පදවි ප්‍රාප්ති සන්තුට්ඨිය

පදවි ප්‍රාප්ති සන්තුට්ඨිය

නා යකත්වයේ සැබෑ අරුත වඩාත් ඉස්මතු වන්නේ ආකල්පවලට වඩා ප්‍රායෝගික තලයේ පිහිටවීමෙන් යැයි” වරක් ‘ප්ලේටෝ’ සඳහන් කළේය. රටේ නායකයාගේ දේශපාලන හා සමාජ දර්ශනය මතයි ආර්ථික ප්‍රවර්ධනයක් ඇති වන්නේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි පවත්නා සමාජ දර්ශනය දෙසට නෙත් සිත් යොමන විට න්‍යායන්ට වඩා ප්‍රායෝගික තලයක පිහිටා පාලන තන්ත්‍රය මෙහෙයවන බව පෙනේ.

හින්ද රාජපක්ෂ මැතිතුමා 2005 මේ රටේ විධායක ජනාධිපති ධුරයට පත් වූයේ රටේ ඉතාමත්ම තීරණාත්මක සමයකය. එනම් වසර 30 කටත් අධික කාලයක් රුදුරු කොටි ත්‍රස්තවාදී උවදුරෙන් ජනතාව අතිශය පීඩාවට, පරිපීඩනයට පත්වූ සමයකය.

බඩගින්න නිවා ගැනීමට වඩා තමන්ගේ ජීිවතය බේරා ගැනීමට එදා මහා සටනක් කරන්නට සිදු විය. කොයි මොහොතේ, කොයි පැත්තෙන් බෝම්බ ප්‍රහාරය එල්ලවේද යන කුතුහලයෙන් ජනතාව සිටි යුගයකි ඒ.

කොතරම් මිනිස් ඝාතන සිදු වූයේ ද ? , දරුවන්ට පියා - මව අහිමි වී, සැමියාට බිරිය නැති වී, බිරියට සැමියා අහිමි වී, ඇතැම් අවස්ථාවල මේ සියල්ලම ඝාතනයට බඳුන් වී සිදු වූ ඛේදනීය තත්ත්වය පැහැදිලි කරන්නට ශබ්දකෝෂයේ වදන් නොමැති තරම්ය. රටේ ආර්ථික සම්පතට අත් වූ ඉරණම විග්‍රහ කරන්නට තවදුරටත් ශබ්ද කෝෂයේ වදන් නොමැති තරම් ය. මෙබදු සමයකයි මේ සෘජු නායකත්වය බලයට පත් වූයේ.

කොටි නායකයන් සුරතල් කරමින්, ඔවුන්ට නැති ශක්තියක් ආරෝපණය කරමින් කටයුතු කිරීම අනුවයි කොටින්ගේ ශක්තිය වඩා ශක්තිමත් වූයේ. මහින්ද රාජපක්ෂ මහතාට පෙරාතුව රට පාලනය කළ නායකයන් හා නායිකාව මේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් සෙව්වේ නැත. දෙගිඩියාවෙන් අන්තර්ජාතික තීරණවලට ගැති වීමෙන් කටයුතු කිරීම මත මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය බොහෝ දුරට ඔඩුදුව ගියේය. මෙයින් අපට පැහැදිලි වන්නේ එම නායකයින්ට හෝ නායිකාවට පැහැදිලි ස්ථාවර මතයක් නොවූ බවයි.

සෘජු තීරණ ගැනීම

රටේත්, ජනතාවගේත් අතිශය භාග්‍යයටයි මේ සමයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත් වූයේ. මේ චරිතයේ දැක්නට ලැබෙන සුවිශේෂිත ලක්ෂණය වන්නේ සෘජු තීරණ ගැනීමේ හැකියාවයි. අන්තර්ජාතික මතවාදවලට යටනොවී සෘජු තීරණ ගැනීම නිසයි වසර 30ක් පුරා රෝපණය වූ ත්‍රස්තවාදය වසරක් ඇතුළතදී මුළුමනින්ම දුරලීම සිදු වූයේ.

