ඔබ වාසනාවන්

ඔබ වාසනාවන්

තිස් වසරක් පුරාවට පැවැති ත්‍රස්තවාදය රටපුරා ව්‍යාප්ත වෙමින් පැවැති අඳුරු යුගය නිමාකර ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීමට නායකයෙකු මෙරටට බිහිවීම අප ලද වාසනාවකි. ත්‍රස්තවාදීන් විසින් රටේ ආර්ථිකය ඉලක්ක කරගෙන එල්ල කරන ලද ප්‍රහාරයන් අනන්ත ය. ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන් ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රහාරයන් අපට අමතක නැත. ඒ සියලු දේ තුළින් රටේ ශක්තිමත් රාජ්‍ය නායකයා දුර්වල කොට ඊළම දිනා ගැනීම කොටින්ගේ අභිප්‍රාය විය.

ඒ දේ සිදුකරන්නට කොටින්ට ජාත්‍යන්තර වශයෙන් ලැබුණු සහාය විශාලය. අදත් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ ගණනාවක් දියත් කරමින් සිටියි. ඊට හේතු වී ඇත්තේ ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි අල්ලේ නැටවිය හැකි නායකත්වයක් අප රටට උරුම කර දී මෙරටද සූරාගෙන කෑමටය.

ඒ කිිසිදු බලවේගයකට යට නොවී මෙරට ජනතාවට ජාත්‍යන්තරය ඉදිරියේදීත් කොන්ද කෙළින් තබාගෙන ජීවත්විය හැකි ආත්ම අභිමානයක් ඇති කර දෙමින් රටේ සංවර්ධනයට මුල්තැන දෙමින් කටයුතු කරන නායකයෙක් අපට බිහි වී සිටියි.

ඉතිහාසයේ කවරදාවත් සිදු නොවුන මෙම සංවර්ධනයේ නියමුවා නමින් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂය. 1945 නොවැම්බර් මස 18 වන දින උපත ලැබූ ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හය වන ජනාධිපතිවරයා ය. නීතිඥයකු වූ හෙතෙම 1970 දී ලාබාලම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දේශපාලන කරලියට අවතීරණ විය. ජනතාවගේ හද ගැස්ම ඉතා පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවක් උපතින්ම ලද මේ අසහාය ජනනායකයා කිසිවිටකත් අන් අය පරයා ශීඝ්‍ර ගමනකට සූදානම් වූවෙක් නොවේ.

ඇතැම් අයගේ මතය වූයේ ඔහු පසුගාමී අයකු බවය. රුහුණු මාගම්පත්තුවේ ගැමි සුවඳ අමතක නොකරමින් දේශපාලනඥයකු ලෙස තම ගම්බිම්වල ජනතාවට හද පත්ලෙන්ම සේවය කළේ තම පියා ඇතුළු පවුලේ වැඩිහිටියන්ගේ දේශපාලන හැසිරීම් රටාව පිළිබඳ මනා අවබෝධයකින් යුතුව යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ලෙස වාමවාදී කඳවුර දිනෙන් දින ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජනපි‍්‍රයම නායකයා බවට පත්වීමට ඔහුට වැඩි කාලයක් ගත නොවීය.

1989 භීෂණ සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි හෙතෙම ‘’මවුවරුන්ගේ පෙරමුණ’’ සමඟ එක්ව භීෂණ සමයේ අතුරුදන් වූවන්ගේ ගැටලු පිළිබඳව සොයා බැලීය.

1994 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ කම්කරු ඇමැතිවරයා ලෙස පත් වී කම්කරුවන් වෙනුවෙන් හඬක් නගමින් කම්කරු ප්‍රඥප්තිය එළි දැක්වීය.

ඉන් අනතුරුව 1997 දී ධීවර හා ජල සම්පත් අමාත්‍යවරයා ලෙස පත් වී ධීවර ජනතාවට අමතක නොවන සේවා රැසක්ම ක්‍රියාත්මක කිරීම මගින් සියලු ශ්‍රී ලාංකිකයන් අතර ජනපි‍්‍රයතම නායකයා බවට පත්වූයේ ඉතාමත් කෙටි කලකිනි.

2002 වසරේදී විපක්ෂ නායකයා ලෙස පත්වුණු මහින්ද රාජපක්ෂ 2004 දී පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරග කර ශ්‍රී ලංකාවේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමත් සමඟ පක්ෂය තුළත් තම අනුගාමිකයන් තුළත් නව ජවයක් ඇති කරලීමට සමත් විය.

මේ වකවානුව වන විට එල්.ටී.ටී.ය රට තුළ දැඩි ලෙස ඉස ඔසවමින් තිබුණි. 2005 නොවැම්බර් 19 වන දින පවත්වන ලද ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය.

’’එක් රටක් එකම ජාතියක්’’ යන්න පෙරදැරි කොට අභීත ජනනායකයෙකු ලෙස සහ සේනාධිනායකයෙකු ලෙස ක්‍රියා කරමින් උතුරේ කුරිරු ත්‍රස්තවාදීන් මර්දනය කිරීම සඳහා මානුෂික මෙහෙයුම දියත්කර ඔවුන් පරාජය කිරීමට නායකත්වය ලබාදුන්නේ අවදානම් අවස්ථාවලදී පවා සටන් පෙරමුණ වෙත යමින්ය. එසේ සටන් පෙරමුණට ගිය එකම ශ්‍රී ලාංකික ජනාධිපතිවරයා සහ නායකයා වූයේ ද මෙතුමා ය. මේවන විට රට තුළත් විදේශ රටවලත් එල්.ටී.ටී.ඊ යට එරෙහි ක්‍රියාමාර්ග ගත් රජයක් ලෙසත්, සංවිධාන මට්ටමින් ක්‍රියාත්මක කර තිබුණි.

