මහින්දාලෝකනය සුවිශේෂිතා සයක් මැදින් ගෙවුණු සය වසරක්

මහින්දාලෝකනය සුවිශේෂිතා සයක් මැදින් ගෙවුණු සය වසරක්

දුටුගැමුණු රජතුමා ජීවත් වූයේ මීට වසර 2,300කට පෙරයි. එතුමන් දුටු කෙනෙකු නැත. අවම වශයෙන් එතුමාගේ ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් ද නැත. නමුත් එතුමන් පිළිබඳ මෙරට නොදන්නා කෙනෙකු ද නැත. මක් නිසාද යත් එතුමන් මෙරට එක්සේසත් කළ බැවිනි. සමස්ත ශ්‍රී ලංකාවම එක්සේසත් කළ වීරයන් වසර 2,500 ලිඛිත ඉතිහාසය තුළ දැකිය හැක්කේ ස්වල්ප දෙනෙකි.

ඉතිහාස පොතට අනුව අවසන් වරට මෙරට එක්සේසත් කළේ සයවන පරාක්‍රමබාහු රජතුමන්ය. ඒ 1450 වසරේ දීය. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් 2009 දී රට එක්සේසත් කළේ වසර 559කට පසුය. එනම් පසුගිය අඩ සහස්‍රය තුළ රට එක්සේසත් කළ එකම නායකයා රාජපක්ෂ ජනපතිතුමන්ය. එබැවින් පසුගිය අඩ සහස්‍රය (වසර 500) තුළ බිහිවුණු ඓතිහාසික රාජ්‍ය නායකයා ලෙස අපට රාජපක්ෂ ජනපතිතුමන් හඳුනාගත හැක.

ජනපතිතුමන්ගේ රට එක්සේසත් කිරීමේ ක්‍රියාවලිය සය ආකාරයකින් සුවිශේෂීය. පළමුව ලොව ප්‍රබලතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමට ගත කළ කාලයෙන් සුවිශේෂීය. කොටි ත්‍රස්තවාදය අවිවාදයෙන්ම ලොව බිහි වූ ප්‍රබලතම ත්‍රස්තවාදී සංවිධානයයි. අල් කයිදා, හමාස් සහ අබු සයිෆ් වැනි ත්‍රස්තයන් කොටින් ඉදිරියේ කුරුමිට්ටන්ය. මෙම කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට ගුවන් යානා නොතිබුණි. කාලතුවක්කු නොතිබුණි. යුද ටැංකි නොතිබුණි. ගෙල බැඳි සයනයිඩ් කරල් නොතිබුණි. රාජ්‍යයන් දෙකකම නායකයින් මරා දැමීමේ බිහිසුණු වර්තා නොතිබුණි. නමුත් කොටින් මේ සියල්ලෙන් සන්නද්ධ වූ සංවිධානයකි.

මාවිල්ආරු සොරොව්ව

1972 මැයි 22 දින ජනරජ දිනයට යාපනයේ ජාතික කොඩිය එසවූ උලග්නාදන් මරා දැමීමෙන් ඇරඹුණු කොටි ත්‍රස්තවාදය 2006 වසරේ දී ගත කළේ 34 වන වසරයි. එබැවින් කොටි සංවිධානය සමාජය තුළ හොඳින් මුල් බැස උතුරු නැඟෙනහිර පළාත්හි නිල නොවන රාජ්‍යයක් ස්ථාපිත කර තිබිණි. 2001 දී ඇරඹි සටන් විරාමයෙන් කොටි පෙර නොවූ අයුරින් සවිමත් වී තිබිණි.

එබැවින් රට තුළ මෙන්ම ජාත්‍යන්තර විශ්වාසය ද වී තිබුණේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවයි. කොටින් සමඟ සාකච්ඡා කර කොටි සතුටු වන විසඳුමකට ලංකාණ්ඩුව එකඟ විය යුතු බව පොදු දෙස් විදෙස් පිළිගැනීම විය. නමුත් මාවිල් ආරු සොරොව්ව කොටි අත්පත් කරගත් අවස්්ථාවේ උඩු ගං බලා පීනමින් කොටින්ට එරෙහිව යුද වැදීමේ ඓතිහාසික තීන්දුව ජනාධිපතිතුමා ගත්තේය. ලොව ප්‍රබලතම ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට කුඩා දිළිඳු රාජ්‍යයක් වූ ලංකාවට ගත වුණේ වසර තුනකටත් අඩු කාලයකි.

