අලුත් ශ්‍රී ලංකාවක ළමා අයිතීන් තහවුරු කිරීම

අලුත් ශ්‍රී ලංකාවක ළමා අයිතීන් තහවුරු කිරීම

අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මහින්ද චින්තන වැඩසටහන තුළ ශ්‍රී ලංකාවේ ළමයින්ගේ හා කාන්තාවන්ගේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇප කැප වී කටයුතු කළේය. ඒ යටතේ 2005 වසරේදී ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශය ලෙස ස්ථාපිත කළ මේ අමාත්‍යාංශය අද වන විට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ලෙස ක්‍රියාත්මක වෙයි.

කාන්තාවන් සහ ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂාව තහවුරු කෙරෙන ඔවුන්ට සංවේදී සමාජයක් සහ මෙහෙවරක් යටතේ ස්ථාපිත මෙම අමාත්‍යාංශය ළමයින්ගේ හා කාන්තාවන්ගේ සංවර්ධනය උදෙසා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබේ.

පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, ළමා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, ජාතික කාන්තා කමිටුව යන ආයතනවලින් සැදුම්ලත් මෙම අමාත්‍යාංශය මේ ආයතනද සමඟ ලක්වැසි කාන්තාවන් වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත නිර්මාණය කළ සංවර්ධන ක්‍රියාවලිය තුළ කාන්තාවන් හා ළමයින්ගේ සංවර්ධන අවශ්‍යතා විවිධය.

ශ්‍රී ලාංකීය සමාජ පසුබිම තුළ දරුවන් මුහුණ දෙන ගැටලු විවිධාකාරය. අනාථ, අත්හල හා අසරණ ළමයින්ගේද, නීතිමය ගැටලුවලට බඳුන් වූ ළමයින්ගේද විවිධ ගැටලුවලට මුහුණපාන ළමයින්ගේද අයිතිවාසිකම් පූර්ණව සංවර්ධනය හා ආරක්‍ෂාව සුරැකෙන ලෙස ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, පසුවිපරම් කිරීම ඇගයීම ආදී කටයුතු සම්බන්ධීකරණ කිරීම පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන කාර්යයන් වෙයි.

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් කැප වී කටයුතු කිරීම, ඔවුන්ගේ සුබසාධනය මහින්ද චින්තන ප්‍රතිපත්ති මාලාවේ තවත් ක්‍රියාදාමයකි. එම දරුවන්ගේ අධ්‍යාපනය, පෝෂණය, ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් වූ වැඩසටහන් රැසක් පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වෙයි.

වෛද්‍ය ආධාර

නිවුන් හා තුන් නිවුන් දරුවන් සඳහා ආධාර ලබා දීම, රෝගාබාධවලට ලක් වී ඇති දරුවනට ප්‍රතිකාර හා සැත්කම් වෙනුවෙන් වෛද්‍ය ආධාර ලබා දීම ද ඒ අතර වෙයි.

දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අපේක්‍ෂාවයි. ඒ අපේක්‍ෂාවන් මල්ඵල ගන්වන්නට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ගෙන ඇති පියවර රැසකි. පාසල් නොයන හා කඩින්කඩ පාසල් යන දරුවන් පාසල්ගත කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන්, (ආර්ථික අපහසුතා සහ විවිධ හේතු මත) මෙන් ම මෙම දරුවන් පාසල්ගත කිරීම සඳහා ගුරුවරුන් මවුපියන් උනන්දු කරවීම සඳහා ද පාසල් නොයන දරුවන් පාසල්ගත කිරීමේ වැඩපිළිවෙළ නමින් වූ විශේෂ වැඩසටහනක් පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

සුවිශේෂ අධ්‍යාපන දක්‍ෂතා ඇති මුත් ආර්ථික අගහිඟකම්වලින් යුත් දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ක්‍රියාකරන ශිෂ්‍යත්ව ක්‍රමය “කැපකරු දෙගුරු” වැඩසටහන නමින් හැඳින්වෙන අතර ඒ සඳහා මූල්‍ය සහය ලබාදෙන දානපතියන් කැපකරු දෙගුරුන් ලෙස හඳුන්වනු ලබයි.

ළමයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිබඳව ම අප සැම දැනුවත් කරන්නේ අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ ලාංකේය දරු පරපුරේ සුරක්‍ෂිත බව වඩාත් තහවුරු කිරීමේ අරමුණ පෙරදැරිවය. මේ වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් ග්‍රාමීය ළමා හිමිකම් කමිටු ශක්තිමත් කිරීම, ළමා අපයෝජන, ආචාර පිළිබඳව, ඉන් මිදීම, දඬුවම් පැමිණවීම ඇතුළු විවිධ අංශ ඔස්සේ ළමයින්, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව පැවැත්වීම, ළමයින්ගේ අනාගතයට බලපෑම් නොසිදුවන ආකාරයෙන් මාධ්‍ය හැසිරවීම, කටයුතු යෙදීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මිතුරු ගම්මාන

ආයතනගත මෙන් ම අපයෝජනයට ලක් වූ දරුවන් වේ නම් ඔවුන්ව සමාජයෙන් කොන් නොවීමට ඉඩ නොදීම පිණිස ඔවුන්ගේ මානසික සෞඛ්‍ය හා සුබසාධනය තහවුරු කිරීම තුළින් ඔවුන් ශක්තිමත් මනසකින් හෙබි පුරවැසියන් ලෙස සමාජයට මුහුණ දිය හැකි පරිසරයක් සකස් කිරීමට ද අප ක්‍රියාත්මක කරන වැඩසටහන් ගණනාවකි.

ජාත්‍යන්තර ළමා ප්‍රඥප්තියේ 12, 13, 14 ව්‍යවස්ථාවන් ආවරණය වන පරිදි, ළමයින්ගේ සහභාගිත්ව අයිතිය වර්ධනය සඳහා ළමා සමාජ පිහිටුවීම ද පරිවාස හා ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේය. මේ වන විට ළමා සමාජ 2000 ක් ඇති අතර ප්‍රාදේශීය ළමා සභා 250 ක් පමණ ස්ථාපිත කර තිබේ.

මේ තුළින් ළමා ආරක්‍ෂාව පිළිබඳව දැනුවත් කිරීම, බලගැන්වීම, ළමුන්ගේ කුසලතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.

ළමා අයිතිවාසිකම් ආරක්‍ෂා කෙරෙන “ළමා මිතුරු ගම්මාන” පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ ගම්මාන 300 ක ළමා මිතුරු ආදර්ශ ගම්මාන පිහිටුවා ඇත. ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පනත සංශෝධනය, වඩා බරපතළ අවදානමකට ලක්විය හැකි දරුවන් සිටින පවුල් පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්‍ෂණ පැවැත්වීම, වයස අවුරුදු 18 ඉක්මවූ “ළමා නිවාසගත ළමයින්” සමාජගත කිරීම ආදී කටයුතු රැසක් සිදුකිරීමට පසුගිය වසර 06 තුළදී පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවට හැකි විය.

ළමයින් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් නිදහස් බව තහවුරු කිරීම මෙහෙවර කර ගත් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය අපේ ළමා පරපුර වෙත සේවා සපයන තවත් වැදගත් ආයතනයකි.

ළමා අපයෝජන පිටුදැකීමෙහිලා අවශ්‍ය නෛතික හා ජාතික ප්‍රතිපත්තීන්ගෙන් යුතු පරිසරයක් ගොඩනංවා සිය අපයෝජනයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් බලාත්මක කිරීමත්, ළමා ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් සමාජයක් ගොඩනැගීම ආදී අරමුණු රැසක් ඉටුකර ගැනීමට පසුගිය වසර 06 තුළදී එම අධිකාරියට හැකි විය.

ළමා ආරක්ෂාව

දරුවන්ගේ සුරක්‍ෂිතතාව සහතික කරනු පිණිස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ උපදේශකත්වය යටතේ ඇරැඹි 1929 ළමා උපකාරක දුරකථන සේවාව ඇරැඹීමත්, එය පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම නිසා ළමයින්ට එරෙහි වූ සියලුම ආකාරයේ ක්‍රියාවන් පිළිබඳව රාජ්‍ය මට්ටමේ දැනුවත් කිරීමකට මං විවෘත විය.

