සිරි ජනපති සරිත

සිරි ජනපති සරිත

සුපිරි ඉතිහාසයක ප්‍රෞඪ උරුමයෙන් හෙබි අපගේ උත්තම දේශයේ අඛණ්ඩ වංශ කථාව, ශතවර්ෂ විසිපහක් පුරා පැතිරෙයි. මහා වංශයෙහි සහ චූල වංශයෙහි ප්‍රකාශිත පරිදි, විජය රජු පටන් ශ්‍රී වික්‍රමරාජසිංහ රජු දක්වා නරපතිවරු 186 දෙනෙක්, ශ්‍රී ලංකාව පාලනය කළහ. සිරිලක අවසාන නරේන්ද්‍රයා ග්‍රහණයට පත්වීමෙන් පසුව, 1815 වේ මාර්තු මස උඩරට ගිවිසුම මගින් මේ භාග්‍ය සම්පන්න ද්වීපික රාජධානිය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පවරනු ලැබුවේය.

- බුදුගුණ අලංකාරය-

“සමාජයේ හැම කොට්ඨාස විසින් ම, ඔවුනොවුන් කෙරේ අන්‍යෝන්‍ය ශික්ෂණයක් පවත්වාගෙන යා හැකි වනු පිණිස, යම්කිසි ව්‍යවස්ථානුකූල බලතල තිබිය යුතුවේ.”

නික්කෝලෝ මකියාවෙල්ලි

1469 - 1527

- ඩිස්කෝසස් (ප්‍රකාශන) නම් ග්‍රන්ථයෙන්.

“පාලකයා සිය රාජධානියේ ධර්මිෂ්ඨ පාලනය පිළිබඳ ප්‍රධාන දණ්ඩ නායකයායි”

- කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍ර නම් ග්‍රන්ථයෙන්

සියවස් ගණනාවක් මුළුල්ලේ, දේශයේ වීර ජනතාව විසින් දිවි නොතකා රැකගත්, අපගේ අදීනත්ත්වය, මුහුදින් එපිට ජාතියකගේ පාලනය විසින්, බිඳලන ලදී. අපගේ දේශයට සිදු වූ විපතේ තරම, මේ දේශයේ ජනතාවගේ සිත් - සතන් පසා කොටගෙන යන්නට පටන් ගත්තේ, නිදහස නැති වී ටික කලකට පසුවයි. ජනතාව අඬන්නට වැළපෙන්නට වූහ. පණ නළ පුදා හෝ ජාතියේ නිදහස රැක ගන්නට ඔවුහු නැඟී සිටියහ. වීරයෝ, රණබිම්වල දිවි දී වැටුනහ.

දේශප්‍රේමයේ ජවයෙන් ආරූඪ වූ අපගේ ඒ යුගයේ යොවුන් සරයෝ, ගමෙන් – බිමෙන් – ලියද්දෙන් නැඟී අවුත් සතුරන්ට මුහුණ දී ඔවුන්ගේ පහරට ගොදුරු වූහ. කෲර පාලකයෝ, කෙත් – වතු වෙල්යාය විනාශ කොට ලූහ.

නිදහසේ සිහිනය, ඈතින් – ඈතට යන්නට වූයේ ය.

නිදහස පාවාදී, අවුරුදු 133කින් පසුව 1948 පෙබරවාරි සිව්වන දා ජාති – ආගම් ආදී භේද නොතකා, එකාවන්ව, පෙරට ආ දේශප්‍රේමි නායකයෝ, ඒ නැති වී ගිය නිදහස නැවතත්, ජාතිය වෙත කැන්දා ගත්හ.

දේශය, ඉහ – වහ යන උද්දාමයෙන් නැහැවී ගියේ ය. අපගෙන් ගිලිහී ගිය ප්‍රතාපවත් උරුමය පිළිබඳ අනගි පණ, අප’තට පත්වූයේ ය.

