රණවිරුවා ඉහළට ඔසවා තැබූ සේනාධිනායකයා

රණවිරුවා ඉහළට ඔසවා තැබූ සේනාධිනායකයා

ආසියාවේ ආශ්චර්යය කරා ළඟාවීමට මේ පුංචි රටට තවත් බොහෝ දුර යාමට අවශ්‍ය නොමැත. දැන් අප සිටින්නේ ඒ ආශ්චර්යයේ හිනිපෙත්ත ආසන්නයේය. මේ රටේ සුවහසක් ජනතාවට ලැබුණු අලුත් බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙමින් පවතී.

කවුද? මේ බලාපොරොත්තු ඇතිකළේ? කවුද මේ රටේ ජනතාව ජාත්‍යන්තරය තුළ මේ රට ආශ්චර්යභාවයෙන් ඉහළට ඔසවා තබන බවට, ඒ භාරධූර වගකීම බාර ගත්තේ. ඒ කවුරුත් නොවේ මේ රටේ නායකයා වූ ද, සේනාධිනායකයා වූ ද, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාණන්ය. තිස් වසරක් පුරා මේ රට තුළ තිබූ ඒ මර බිය නැතිකර සියලු සිත් සතන්වලට සැනසුම ළඟාකර දුන් අභීත නායකයාණන්ය.

කරන දේ කියන, කියන දේ කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රටට රටේ ජනතාවට ආදරය කරන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ හයවැනි පදවි ප්‍රාප්තිය මෙවර සැමරේ.

2005 ජනාධිපති ධූරයට පත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට දුන් පොරොන්දු සියල්ල දැන් ඉෂ්ට කර හමාරය. මේ රටේ ජනතාව අද ජීවත්වෙන පරිසරය ඔවුන් උරුම කර ගත්, දිවිපෙවෙත තවත් වසර තිහකටවත් ලැබේදෝ යන අපැහැදිලි සිහිනය තුළ ගිලෙමින් සිටි මේ රටේ ජනතාව මේ ලැබූ නිදහස ඇත්තටම සිහිනයක් මෙන් ය.

යුද්ධය, මේ රටේ ජනතාවට තිත්ත වූ ඒ වචනය අද අපේ ජීවිතවලින් නැත්තටම නැති වී ගිය වචනයකි. කලක් අපේ ජීවිතවල අනාගතය තීරණය කිරීමට සිදුවූයේ යුද්ධය නමැති වචනය මත සිදුවන දේ අනුවය. එහෙත් දැන් අපට පැහැදිලි අනාගතයක් පෙනෙයි. අපේ දූ දරුවන්ට පැහැදිලි අනාගතයක් උරුම වී ඇත. ඒ පැහැදිලිතාවය මත දැන් අප බොහෝ දේ පිළිබඳ සැලසුම් සකස් කොට ඇත්තෙමු. එහෙත් එදා අපේ ජීවිතවල ඉදිරි සැලසුම තීරණය කළේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදයේ සෙවනැළි දැන් අපේ ජීවිතවලින් ක්‍රමයෙන් ඈත දුරට ගොස් හමාරය. මෙවන් පැහැදිලි අනාගතයක් උරුම කර දීමට ඇප කැපවූ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල ත්‍රිවිධ හමුදා සහ පොලිස් විරුවන් වෙනුවෙන් මේ රටේ ජනතාව දක්වන්නේ උතුම් ගෞරවයකි.

කෙලෙහි ගුණ හඳුනන නායකයකු යටතේ සිටින මේ රටේ ජනතාවට ඒ උතුම් ගුණාංගය ඇතිවී තිබෙන්නේ රටේ නායකයා ද එවැනිම වූ උතුම් ගුණාංගවලින් හෙබි පුද්ගලයකු නිසාය.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය පසුගිය කාලය තුළ කළ කී දෑ හි වටිනාකම මෙපමණකැයි තක්සේරු කළ හැකි නොවෙයි. ඒ නිසාම රජය ඔවුන් වෙනුවෙන් සිදු කරන දේ බොහෝය. කිසිම රටක රණවිරුවකුට යුද්ධයකින් පසු ලබා නොදෙන තරම් වරප්‍රසාද මේ රජය රණවිරුවා වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කර ඇතැයි කිවහොත් නිවැරැදිය.

ගිනි අවියට විරාමයක්

රණවිරුවනට සැබෑ ශක්තියක් වූ සේනාධිනායකයා...

