රටට හිතැති අපේ ජනපති

රටට හිතැති අපේ ජනපති

නිදහසින් පසු බලයට පත් වූ මෙරට කිසිම රාජ්‍ය නායකයෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරම් අභියෝගවලට මුහුණ දුන්නේ නැත. ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ජනාධිපතිතුමාට එරෙහිව පැමිණි අභියෝග දෙගුණ තෙගුණ විය. දේශීය හා විදේශීය වශයෙන් නැගීී සිටි ඒ සියලු අභියෝගයන්ට එතුමා ඉතා සාර්ථකව මුහුණ දුන්නේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ දී බලයට පත් වූයේ මේ රට පීඩාවට පත් කරන ත්‍රස්තවාදය නිමා කරන බවට ජනතාවට ප්‍රතිඥාවක් දෙමිනි. ජනතාව එතුමා බලයට පත් කෙළේ මේ පිළිබඳ විශ්වාසයෙනි.

මේ කුරිරු ත්‍රස්තවාදයට මුහුණ දීමට තවත් නායකයකුට ඉඩ නොතබන බව එතුමා ජනාධිපති ධූරයේ වැඩ අරඹමින් ප්‍රකාශ කෙළේය. පොරොන්දු වූ අයුරින් එතුමා බලයට පත් වී වසර 4ක් ගත වීමටත් පෙර ප්‍රභාකරන් අවසන් කර ත්‍රස්තවාදය නිමා කළේය.

කිසිදා මේ රටින් තුරන් කළ නොහැකි බවට බොහෝ දෙනා පැවසූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීමට ජනාධිපතිතුමාට හැකි වූයේ එතුමා තුළ වූ ඉවසීම අධිෂ්ඨානය හා අප්‍රතිහත ධෛර්යය නිසාය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අප දකින විශේෂත්වය එයයි. එතුමාගේ මුළු ජීවිතය පුරාම මේ ඉවසීම අධිෂ්ඨානය හා අප්‍රතිහත ධෛර්යය දක්නට ලැබේ. එතුමාගේ සාර්ථකත්වයේ රහස ද එයයි.

නිදහස් නිවහල් රටක් මතු පරපුරට උරුම කරදුන් ජනපතිඳාණෝ...

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජාත්‍යන්තරය කළමනාකරණය කළ නොහැකි බව එතුමා බලයට පත් වූ පසු විරුද්ධවාදීන් චෝදනා කළහ. එහෙත් එතුමා බලයට පත් වී ඉතා කෙටි කලකින් ජාත්‍යන්තර අභියෝගවලට ඉතා සාර්ථකව මුහුණ දෙමින් ජාත්‍යන්තරය කළමනාකරණය කිරීම පිළිබඳ මුළු ලොවටම පෙන්වා දුන්නේ ය.

ජාත්‍යන්තරය සමඟ ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය සාර්ථකව කටයුතු කරන විට ජනාධිපතිතුමාට මේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීමට නොහැකි බවට විරුද්ධවාදීන් චෝදනා කළහ. එහෙත් මේ චෝදනාවට ද ජනාධිපතිතුමා සාර්ථකව පිළිතුරු දෙමින් සිටී. මේ රටේ ආර්ථිකය දැන් සුබවාදී දිශාවකට ගමන් කරමින් තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ යනු අවශ්‍ය වේලාවට අවශ්‍ය තීන්දු තීරණ ගන්නා එ¼ඩිතර නායකයෙක් බව අද මුළු ලොවම පිළිගනිති. ලොව කිසිම රටකට ත්‍රස්තවාදයට සාර්ථකව මුහුණදීමට නොහැකි තත්ත්වයක් තුළ මෙරට එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කර නායකත්වයේ ගාම්භීරත්වය එතුමා මුළු ලොවට ම පෙන්නුම් කෙළේය.

කවුරුන් විරුද්ධ වූවත් නිවැරදි තීන්දු තීරණ ගැනීමට අපේ ජනාධිපතිතුමන් මොහොතක්වත් ප්‍රමාද වන්නේ නැත. තීන්දුව නිවැරැදි නම් එය ක්‍රියාත්මක කරන ලෙස එතුමා මැති ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට උපදෙස් දෙයි. දේශපාලන වාසි අවාසි පිළිබඳ කල්පනා කරමින් ජනතාව අසීරුතාවට පත් කිරීමට එතුමා ක්‍රියා කරන්නේ නැත.

ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම කෙරෙහි ක්‍ෂණිකව අවධානය යොමු කෙළේය. මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි මුළුමනින් ම අවධානය යොමු කොට ඇත්තේ මේ රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි ය.

ජනාධිපතිතුමාගේ අභිලාශය මේ රට භෞතික වශයෙන් සංවර්ධනය කිරීම පමණක් නොවේ. භෞතික සංවර්ධනයට සමගාමීව සාරධර්ම අතින් ද අපේ රට සංවර්ධනය විය යුතු බව ජනාධිපතිතුමා නිරන්තරයෙන් පවසයි.

මේ රටට පිළිලයක් ව තිබූ මත්පැන් සහ මත්ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කිරීම සඳහා ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛස්ථානය ලබා දී ඇත.

මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු අංකය වන්නේ ‘මතට තිත’ වැඩපිළිවෙළයි. ‘මතට තිත’ වැඩපිළිවෙල අද ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

2010 නොවැම්බර් 18 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවැනි ධූර කාලය අරඹන්නේ පොරොන්දු වූ කරුණුවලින් වැඩි ප්‍රමාණයක් ඉටු කළ නායකයෙක් වශයෙනි.