ප්‍රහර්ෂණීය, සුවිසාධනීය, ප්‍රශාර්ථ, සුසීනිත ලක්ෂණවලින් උපයුක්ත වූයෙන් රට නව නැම්මකට යොමු විය. ජනයා කෙරෙහි තිබුණු බිය මුළුමනින්ම දුරලීමට ප්‍රවේශයක් වූයේ ද ජනපති මහින්ද රාජපක්ෂයන් ය. දැන් අපට කිසිදු බියක් සැකක් නැතිව දරුවන් සමඟ පියාට මවට එකම රටේ ඕනෑම තැනකට යා හැකිය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නිදහසේ අපට ගමන් කරන්නට අවකාශ සලසා දුන්නේ මහින්ද රාජපක්ෂයන්ය.

2005 ජනාධිපති ධුරයට පත් වී පුරා වසර හතරක් රට පාලනය කොට යළිත් ජනාධිපතිවරණයකට අවතීර්ණ වීමට තරම් ශක්තියක් ඇති විය. වසර සයක් දක්වා යා යුතුව තිබිය දී වසර හතරකින් ජනාධිපතිවරණයක් පැවැත්වූයේ ජනතාව තමන් කෙරෙහි තබා තිබුණු විශ්වාසය හේතු කොට ගෙනය. ඒ විශ්වාසය ඒ ආකාරයෙන්ම තහවුරුවීමෙන් යළිත් 2009 ජනාධිපති ධුරයට පත්වූයේ ජනතාව සිතූ පැතූ සම්පත් සපුරාලීමටයි.

පැමිණි ගමන් මඟ

2009 සිට 2011 දක්වා වසර තුනක් පැමිණි මේ ගමන් මඟ දෙස අපි අවලෝකනය කරන්නෙමු. වසර හතරක කාලය ඇතුළත දී සිදු කළ සමාජ හා ආර්ථික මෙහෙවර අනුව ඉදිරිය සම්බන්ධයෙන් අපට ගැටලුවක්, ප්‍රශ්නයක්, අර්බුදයක් මතු නොවේ.

රටේ සාමය රජවී ඇති සමයක දැන් අවශ්‍ය වන්නේ ආර්ථික සංවර්ධනයයි. “පදවි ප්‍රාප්ති සංන්තුට්ඨීය” සමරන මෙවන් මොහොතක ජනතාව ජනාධිපතිවරයා කෙරෙහි විශාල බලාපොරොත්තු සමුදායක් තබාගෙන ඇත. ජනතාව සමඟ ජීවත් වූ ජන නායකයෙක් නිසා ජනතා ප්‍රශ්න දෙස ඉතා ඕනෑකමින් බලන බව පෙනේ. පුළුල් වූ දෘෂ්ටිකෝණයක පිහිටා රට ආශ්චර්යමත් දේශයක් බවට පරිවර්තනය කරන්නට දැන් සැලසුම් සකසා ඇත. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යමත් දේශය බවට පත් කිරීම ජනාධිපතිතුමාගේ මූලික අභිප්‍රායයි. අභිප්‍රේතාර්ථයයි.

මහින්ද චින්තන දැක්ම රටේ සෞභාග්‍යය උදාකරන්නට දරන ඵලයකි. රටේ විවිධ පැතිකඩාශ්‍රිතව නෙත් සිත් යොමු කොට ගම් මට්ටමේ සිට නගරයත්, මහ නගරයත් දක්වා සමගාමී ආර්ථික ප්‍රවර්ධනයක් ජනිත කරලීම පරමාර්ථයයි. “දිවි නැඟුම”, “මඟ නැඟුම”, “ගම නැඟුම” ආදී උදාරතර සංකල්ප මගින් ධ්වනිත කරන්නේ මහින්ද චින්තනයේ පවත්නා සුවිසාර්ථ ලක්ෂණයයි.

