැස්ම නැවත සංශෝධනය කොට වසර 1951 – 52, 1956 – 57 සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කෙරිණි. අග්නිදිග ආසියාතික ආර්ථික සංවර්ධන සහයෝගිතා සඳහා වූ කොළඹ සැලැස්ම මීට ඇතුළත් කෙරිණි. වසර 1954 දී හඳුන්වා දෙන ලද සය අවුරුදු සැළැස්ම කරා සීමිත සම්පත් උපරිම මට්ටමින් උපයෝජනය කිරීම පිණිස සැකසූ සවිස්තරාත්මක ජාතික සංවර්ධන සැළැස්ම වේ. මෙම කාලපරිච්ඡේදය සඳහා සැළසුම්ගත මුළු ආයෝජනය රුපියල් දස ලක්‍ෂ දෙදහස් පන්සිය විසි නවයක් (දසලක්‍ෂ 2529) ක් හෙවත් 1954 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පනස් තුනක් (53%) විය.

වසර 1959 එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ යුගය

වසර 1959 – 1968 කාලසීමාව සඳහා වූ දස අවුරුදු සංවර්ධන සැළැස්මක් මුල් වරට එළි දක්වන ලදී. කර්මාන්ත සහ කෘෂි කර්මාන්ත අංශයන් හි ශීඝ්‍ර දියුණුවක් ඇති කිරීම තුළින් රැකියා උත්පාදනය කිරීම, ගෙවුම් තුලන තත්ත්වය දියුණු කිරීම, ජීවන තත්ත්වය උසස් කිරීම සහ අපනයන අංශයේ විවිධාංගීකරණය කිරීම සඳහා වූ සවිස්තරාත්මක ජාතික ආයෝජන සැළැස්ම මෙය විය. මේ සඳහා සැළසුම් කළ මුළු ජාතික ආයෝජනය රුපියල් දස ලක්‍ෂ දහතුන් දහස් හයසියයක් (දසලක්‍ෂ 13,600) වූ අතර එහි රජයේ කොටස 62%ක් විය. ආයෝජන වැඩසටහනට අනුව, 1956 දී රුපියල් දස ලක්‍ෂ හත්සියයේ සිට (දසලක්‍ෂ 700) සිට 1968 දී රුපියල් දස ලක්‍ෂ දෙදහස් පනහක් දක්වා (දසලක්‍ෂ 2,050) ආයෝජන වැය ක්‍රමයෙන් වැඩි දියුණු කරන ලදී.

මේ දස අවුරුදු සංවර්ධන සැළැස්මේ මන්දගාමී වර්ධන හේතුකොට ගෙන ආර්ථිකය තුළ පැවති අවාසි සහගත තත්ත්වය, රැකියා වියුක්තිය සහ අඩු වර්ධන වේගය වැනි ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට 1962 – 63 කෙටි කාලීන ක්‍රියාත්මක කිරීමේ සංවර්ධන සැළැස්මක් ක්‍රියාත්මක කරන ලදී.

වසර 1972 – 1976 පස් අවුරුදු සැලැස්ම සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ යුගය

සියයට හයක සාමාන්‍ය වාර්ෂික වර්ධනයක් අපේක්‍ෂා කරමින්, නව රැකියා අවස්ථා අටලක්‍ෂ දහදහසක් ඇති කිරීමේ අරමුණ ඇතිව මෙය ක්‍රියාත්මක කරන ලදී. 1972 දී රුපියල් දස ලක්‍ෂ දෙදහස් පන්සිය හැට පහක් (දසලක්‍ෂ 2565) සිට 1976 දී රුපියල් දසලක්‍ෂ තුන්දහස් තුන්සිය තිස්හතරක් (දසලක්‍ෂ 3,334) දක්වා වැඩි වන ලෙස මුළු සැළසුම්ගත ආයෝජනය රුපියල් දසලක්‍ෂ පහළොස් දහසක් දක්වා වැඩිකිරීම මෙහි අරමුණ විය.

වසර 1977 – 1988 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ යුගය

වසර 1977න් පසු මෙරටට නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී. පෞද්ගලික අංශය ප්‍රමුඛ කොටගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා මෙහි වැඩි බරක් දැක්විය. සුබසාධන වියදම් සීමා කිරීම අත්‍යවශ්‍ය නොවන වියදම් අඩු කිරීම මෙම සැළසුමේ අභිප්‍රාය වේ.

ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරන අතර, ආර්ථික අතින් ඉහළ තැනක් ශ්‍රී ලාංකීය ජනතාවට උරුම කිරීම මේ වැඩපිළිවෙළේ ඉලක්කය වේ. කෙසේ නමුත් මේ වැඩපිළිවෙළ හරහා සියලු බලාපොරොත්තු ඉටුවීම වෙනුවට පිටරටවල නිපදවන ඕනෑම කුණු ගොඩක් ගොඩ බසිනා තොටුපොළක් බවට ශ්‍රී ලංකාව පත්විය. වසර 2500 කට එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කිවූ අපි ජාතියක් ලෙස පසු පසට ගිය යුගයක් ලෙස මේ කාලපරිච්ඡේදය සඳහන් කළ හැකිය.

වසර 1989 – 1993 ආර්. පේ‍්‍රමදාස මැතිතුමාගේ යුගය

වසර 1989 – 1993 ආර්. පේ‍්‍රමදාස මහතා මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමට පෙර රට හමුවේ ජනසවිය ඇතුළු සමාජ සුබසාධන වැඩපිළිවෙළ සහිත ප්‍රතිපත්ති මාලාවක් එළිදැක්විය.

බලයට පත්වූවත් සමඟ නිවාස දස ලක්‍ෂයක් ඉදිකිරීම, ජනසවිය වැනි සුබසාධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක විණි. මෙය ජාතික මට්ටමින් විධිමත් සහ තිරසාර ආර්ථික සංවර්ධන සැළැස්මක් නම් නොවීය.

වසර 1994 – 2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ යුගය

වසර 1994 – 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට පත්වීමත් සමඟම මෙරටේ නැතිවී ගිය ප්‍රජාතන්ත්‍රවාදය, මානවහිමිකම් සහ ආර්ථික නවෝදය ඇති කිරීමට සැළසුමක් ඉදිරිපත් කරන ලදී. සමෘද්ධි වැඩසටහන, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ පරිසර හිතකාමී කර්මාන්ත වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මේ කාලයේදී වෙහෙස ගනු ලැබීය.

මාර්ග, විදුලිබල, සන්නිවේදන, වරාය වැනි යටිතල පහසුකම් දියුණු කිරීමට රජයේ ආයෝජන වැඩි වශයෙන් යොදාගත් නමුත් රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය වේගවත් කිරීමට ඇය ක්‍රියා කරනු ලැබුවාය.

වසර 2001 – 2003 යළි පුබුදමු ශ්‍රී ලංකා රනිල් වික්‍රමසිංහ මහතාගේ යුගය

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමත් සමඟ මෙරට ආර්ථිකයේ විශාල ආන්දෝලනයක් ඇති කරමින් නව සංවර්ධන සැළසුම එළි දැක්විණි. රාජ්‍ය අංශය මුළුමනින්ම අකර්මණ්‍ය කර පෞද්ගලික අංශය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා කටයුතු කළ එම වැඩපිළිවෙළ බහුතර ජනතාව අනුමත නොකළ එකක් විය.

දේශීයත්වය, අපේකම, සම්පූර්ණයෙන් ඉවතලා බටහිර ගැති ආර්ථික පිළිවෙළක් මේ වැඩපිළිවෙළින් හඳුන්වා දුනි.

රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව ලක්‍ෂ අටේ සිට ලක්‍ෂ හය දක්වා අඩු කළ මේ පාලන කාලය තුළ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කරන ලදී. එපමණක් නොව රාජ්‍ය අංශයේ රැකියා ලබා නොදෙන බවට සඳහන් චක්‍රලේඛ නිකුත් කරනු ලැබීය. රැකියා නොදෙන බවට චක්‍රලේඛ නිකුත් කළ ලක් ඉතිහාසයේ පළමු වැන්න එයයි.

කොපමණ පුරප්පාඩු පැවතියේද අඩුම තරමේ කාර්යාල කාර්ය සහයක තනතුරක් සඳහා හෝ කිසිවෙකු බඳවා නොගත් එම කාලය තුළ රාජ්‍ය ආදායම් අධිකාරියක් පිහිටුවීමට පවා පිඹුරුපත් සකස් කෙරුණි.

බදු සමාවන් ලබාදෙමින් රජයට හිමිවිය යුතු ආදායම් විශාල ප්‍රමාණයක් අහිමි කර ගැනීමට එම වැඩපිළිවෙළ මුල් විය.

වසර 2005 – 2016 මහින්ද චින්තන දස අවුරුදු වැඩපිළිවෙළ

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ යුගය

නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක දේශපාලන සංසිද්ධියක් මෙරට සිදුවිනි. ඒ, මව් බිම බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගෙන රට සංවර්ධනය කරා රැගෙන යාමේ අභියෝගය බාරගැනීම විය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඒ සඳහා මහින්ද චින්තන නම් ජාතික ප්‍රතිපත්ති මාලාව රට හමුවේ තැබීය.