එදා යුද පිටියේ මහා ඝන කැලෑවේ ත්‍රස්තවාදී වෙඩි උණ්ඩය ඉදිරියේ සතුරා සමඟ සටන් කර රට වෙනුවෙන් දිවි පිදූ, ආබාධිත බවට පත්වූ සහ තවමත් නිරුපද්‍රිතව සිටින දහස් සංඛ්‍යාත රණවිරුවන්ගේ ජීවිතවලට ආරක්‍ෂක අමාත්‍යාංශ හා ඒ හරහා බැඳුණු සියලුම අංශ ලබා දෙන සත්කාරයන් මෙපමණකැයි කිව නොහැකිය.

එදා රණවිරුවන්ට තිබූ සියලු ප්‍රශ්න විසඳමින් ඔවුන්ගේ පවුල්වල අඩුපාඩු පවා සොයා ඉෂ්ට සිද්ධ කරමින් නිදහස් මානසික තත්ත්වයකින් සතුරා සමඟ සටනට ගිය රණවිරුවා අද දෑතේ රැඳුණු ගිනි අවියට විරාමයක් දී තම පවුලේ දූ දරු ඥාති හිතමිත්‍රාදීන් සමඟ එක්ව සතුටින් ජීවිතය ගෙවන බව අපි දනිමු.

ඔවුන්ට තිබූ ලොකුම ප්‍රශ්නය වුණේ නිවාස ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නය මේ වන විට සියයට සියයකින් පමණ ඉෂ්ට සිද්ධ වෙමින් පවතී.

නිවසක ගැටලුවක් ඇත්තේ කොයි රණවිරුවාටද, තවමත් ඔහුට පසුතැවිලි වෙමින් ජීවත්වෙන්නට අවශ්‍ය නොමැත. ඔහුගේ ගැටලුවට විසඳුම් ඒ ආකාරයෙන්ම විසඳී යයි.

මීට හොඳම උදාහරණය වෙන්නේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන අපි වෙනුවෙන් අපි වැඩසටහනයි. ඊටම සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය, යුද හමුදා සේවා වනිතා ඒකකය ඇතුළු සියලුම අංශ රණවිරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමේ දැවැන්ත කර්තව්‍යයකට අතගසා තිබේ.

ජනාධිපතිවරයා මේ රට ලෝකයේ ආශ්චර්යය කරා ගෙන යාමට සැලසුම් කළා සේම එතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය රණවිරුවා රටේ සෙසු ජනතාව අතරින් ඉහළට ඔසවා තැබීමට කටයුතු කරයි.

ඔවුන්ගේ පවුල්වල දූ දරු, ඥාතීන්ගේ ගැටලු පිළිබඳව සොයා බලා රණවිරුවා ඔවුන් වෙනුවෙන් ඉෂ්ට කිරීමට බලාපොරොත්තු වෙන සියලු දේ රජය ඉෂ්ට කරයි.

පවුලක දූ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාදීම මවුපියන් තුළ වූ විශාල බලාපොරොත්තුවකි. දරුවෙකු පාසලකට ඇතුල් කිරීම තවත් ශල්‍යකර්මයක් බඳුය.

රජය රණවිරුවා වෙනුවෙන් සිදු කරන සත්කාර්යයන් අතරේ ඔවුන්ගේ දූ දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා ආරක්‍ෂක පාසල් පිහිටුවා තිබේ. රණවිරුවාගේ තරාතිරම ඊට අවශ්‍ය නොමැත. තම දරුවන් එම ආරක්‍ෂක විද්‍යාලවලට ඇතුළත් කර උසස් අධ්‍යාපනයක් ලබාදීමේ භාග්‍යය ඔවුන්ට උදා වී තිබේ.

දැවැන්ත සංවර්ධනයක්

ගිනි අවියට විරාමය දුන් රණවිරුවන් රටේ සංවර්ධනයට සම්පූර්ණයෙන්ම කැපකර තිබේ. රටක සංවර්ධනයට යෙදවිය යුතු පිරිස් බලා සිටියදී රණවිරුවා දැවැන්ත සංවර්ධනයක් කරා තම ශක්තිය යොදවා ඇත. අද මේ වන විට උතුරු නැඟෙනහිර ප්‍රදේශවල අති දැවැන්ත සංවර්ධනයක් සිදුවූයේ ත්‍රස්තවාදය විනාශ කළ ඒ රණවිරු දෑතින්මය. සාමාන්‍ය අහිංසක ද්‍රවිඩ ජනතාවට පමණක් නොවේ, එදා හමුදාවට ප්‍රහාර එල්ල කළ කොටි සාමාජිකයන් අද හමුදා රණවිරුවන් සමඟ සහෝදරත්වයෙන් වෙළී සිටිති.

