මව්බිම ලෝකයට ගෙනගිය මහින්ද චින්තන වැඩපිළිවෙළ

මව්බිම ලෝකයට ගෙනගිය මහින්ද චින්තන වැඩපිළිවෙළ

ශ්‍රීලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා වසර 63ක් ගෙවීගොස් ඇත. එම කාලපරිච්ඡේදයෙන් හරි අඩකටත් වැඩි කාලයක් කුරිරු ත්‍රස්තවාදී යුද්ධයකට අප රට ගොදුරු වී තිබුණි. ඒ වාතාවරණය හමුවේ අපේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ බව අකමැත්තෙන් වුවද අපට පිළිගැනීමට සිදුවේ.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගත් කාලය වන විට අප රටේ ආර්ථික සංවර්ධනය ආසියාවේ වෙනත් රටවල් හා සසඳා බලන කල වඩා ඉදිරියෙන් තිබූ බව අප සැම දන්නා කරුණකි. සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයෙක් වූ ලී ක්වාන් යූ මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ සිංගප්පූරුව, ශ්‍රී ලංකාවක් බවට පත් කරලීමේ අරමුණ ඇතිවය. ඉන් ආරම්භ කළ ගමන තුළින් ඔවුන් අද වන විට වේගවත් ආර්ථික සංවර්ධනයක් ලඟා කරගෙන තිබේ. ඒ හා සමානව මලයාසියාව, තායිවානය, ඉන්දියාව, දකුණු කොරියාව, චීනය වැනි රටවල් වේගයෙන් සංවර්ධිත රටවල් බවට පත් වෙද්දී අප අවාසනාවන්ත ලෙස ත්‍රස්තවාදී අරගලයකට මුහුණ දෙමින් සිටියෙමු. කාලය මෙසේ ගෙවී යද්දී රටේ සහ ජනතාවගේ වාසනාවකට මෙන් තුන්කල් දකින නායකයෙකු රටේ නායකත්වයට පත්වේ. එතුමන්ගේ අභීත නායකත්වය හා නිවැරැදි හා උපායශීලී ක්‍රියාමාර්ග තුළින් යුදමය වශයෙන් ත්‍රස්තවාදය පරාජය කර මෙරටින් එය මුලිනුපුටා දමා සැබෑ සාමයක් රටට උරුම කර දී ඇත. යුදමය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන රජයේ ඊළඟ ඉලක්කය ආර්ථික සංවර්ධනය වේගවත් කරමින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කරලීමයි. එනම් මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ශ්‍රී ලංකාව නාවුක, ගුවන්, වාණිජ්‍ය, බලශක්ති හා දැනුම යන පංචබල ක්ෂේත්‍රයන් සංවර්ධනය තුළින් ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කරලීමයි. ඒ සඳහා වූ සංවර්ධන ඉලක්ක ජය ගැනීමට නම් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම අත්‍යවශ්‍ය වන්නේ එහි කේන්ද්‍රීය භූමිකාවක් බවට විද්‍යා හා තාක්ෂණය සංවර්ධනය කිරීම පත්ව ඇති හෙයිනි.

පූර්වාදර්ශ ලබමින්

ඒ සඳහා වූ අභියෝගය මා යටතේ ඇති තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය භාර ගෙන තිබේ. ලෝකයේ සංවර්ධිත රටවල් ඒ තත්ත්වයට ළඟා වී ඇත්තේ ඉහළ තාක්ෂණය මත පදනම් වූ කාර්මිකකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනි. ඒ මගින් පූර්වාදර්ශ ලබමින් අප රට තුළද ඉහළ තාක්ෂණය යොදා ගැනීමේ ප්‍රවණතාව වැඩිකරමින්, මහා පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමටත් ඒහා සමගාමීව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමටත් ඉලක්කගත වැඩපිළිවෙළක් අප අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙමින් තිබේ.

එවන් ඉලක්කයක් කරා යන ගමනේ දී රාජ්‍ය නායකත්වය තුළින් ලැබෙන්නා වූ මඟපෙන්වීම සහ සහයෝගය ඉතා වැදගත්ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගෙන් ඒ මඟපෙන්වීම සහ සහයෝගය නිරතුරුවම ලැබෙන බව සතුටින් යුතුව ප්‍රකාශ කළ යුතුමය.