ළමා උපකාරක දුරකථන සේවාව (1929) අරඹා මාස 07 ක පමණ කාලයක් තුළ දී 1929 අංකයට ළමයින්ට එරෙහිව සිදුවන අපයෝජනයන්, හිංසනයන් පිළිබඳ පැමිණිලි 20,000 ක් පමණ ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත ලැබුණු අතර ඒ සඳහා විසඳුම් ලබාදීමට ද එම අධිකාරියට හැකි විය.

පාසල් ආරක්‍ෂක කමිටු පිහිටුවීම ද ළමා ආරක්‍ෂක අධිකාරිය ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහනකි. 2010 වසර අවසන් වන විට පාසල් 442 ක පාසල් ආරක්‍ෂක කමිටු පිහිටුවා තිබේ. ළමා අපයෝජනය ගම් මට්ටමින් පිටුදැකීම පිණිස සහ ළමා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා “අවදි කණ්ඩායම්” පිහිටුවීම ද ළමා ආරක්‍ෂක අධිකාරිය පසුගිය කාලයේ ඇරැඹූ තවත් වැදගත් කටයුත්තකි. ග්‍රාම නිලධාරීන්, සමෘද්ධිලාභීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රජා පොලිස් ඒකක මෙම අවදි කණ්ඩායම් ක්‍රියාත්මක කරන්නන් වෙයි.

පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහනවල රියැදුරන් සහායකයින් සහ හිමිකරුවන් දැනුම්වත් කරමින් එම වාහන, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ ලියාපදිංචි කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම සිදු කළේ පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන තුළ දී දරුවන්ට සිදුවන අපයෝජන, හිංසන පිළිබඳව නිරන්තරව අධිකාරියට ලැබුණු පැමිණිලි හේතුවෙනි.

මූල්‍ය ප්‍රතිපාදන

මෙරට මුල් ළමාවිය දරුවන්ගේ සමස්ත සංවර්ධනය සහතික කිරීම මෙහෙවර කරගෙන ක්‍රියාත්මක වන ළමා ලේකම් කාර්යාලය වයස 0 – අවුරුදු 05 දක්වා දරුවන්ගේ සංවර්ධනය උදෙසා කැප වී කටයුතු කරන්නේය. ගම්මාන තුළ මුල් ළමාවිය දරුවන්ගේ රැකවරණය හා සංවර්ධනය උදෙසා ක්‍රියාකරන පුද්ගලයන් හා සංවිධානවලින් සමන්විතව සියලු ආකාරයේ පිරිපුන් දරුවන් ඇතිකිරීම මගින් ඒවා මුල් ළමාවිය ආදර්ශ ගම්මාන ලෙස හඳුනාගෙන සංවර්ධන කටයුතු සිදුකිරීම ද පසුගිය වසර 06 තුළ මැනවින් සිදුකරන ලදී.

පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල තත්ත්වය, තාක්ෂණ හා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම තුළින් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට පසුගිය වසර කිහිපය තුළ ළමා ලේකම් කාර්යාලය ගත් උත්සාහයන් සාර්ථක වී ඇත.

මුල් ළමාවිය සංවර්ධනය හා රැකවරණය පිළිබඳ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම, උතුරු නැඟෙනහිර පළාත්වල දරුවන්ගේ මුල් ළමාවිය කටයුතු සංවර්ධනය, ජාතික මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන සතියක් ප්‍රකාශයට පත්කිරීම ආදී කටයුතු ළමා ලේකම් කාර්යාලය පසුගිය කාලයේ අත්පත් කර ගත් ජයග්‍රහණයන්ය.

ශ්‍රී ලංකා කාන්තා පරපුර සඳහා උචිත පරිසරයක් බිහිකර දීම, කාන්තාව සමාජීය හා ආර්ථික බලගැන්වීම මගින් රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වීම පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයට හැකි වී තිබේ.