මෙහි අසිරිය වන්නේ කොටි පරදන සටනට සමාන්තරව ලොව ප්‍රබලතම රටවල් 37ක් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ත්‍රස්තවාදයට එරෙහිව යුද වැදීමයි. සියලු බලයන්ගෙන් සන්නද්ධ වූ මෙම සංධානයට වසර 10 ක් ගතවීත් ගුවන් යානා, යුද ටැංකි සහ කාලතුවක්කු වැනි කොටින් සතු කිසිම බලයක් නොමැති තලේබාන්වරු පරාජය කිරීමට අසමත් වී තිබේ.

මේ අපට හිතැති අපේ ලෙන්ගතු නායකයා...

කොටි පරාජයේ දෙවන සුවිශේෂත්වය වන්නේ දැවැන්ත විදෙස් බාධා කිරීම් මැද ලැබූ ජයග්‍රහණයක් වීමයි.

දුටුගැමුණු, විජයබා සහ පැරකුම්බා වැනි අපේ අතීත රජවරුන්ට එවකට දියුණු සන්නිවේදන සහ ප්‍රවාහන ක්‍රම නොතිබුණෙන් විදෙස් බාධා අවම විය. නිදසුනක් ලෙස තමන්ගේ හමුදා විනාශ වෙනු දුටු එළාර රජ සහයක හමුදා එවන ලෙස චෝල රාජ්‍යයට පණිවිඩයක් යැවීය.

නමුත් භල්ලුක සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් චෝල හමුදාවක් මන්නාරමට ගොඩ බසින විට එළාර රජ පරාජය වී අවසන්ය. ජයග්‍රාහී මානසිකත්වයෙන් සිටි අපේ රණවිරුවන් අද ඉරණමඩු ලෙස හඳුන්වන රණමඩුව ප්‍රදේශයේ දී විදේශීය හමුදාව පරාජය කරන ලදී.

රාජපක්ෂ ජනපතිතුමන් යුද වදින්නේ අන්තර්ජාල යුගයේ දීය. මෙරට සිදුවන ඕනෑම සිදුවීමක් ක්ෂණිකයෙන් සමස්ත ලෝකයම දැන ගනී. අහසේ රැඳවූ චන්ද්‍රිකා මාර්ගයෙන් යුද බිමේ තොරතුරු සජීවීව දැන ගැනීමට බටහිර රටවලට හැකියාව ඇත.

අපේ රණවිරුවන් ලොව ප්‍රබලම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කිරීමට යන බව පෙනී යෑමෙන් බටහිර නායකයෝ ලැජ්ජාවට පත්වූහ. දිළිදු කුඩා ශ්‍රී ලංකාව වසර තුනක් ඇතුළත ලොව ප්‍රබලම ත්‍රස්තවාදය පරාජය කරන විට ලොව ප්‍රබලම රටවල් සමූහයට කුරුමිටි තලේබාන්වරු පරාජය කිරීමට නොහැකිවීම කෙසේ විස්තර කළ හැකි ද? ඉන්පසු බටහිර නායකයන් පණ පෙව්වේ තමන්ට දුවාගත නොහැකි වූ විට ඉදිරියෙන් දුවන අයගේ කකුලෙන් අදින පාසල් දරුවන්ගේ චරිතයයි.

ඔව්හු සැබෑ රාජ්‍යතන්ත්‍රයින් ලෙසින් වහාම යුද්ධය නවතා දමන ලෙස ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිටියහ. එය ලංකාණ්ඩුවෙන් ප්‍රතික්ෂේප වුණු විට බටහිර නායකයන් කෙළේ ලංකාව තර්ජනයෙන් බිය වැද්දීමට වෙර දැරීමයි. අතීතයේ බටහිර මෙන්ම ඉන්දියානු තර්ජන ඉදිරියේ ලංකාවේ රාජ්‍ය නායකයන් සුවච කීකරු බලු පැටියන් ලෙසින් හැසිරෙන අයුරු අපි දුටුවෙමු.

නමුත් බටහිර තර්ජන මෙන්ම තමිල්නාඩු කෙනෙහිලි ඉදිරියේ ජනපති රාජපක්ෂ හැසිරුණේ ජාතික ධජයේ වසන කේසර සිංහයා ලෙසිනි. තර්ජන ගර්ජන ඉදිරියේ නොසැලී කොටි ත්‍රස්තවාදයේ පරාජය තෙක්ම රණවිරුවන් මෙහෙයවීමට එතුමන්ට එඩිය ජවය සහ අදිටන තිබිණි.