ලිඛිත සාක්ෂි අනුව අවුරුදු 2500ක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති අප මව්බිමේ පැරැන්නන් තුළ තිබූ විද්‍යා හා තාක්ෂණ ඥානය ලෝකයේ කිසිදු රටකට සමකල නොහැකි එකකි. එදා තිබූ වාරි තාක්ෂණය අදටද බටහිර රටවල් මවිතයට පත් කරයි. එමෙන්ම අතීතයේදී අහස උසට නැගුණ ගොඩනැඟිලි දාගැබ් ශක්තිමත්ව පැවතීම අප පැරැන්නන් තුළ ඉංජිනේරු තාක්ෂණ ඥානයේ ප්‍රබල බවට සාක්‍ෂි ගෙනහැර දක්වයි.

ඒ පරපුරේ වර්තමානය නියෝජනය කරන උගතුන් බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් තම දැනුම විදේශ රටවල සංවර්ධනය සඳහා ලබාදෙමින් සිටිනුයේ පසුගිය කාලය තුළ මෙරට වෙලාගත් අවාසනාවන්ත යුදමය වාතාවරණය හමුවේ බුද්ධිගලනය වැඩි වීම හේතුවෙනි. නමුත් අඳුරු යුදබිය දුරු කොට ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරමින් ලෝකයේ අභිමානවත් ජාතියක් ලෙස නැගී සිටින්නට අවස්ථාව උදා වී ඇති මේ මොහොතේ ඉහත කී ශ්‍රී ලාංකික උගතුන් හා බුද්ධිමතුන් ගේ සේවය යළි මවුබිමට ලබා ගැනීමට රජය මේ වනවිට කටයුතු කරමින් සිටී. බුද්ධිගලනය අවම කරමින් ඒ දැනුම රටේ ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගැනීම රජයේ අරමුණ වී තිබේ.

තාක්ෂණ හා පර්යේෂණ

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ සුවිශේෂ පර්යේෂණ ආයතන රාශියක් පවතින අතර ඒවා මෙරට ආර්ථික සංවර්ධනය සඳහා සෘජුව බලපෑම් කළ හැකි ආයතන වේ. ඉතිහාසයේ තිබූ ශ්‍රී විභූතිය යළි උදාකරමින් ශ්‍රී ලංකාව ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය කරලීමේ අභියෝගය ජයගත හැකි වන්නේ ඉහළ තාක්ෂණය මත පදනම් ව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙන් බව පැහැදිලිය. ඒ සඳහා එම ක්ෂේත්‍රයේ පර්යේෂණ ආයතන දිරි ගැන්වීම තුළින් අදාළ ඉලක්ක සඳහා සාර්ථකව ළඟා වීමට හැකියාව තිබේ. ජනාධිපතිතුමන්ගේ සහයෝගයෙන් යුක්තව ඒ සඳහා නායකත්වය දීමට අප අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

ඉතිහාසයේ පටන් අප රට තුළ සිදු වූයේ රට පුරා විහිදී විසිරී පවතින වටිනා ස්වාභාවික සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් අපනයනය සඳහා යොමු වී සිටීමයි. එසේ නොකර එම අමුද්‍රව්‍ය සඳහා ඉහළ තාක්ෂණය මුසුකරමින් නිෂ්පාදන බිහි කර, එම නිෂ්පාදන අපනයනයට යොමු වන්නේ නම් ආර්ථික වශයෙන් වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමේ හැකියාව තිබේ.