පීඩිත පන්තිය - මැද පන්තිය – ධනපති පන්තිය යන ත්‍රිතය කෙරෙහි මනා අත්දැකීම් සමුදායක් ඇති එකම ජන නායකයා වන්නේ මහින්ද රාජපක්ෂයන්ය.

වසර 40ක අත්දැකීම්

බොහෝ ජන නායකයන්ට ඇත්තේ මැද පන්තිය හා ධනපති පන්තිය අතර පවත්නා අත්දැකීම් ය. එහෙත් මහින්ද රාජපක්ෂයන්ට මේ පන්ති ත්‍රිතය කෙරෙහිම මනා පරිචයක් ඇත. ඒ හේතුව නිසයි දිනෙන් දිනම එතුමා වටා ජනතාව රොක්වන්නේ. රොද බැඳ ගන්නේ, ඒකරාශී වන්නේ.

මොහුගේ ගමනත් සුවිශේෂිතය. එනම් ගැමි ගෙදරින් රජ ගෙදරට ගිය ගමනක් වන බැවිනි. බොහෝ අය යන්නේ මහ ගෙදරින් රජ ගෙදරටය. ඒ අයට ඇත්තේ අත්දැකීම් අල්ප ක්ෂේත්‍රයකි. එහෙත් ජනපති මහින්ද රාජපක්ෂයන්ට පුළුල් වූ අත්දැකීම් ක්ෂේත්‍රයක් හිමි වී ඇත. මෙයයි වෙනස.

සදාචාරාත්මක සමාජයක් නිර්මාණය වීමට නම් යහපත් සිහිනයන් තැනිය යුතුය. නිදහසේ ලියන්නට හැකි ගත්කරු පරපුරක් බිහි විය යුතුය. ඇති වූ සමාජ පෙරලියේ මහිමය කියාපාන්නට චින්තනයකින් හෙබි උගත් පරපුරක් සකස් වෙමින් පවතී. මෙය ද සමාජ පුනරුදයකට තෝතැන්නකි.

රටේ ආර්ථික ව්‍යුහය ස්ථාවර තලයකට සේන්දුවන්නට නම් නිර්මාණශීලී කුසලතාවන්ගෙන් උපයුක්ත පිරිසක් බිහිවිය යුතුය. ඒ සඳහා සාධකය කරගෙන ඇත්තේ විද්‍යාස්ථානවලින් නිර්මාණශීලීත්වයෙන් හෙබි පිරිසක් බිහි කිරීමය. විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කොට විද්‍යාර්ථීන්ගේ ඥානය රටේ ආර්ථිකයට බද්ධ කරන්නට සැලසුම් සැකසෙන්නේත් “මහින්ද චින්තන” ආශ්‍රයෙනි.

කම්කරු ප්‍රඥප්තිය

ලෝක නායකයන් සමඟ සුහද වාතාවරණයක් මේ වන විට සැකසී තිබීමත් අපට ආනන්දයට, ආහ්ලාදයට හේතුභූත වන්නකි. පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ජනපති මහින්ද රාජපක්ෂයන් සහභාගී වී කාල අවදි අනුව, කාලෝචිතව පොදු මතයක් ගොඩ නඟා ගැනීමට එම චින්තනය අතිශයින්ම බලපෑවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩල මීළඟ සැසිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නායකයන්ට දැනුම් දීමත් සුබවාදී කර්තව්‍යයකි.

සැබෑ නායකයාට පැහැදිලි ජීවන දර්ශනයක් තිබිය යුතුය. යා යුත්තේ කොතැනටද, කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තිබිය යුතුය. මහින්ද රාජපක්ෂයන්ට ද පැහැදිලි දර්ශනයක් ඇත. ඒ දර්ශනය නිසයි සමාජ ප්‍රගමනයක් අද උදා වී ඇත්තේ.