විසංවාදී බලවේග

කොටි පරාජයේ තෙවන සුවිශේෂත්වය වන්නේ ජනපතිතුමන්ගේ නායකත්වය වටා එකිනෙකට විසංවාදී බලවේග රාශියක් එක් වීමයි. කොටි පරාජය සඳහා එතුමන් බිහි කළ දැවැන්ත සංධානය තුළ දක්ෂිණාංශික මතය නියෝජනය කරන එජාපයෙන් බිඳී ආ පිරිස් සිටියහ. එමෙන්ම වාමාංශික මතවාද කර තබාගත් සම්ප්‍රදායික වමේ නායකයෝ ද සිටියහ. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම තිර අදිටන කරගත් හෙළ උරුමය ආණ්ඩුවේ කොටස්කරුවෙකි. එමෙන්ම කොටි නායකයන්ව සිටි කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් වැනි පිරිස් ද ආණ්ඩුවේ කොටස්කරුවන් ය. උතුරු කොනේ බලය රඳවා ගත් ඊපීඩීපී මෙන්ම දකුණු කොනේ බලය රඳවාගත් ජවිපෙන් බිඳුණු පිරිස් ද සිටියහ. මුස්ලිම් කොංග්‍රසය මෙන්ම එයින් බිඳී ගිය අතාවුල්ලා සහ රිෂාඩ් බදුද්දීන් වැනි මුස්ලිම් නායකයන් ද මෙම දැවැන්ත සංධානයේ කොටස්කරුවන්ය. වතු කම්කරු කොංග්‍රසය මෙන්ම එයින් බිඳී ගිය කඳුරට ජනතා පෙරමුණ ද මෙම ජයග්‍රාහී සංධානයේ කොටස්කරුවන් ය.

යුද්ධයේ මුල් යුගය

රාජපක්ෂ ආණ්ඩුවේ දේදුනු විචිත්‍රත්වය දේ්ශීයව මෙන්ම විදේශීයව ද දැකිය හැක. කාශ්මීරය වෙනුවෙන් එකිනෙකා යුද වදින ඉන්දියාව සහ පාකිස්තානය යන දෙරටම කොටි පරදන යුද්ධයේ දී සිටියේ අප සමඟය. මතවාදී ගැටුම් මෙන්ම දේශසීමා ගැටුම් ද හේතුවෙන් විරසක වී සිටින චීනය සහ රුසියාව ලංකාව වෙනුවෙන් සහයෝගයේ අත් එසවූයේ සමඟියෙනි. ඊශ්‍රායලය ලංකාවට යුද අවි සපයන විට එරට ලෝක සිතියමෙන් අතුරුදහන් කිරීමට ශපථ කර සිටින පලස්තීන ජනපති රාජපක්ෂ නමින් මාවතක් නම් කරයි. යුද්ධයේ මුල් යුගයේ දී ඉරානය නැව් පුරවා යුද බිමට තෙල් සපයන විට ඉරානයේ පරම සතුරු ඇමෙරිකාව ලංකාවට කොටින්ගේ අවි නැව් තිබෙන ස්ථාන පිළිබඳ තොරතුරු සපයයි. එකිනෙකා තම පරම සතුරන් ලෙස සලකන බලවේග කොටි පරාජයට මෙසේ එක් වීම අරුමයකි. මෙම විසංවාදී බලවේගයන් ලංකාව වටා එක්වීම සිහිපත් කරන්නේ ගුත්තිල ඇදුරුතුමන් වෙණ වයනා විට නයින් සහ මුගටින් ද කොටින් සහ මුවන් ද එකට හිඳ සවන් දුන් බවට ගුත්තිලයේ එන වෙණ වැයුමයි.

කොටි පරාජයේ සිව්වන සුවිශේෂත්වය වන්නේ දූරදර්ශි සැලසුම්කරණයයි. බටහිර රටවල් විසින් දිළිඳු රටවල් සිය ග්‍රහණයට ලක් කර ගන්නේ ආර්ථික තහංචි පැනවීමෙන් බෙලහීන කිරීමෙනි. ආර්ථික සම්බාධක හරහා ආනයන අපනයන වෙළඳාම ද ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු ද නැවතූ විට රාජ්‍යයක් පැවතිය නොහැකි මට්ටමට බෙලහීන වේ.

මියන්මාරය

බටහිර විරෝධී රාජ්‍යයන් වන ඉරානය, උතුරු කොරියාව, මියන්මාරය සහ කියුබාව මෙසේ දැඩි ආර්ථික සම්බාධක ලක් වී ඇති රටවල් ය. එමෙන්ම තමන්ගේ රූකඩ ආණ්ඩු පිහිටුවන තෙක් ඉරාකය, ඇෆ්ගනිස්ථානය සහ ලිබියාව ද දැඩි ආර්ථික සම්බාධකයන්ට මුහුණ දී තිබිණි.

