මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආගමික මෙහෙවර

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආගමික මෙහෙවර

වර්ෂ 2005 න් ආරම්භවන කාල පරිච්ඡේදය ශ්‍රී ලංකා ඉතිහාසයේ නව යුගයක ආරම්භය සනිටුහන් කෙරෙන අවදියක් ලෙස සඳහන් කළ හැකිය. ඊට හේතුව වසර 700 කට පසු මේ රටේ සිදුවුණු සහ සිදුවෙමින් පවතින විප්ලවීය ප්‍රවණතාවන් රාශියක් අපට දැකගන්නට අවස්ථාව උදාවී තිබීමයි.

වර්තමානයේ සිදුවෙමින් පවත්නා වූ මේ සුබවාදී ක්‍රියාකාරකම් අපට දකින්නට ලැබෙන්නේ කෝට්ටේ රාජධානි සමයෙහි ලක් රජය හෙබැවූ සයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ උදාර මෙහෙවරින් පසුව ය.

ජාතියක් වශයෙන් වසර 2300 කට වැඩි පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් වන අපට, ජාතික, ආගමික, ආර්ථික හා දේශපාලනික වශයෙන් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වන්නට සිදු වූයේ බටහිර ජාතීන්ගේ ආක්‍රමණ නිසාය. 15 වන සියවසේ පෘතුගීසි ජාතිකයනුත්, 17 වන සියවසේ ලන්දේසි ජාතිකයනුත්, 18 වන සියවසේ ඉංගී‍්‍රසි ජාතිකයනුත් අපේ රට ආක්‍රමණය කිරීමේ දුර්විපාක අතර, ඉතා බරපතල අන්දමින් අපේ උතුම් සංස්කෘතිය විනාශ වී යාම පෙන්වා දිය හැකිය.

විදේශික මිත්‍යාදෘෂ්ටික ආක්‍රමණිකයන් විසින් විනාශ කරන ලද අපේ රටේ ආර්ථිකය, ස්වාධීනත්වය හා ජාතික උරුමයන් නිදහස ලැබීමෙන් පසු යම් තරමකට හෝ යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට හැකි වී ඇතත්, ඔවුන් අතින් වැනසුණු අපේ සංස්කෘතිය, සතුටුදායක අන්දමින් පුනරුත්ථාපනය කිරීමට තවමත් අපට හැකිවී නැත. මීට වසර 700 කට ඈත දී අපේ රටේ පැවැති සාරධර්ම සංරක්‍ෂණයත්, මානවදයාව , මානව භක්තිය පිළිබඳ අන්තර් ජාතික කීර්තිනාමයත් සැලකිල්ලට ගෙන සමාජය දෙස සුපරීක්‍ෂාකාරී ලෙස බැලීමෙන් මේ බව මනාව පෙනී යයි.

මෙබඳු තත්ත්වයක් උද්ගතවීමට ප්‍රධාන හේතුව, අධිරාජ්‍යවාදී මිෂනාරී පාලකයන්ගෙන් දේශපාලනික වශයෙන් යම් නිදහසක් ලබාගත්තත්, අධිරාජ්‍යවාදී මානසිකත්වයෙන් නිදහස් වීමට අපට තවමත් නොහැකි වීමයි.

නිදහස ලබාගැනීම

අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, මොහොට්ටිවත්තේ ගුණානන්ද, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැනි වීරෝදාර දේශප්‍රේමීන්ගේ ජාතික ව්‍යාපාර හරහා අපේ සංස්කෘතිය කිසියම් පිබිදීමක් සහිත උත්තේජනයක් ලැබුවත්, ඒ ලැබූ ජයග්‍රහණයන් ඉදිරියට ගෙන යාමට සමත් සැබෑ දේශප්‍රේමී ජාතික නායකයන් නොසිටීම නිසා, එකී ජයග්‍රහණයන් ද දිගටම ආරක්ෂා කර ගැනීමට හැකි වූයේ නැත.

කිරිවෙහෙරේ ආශිර්වාදය නිරතුරුවම...