දෙවැනි වටයේදී එය මහින්ද චින්තන ඉදිරි දැක්ම ලෙස පුළුල් කැරැ රටට ඉදිරිපත් කැරිණි.

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන අප ජාතියක් ලෙස චිරාත් කලක් තිස්සේ පවත්වාගෙන ආ උතුම් ගුණාංග ආරක්‍ෂා කර ගනිමින්, නව ලොව දැනුම සහ පරිගණක තාක්ෂණ දැනුම මහජනතාව සතු කරමින් සෞන්දර්ය සහ සොඳුරු බව කැටි කොට ගත් අභිමානවත් ජාතියක් බිහි කිරීම මේ වැඩපිළිවෙළවල අරමුණ විය.

ආර්ථික, සාමාජීය, සංස්කෘතික සහ ආගමික පුනර්ජීවයක් ඇති කිරීම සහ ඒ සමඟ ගුණාත්මක දරු පරපුරක් බිහිකිරීම මෙහි මූලික අරමුණ විය. වසර 2006 – 2016 ඉලක්ක කළ දස අවුරුදු සංවර්ධන සැළැස්මක් එළි දැක්විණි. විනය ගරුක සමාජයක් උදෙසා ගුණවත් පුරවැසියෙක් බිහි කිරීම, සෙනෙහස පිරි පවුලක්, පවුලේ ජීවන බර සැහැල්ලු කිරීම, සමෘද්ධි වැඩසටහන, ජන සෙවණ, සමෘද්ධිමත් ගමක්, අපේ රට, අපි වවමු රට නගමු, නොබෙදුණු රටක් – බහුතර සම්මුතියක්, ගෞරවනීය සාමයක් ඇති කිරීම යනාදිය මහින්ද චින්තන වැඩපිළිවෙළේ සඳහන් වේ.

එපමණක් නොව කෙතට අරුණ, දැය නංවන නව නිපැයුම්, නිල්ල පිරුණු රටක් බිහි කිරීම, ජාතික බල ශක්ති ප්‍රතිපත්තියක් ඇති කිරීම, තිරසාර ප්‍රවාහන පිළිවෙතක් ඇති කිරීම ඊට ඇතුළත් විනි. නිල් අහස, නිල් දියඹ ජයගැනීම, විද්‍යා හා තාක්‍ෂණය, සුව සම්පත සුරැකීම, නැණ ගුණ වැඩුම, සුනාමියෙන් යළි ගොඩනැගීම, ප්‍රාදේශීය සංවර්ධනය, කලා කෙත අස්වැද්දවීම, නිරෝගි දැයක් බිහි කිරීම ජනමතයට මුල් තැන දෙමින් මේ අනුව සිදු කෙරුණි. රටේ ආර්ථික, මහජන උපයෝගිතා යන අංශවල යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කළ මෙම සංවර්ධන සැළැස්ම මේ වන විට හය වසරක් ක්‍රියාත්මක කොට ඇත.

ඒ හරහා මෙරට මහජනතාවගේ පහසුකම් වැඩිදියුණු කිරීමට මාර්ග, විදුලිබල, වරාය ගුවන් සේවා, නිවාස, පාසල්, රෝහල්, සන්නිවේදන, වාරිමාර්ග, විද්‍යා හා තාක්‍ෂණ, වෘත්තීය පුහුණු ඇතුළු අංශ ගණනාවක සංවර්ධනයක් මේ වනවිටත් සිදුවී හමාරය.

වසරකට සියයට අට ඉක්මවූ ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීම, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට පහකට අඩු කිරීම, විරැකියාව සියයට පහකට වඩා පහල මට්ටමක තබා ගැනීම යනාදිය මේ වැඩපිළිවෙළේ ඉලක්ක වේ. ඒවා ජය ගැනීම කෙටි කාලීන, මැදි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නැංවිනි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා තිරසාර, නිවැරදි ජාතික සංවර්ධන සැළැස්මක් තිබුණි නම් ඒ මහින්ද චින්තන දස අවුරුදු සංවර්ධන සැළැස්ම පමණි.

මැතිවරණ වේදිකාවල මහ හයියෙන් කථිකා කොට පසුව කුණු කූඩයට විසිකරන මැතිවරණ ප්‍රතිපත්තිමාලා වෙනුවට ජාතියට පණ පොවන එකම ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස ද මහින්ද චින්තනය, මහින්ද චින්තන ඉදිරි දැක්ම නම් කළ හැකිය. මේ වනවිට ඉන් සියයට හැටකට වඩා ක්‍රියාත්මක කොට ඇත. එහි ඉතිරි ප්‍රතිශතය ද සාර්ථකව ක්‍රියාත්මක කොට රටට, ජනතාවට සුබ අනාගතයක් උදාකරනු බවට කිසිදු සැකයක් නම් නොමැත.