වර්තමානයේ ලෝකය තුළ ඉතා ශීඝ්‍ර ලෙස ඉදිරියට පැමිණ ඇති නවීන තාක්ෂණය වන නැනෝ තාක්ෂණය ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා උපයෝගී කරගැනීමට රජය කටයුතු කර තිබේ. ඒ සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව “නැන්කෝ” ආයතනය බියගම අපනයන සංවර්ධන කලාපයේ ස්ථාපිත කොට ඇත. එහි ඇති පර්යේෂණාගාර තුළ සිදුකරනු ලබන පර්යේෂණ හරහා අමුද්‍රව්‍ය අපනයනය වෙනුවට නැනෝ තාක්ෂණය පදනම් කරගනිමින් නිෂ්පාදන බිහි කිරීමට හැකියාව ලැබී ඇත්තේ අනාගත ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය පිළිබඳ සුබ පෙරමිනිති පහළ කරමිනි. නැන්කෝ ආයතනයේ සිදුකර ඇති පර්යේෂණ හරහා රටට විශාල ආදායමක් ලබා ගත හැකි නිෂ්පාදන අංශ 05ක පර්යේෂණ කටයුතුවල අවසානය දක්වා සාර්ථකව ළඟා වී තිබීම සතුටට කරුණකි. ඒවා නම්,

* පුල්මුඩේ ඛනිජ වැලි නිධිය භාවිතා කර නැනෝ ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය.

* ලංකාවේ මන්නාරම් ප්‍රදේශයේ පවතින අති විශාල මැටි නිධි සඳහා නැනෝ තාක්ෂණය භාවිතා කර එය පිඟන් භාණ්ඩ කර්මාන්තයට සාර්ථකව යොදා ගැනීම.

* රටපුරා විහිදී ඇති තිරුවානා ගල් නිධි භාවිතා කර නැනෝ සිලිකා නිෂ්පාදනය.

* මාතලේ සහ බුත්තල ප්‍රදේශවල ඇති ඛනිජ නිධි භාවිතා කර නැනෝ මැග්නටයිට් නිෂ්පාදනය.

* බෝගල සහ කහටගහ ඇතුළුව ලංකාවේ ඇති මිනිරන් සම්පත උපයෝගී කර ගනිමින් නැනෝ ග්‍රැෆයිට් නිෂ්පාදනය යන අංශයි.

මේ ආකාරයට අපේ ස්වාභාවික සම්පත් සඳහා අතිරේක වටිනාකමක් එක් කරමින් තීන්ත කර්මාන්තය, පිඟන් භාණ්ඩ කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්ත, වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ නිෂ්පාදන හා බලශක්ති ක්ෂේත්‍රය ඉලක්ක කරගත් නිෂ්පාදන බිහි කිරීමට හැකියාව ලැබී තිබේ. මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තය ඉහළ යෑම තුළින් අපනයන ආදායම ඉතා විශාල ලෙස ඉහළ යනු ඇත.

යන්ත්‍රාගාරය

එමෙන්ම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බහුකාර්යය ගැමා පෘථුක්කාරක යන්ත්‍රාගාරය බියගම ප්‍රදේශයේ ඉදිවෙමින් පවතී. ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය නිෂ්පාදන ජීවානුහරණයට හා ආහාර ද්‍රව්‍ය කල්තබා ගැනීම සඳහා බහුකාර්යය ගැමා ප්‍රවිකිරණ පහසුකම් ප්‍රයෝජනයට ගනී. රබර් අත්වැසුම්, සිරින්ජර්, තුවාල ආවරණ වැනි වෛද්‍ය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා වඩා හොඳ අවස්ථාවක් මෙම යන්ත්‍රාගාරය පිහිටුවීමෙන් අපට අත්වනු ඇත. මෙවැනි පහසුකම් ලංකාවේ ස්ථාපිත කිරීම තුළින් මෙරට නිෂ්පාදන සඳහා හොඳ නිෂ්පාදන අපනයන වෙළෙඳ පොළක් ලබාගැනීමේ අවස්ථාව සහ තම නිෂ්පාදන සඳහා මෙම පහසුකම් විදේශයන් වෙතින් අපේක්ෂා කරන දේශීය නිෂ්පාදකයන් සඳහා පහසු සහ ලාභදායී සේවයක් සලසා දීමේ අවස්ථාවද මෙමගින් උදාවේ.