වර්ෂ 2005 දී, දකුණේ පාරම්පරික දේශප්‍රේමී ප්‍රභූ පෙළපතකින් පැවත එන මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ජනාධිපති පදවියට පත්වන තුරු එකී අභාග්‍ය සම්පන්න ජාතික ඛේදවාචකයෙහි සතුටු දායක වෙනසක් සිදුවූයේ ද නැත.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් දුර දක්නා නුවණින් නිතර කළ ප්‍රකාශයක් වූයේ ‘සුද්දන් කවදාහරි මේ රට අතහැර යන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් ඉස් මුදුනින් පිළිගන්නා සුවච කීකරු කළු සුද්දන් පිිරිසක් මේ රටේ බෝකිරීමෙන් පසුව“ බවයි. මේ ප්‍රකාශය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සත්‍යයක් බව, නිදහස ලබා ගැනීමෙන් පසු 2005 වන තුරුම අපේ රටේ නායකයන් යැයි කියාගන්නවුන් කළ කී දෑ විමසීමෙන් පෙනේ.

සදාචාර විරෝධී

නිදහස ලබා ගැනීමෙන් පසු මේ රට කරවූ පාලකයන් බොහෝ දෙනෙක් නමින් පමණක් බෞද්ධයේ වූහ. නො එසේ නම් බලය ලබා ගැනීම සඳහා ආගම දඩමීමා කරගත්හ. ඇතමෙක්, බලය තහවුරු කරගැනීම සඳහා බුදු දහම කඩතුරාවක් කරගත්හ. ඇතැමෙක් එළි පිට ම බෞද්ධ විරෝධීහු වූහ. මේ බොහෝ දෙනා කළේ සුද්දන් උපක්‍රමශීලිව කරගෙන ගිය දේ වෙනත් මුහුණුවරකින් තවදුරටත් ක්‍රියාත්මක කිරීමයි. එහි ප්‍රතිඵලය වූයේ, එදා ධර්මද්වීපය ලෙස ලෝකවාසීන්ගේ ප්‍රශංසාවට ලක් වූ අපගේ මාතෘ භූමිය, මිනී කන්නන්ගේ දේශයක් හැටියට ලෝකයා හමුවේ අවඥාවට ලක්වීමය.

නිදහස ලබා ගැනීමෙන් පසු ඊට පෙර නොවූ ප්‍රශ්න මතුවූයේ මේ පසුබිම යටතේ යි. නිදහස ලබාගැනීමට සටන් කරද්දී තිබුණු ජාතීන් අතර සාමකාමී සහජීවනය, වාර්ගික අර්බුදයක් දක්වා වර්ධනය විය. ආර්ථික, සමාජික, අධ්‍යාපනික හා සාමයික ආදී හැම ක්‍ෂේත්‍රයක ම අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූයේ ය. ආගම් විරෝධි ව්‍යාපාර, සදාචාර විරෝධී කටයුතු, බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ සමාජය පුරා පැතිරයන්නට විය. 2005 වන විට අපේ රට පත්ව තිබුණේ පුපුරා යන්නට ආසන්න ගිනි කන්දක් මත පැවති බිම් කඩක් වැනි බරපතල අවදානමක් යටතේ ය. මේ තත්ත්වයට සපුරා ම වග කිවයුත්තේ බහුතරයක් වූ ජනතාව නොව අතළොස්සක් වූ බලලෝභී පාලකයන්ය.

මා ඉතා හොඳින් ම දන්නා පරිදි, මහින්ද රාජපක්‍ෂ යනු, 1818 අධිරාජ්‍ය විරෝධී උඩරට කැරැල්ල දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන පෙළ පතකට ලේ නෑකම් කියන, අනගාරික ධර්මපාලතුමා වැනි පුරෝගාමී බෞද්ධ නායකයන්ගේ ඇසුර ලත් මවුපියන් ඇසුරෙහි හැදී වැඩුණ, ජනහිතකාමී සිංහල බෞද්ධ ජන නායකයෙකි. කුඩා අවදියේ සිට ම භික්‍ෂූන් වහන්සේලා ඇසුරෙහි ශික්‍ෂණය ලත් එතුමා මහා සංඝයාගේ ඉමහත් ප්‍රසාදය දිනා සිටි භක්තිමත් බෞද්ධ උපාසකයකු ද වූයේ ය. අස්ගිරි මල්වතු මහා විහාරයෙන් “ශ්‍රී රෝහණ ජන රංජන” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීමට තරම් භාග්‍යවන්තයකු ද වූයේ ය. ජනාධිපති පදවියට පත්වන ෂටත් එසේ මහා සංඝයාගේ සම්භාවනාවට පත් ව සිටි එතුමා, ජනාධිපති පදවියට පත්වීමෙන් පසු වඩාත් වැඩියෙන් ආගම දහමට නැඹුරු වූයේ පෙර රජ දරුවන් අනුගමනය කරමිනි.