සැලසුම් කිරීම

ශ්‍රී ලාංකේය කාන්තාව ආර්ථික වශයෙන් ද, සමාජීය වශයෙන් ද, බලගැන්වීම සඳහා සුදුසු වැඩසටහන්, ව්‍යාපෘති සැලසුම් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම සහ අගැයීම ඇතුළු කාර්ය භාරයන් රැසක් අපේ කාන්තා පරපුර වෙත ඉටුකරලීම ගෙවී ගිය සය වසරක කාලය තුළ දී ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය ඉටු කර තිබේ.

ප්‍රාදේශීය මට්ටමින් ඒ ඒ ප්‍රදේශවලට ආවේණික කර්මාන්ත හෝ වගාවන් ආශි‍්‍රතව හඳුනාගත් ව්‍යාපෘති, කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමත්, ඒ තුළින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කර තිබේ.

”නංවමු ගම්මාන” වැඩසටහන කාන්තා කාර්යාංශය ක්‍රියාත්මක කරන කටයුතු අතර ප්‍රධාන තැනක් ගනී. කිරි ගවයින්, එළුවන් හා කුකුලන් ඇතිකිරීම ඒ අතර ප්‍රධාන ආදායම් ව්‍යාපෘති වෙයි. ඒ සඳහා චක්‍රීය ණය ක්‍රමයක් යටතේ ආධාර ලබාදීම කාන්තා කාර්යාංශය මගින් සිදු කරයි.

ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන්, ගෙවතු වගා වැඩසටහන්, කාන්තා නිර්මාණ අලෙවි ප්‍රදර්ශන ආදී ආර්ථික සංවර්ධන ව්‍යාපෘති මෙන් ම සාමාජීය සංවර්ධන වැඩසටහන් ගණනාවක් ද මේ යටතේ ක්‍රියාත්මක වෙයි.

සවිබල ගැන්වීම

සෑම දිස්ත්‍රික්කයකම කාන්තා උපදේශන මධ්‍යස්ථාන පිහිටුවීම සැලසුම් කර ඇති අතර, දැනට දිස්ත්‍රික්ක 10 ක උපදේශන මධ්‍යස්ථාන පිහිටුවා ඇත. කාන්තාවන්ට එදිනෙදා ජීවිතයේ ඇතිවන ගැටලු, මානසික අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා මෙම උපදේශන මධ්‍යස්ථාන මගින් සිදු කෙරේ.

වැඩිහිටි කාන්තා සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම, මතට තිත වැඩසටහන, බන්ධනාගාරගත කාන්තාවන් සාමාජීය වශයෙන් සවිබල ගැන්වීම ඇතුළු තවත් වැඩසටහන් ගණනාවක් පසුගිය සය වසර තුළ කාන්තා කාර්යාංශය මගින් සිදු කර ඇත.

ජාතික කාන්තා කමිටුව මගින් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කොට ප්‍රවර්ධනය කිරීම, සමානාත්මතතාවය තහවුරු කිරීම, ඔවුන්ගේ සංවර්ධනයට ඉවහල් වන ප්‍රතිපත්තිමය හා නීතිමය රාමුව සකස් කිරීම සිදු කරයි.

ගෙවී ගිය 30 වසරක යුද්ධයෙන් මෙරට කාන්තාවන්ගේ සහ ළමයින්ගේ සංවර්ධන කටයුතු අඩාල වීම අවම කරමින් දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ඉදිරි කාර්ය භාරයෙහි ඇතුළත් කර ඇත.

ළමයින් හා කාන්තාවන් පිළිබඳ කතා කිරීම ඉතාම සංවේදී මාතෘකාවක් වන අතර එම කරුණ පෙරදැරි කරගෙන මේ පිරිස වෙනුවෙන් වඩාත් සංයමයෙන් අමාත්‍යාංශයේ වැඩ කොටස ඉදිරි වසර කිහිපය තුළ ද ඉටු කිරීම අපේක්‍ෂාව වෙයි.