අපනයනය සඳහා රබර් ආශි‍්‍රත නිෂ්පාදන එක් කිරීම තුළින් වැඩි ආදායමක් ලබා ගැනීම, ගුණාත්මක බව වර්ධනය කිරීම තුළින් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වඩා යහපත් වෙළෙඳපොළක් ලබා ගැනීම, දේශීයව පරිභෝජනය කෙරෙන කෘෂි නිෂ්පාදනයන්හි ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගැනීම සඳහා, ගැමා ප්‍රවිකිරණ පහසුකම භාවිතය මගින් සෞඛ්‍ය, කෘෂිකාර්මික හා ඇසුරුම් යන අංශයන්හි නවෝත්පාදන වැඩි දියුණු කිරීම යන ප්‍රතිලාභ ලබා ගැනීමටද බහුකාර්යය ගැමා යන්ත්‍රාගාරය ඉදිකිරීමෙන් අපේක්ෂා කෙරේ.

භූ තාපය

අප අමාත්‍යාංශය යටතේ ඇති මූලික අධ්‍යයන ආයතනයේ මූලිකත්වයෙන් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහයෝගය ඇතිව සිදුකළ පර්යේෂණ හරහා ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට දක්වා රට අභ්‍යන්තරයෙන් දිවෙන බිම් තීරුවේ පවතින අධික උෂ්ණත්වය උපයෝගී කරගනිමින් භූ තාපය නිපදවීමට ඇති හැකියාව විද්‍යාත්මකව අනාවරණ කරගෙන ඇති අතර ඉදිරියේ දී එය බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස යොදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ජාත්‍යන්තර වෙළෙඳ පොළ

ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ් ආයතනය) අමාත්‍යාංශයේ මෙහෙය වීම යටතේ නිරතුරුව ඉංජිනේරු ක්ෂේත්‍රයේ පර්යේෂණ සිදු කරමින් සිටී. එම පර්යේෂණ පිළිබඳ දැනුම සමාජයට ලබා දෙමින් රටේ තිරසාර සංවර්ධනයට එම ආයතනය සම්බන්ධ වේ.

එහි කැපී පෙනෙන තාක්ෂණයන් ලෙස, රටේ කෘෂි බෝග තුළින් දේශීය නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් හඳුන්වා දීම සහ අප රට මුහුණ දී ඇති වැලි ක්ෂය වීමේ අර්බුදයට එක් පසකින් පිළියම් යොදමින් නර්ඩ් අඩු වියදම් ගොඩනැගිලි තාක්ෂණය හඳුන්වා දීම පෙන්වා දිය හැකිය. එම තාක්ෂණය පිළිබඳ කර්මාන්තකරුවන් පුහුණු කරමින් රට පුරා එය ප්‍රචලිත කිරීමටත් තාක්ෂණික පැවරුම් ලබා දීමටත් කටයුතු කරනු ලබන අතර යුද්ධයෙන් විනාශයට පත් වූ උතුරු, නැඟෙනහිර ප්‍රදේශ යළි සංවර්ධනය කිරීමේ කටයුතුවලදී මෙම අඩු වියදම් නිවාස තාක්ෂණය එම ප්‍රදේශවල ප්‍රචලිත කිරීමට අමාත්‍යාංශය කටයුතු කරගෙන යනු ලබයි.

මේ ආකාරයට ඉහළ තාක්ෂණයන් මත පදනම් වී අප රටේ කර්මාන්තකරණයක් ඇති කිරීම හරහා තරගකාරී ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ආර්ථික ප්‍රබලයෙකු ලෙස නැගී සිටීමට කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකිවෙනු ඇත. එය රජයේ සහ ජනාධිපතිතුමාගේ මෙන්ම ජනතාවගේද බලාපොරොත්තුවයි.

ඉහළ තාක්ෂණය භාවිතා කර මහා පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමට සමගාමීව, සරුසාර මහ පොළොවේ සම්පත් රටේ තිරසාර සංවර්ධනයට යොදා ගැනීමේ අරමුණ ඇතිව කෘෂිකාර්මික ජීවනෝපාය ක්‍රමයට ඉතිහාසයේ පටන්ම හිමිකම කියූ අප රටේ ග්‍රාමීය මට්ටමින් සිදු කෙරෙන දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීම කෙරෙහි ද අමාත්‍යාංශයේ අවධානය යොමුකර ඇත. එය සිදුකරනු ලබන්නේ ග්‍රාමීය ව්‍යවසායකයා නගාසිටුවීමෙන් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමත්, ඔවුන් ජාතික සංවර්ධනයට දායක කර ගනිමින් රටේ ආර්ථිකය නගා සිටුවීම රජයේ එක් ආර්ථික ප්‍රතිපත්තියක් වන බැවිනි.