සටන් පෙරමුණට යමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මානසිකත්වය ඔසවා තැබීම තුළ දිනෙන් දින රජයේ හමුදාවන්ට ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි විය. අන් කවර කලෙකවත්, කවර රටකදීවත්, මෙවැනි සෘජු නායකත්වයක් ලබාදුන් රාජ්‍ය නායකයෙකු නොවන තරම්ය.

රට තුළ සියලු බලවේග ක්‍රියාත්මක කරමින් උතුරේ මානුෂීය මෙහෙයුම කරමින් ඉදිරියට යෑමේදී සන්ධිස්ථානය ලෙස මාවිල්ආරු සොරොව්ව විවෘත කිරීම විශේෂිතය. ඉන්පසු ත්‍රස්තවාදීන්ගේ බලයේ එන්නත හීන විය. දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ඉවසීමෙන් සටන සඳහා සේනාධිනායකයා ලෙස කටයුතු කරමින් රටට ආදරය කරන ජාතියක් බිහි කිරීමට ගත් උත්සාහය පෙරටම ගෙන ගියේ විදේශකයන්ගේ කුමන්ත්‍රණද පරාජයට පත් කරමින්ය.

කිසිවිටකත් තුන්වන පාර්ශවයකට මැදිහත්වීමට ඉඩ නොතබමින් මානුෂීය මෙහෙයුම දිරිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2009.06.18 වන දින හිරු උදාවත්ම ම්ලේච්ඡ හා කුරිරු ත්‍රස්තවාදී නායකයා අවසන් ගමන් යැවීමට අපගේ හමුදාවන් සමත්වීම අදහාගත නොහැකිය.

වසර 40 කට ආසන්න කාලයක් පැවති මෙම කුරිරු ත්‍රස්තවාදය අවසන් කළද එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු කඩිනමින් කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා සම්පූර්ණ කාලයම වැය කරමින් ‘’ උතුªරු වසන්තය’’ ‘’නැගෙනහිර උදානය’’ ‘’උතුරු මිතුරු’’ යන වැඩසටහන් ක්‍රි‍්‍රයාත්මක කරමින් උතුරු නැගෙනහිර ජනතාවගේ යටිතල පහසුකම් සපුරාලීම ආරම්භ කළේ මේ මගේ රට යන ආකල්පයත් අලුත් ශ්‍රී ලංකාවක් යන්නත් පෙරමුණු කොට ගෙනය.

2010 ජනවාරි 27 දා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ආචාර්ය උපාධියකින්ද රුසියානු ජාති මිත්‍රත්ව සරසවියෙන් 2010 පෙබරවාරි 06 වන දින ලෝක සාමය උදාකර වීමට දැක් වූ සහය වෙනුවෙන් ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබුවේය.

අසිරිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු සහ අනෙකුත් සමාජීය සහ ආගමික කටයුතු ක්‍රමානුකූල සැලසුම මගින් ඉදිරියට ගෙන ඒම සඳහා ක්‍රියාකරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආසියානු කලාපයටම ශ්‍රේෂ්ඨ නායකයා සහ ජනතාවගේ විශ්වාසය දිනාගත් එකම නායකයාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් කොන්කරවීමට නොයෙකුත් කුමන්ත්‍රණ දියත් කළද ඒ සියල්ලට සාර්ථක ලෙස මුහුණදෙමින් රට ඉදිරියට ගෙනයෑමට හෙතෙම සමත් විය.

මාර්ග, විදුලි බලාගාර, අධිවේගි මාර්ග, කර්මාන්ත ඇතුළු සියලු අංශයන් එක්වර සංවර්ධනය කරමින් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දා පටන් පැවැති තරුණ අසහනය දුරුකරමින් තරුණ පරපුර සමාජයේ ඉදිරියට ගෙන යෑමට සැලසුම් සහගත සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කළ එකම රාජ්‍ය නායකයා යන නාමය අද හිමිව ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ටය.

උපාධිධාරීන් සඳහා ගෞරවාන්විත රැකියා අවස්ථා උදාකරදීමට මූලික වශයෙන් පියවර ගත් ජනාධිපතිවරයා සිය පාලනය තුළදී උසස් පෙළ සමත්, සාමාන්‍ය පෙළ සමත් හා සාමාන්‍ය පෙළ අසමත් තරුණ තරුණියන් සඳහා රැකියා බිහි කිරීමේ නව වැඩපිළිවෙළක් දියත් කළේය.

උසස් අධ්‍යාපනයක් සඳහා වරම් නොලැබූ තරුණ පරපුරට වෘත්තීය පුහුණු රාශියක් සලසා දෙමින් එම තරුණ පරපුරත්, තිස් වසරක් තිස්සේ ආණ්ඩුවට එරෙහිව තුවක්කු එල්ල කරමින් මිනී මැරීම ලොවේ උතුම්ව රැිකියාව යැයි සිතා සිටි කොටි සාමාජිකයිනුත් පුනරුත්ථාපනය කර අද ඔවුන්ද රටේ සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කරවීමටද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රියා කළේය.

විනාශ වූ රටක් ගොඩනගන්නට අපේ මතු පරපුරට රටක් ඉතිරි කර දෙන්නටම බිහි වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට චිරාත් කාලයක් මේ රට මෙලෙසින් පාලනය කරන්නට හේතු වාසනා වේවායි පතමු.