එහෙත්, සිදුවූයේ කුමක් ද? මරුකතරක වට වැසි බිඳක් සේ අපගේ නිදහස නැවත මැකී – වැළලී ගියේ ය. නිදහසින් හැටවන වස සපිරි, 2008 මේ වර්ෂය තෙක්, පුරා තිස්වසක් මුළුල්ලේ ජාතිය හුස්ම ගත්තේ, අපගේ සෛවරිත්වය ලෙයින් – කඳුළින් බොඳකොට දැමූ අධි අමානුෂික ත්‍රස්තවාදී බලවේගයක් විසින් දේශයේ ගෙළ සිරකොටගෙන තිබියදීය.

ප්‍රෞඪ ඉතිහාසය

බලාපොරාත්තුවේ දුබල ආලෝකයක්වත් නොදැකිය හැකිව තිබූ සමයක, අසිරිමත් ලක් මෑණියන්, නිදහසේ සිහසුන මත තබන්නට වරම් ලද, ජාතියේ ප්‍රතාපවත් පුත්‍රයෙක් පහළ වූයේ ය.

ඒ ජන පුත්‍ර රත්නයේ වීර ජාතික චාරිකාවේ කථාවට මුලපිරිය යුතු මොහොතකයි. දැන් අප විසින් කළ යුතු වන්නේ, ඒ වීර කාව්‍යමය කථා පුවත ඇති සැටියේ, පවසාලීම පමණි. අපට ඒ උදාර චරිතය උදෙසා වන්දිභට්ටයන් වීම අනවශ්‍යයි. එයට හේතුවක් ඇත්තේ ය.

ප්‍රෞඪ ඉතිහාසය විසින්, මහා කාව්‍ය මට්ටමින් ඒ වීර වෘතාන්තය ලියා තබා ඇත. අපගේ දේශයේ, අපගේ වංශ කථාවේ, මුල් යුගයේ දී අපේ අදීනත්වයට කිරුළු පැළැන්දූ දුටුගැමුණු වත පවසන්නට, මහා වංශය පරිඡේදය දහය රචනා කළේය. වර්තමානයේ මේ වීර චරිතය පිළිබඳව අප විසින් කළ යුතුව තිබෙන්නේ අනාගතයේ ලියැවෙන වීර කාව්‍ය සඳහා අවශ්‍ය ප්‍රවෘත්තිය විචිත්‍රව ලේඛනාරූඪ කිරීමයි. අනාගතය, එවිට එය, සවිස්තර ලෙස, නිසි පදමට දකිමින් නොමැකෙන විරුදාවලී රචනා කරනු ඇත. අමතක නොවන ප්‍රශස්ති ගී ගයනු ඇත.

තිස් වසරක ත්‍රස්තවාදී ශාපයෙන්, අපගේ දේශයත්, අපගේ ජාතියත් අපගේ සාමයික හා සංස්කෘතික මූර්තින් දැවෙන විට, අපට නිදහස ලබාදෙන්නේ කවුදැයි, ජනතාව වැළපෙන්නට පටන් ගත්හ.

ජාතිය විසින් පුදන ලද ජන බලය සුරතින් දරාගෙන, සිය කුරහන් සාටකයේ ගැමි දිදුළ ඉස්මතු කොට දැක්වෙන සුදෝ සුදු පවිත්‍ර ඇඳුමින් ගත සරසාගෙන තමා වටා සුළි - රැළි නගමින් රොක්වන ජනගඟ පීරාගෙන, ජාතියේ දිවි රැකදෙන අභීත වීරයෙක් පෙරට ආයේ ය.

ඒ, පෞරාණ රුහුණු ජනපදයේ ගම්මානයක සිට, දේශයේ ජාතියේ මහ පුටුවට යාත්‍රාකළ, හම්බන්තොට මැද මුලනෙන් උපත ලැබ සිරිලකට පහළ වූ, ජනාධිපති මහින්ද රාජපක්ෂ පින්බර ජාතික පුත්‍ර රත්නයයි.

තිරශ්චීන චර්යාවෙන්

ජන ගඟ වටකරගත් ආකර්ශනීය නායකත්වය...

