දළදා සමිඳු සරණ ඔබට නිරතුරුවම ලැබේ

දළදා සමිඳු සරණ ඔබට නිරතුරුවම ලැබේ

ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජනාධිපතිධූර පදවි ප්‍රාප්තියේ සප්ත වර්ෂ පූර්ණය සමරණ අද දවසේ ඒ නිමිත්තෙන් ශුභාශිංසන පණිවිඩයක් ලබාදීමට හැකිවීම ගැන අතිශයින්ම සතුටු වන්නෙමි.

එදා 1951 දී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ආණ්ඩු පක්ෂයේ සිට විරුද්ධ පක්ෂයට පැමිණ අසුන් ගැනීමේ ඓතිහාසික මොහොත ලංකා දේශපාලනයේ සලකුණක් බවට පත්වීමට වැඩි කාලයක් ගියේ නැත. 1956 දී සිදුවූ දේශපාලන පෙරළිය මුළු රටේම යුග පෙරළියක් විය. බණ්ඩාරනායක ශ්‍රීමතාණනෝ අග්‍රාමාත්‍ය තනතුරට පත්වූහ. 1951 සිදුවූ තවත් සුවිශේෂ සිද්ධියක් විය. ගිරුවාපත්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය තවත් මන්ත්‍රීවරයෙක් බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සමඟම විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීමයි. ඒ අන් කවරෙකුවත් නොවේ, රුහුණේ සිංහයා නමින් විරුදාවලියකින් පුද ලද ඩී. එම්. රාජපක්‍ෂ මන්ත්‍රීතුමාගේ සොහොයුරා වන බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමාණන් ය. තවත් අයුරකින් කියතොත් වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පියාණන්ය.

බණ්ඩාරනායක ශ්‍රීමතාණන් යුගයක් නිර්මාණය කළාසේම රාජපක්‍ෂ පරම්පරාවෙන්ද යුගයක් නිර්මාණය විය. ඉතිහාසය විසින්ම මේ වගකීම රාජපක්‍ෂ පරම්පරාවට පවරා ඇති බවක් අපට පෙනී යයි. ඩී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන් එදා පාර්ලිමේන්තුව තුළ විරුද්ධ පක්ෂයට පියනැඟීම ඔහුගේ ම පුත්‍ර රත්නය ජනාධිපති තනතුර දක්වාම පියනැගීමෙන් ඉතිහාසය නව මගකට යොමුකිරීම 56 විප්ලවයටම නොදෙවෙනි යුග පෙරළියක් ලෙස මම දකිමි.

වීරකැටිය මැදමූලනේදී 1945 නොවැම්බර් 18 දින ජන්මලාභය ලද මෙතුමා ගාල්ල රිච්මන්, කොළඹ නාලන්දා හා තර්ස්ටන් යන විද්‍යාල වලින් අධ්‍යාපනය ලබා 1974 කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරීමෙන් අනතුරුව දක්ෂ නීතීඥයෙකු ලෙස කටයුතු කර ඇත. 1970 දී මුල්වතාවට බෙලිඅත්ත ආසනයෙන් පාර්ලිමේන්තුවට යන විට මෙතුමාගේ වයස අවුරුදු24 කි.

එවක පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා ද ඔහුම විය. 1947 සිට 1965 දක්වාම මේ අසුන නියෝජනය කළේ මෙතුමාගේ පියාවන ඩී. ඒ රාජපක්‍ෂ මැතිතුමන් ය. ප්‍රතිපත්ති ගරුකත්වය සහ තමා නියෝජනය කරන පක්ෂය කෙරෙහි දක්වන පක්ෂපාතිත්වයත් එඩිතරබවත් මෙතුමාගේ දේශපාලන ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. එතුමා කිසිවිටෙක පක්ෂය හැරගොස් නැත. සිය පියාණන්ගෙන් උරුමකරගත් දේශපාලන දායාදයක් ලෙස විචාරකයෝ එය ඛ්ඳුන්වති.