2009 දී මානුෂික මෙහෙයුම නවතා කොටින්ට සටන් විරාමයක් ලබාදෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ලංකාවට දැඩි බලපෑම් කරන ලදී. අද කොටි බියෙන් තොර සමාජයක් බිහි වී ඇත්තේ එකී ඉල්ලීම නොබියව ප්‍රතික්ෂේප කළ හෙයිනි. ආණ්ඩුව එසේ බටහිරට පිටුපෑවත් ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට ඔව්හු උත්සුක නොවූහ. අනෙකුත් බටහිර විරෝධී රටවලට මෙන් ලංකාවට ද ආර්ථික සම්බාධක පැනවූයේ නම් කොටි පරාජය සිහිනයක් පමණක් වනු ඇත. එයට ඇති කදිම සාක්ෂිය වන්නේ ඉන්දුනීසියාවයි.

ආර්ථික සම්බාධක

නැඟෙනහිර තිමෝරය ඉන්දුනීසියාවෙන් වෙන් වීමට කළ සන්නද්ධ අරගලයේ දී බටහිර රටවල් සිටියේ ඉන්දුනීසියාවට එරෙහිවය. නමුත් ජනපති සුහර්තෝ බටහිර මතයට අවනත නොවී සිටියේය. නමුත් 1997 ඇති වුණු ආර්ථික අර්බූදයේ දී බටහිර රටවල් ඉන්දුනීසියාවේ සහයට ආවේ එක් ප්‍රධාන කොන්දේසියක් සමගිනි. ඒ නැගෙනහිර තිමෝරයට නිදහස ලබා දීමයි. ඒ කොන්දේසිය පිළිගැනීමට ජනපති සුහර්තෝ මැලි වන විට ඉන්දුනීසියානු ජනතාව වීදි බැස්හ. ඔවුන් කියා සිටියේ නැගෙනහිර තිමෝෂිරයට නිදහස ලබා දී හෝ අපේ කුසගින්න නිවන ලෙසයි. එදා බටහිර රටවල් ලංකාවට ආර්ථික සම්බාධක පැනවූයේ නම් දේශප්‍රේමි සටන් පාඨ මුර ගෑ මුවින්ම දෙමළ ඊළම දී හෝ අපේ කුසගිනි නිවන ලෙස ඉල්ලීම් මතුවීමේ අවදානම තිබිණි.

බටහිර උපායන් මෙන්ම ජනතා හැසිරීම් සම්බන්ධයෙන් ද මනා අවබෝධයකින් සිටි ජනපතිතුමා ආර්ථික සම්බාධක පැන වුවහොත් මුහුණ දීම සඳහා සූදානම් වුණේය. ඒ මානුෂික මෙහෙයුමට සමගාමීව රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ “අපි වවමු - රට නඟමු ව්‍යාපෘතිය දියත් කිරීමයි. ඒ ව්‍යාපෘතිය යටතේ පුරන් කුඹුරු අස්වැද්දීමට බිත්තර වී සහ කෘෂි රසායන නොමිලේ ලබාදෙන ලදී. ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කරන ලදී. ලෝක වෙළඳපොළේ පොහොර මිටියක මිල රු. 7,000 දක්වා ඉහළ ගිය අවස්ථාවේ දීත් එය රු. 350ක් වැනි සහන මිලට ලබාදෙන ලදී. සහල් මිල ඉහළ ගොස් ඇති බවට විපක්ෂය උද්ඝෝෂණ කරන විටත් වී සඳහා ඉහළ සහතික මිලක් ලබාදෙන ලදී. මේ සියලු වෑයම්හි ප්‍රතිඵලය ලෙස 2009 වසරේ දී රට සහලින් ස්වයංපෝෂිත වන ලකුණු පහළ විය. බටහිර රටවල් ලංකාව දමනය කර ගැනීමට ආර්ථික සම්බාධක අවිය පාවිච්චි නොකලේ තම ප්‍රධාන ආහාරය තමන්ම සපයා ගන්නා ජාතියකට ආර්ථික සම්බාධක හරහා දැඩි බලපෑමක් එල්ල කළ නොහැකි බැවිනි.