තිස්වසරක් පුරා මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත අනුකම්පාවිරහිතව බිලිගත්, ත්‍රස්තවාදයේ ලේ වැකි ග්‍රහණය නිසා ජනාධිපතිවරයාගේ හද පෑරුනේය. සිත සැලුණේය. නිදහසේ පාරක - තොටක ගමන් කළ නොහෙන ත්‍රස්තවාදී යුගයේ තර්ජනය දැක, ඔහු ජාතිය වෙනුවෙන් කම්පාවූයේ ය. දුම්රියක, බස්රියක, වාහනයක ගමන් කරන්නට තබා ගෙදර - දොර සිටින්නටත් අපගේ ජනතාව බියපත් වූහ. පාසල් ගිය දරුවන් ගැන, වැඩට ගිය නෑ - දෑ හිතවතුන් ගැන, ඔවුහු හැම මොහොතේදීම බියෙන් ඇලුනහ. මේ මහා භීෂණ සමයේදී සිය ජනතාව මුහුණපාන ඉරණම විසින් ජනාධිපතිවරයාගේ සන්තානය සසල කරනු ලැබුවේය.

මිනිස්කමට පවා කිසිසේත් සුදුසු නොවන අසත්‍ය තිරශ්චීන චර්යාවෙන් වේගවත්වී, මේ මිනිස් රකුසන් විසින්, මෙත් පෙරටුව වැඩම කළ භික්ෂූන්වහන්සේ පවා අමු අමුවේ ඝාතනය කළ ආකාරය, මේ ජනවීරයා දුටුවේ තියුණු වේදනාවකිනි.

ලෝ වැස්සන්ගේ උතුම් සම්මානයෙන් පුද ලබන සිරිමහ බෝධීන්වහන්සේත්, දළදා මැදුරත් ත්‍රස්තවාදයේ පීඩාවට ලක්වන විට ඔහුට එදාත් එය කිසිසේත් ඉවසා දරා සිටිය හැකි නොවීය.

ජනාධිපති පදවියෙහි පිහිටා සිටි විගස ඔහුගේ ඒකායන අධිෂ්ඨානය වූයේ, සෙසු සියල්ල පසෙක තබා, ජාතියට, දේශයට, ජනතාවට පූර්ණ නිදහස ලබාදීමේ උදාරතර මානව මෙහෙයට අති උච්ච මූඛ්‍යතාව ලබා දිය යුතු බවයි.

ඔහු තිරසර අධිෂ්ඨානයෙන් එයට කැපවුණේය.

ලෝකයේ බලවත්වූත්, එතරම් බල රහිතවූත් හැම දේශයක් විසින් ම ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය හංවඩු ගසන ලද්දේ, මිනිස් සමාජයේ අත්‍යන්තයෙන් ම කෘරතර ත්‍රස්තවාදය වශයෙනි. එවැනි දුර්දාන්ත බලවේගයක් මුලිනුපුටාලන්නට අනම්‍ය තීරණයකට එළඹීම තමාත් ඒ අමානුෂිකයන්ගේ ඉවක් – බවක් නැති කෲරත්වයට මූණපෑමක් බව, ජනාධිපතිවරයා ඇති සැටියේ දැන සිටියේ ය.

එහෙත්, ජාතිය වෙනුවෙන් එය කළ යුතුමයැයි ඔහු දැඩිව සිත් හදාගත්තේ, තමා කෙරෙහි හෝ අනුකම්පාවකින් තොරව බව අද මුළු ජාතියම දනී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකයා, පදවි ප්‍රාප්ත වූයේ, රටත් ජාතියත් වෙනුවෙන්, ඒසා දැඩි අධිෂ්ඨානයකට එළඹීම සඳහා සුදුසු පෙරුම් පිරීමකින් පසුවයි.

“කුඹුරෙන් මඩසෝදා ගත් ගොවියා, රජකමට පවා සුදුසු යැයි’ මේ ;ද්ශයේ ජන ජීවිතය තියුණු ලෙස නිරීක්ෂණය කළ රොබට් නොක්ස් ලියා ලූයේය. කෘෂිකාර්මික දිවිපෙවෙතක්, මූලික ජීවන මාර්ගය කොටගත් ජනකායකින් ප්‍රධාන වශයෙන් සැදුනු අපගේ මේ දේශය විසින් හැඩ ගස්වා ගනු ලබන නායකයන් තුළ ඒ උතුම්බව හා සමඟ සම්බන්ධතාවක් තිබිය යුතු බව ජනතාව දැන සිටියහ.