සංවර්ධිත රටක්

ආර්ථික අතින් සංවර්ධිත රටක් බවට පත්වීමට යන ගමන තුළදී තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ඇති, කාර්මික තාක්ෂණ ආයතනය, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, නර්ඩ් ආයතනය වැනි පර්යේෂණ ආයතන තුළ සිදු කෙරෙන නවීන පර්යේෂණ මගින් සොයා ගනු ලබන තාක්‍ෂණ ක්‍රම, ග්‍රාමීය ජනතාව වෙත සක්‍රීයව ගෙනයාමේ කටයුත්ත සඳහා අප අමාත්‍යාංශය ගමට තාක්‍ෂණය ගෙන යන “විදාතා” වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ යටතේ උතුරු, නැඟෙනහිර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක්ම අනාවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 260කට අධික සංඛ්‍යාවක විදාතා සම්පත් මධ්‍යස්ථාන මේ වන විට පිහිටුවා තිබේ.

අප මව්බිම කෘෂිකාර්මාන්තය අතින් සශ්‍රීක රටකි. ඒ ඔස්සේ ලැබෙන අතිරික්ත කෘෂි භෝග විශාල වශයෙන් පරිභෝජනයට නොගෙන අපතේ දැමීම ඉතිහාසයේ පටන් අප රටේ සිදුවේ. එම සම්පත් අපතේ යවා ඒ වෙනුවට කෘත්‍රිම ආහාර නිෂ්පාදනවලට අප පෙළඹී තිබේ. රටක ආර්ථිකය නංවාලීමට නිෂ්පාදන ආර්ථිකය ඉහළ දැමීම අත්‍යවශ්‍ය වේ. එබැවින් අපේ සම්පත්වලට වැඩි වටිනාකමක් ලබා දී නිෂ්පාදන බිහිකිරීමට අවශ්‍ය දැනුම පර්යේෂණ ආයතන හරහා ග්‍රාමීය ජනතාව වෙත සම්පේ‍්‍රෂණය කිරීම විදාතා වැඩපිළිවෙළ තුළින් සිදුකෙරෙයි. එමගින් නව ව්‍යවසායකයන් බිහිකිරීමත්, දැනට සුළු ව්‍යාපාර කරන ව්‍යවසායකයන්ට තම නිෂ්පාදනවල ගුණාත්මක වටිනාකම වැඩි කරගනිමින් තම ව්‍යාපාර පුළුල් කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමත් මූලික වශයෙන් මෙමගින් සිදුකරයි.

එහිදී කෘෂිකාර්මික නිෂ්පාදනවලට පමණක් සීමා නොවී කාර්මික සහ ඉලෙක්ට්‍රෝනික ක්ෂේත්‍රයේ නියෙලෙන සහ ඒ සඳහා උනන්දුවක් දක්වන තරුණ ව්‍යවසායකයන්ට අවශ්‍ය දැනුම හා පුහුණුවද ලබා දේ. අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හරහා ඉහත කී ව්‍යවසායකයන්ට ඔවුන්ගේ නිෂ්පාදනවල ප්‍රමිතිය පවත්වා ගනිමින් ගුණාත්මක නිෂ්පාදන බිහිකර දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ ජයගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම නිරතුරුව ලබාදෙනු ලබන අතර ඒ තුළින් රටේ පවතින විරැකියාව සඳහා පිළියම් යෙදීමට බලාපොරොත්තු වේ. අවශ්‍ය පරිදි එම ව්‍යවසායකයන්ට ප්‍රාග්ධනය අපහසුතා මඟහරවා ගැනීමට මූල්‍ය ආයතනවල සහයෝගය ලබාදීමට ද අමාත්‍යාංශය මැදිහත් වේ.