උතුරේ ගෙයක් ගෙයක් පාසා ගොස් සාමය රැකගැනීමට කටයුතු කරන රණවිරුවා සහ ද්‍රවිඩ ජනතාව අතර ඇත්තේ නොබිඳෙන විශ්වාසයකි. සෑම ද්‍රවිඩ නිවසක්ම අද සංවර්ධන කාර්යයට අතගසා තිබේ. ඔවුන්ට රජයෙන් ලබාදෙන ඊට අවශ්‍ය ශක්තිය ලබා දෙන අතරමැදියා රණවිරුවාය. රණවිරු දෑතින් අද උතුරු නැඟෙනහිර සශි‍්‍රක වී ඇතැයි කිවහොත් නිවැරැදිය.

රණවිරු රියල් ස්ටාර්

එපමණක් නොවේ. රණවිරුවා ආබාධිතයකු වුණේ මේ රටේ ජනතාවට සාමය උදාකර දීමේ පරම පවිත්‍ර චේතනාවෙන්ය. අද මේ වන විට රට පුරා සිටින ආබාධිත වූ රණවිරු සංඛ්‍යාව බොහෝය. යුද්ධයෙන් ආබාධිත වූ ඒ රණවිරුවා වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කිරීම තවත් කෙනකුට ඔහුගේ ඥාතියකුට බරක් වීමට රජය ඉඩ තැබුවේ නැත. ඔවුන් ජීවත් කරවීම ඔවුන් වෙනුවෙන් කැපවීම, බලාගැනීම අද සිදුකෙරෙන්නේ රජය මගින්මය. ඔවුන් වෙනුවෙන් විශේෂ රෝහල් කාර්ය මණ්ඩල ඇතුළු සෑම පහසුකමක්ම වෙනමම ලබා දී තිබේ.

රණවිරුවාගේ කලා හැකියාවන් උරගා බැලීම පිණිස ආරම්භ කළ “රණවිරු රියල් ස්ටාර්” වැඩසටහන මේ වන විට දෙවැනි අදියර දක්වා පැමිණ ඇත. ගිනි අවියට විරාමය දුන් රණවිරු සිත දැන් සන්සුන්ය. ඔවුන්ගේ කලා හැකියාවන් ත්‍රස්තවාදී උවදුරට යටකර ගැනීමට සිදුවිය. එහෙත් සන්සුන් වූ සිත දැන් කලා ලෝකය වෙත පිවිස තිබේ. ලෝකයේ මෙතෙක් පැවැති රියැලිටි වැඩසටහන් අතර වැඩිම ප්‍රේක්‍ෂකයන් පිරිසක් නැරඹූ, වැඩිම තෑගි ප්‍රමාණයක් ලබා දුන් රණවිරු රියැලිටි වැඩසටහන තුළින් එළියට පැමිණි රණවිරු කලා හැකියා පුදුමය දනවන සුළු බව කිවහොත් එය නිවැරැදිය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් මත සකස් වූ එම වැඩසටහන ත්‍රිවිධ හමුදාවට මහත් ශක්තියක් වූ වැදගත් කලා වැඩසටහනක් බවට කාගේත් පිළිගැනීමට ලක්විය.

ත්‍රස්තවාදය පරාජය කළා යැයි එය අවසන් වූවා යැයි රටේ ආරක්‍ෂාව දෙවැනි කොට නැත. එදා රට ආරක්‍ෂා කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය යෙදවූයේ යම් ක්‍රමයකටද අදද ඊටත් වඩා ක්‍රමානුකූලව ආරක්‍ෂක කටයුතු සිදුකිරීමේ වගකීම ආරක්‍ෂක ලේකම්වරයා විසින් දරනු ලබයි.

ත්‍රස්තවාදී බීජයකට හෝ මෙරටට ඇතුළුවීමට ඉඩ නොලැබෙන පරිදි රට වටා දැවැන්ත ආරක්‍ෂක වළල්ලක් ක්‍රියාත්මක වෙයි. උඩින් ගොඩින්, මුහුදින් පමණක් නොව මෙරට පොලිසි, සිවිල් ආරක්‍ෂක බළකාය, විශේෂ කාර්ය බළකාය රටේ ජනතාවගේ ආරක්‍ෂාවට බලපාන පාතාලය, මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධකරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුම්වල යෙදෙති.