අපේ රජවරු, සම්ප්‍රදායික වශයෙන්, ඒ කෘෂිකාර්මික ජීවන රටාවේ උච්ච මූර්තිබවට පත්ව සිටියහ. මහා විජයබාහු රජු විසින් තමා රැක – බලාගත් ගැමියෙකුට කෙරුණු ප්‍රදානයක් පනාකඩුව තඹ සන්නසෙහි සටහන් වේ. රජු ඒ ප්‍රදානය පිරිනමන්නේ, ‘යහළ” – නගුල් හිස - වියගහ – ඔසොවා, ඒ ප්‍රදානයේ නිත්‍යානුකූල බව තහවුරු කරමිනි.

මෙසේ ඒ සරුවීම හා සමඟ කුඩා කල සිටම හිතවත්කම් පැවැත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකයා, සිය පාලන මැදුරට ආයේ ‘පාදයෙන් ගත් මඩ සහිතව යැයි’ අපට උපමාර්ථයෙන් පැවසිය හැකිය.

ජන ජීවන ශෛලිය

ළමා වියේ පටන් ම, හෙතෙමේ, කුඹුරේ වෙල්යායේ නිදැල්ලේ හැසුරුනේය. නියරවල් ඔස්සේ, අඩිපාරවල් දිගේ, ඇවිදගෙන ගිය ඔහුගේ අධ්‍යාත්මික ජීවිතය, ජනතාවගේ, ගැමියන්ගේ සිතුම් පැතුම් හා සමඟ හෘදයාංගම ලෙස මුසුව තිබුණේය. කන්දේ – ලියැද්දේ – වන පෙතේ තුරු ලතාවල පත් ලෙලවමින් හමන මඳ පවන, අව්වේ වැස්සේ ගතිය, ඇළේ - දොළේ දිය පාරේ සිසිල, ඔහුට ජනතාව හා අති සංවේදී ජීවන රිද්මයක් තනා දුන්නේය. ජන ජීවන ශෛලිය, ඔහුගේ දිවි ගමන හා සමඟ අවියෝජනීය ලෙස බැඳුනේ එලෙසයි.

සිය ජනතාවගේ ජීවන රාවයට අනුකූලව ගම්මානයේ පිය නඟා ඉතා පුරුදු ඒ වීරයාට, මහා මන්දිරවල, රජ මාලිගවල, ජගත් ජන මණ්ඩලවල රතු පලස මතින් පියවර තැබීම ඉතාම සුව පහසු මාර්ගයක් වූයේ ය.

දෙදහස් නවයේ මැයි මාසයේ දී, ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවත්, ලෝකයත් පෙළා වූ අමානුෂික ත්‍රස්තවාදය, සිය අණින්, කැපවීමෙන් හා සිය ආත්ම පරිත්‍යාගයෙන් මුලිනුපුටා ලීමට පසුව ලක් දෙරණට සැපත්ව සිරිලක් මාතාවට පසඟ පිහිටුවා අභිනන්දන පැවැත් වූ දර්ශනය, මේ දේශයේ ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වූ විශිෂ්ට සංකේතයකි.

සිය දේශය විනාශ කරන්නට, අමානුෂික ප්‍රයත්නයක යෙදුණු ත්‍රස්තවාදීන්ගේ අමානුෂික ග්‍රහණයෙන් මිදී, පණ – නළ රැකගන්නා පිණිස, පලා ආ දෙමළ ජනතාවට, සන්නද්ධ හමුදාවේ සහ පොලිස් හමුදාවෙත් වීරවරියන් හා වීරයන් විසින්, දක්වන ලද මානව භක්ති පූර්ව සෙනෙහස, මිනිස්කම දන්නා ලෝකයේ හැම කෙනෙකුගේ ම සිත සනහන හද නිවන අසහාය සිද්ධියකි.