ලෝකයේ අනෙක් රටවල නායකයන් ජනතාවගෙන් දිනෙන් දින දුරස් වෙද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව වෙත තව තවත් ළං වෙමින් සිටී. ඕනෑම නායකයෙක් ටික කලක් රටක් පාලනය කරන විට ජනතා ප්‍රසාදය අඩු වීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් අපේ රටේ නායකයාට එම තත්ත්වයට මුහුණ දීමට සිදු වී නැත.

පසුගිය මැතිවරණ දෙස බැලූ විට ජනාධිපතිතුමාට ජනතා ආකර්ශනය වැඩි වී ඇති ආකාරය මනාව පෙන්නුම් කරයි. 78 ව්‍යවස්ථාවට අනුව මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට 2/3 ක බලයක් ලබා ගත නොහැකි බවට ගොඩනැගී තිබූ ප්‍රබල මතවාදය බිඳ දැමීමට ජනාධිපතිතුමාට හැකි විය. පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා ගැනීමට එතුමාට හැකි විය.

විධායක ජනාධිපතිධූරය ඇති කළ දා පටන් මේ දක්වා ඒ සඳහා තරග කළ සියලු ජනාධිපති අපේක්ෂකයන් දෙවැනි වරට ලබා ගත්තේ පළමුවර ලැබූ ඡන්ද ප්‍රමාණයට වඩා අඩුවෙනි. එහෙත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ;දවැනිවර මැතිවරණයේ දී වර්තාගත හැට ලක්ෂයකට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන නැවත ජනාධිපති ධූරයට පත් විය. විරුද්ධව තරග කළ අපේක්ෂකයාට වඩා ඡන්ද දහ අට ලක්ෂයකට වැඩියෙන් ලබා ගැනීමට ද එතුමා සමත් විය.

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීම තමන්ගේ ඒකායන අරමුණ බව දෙවැනි වර ජනාධිපතිධූරයේ වැඩ අරඹමින් ජනාධිපතිතුමන් ප්‍රකාශ කෙළේය. දශක තුනක් තිස්සේ මේ රටේ සංවර්ධනයට බාධා කරමින් ජනතාව පීඩාවට පත් කළ ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයාට මේ රටේ ආර්ථිකය ගොඩනැගීම එතරම් අසීරු විය නොහැකිය.

අද මේ රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. වරාය 5ක් එකවර සංවර්ධනය කෙරුණේ මේ කාලයේ ය. නව ගුවන් තොටුපළක් ඉදි කිරීම ඇරැඹුණේ ද මේ කාලයේ ය. නොරොච්චෝලේ ඉහළ කොත්මලේ විදුලි බලාගාර ඉදි කෙරුණේ මේ කාලයේ ය. දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු මාර්ග කිලෝමීටර් දහස් ගණනක් ඉදි කෙරේ. ගුවන් පාලම් 7ක් මේ වන විට මාර්ග පද්ධතියට එක් වී ඇති අතර තවත් ගුවන් පාලම් ඉදි කිරීමට නියමිතය.

මේ සියලු සංවර්ධන ව්‍යාපෘති දේශීය අරමුදල්වලින් පමණක් ක්‍රියාත්මක කළ නොහැකිය. මෙතෙක් කල් අපේ රටට විදේශ ආයෝජන පැමිණියේ නැත. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මෙරට මුදල් ආයෝජනය කිරීමට විදේශ රාජ්‍යයන් ඉදිරිපත් වූයේ නැත. එහෙත් ත්‍රස්තවාදය නිමා කිරීමත් සම¼ඟ මේ රට ආයෝජන සඳහා හිතකර රාජ්‍යයක් ලෙස ලොව දියුණු රාජ්‍යයන් පිළිගෙන ඇත. මේ රටේ කර්මාන්ත සඳහා මුදල් ආයෝජනය කරන ලෙස ජනාධිපතිතුමන් කරන ලද ඉල්ලීම පිළිගෙන විදේශ ආයෝජන මේ රටට පැමිණෙමින් තිබේ.

දැන් මේ රට සංවර්ධනය වෙමින් පවතින තත්ත්වයෙන් මිදී මධ්‍ය මට්ටමේ සංවර්ධනයක් හිමි රටක් බවට පත් වී තිබේ. දළ ජාතික නිෂ්පාදිතය ඉහළ ගොස් තිබේ. කොටස් වෙළෙඳ පොළේ වාර්තාගත ආදායමක් ලැබෙමින් ස්ථාවරත්වයට පත්ව ඇත.

දැන් අපේ රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණෙන්නේ නැත. මිනිස් ශ්‍රමයට ද නිසි වටිනාකමක් ලැබී තිබේ. කලක් දකුණු ආසියාවේ කඳුළු බිංදුව බවට පත්ව තිබූ අපේ රට අද දකුණු ආසියාවේ පමණක් නොව මුළු ලෝකයේ ම සාඩම්බර රාජ්‍යයක් බවට පත් වී තිබේ. ත්‍රස්තවාදය නිමා කරමින් ලොකයේ ප්‍රබලතම රාජ්‍යයන්ට පවා ශ්‍රී ලංකාව ආදර්ශයක් සපයා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ශ්‍රී ලංකා නාමය නිරන්තරයෙන් කතාබහට ලක් වෙමින් පවතී. රටක් වශයෙන් අද අප රටට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වී තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ අභීත නායකත්වය නිසාය. එතුමා මේ කුඩා රට ලෝකයේ වඩාත් උසස් ස්ථානයකට ගෙන යාමට දරන උත්සාහයට සහයෝගය දීම සියලු ජාතිමාමක ජනතාවගේ යුතුකමකි. වගකීමකි.