ඒ හරහා මේ වන විටත් දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ සඳහා තම නිෂ්පාදන අලෙවිකරන ව්‍යවසායකයන් රැසක් බිහි වී තිබේ. ඉදිරියේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන දිවි නැඟුම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට අප අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ආර්ථික සංවර්ධනය අපේක්‍ෂා කරන රටක් වශයෙන් තොරතුරු තාක්ෂණය සඳහා වැඩි නැඹුරුවක් දැක්වීමට අවශ්‍ය වන බැවින් දිවයින පුරා විහිදී පවතින විදාතා මධ්‍යස්ථාන තුළින් ග්‍රාමීය තරුණ තරුණියන් සඳහා පරිගණක සහ තොරතුරු තාක්‍ෂණ දැනුම නොමිලේ ලබා දී ඔවුන් එම දැනුමෙන් සන්නද්ධ කිරීම ද සිදුකෙරේ.

නැණ ගුණ සම්පන්න ළමා පරපුරක් ජාතියට දායාද කිරීම ජනාධිපතිතුමන්ගේ බලාපොරොත්තුවකි. ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් වීමේදී එහි හිමිකරුවන් වන්නේ ළමා පරපුරයි.

එබැවින් ජනපතිතුමන් නිරතුරුව ඒ පිළිබඳ අවධානය යොමු කරමින් රටේ ඉදිරි පරම්පරාව නවීන විද්‍යා සහ තාක්‍ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාදී තිබේ.

විද්‍යා හා තාක්ෂණ

එම ඉලක්කය ජය ගැනීමට පාසල් අධ්‍යාපන ක්‍රමය තුළින් විද්‍යා හා තාක්‍ෂණ සංවර්ධනය පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කරමින් පාසල් විෂය මාලාවේ කොටසක් ලෙසට නව පර්යේෂණ සහ නව නිපැයුම් සිදු කිරීම සඳහා අවශ්‍ය පෙලඹවීම ලබාදීම වැදගත් වේ. ජාතික විද්‍යා පදනම තුළින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් සිසුන් තුළ විද්‍යාව ප්‍රචලිත කිරීමේ ජාතික කමිටුව සහ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් එකී කාර්යභාරය මනා ලෙස ඉටුකිරීමේ කර්තව්‍යය බාර ගෙන තිබේ.

අමාත්‍යාංශය යටතේ ඇති ජාතික විද්‍යා පදනම සහ ජාතික විද්‍යා හා තාක්‍ෂණ කොමිසම මගින් විද්‍යා හා තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් ආදිය සකස් කරනු ලබන අතර අනෙකුත් පර්යේෂණ ආයතන නව පර්යේෂණ තුළින් ලබා ගන්නා දැනුම නිෂ්පාදන, භාණ්ඩ හා සේවා සඳහා යොදමින් ශ්‍රී ලංකාව පංචබල ආර්ථික කේන්ද්‍රයක් බවට පත්කිරීමට යන ගමනට සිය දායකත්වය ලබා දෙයි.

මේ සෑම පර්යේෂණ ආයතනයක්ම තම ආයතනයෙහි කාර්යභාරයේ අවසාන ප්‍රතිඵලය විය යුත්තේ අපේ මව්බිමේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම බව වටහාගෙන කටයුතු කරනු ලබයි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛ රජය විද්‍යා හා තාක්‍ෂණ ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ඇති වැදගත්කම හොඳින්ම වටහා ගෙන තිබීම නිසා එම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අයවැය මගින් වාර්ෂිකව වෙන් කරන මුදල පියවරෙන් පියවර වැඩිකරමින් පවතියි.

එබැවින් මෙම ආර්ථික සංවර්ධන ඉලක්ක ජයගනිමින් අප මව්බිම ලෝකයේ ඉහළ ස්ථානයකට ඔසවා තැබීමටත් ලෝකයේ අභිමානවත් ජාතියක් වශයෙන් නැගී සිටීමටත් හැකියාව නුදුරු අනාගතයේදීම අපට උදාවනු ඇත.