තමන්ගේ නෑදෑ හිතවතුන් හිතක් – පපුවක් නැතිව කෘර වධ දී මරා දැමූ පිරිසකට අයත් අයයැයි යන්තමින් හෝ නොසිතා, ඒ පලා ආ අසරණ සරණාගතයන් ඇද – වැළඳගෙන, ඔවුන්ට කවා - පොවා, ලෙඩ – දුකට පිළියම් කොට, ඔවුන් සඳහා නවාතැන් සකස් කොටදී, ලෝකයටම ආදර්ශයක් දුන් දේශය හා ජාතිය, ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකයාගේ බැල්ම යටතේ පවත්නා ශ්‍රී ලංකාවට මානව ඉතිහාසයේ රන් අකුරෙන් සටහන්වන්නේ ලෝක ජනතාවගෙන් බහුතරයක් තාමත් ශ්‍රේෂ්ඨ මිනිසුන් හෙයිනි.

මේ දේශයේ වාසයකරන විවිධ ජන කණ්ඩායම් අතර සුහද සහ ජීවනය පැවතෙනු පිණිස, ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකයාණන් විසින්, ඉදිරිපත් කෙරුණු ඇතැම් ප්‍රතිපත්තිවල විශිෂ්ටබව, සමහරුන්ට, මුලින් අවබෝධකොට ගැනීම තරමක් අපහසු වූයේය.

ජාත්‍යන්තර බල මණ්ඩලවල ඇතැම් රැස්වීම්වල දී ජනාධිපතිවරයා දෙමළ බසිනුත් කථා කරන විට ඒ චර්යාව සමහරුන්ට ප්‍රහේලිකාවක් වූයේ ය. ත්‍රස්තවාදය කවරේ වුවද, මේ දේශයේ ජනකණ්ඩායම් අතර සුහද සහජීවනය සඳහා අන්‍යෝන්‍ය භාෂා උගත යුතු බව ජනාධිපතිවරයා ඉඟියකින් ප්‍රදර්ශනය කොට සිටියේ එසේ ය. සාමය පිහිටුවා ලූ හැටියේ, ජනාධිපතිවරයාගේ නියමය වූයේ, දේශයට සතුරු වූ ත්‍රස්තවාදීන්ගේ තිප්පොළ තිබුණු උතුරේ හා නැගෙනහිර පෙදෙස්වල ජනතාවට, නොපමාවම, ආහාර – පාන බේත් හේත්, නිවාස පහසුව මාර්ග හා ජීවනෝපාය ක්‍රම ලබා දිය යුතුය යන්නය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී හෝ වේවා, නොබැඳි සමුළුවකදී හෝ වේවා, පොදු රාජ්‍ය මණ්ඩලීය රැස්වීමක දී හෝ වේවා, ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකයා, ශ්‍රී ලංකාවේ නාමය අක්ලිෂ්ට ස්ථානයක තබා ලූයේය.

විශාල පෙදෙසක් වසා පැතිරෙන මහා බිතු සිතුවමකට ඉතා බොහෝසේ ළං වූවෙකුට ඒ චිත්‍රයේ විස්තර දැකිය නොහේ. ඔහුට පෙනෙන්නේ එහි අංශුවක් පමණි.

ප්‍රතිපත්ති

ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකයාණන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ද එසේ ය. අප ඒ ජන නායකයාණන්ගේ ප්‍රතිපත්ති හා ඇතැම් ක්‍රියාශීලි දකින්නේ කාලය හේතුකොටගෙන ඉතා කිට්ටුවෙන් සිටිමිනි. ඒ නිසා, ඒවායේ පූර්ණ අරුත් අපට නොපෙනෙන්නේ විය හැකිය. මහ බිතු සිතුවමට අතිශය ළංවූ තැනැත්තාමෙනි.

එහෙත්, අනාගතයේ එළඹෙන්නේ කාලයෙන් ඈත්ව, ඒ ජනාධිපති ප්‍රතිපත්ති දකින්නට පටන්ගත් විට ඒවායේ නියම අරුත, සමකාලීනයන්ටත් වඩා හොඳින් දැකගත හැකිවේ.