ඉහළම පුහුණුව

ලෝකයේ විශාලතම මත්කුඩු මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ අභියෝගය ආරක්‍ෂක ලේකම්වරයා විසින් බාරගෙන තිබේ. ඒ සඳහා ආරක්‍ෂක අංශවල ඉහළම පුහුණුව ලැබූ බලඇණි පවා යොදවා ඇත. අද මේ වන විට එහි ප්‍රතිඵලයක් වශයෙන් මත්කුඩු ජාවාරමේ තෝරු, මෝරු ගණනාවක් මර්දනය කිරීමට ආරක්‍ෂක අංශවලට හැකි වී තිබේ.

යුද්ධයෙන් පසු රටේ සංවර්ධනයට අතගැසූ රණවිරුවා මේ රට තුළ තිබෙන බොහෝ ප්‍රශ්න විසැඳීමට ඉදිරිපත්ව සිටිති. මහජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ ත්‍රිවිධ හමුදා රණවිරුවන් රටේ යම් තැනක කලබල අවස්ථාවක් ඇතිවුවහොත් එය පාලනය කිරීමට එන සාම දූතයකු වැනිය. කිසිදු අවස්ථාවක මහජනයා ත්‍රිවිධ හමුදාව සමඟ උරණ වී කටයුතු කළ බවත්, අප අසා නැත. රණවිරුවා මහජනතාව කෙරෙහි දක්වන මානුෂික භාවය මහජන සිත්සතන් නිවා සනසාලීමට වත් කරන දිය බිඳක් මෙන් විටෙක සිතේ. රණවිරුවා මහජනතාවගේ මේ ගෞරවයට පාත්‍ර වූයේ ඔවුන් මහජනතාව වෙනුවෙන් කළ අවංක කැපවීම නිසාය. ඔවුන් ඒ කැපවීමට යොමු කළ රටේ නායකත්වයටද මහජනතාව තුළ තිබෙන්නේ අප්‍රමාණ වූ ගෞරවයකි.

එදා විදේශ රටවලට යවා අවි ආයුධ පුහුණුව ලැබූ රණවිරුවන් අද යුද්ධය ඇති රටවලට ගොස් සේවය කර වැඩි වැටුපක් ලබාගැනීමේ අවස්ථාව හිමිකරගෙන තිබේ. ත්‍රිවිධ හමුදාවට පමණක් නොව පොලිසියට ද එම වරප්‍රසාදය හිමිවී ඇත.

එදා දෙමළ භාෂාව කතා කළ හැකි වූයේ සීමාසහිත පිරිසකට පමණි. දැන් දෙමළ භාෂාව සඳහා විශේෂ පුහුණුවක් ආරක්‍ෂක අංශවලට ලබා දෙන්නේ දෙමළ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙමින්ය.

ජාත්‍යන්තර බලවේග

යුද්ධය අවසන් වනවාත් සමඟම කොටි හිතවාදී ජාත්‍යන්තර බලවේග යුද්ධයට කැපවූ ආරක්‍ෂක හමුදාවලට අපරාධ චෝදනා එල්ල කර ඔවුන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන ගොස් හිරකර තැබීමේ උත්සාහයක නිරත විය.

කිසිදු බලවේගයකට යටත් නොවී නොසැලී ක්‍රියා කරන නිර්භීත ගතිපැවතුම් ඇති ජනාධිපතිවරයා ඒ සියලු බලවේග පරදවා අද ජාත්‍යන්තරය තමා ඉදිරියේ සමාව යදින තත්ත්වයට පත්කර ගත්තේ ජනාධිපතිවරයාටම හෙබි සුවිශේෂී වූ කථිකත්වය තුළින්ය. ජාත්‍යන්තරය හමුවේ සිටි ත්‍රස්තවාදයට හිතවාදී සියලු බලවේග මේ වන විට මර්දනය වී තිබේ. ත්‍රස්තවාදය පරාජය වූ දින සිට මේ දක්වා මේ රට තුළ සිදු වී ඇති දැවැන්ත පරිවර්තනය දෙස බලන ජාත්‍යන්තරයට කිසිසේත් තවත් කිසිදු චෝදනාවක් එල්ල කිරීමට නම් සොයාගත හැකි කරුණක් නොමැත. ඒ සියලු දෑ ක්‍රියාත්මක කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින්ම සිදු කළ සැලසුම්වලට අනුවය.

රටේ අස්සක් මුල්ලක් නෑර සිදුවන සෑම සිද්ධියක් කෙරේම දැඩි අවධානයකින් බැලීමට පුරුදු වී සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රටේ නායකත්වය තුළින් මේ රටට කළ සේවය කෙතරම්දැයි දන්නේ මේ රටේ ජනතාව පමණක් නොවේ. එතුමාගේ සේවයට කැපවීම කෙරෙහි ජාත්‍යන්තරය පවා පුදුමයට පත්ව සිටියි.