වසර 25 කට ආසන්න කාලයක් පලස්තීන මිත්‍රත්ව සාමුහිකත්ව කමිටුවේ සභාපති වශයෙන් එරට කෙරෙහි මිත්‍රශීලි ප්‍රතිපත්තියක් ගොඩනැඟීමට එතුමා සමත්වී ඇත.

ජාතියේ මුඳුන් මල්කඩ....

මානව අයිතිවාසිකම් වෙනුවෙන් අභිත හඬක් නැගූ එතුමාට ඉන්දියාවේ “විශ්ව භාරතී” සරසවිය මඟින් ගෞරව සම්මාන උපාධියක් ද පිරිනමා ඇත. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යධුරයක් හෙබවූ එතුමා ඒ තුළින් ධීවර ජනතාව පෝෂණය කිරීමට අමිල සේවයක් කර සාගර විශ්ව විද්‍යාලයක් ද අරඹා සමස්ත කම්කරු ජනතාවගේ සුබසාධනය සඳහා කම්කරු ප්‍රඥපතියක්ද සකස් කළේය. වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී හම්බන්තොටට වරායක් ලබාදීමේ සංකල්පය එතුමා ඉදිරිපත් කළ අතර, එය අද මල්ඵල ගැන්වී ඇත.

1994 මහා මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ් ජයග්‍රහණය සමඟම මෙතුමා කම්කරු අමාත්‍ය ධූරයට තෝරා පත්කරගත් අතර, කම්කරු ප්‍රඥප්තියක් ඉදිරිපත් කරමින් කම්කරු අයිතිවාසිකම් සුරැකීමට ක්‍රියා කළ ද රජය විසින් එහි ක්‍රියාකාරිත්වය අත්හිටවනු ලැබීය. 1997 දී ධීවර ඇමැතිවරයා වශයෙන් “දියවර ගම්මානය” නම් වූ සංකල්පයක් ක්‍රියාත්මක කරවමින් ධීවර ජනතාවගේ සුබසිද්ධිය පිණිස විශාල කාර්ය භාරයක් ඉටුකරන ලදී.

2002 මාර්තුවේදී මෙතුමා විපක්ෂ නායක වශයෙන් තේරීපත්වූ අතර, 2004 දී ශ්‍රී ලංකාවේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙසද තේරීපත්වෙයි. අග්‍රමාත්‍ය තනතුරට අමතරව මහාමාර්ග අමාත්‍යාංශයද එතුමා යටතේ විය. මහාමාර්ග ඇමැති වශයෙන් ඉදිරිපත් කළ “මඟ නැඟුම” සංකල්පය තුළින් මේ වන විට සමස්ත මාර්ග පද්ධතියම නවීකරණය වී හමාරය.

2005 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ බිහිවූ අභීතම දේශපාලඥයෙකු ලෙස ඉතිහාසයට එක්වී හමාරය.

2010 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයෙන්ද විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් 2010 නොවැම්බර් 19 දින සිය දෙවෙනි ධූර කාලයේ පදවි ප්‍රාප්තියට පත්වීමෙන්ම තමන් වෙත ආකර්ෂණය කරගත් ජනතා විශ්වාසයේ පුළුල් හා ස්ථාවරභාවය සිය ප්‍රති පාක්ෂියන්ටත් ජාත්‍යන්තරයටත් මෙතුමා ඉතා පැහැදිලිවම ප්‍රදර්ශනය කරන ලදී. රුහුණට වරායක් ගුවන්තොටුපලක් ටෙලිගම්මානයක් ඇතුළු සුවිශේෂි වරප්‍රසාද හා සේවා රාශියක්ම ලබාදෙමින් තමා උපන් ගමටත් රුහුණු පුරවරයටත් කෘතවේදිත්වය හා ප්‍රණාමය දැක්වීමට එතුමා ඉදිරිපත්වීම සමස්ත රුහුණු ජනතාවගේම පෙර පිණකි.