ඒ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකයාණන්ගේ පාලන වික්‍රමය, වඩාත් විචිත්‍ර ලෙස දැකිය හැකිවන්නේ අනාගත පරම්පරාවල උදවියටයි.

එහෙත්, අප ඉතා මෑතකදී, පැහැදිළිව දුටු කරුණක් වෙයි. එනම් මානව භක්තියේ සහ මානව අයිතිවාසිකම්වල නාමයෙන්, ශ්‍රීී ලංකාව පිළිබඳව විවිධාකාරයේ බොරු, ව්‍යාජ ප්‍රවාද, නින්දා – අපහාස ආදිය ලොව පුරා වපුරන්නට ප්‍රයත්න දැරූ මානව වීරෝධීන්ගේ වෙස් මුහුණු ගැළවී ගිය ආකාරයයි.

තිස් වසරක් මුළුල්ලේ ත්‍රස්තවාදීන් බිහිසුණු ඝාතකයා ප්‍රහාර මගින්, සාමකාමී ජනතාව විනාශ කරද්දී ඔවුහු නිශ්ශබ්දව සිටියහ. මෙය ලෝකයේ ඉතාම නිර්දය අතිශයින් ම භයානක ත්‍රස්තවාදයයැයි ලොවපුරා ජන මතය පළ කෙරෙද්දී එහි ගොදුරු බවට පත් වූ දහස් ගණන් අහිංසකයන්ගේ ජීවිත ගැන ඔවුන් විඳින දුක ගැන ඔවුහු නිශ්ශබ්ද වූහ. ත්‍රස්තවාදී රකුසන්, දෙමළ දරු පැටවුන් මවුපියන්ගෙන් පවුලෙන් උදාරගෙන ගොස් ඔවුන් රුදුරු ඝාතකයන් බවට පත් කරනවිට ඔවුහු නිශ්ශබ්දව සිටියහ.

මානව හිතවාදීන්

එසේ නිශ්ශබ්ද සිටි මේ ව්‍යාජ මානව හිතවාදීහු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකයාණන්ගේ අණින්, ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් නිදහස ලැබූ උතුරේ නැගෙනහිර ජනතාව වෙත දැන් ගමන් කරති. ඔවුහු මයික්‍රෝපෝනයක් ඒ අසරණ මිනිසුන්ගේ මුහුණට අල්ලා, දැන් ඔවුන්ගේ දුක් – ගැනවිලි විමසති. එදා ඔවුන්ට, සිය නිවෙස්වල රැදෙන්නට හෝ බැරිව දැඩි දුක් විඳි විට, මේ ව්‍යාජ මානව හිතවාදීන් සිටියේ කොහේද? ඔවුන්ගේ මයික්‍රෝෆෝන ත්‍රස්තවාදීන්ගේ වධ හිංසාවලින් පෙළෙන අහිංසක උතුරු - නැඟනහිර වාසීන්ගේ මුහුණුවලට සහ ඇල්ලුවේ නැත්තේ ඇයි? ඉතාම පැහැදිලි ලෙස වෙස් මුහුණු ගැළවූණේ චැනල් 4 කරුවන්ගේය. එදා සිය දේශවල ජනතාව, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ලොව ඉතාම දරුණු ත්‍රස්තවාදය යැයි දැන සිටියහ. දැන් මේ චැනල් 4 කාරයන් ඒ ත්‍රස්තවාදීන්ට සුදුහුණු ගාන්නට සැරසෙන විට, ඔවුන් කරන්නේ තමන්ගේ රටවල ජනතාව, ත්‍රස්තවාදයට ගොදුරු කිරීමයි. ඒ නිසා ඒ චැනල් 4 කාරයන්, ඔවුන්ගේ ම ජාතියේ ද්‍රෝහීන් බව, ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකයාණන්ගේ සුහද සහජීවන ප්‍රතිපත්තියෙන් ඍජුව හෙළිදරව් කෙරුණේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකයා අපටත් ලෝකයටත් නියම මානව භක්තියේ ආලෝකය ලබා දෙන ප්‍රදීපස්ථම්භයක් වන්නේ ඒ නිසාය.