ඔහු මානවවාදීත්වය අගයන එය අකුරටම ක්‍රියාත්මක කරන ජන නායකයෙකි. මෙවන් අය ඉතා විරලයි. තමා අවට සිටින අය ගැන දැඩි අවධානයෙන් සිටින ඔහු ඒ අය කරන්නේ කුමක්ද යන්න ගැනත් සොයා බලයි. වැරැදි මාර්ගයේ යන්නේ නම් ඒ අය තමන් සමීපයට කැඳවා උපදෙස් දී ගුරුහරුකම් ලබා දී නිවැරැදි දේ කරන්නට අවධාරණය කරයි. වැරැදි දේ කරන්නට ගියොත් ඒවායේ චෝදනා සෘජුවම එල්ලවන්නේ ජනපතිට නිසා ඒවායින්ද, බේරෙන්නට වග බලා ගනී.

සාධක භාවිතය

ම් ප්‍රථමයෙන් ඒ සඳහා වීදි බසින්නේ එතුමාය. අපට ඒ බව ඔහුගේ ජීවිත කතාවෙන් සනාථ වේ. මහ මඟ ජනතාව රොද බැඳගෙන අව්ව – වැස්ස නොතකා වේලාව – අවේලාව නොබලා , දිවා රෑ නොසිතා කටයුතු කොට ජයග්‍රහණය තෙක්ම සටන ගෙන ගිය බව රහසක් නොවේ. එම සටන් මාර්ග වල ප්‍රතිඵල අපි අද භුක්ති විඳීමු. දේශපාලනය සම්බන්ධයෙන් ද විවිධ අර්ථකතන දක්වනු ලැබේ. වරක් ‘ඇරිස්ටෝටල්’ පැවසුවේ ‘දේශපාලනය යනු කැත ක්‍රීඩාවක් බවයි.’(Political is a Dirty Game) මහින්ද රාජපක්ෂයන් මේ දේශපාලනය කැත ක්‍රීඩාවක් බවට පෙරළාගෙන නැත. එය යහපත් දිසාවට යොමු කරගෙන රටේ අභිවෘද්ධිය උදෙසා මෙහෙයවීම සුවිශේෂිත ලක්ෂණයකි. දේශපාලන ක්ෂේත්‍රයේ වසර 40ක් පුරා පැමිණි ගමන් මඟ නිසාම යහපත් පාලන රටාවක් බව පෙරළා ගෙන ඇත. වසර 40 ක් යනු විශ්වයේ පැවැත්මෙන් ඉතාම කෙටි කාල පරාසයක් වුවද මිනිස් දිවියක නම් ඉතාම දිගු කාලයකි. මේ දිගු කාලය ද ජනාධිපති පදවියට අතිශයින්ම බලපානු ලැබේ.

රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් කළ හැකි දේ තක්සේරු කරන්නේ ද යහපත් දේශපාලන පසුබිම මතය. මේ දේශපාලන පසුබිම වර්ගීකරණයක යෙදී සිය පරිපාලන හස්තය මෙහෙය වන්නේ සමාජ සුබසාධනය අරභයාය.

ඔහු විටෙක තද ගතියක් පාන්නේය. තවත් වරෙක උණුවන හදවතක් ඇත්තෙකි. ඒ තද ගතිය පාන්නේ හැඩිදැඩි ස්වරූපය මෙල් කරන්නටය. ඉන් අනතුරුව කරුණාව දක්වා සහනය සලසවන්නට ද ස්වකීය විඥානය මෙහෙයවයි.

ආර්ථික හා සමාජ රටාව

අයුක්තිය – අසාධාරණය කොතැනද ඔහු එතැනය. කම්කරු ඇමැතිවරයා වශයෙන් සිටිය දී ‘කම්කරු ප්‍රඥප්තියක්’ සකස් කෙළේ ඒ අයට සිදුවන අසාධාරණය, අයුක්තිය සම්බන්ධයෙනි. ශ්‍රමය සූරාකන හාම්පුතුන් මෙල්ල කරන්නට ඔහු නිතරම උත්සුක විය. කම්කරුවන්ගේ අයිතිය සුරකින්නට ඒ අය සමඟ එකට අත්වැල් බැඳගෙන කටයුතු කිරීම ප්‍රශස්තය.