සංවර්ධන සංග්‍රාමය

කොටි පරාජයේ පස්වන සුවිශේෂත්වය වන්නේ සදාචාරවත් සමාජයක් සඳහා ඇවැසි පසුබිම යුද සමය තුළ දීම ස්ථාපිත කිරීමයි. සාමාන්‍යයෙන් ඕනෑම රටක යුද සමයක් යනු අවිචාර සමයකි. මරණ, තුවාලකරුවන් සහ නිරතුරුවම ලේ දැකීමෙන් යුද සමයේ දී රටක මතුවන අසහනය හරහා සමාජ වටිනාකම් බිඳ වැටේ. එබැවින් යුද සමය ඕනෑම සමාජයක වියවුල් සහිත කාලයකි. නමුත් කොටි පරදවන යුද්ධයට සමාන්තරව සදාචාරවත් සමාජයක් ;ගාඩ නැගීමට ඇවැසි පසුබිම ද ජනපතිතුමා ස්ථාපිත කළේය. මත්ද්‍රව්‍යයන්ට පුරුදු වුණු පිරිස් ඉන් මුදා ගන්නා “මතට තිත” ව්‍යාපෘතිය මෙන්ම සදහම් චාරිකා, පාතාලය මර්දනය, නිල් වෙබ් අඩවි තහනම සහ දහම් පාසල් ගුරුවරුන්ට නිල ඇඳුම් ලබාදීම ඊට නිදසුන්ය.

කොටි පරාජයේ හයවන සුවිශේෂත්වය වන්නේ යුද්ධයට සමගාමීව දැවැන්ත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් දියත් වීමයි. සාමාන්‍යයෙන් යුද සමයක් යනු ඕනෑම රටක අඳුරු සමයයි. සංවර්ධනය ඇන හිටින යුගයයි. ආර්ථිකය කඩා වැටෙන යුගයයි. ජනතාව දුක් විඳින සමයයි. නමුත් කොටි පරදන සටනට සමගාමීව දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් ද දියත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස සාම මායාව පැවැති 2001 – 2005 යුගයට වඩා දැවැන්ත සංවර්ධනයක් යුද සමයේ දී අත්පත් කර ගැනීමට ලංකාව සමත් විය.

සාම මායා යුගයේ දී 4%ට අඩු මට්ටමක පැවැති ආර්ථික සංවර්ධන වේගය යුද සමයේ දී 6% ඉක්මවා යෑමට හැකි විය. ලෝකයේ අතිශය බහුතර රටවල් ගණනක් ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ 2009 වසරේ දී 3.5% ආර්ථික වර්ධනයක් පෙන්වා ලොවම විස්මයට පත් කිරීමට හැකි වූයේ යුද සමයේ වැටුණු ආර්ථික අත්තිවාරමේ සවියෙනි. අද ඉතිහාසයේ නොවුණු අයුරින් 8%ක සුවිශේෂී ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව පවත්වා ගැනීමේ ඉඟි පහළ වන්නේ යුද සමයේ කළ ආයෝජනයන් හි ප්‍රතිඵලයක් ලෙසය.

යුද සමයේ දියත් වුණු දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති අතර නොරොච්චෝලේ සහ ඉහළකොත්මලේ විදුලි බලාගාර සුවිශේෂීය. ඒ මෙම ව්‍යාපෘති දෙක පෙර ආණ්ඩු විසින් සුළු පිරිසකගේ විරෝධයන්ට බියෙන් හකුලා ගත් ව්‍යාපෘති වීමයි. තමන්ට නිවැරැදි යැයි ඒත්තු ගිය කරුණක් ක්‍රියාත්මක කිරීමේ දී විදේශීය මෙන්ම දේශීය බලපෑම් හමුවේ ද නොසැලී සිටීම රාජපක්‍ෂ යුගයේ සුවිශේෂී ලක්ෂණයකි.

පසුගිය සය වසර නිදහස් ලංකාවේ පමණක් නොව සමස්ත ලාංකික ඉතිහාසය තුළම සුවිශේෂී සය වසරකි. පසුගිය ජනපතිවරණයේ දී ශපථ කළ අයුරින් ශ්‍රී ලංකාව මේ දශකයේ ආසියාවේ ආශ්චර්ය බවට පත් කළොත් ගෙවුණු සය වසර මෙන්ම ඉදිරි සය වසර ද ඉතිහාසයට එක් වනු ඇත්තේ රන් අකුරෙනි. ඊට නායකත්වය දීමට ජනපතිතුමන් සූදානම්ය. නමුත් එතුමන්ට එම අභියෝගය හුදකලාව ජය ගත නොහැක. සමස්ත ජාතියම පටු භේද දුරැලා එතුමන් වටා එකතු වුවහොත් ජනපති සිහිනය සැබෑ වනු ඇත.