ශ්‍රී ලංකාව පුරාම ඉතා සුවපහසු මාර්ග පද්ධතියක් සකස් වූයේ මහින්ද චින්තනය නිසාය. වසර 30කටත් අධික කාලයක් තිස්සේ පැවති රුදුරු ;කාටි ත්‍රස්තවාදය මුලින්ම උපුටා දැමීම අපට පමණක් නොව මුළු ලෝකයටම ආශිර්වාදයක් විය.

මහින්ද චින්තනය තුළින් අපේ මෙතෙක් පැවති විදේශ ප්‍රතිපත්තියේද සැලකිය යුතු වෙනසක් සිදුකර ඇත.

එය නව ආර්ථික ප්‍රවර්ධනයකට මං පෙත් විවර කරන බවට විචාරකයෝ අදහස් ඉදිරිපත් කරති.

ආගම දහම කෙරෙහි නිරතුරුවම අවධානය යොමුකරන මෙතුමා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංවර්ධනය සඳහා ද කරුණු කාරණා රාශියක්ම ඉටුකර ඇත.

මහමළුවේ අන්තර්සවි කොන්ක්‍රීට් ගල් අතුරවා මංපෙත් ද ඒ ආකාරයටම ඉදිකරවා පත්තිරිප්පුව යට අංගනය විධිමත්ව කළුගල් පතුරු වලින් ප්‍රතිනිර්මාණය කිරීම පෙර රජ දරුවන් දවස සිද්ධස්ථාන වැඩිදියුණු කළ ආකාරය සිහිපත් කරවයි.

රැජින හෝටලය ඉදිරියෙන් මහමළුව හරහා වැටී තිබූ මාර්ගයේ රථවාහන ගමනය නතර කරවීම මාලිගයේ අභිමානයට ඉමහත් අත්වැලකි. මාලිගා පරිශ්‍රයේ පිහිටි පැරණි උසාවි සංකීර්ණය මාලිගයට පවරා දීමත් ඒ තුළ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයක් නිර්මාණය කරවීමත් ඉතා උදාරය.

දැයට කිරුළ මහෝත්සවය පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ පැවැත්වීමෙන් එම භූමියේ සියලුම මං පෙත් විධිමත් ලෙස සැකසුනු අතර එය එම ආයතනයේත් ඊටම අනුබද්ධ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ ප්‍රවර්ධනයට බලවත් රුකුලක් වී ඇත.

පිටිසර දේවාලවල පෙරහැරවල් ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කර ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම ඉතා ප්‍රශස්තය.

දිගු කාලයකට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වෙත පවරා ගත් විහාර දේවාලගම් සන්තක ඉඩ කඩම් යලිත් එම සිද්ධස්ථාන වලට පවරා දීමට පියවර ගැනීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට සහ සංරක්ෂණය වෙනුවෙන් ගන්නා ලද ඉතා උතුම් ක්‍රියා දාමයකි. දළදා පෙරහැර ගමන් මාර්ගය විධිමත්ව සකස් කරවා ඇත. එය පෙරහැර ගමන් කිරීමේදී ඇතිවන අනවශ්‍ය පමාවීම් වලකවාලන අතර, පහසුතාවයක්ද ඇති කරවයි.

මල්වතු අස්ගිරි උභය මහාවිහාර පාර්ශවයන් දෙකට ඇත් පැටවු දෙදෙනෙකු පූජා කිරීම පෙරහර සංස්කෘතියේ ඉදිරි පැවැත්මට අත දීමකි.

2011 නොවැම්බර් 18 දින සිය දෙවනපදවි ප්‍රාප්තියේ පළමු වසර සමරණ ජනාධිපතිතුමනි, කුරිරු යුද්ධය නිමාකළා සේම බතින් බුලතින් සපිරි සමෘද්ධිමත් රටක් අද හෙටම ගොඩනැගීමට ඔබතුමන්ට දළඳා සමිඳුනගේ ආශිර්වාදය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.