හරසුන් ඒවා නොව අර්ථ පූර්ණ භාවිතයන් සොයා ගිය, අදත් ඒ ඔස්සේ විඥානය විහිදවන ශ්‍රමය හා ඥානය සමාජ සත්තා යථාර්ථය හෙළි කිරීමටය. ඇත්ත ඇති සැටියෙන් බැලීම මගින් ද රාජපක්ෂයන්ගේ පිළිවෙතයි. අසත්‍යයට අවකාශ සලසා නොදෙන ගති ලක්ෂණවලින් ද ඔහු සමන්විතය.

ධනවාදී සමාජ රාමුව සිඳ - බිඳ දමා, සමාජවාදී ආර්ථික ක්ෂේත්‍රය සලසාලන්නට ඔහු එදා සිට වෙහෙසුණේය. කාල් මාක්ස්ගේ දේශපාලන දර්ශනය, ප්‍රෙඩ්රික් එංගල්ස්ගේ ආකල්ප, ස්ටලින්වාදී අදහස් සමතුලිත කොට ගෙන ඒවා ද තමන්ගේ දේශපාලන චින්තනයට ඈඳා ගත්තේය. මේ සියල්ලම ලඝු කොට, පිඹු කොට, සංක්ෂිප්ත කොට අපේ සමාජ ව්‍යුහයට අනුගත දේශපාලන ව්‍යුහයක් කරපින්නා ගත්තේය.

දැඩි අන්තවාදී නොවූ දැඩි මතවාදීත් නොවූ සමතුලිත දේශපාලන න්‍යායන් හා සාධක භාවිතා කර ගත්තේය. දේශපාලන තල, නිකායන්ට ගැති නොවූ ඔහු ස්වමතය පොදු මතයක් බවට පත්කර ගත්තේය.

පොදු මතයට මූලිකත්වය දීමත් ඔහුගේ කාර්යයයි. බහුල වශයෙන් සවන්දීම සිදු කරන ජනපති ඒ සියල්ලන්ටම කන් යොමා සුදුසු, උචිත පරිදි ක්‍රියාත්මක කරයි.

ආර්ථික හා සමාජ රටාව නව නැමියාවකට යොමු කරන්නට නිතරම අර අඳින ජනපති ශ්‍රම සම්පත අගය කරයි. ශ්‍රමයෙන් උපරිම ඵල නෙළා ගන්නට උත්සාහයක යෙදෙයි.

දේශපාලන මෙහෙවර

රසකාමීත්වයෙන් ද සෞන්දර්යයෙන් ද අනූන ජනපති නිසල සඳ ඇති රැයක අරලිය ගහ මන්දිරයේ සක්මන් කරමින් කල්පනා කරන්නේ රට නංවන සැලසුම්ය.

වරෙක ගං තෙරට ගොස් නිසල නිම්නයේ තැනි තලාවකට බර වී කල්පනා කරන්නේත් රට ගැනත්, ජනතාව ගැනත්ය. රසාත්මක ගුණයෙන් පිරිපුන් ජනපතිවරයෙක් අපට ලබා දීමද අපේ වාසනාවකි.

කාලය විසින් නිර්මාණය කළ ජන නායකයෙක් ලෙසයි. ජනපති මහින්ද රාජපක්ෂයන් මා දකින්නේ ඔහුගේ සමාජ හා දේශපාලන මෙහෙවර තවත් කාලයක් අප රටේ රැඳී තිබිය යුතුය.

මේ දර්ශනය, චින්තනය ඛණ්ඩනය වුවහොත් රටේ ප්‍රගමනයට බාධා ඇති වේ. එපමණක් ද නොවේ. යළිත් කොටි රැළ හිස ඔසවන්නටද පුළුවන. මේ සියල්ල වළකාගනු වස් “පදවි ප්‍රාප්ති සන්තුට්ඨිය” සමරන මේ කදිම අනගි මොහොතේ සෑම දෙනාම එම චින්තනය තවදුරටත් රැකගන්නට ඉටා ගැනීම ප්‍රඥාගෝචර කාරියකි.