අසිරිමත් මෙහෙවර

වසර 700 කට පසු ශ්‍රී ලංකාව එක් සේසත් කළ පාලකයා ලෙස ඉතිහාසයට එක්වන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා, ආර්ථික, සාමාජික, අධ්‍යාපනික ආදී සෑම ක්‍ෂේත්‍රයකින් ම විශාල සංවර්ධනයක් ඇති කිරීමට ද කටයුතු කරමින් සිටී. මගේ අවධානය යොමුවන්නේ එතුමාගේ පාලනය යටතේ ආගමික ක්‍ෂේත්‍රයෙහි සිදුවී ඇති සහ සිදුවෙමින් පවත්නා අසිරිමත් මෙහෙවර පිළිබඳවය.

විජය රජතුමාගේ සිට අද දක්වා අපේ රටේ රාජ පරම්පරාවත්, ඔවුන් කළ කී දෑත් සඳහන් වන අපේ ඉතිහාස ග්‍රන්ථය මහාවංශය යි. එය අපේ සාඩම්බර ඓතිහාසික උරුමය ද වෙයි . මහාවංශයෙහි කිසියම් රජ කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වය තීරණය කරනු ලැබ ඇත්තේ පිළිවෙළින් නිර්ණායක තුනක් මතය.

බුදු දහම

i ඔහුගෙන් සිදුවූ බෞද්ධාගමික සේවය

ii රට එක්සේසත් කිරීම හා රාජ්‍යයේ ස්ථාවරත්වය

iii රට සංවර්ධනය කිරීමට කළ මෙහෙවර

මහාවංශයෙහි ප්‍රමුඛත්වයක් ලැබී ඇති හැම පාලකයකුගේ ම රාජ්‍ය පාලනය තුළ ඉහත කී ක්‍ෂේත්‍රයන්හි කර ඇති විශිෂ්ට සේවය ඇගයීමට ලක්වී තිබේ. දේවානම්පියතිස්ස, පණ්ඩුකාභය, වළගම්බා, දුටුගැමුණු, මහසෙන්, ධාතුසේන, මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු, සයවැනි පරාක්‍රමබාහු වැනි රජ දරුවෝ එහි දී කැපී පෙනෙති. ඔවුහු බුදු සසුනේ චිරස්තිථියටත්, රාජ්‍යයේ ස්ථාවරත්වයටත්, ආර්ථික සංවර්ධනයටත් අමිල මෙහෙයක් ඉටුකළාහු වෙති.

නිදහස ලබා ගැනීමෙන් පසු මේ රටේ බිහි වූ පාලකයන් අතර ඒ විශිෂ්ටත්වය නිසැකව ම හිමිවන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාටය.

එතුමා වසර 700 කට පසු ශ්‍රී ලංකාව එක්සේසත් කරන්නට සමත් විය. බුදු දහම රක්‍ෂණය පෝෂණය කොට බුදු සසුනේ චිරස්තිථිය උදෙසා සෘජුව ම රාජ්‍ය අනුග්‍රහය ලබාදී තිබේ. එසේ ම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව අනෙකුත් ආගම්වලට සාධාරණත්වය ද ඉටුකර තිබේ. රටේ ආර්ථික සංවර්ධනය උදෙසා මහා පරිමාණයේ සංවර්ධන යෝජනා ක්‍රම මෙන් ම, ජනතාවගේ එදිනෙදා ජීවිතය සුඛිත – මුදිත කිරීම සඳහා ඵලදායී ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අපේ ඉතිහාසයෙහි ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයකු හැටියට එතුමාගේ නම විශිෂ්ටයන්ගේ නාමාවලියට එක් වන්නේ ය.

බෞද්ධ ජීවිතයකට

මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් ජනාධිපති ධුරයට පත් වූ දා සිට ම, සෑම පුර පසළොස්වසක පොහොය දිනයක ම ජනාධිපතිතුමා වෙසෙන අරලියගහ මන්දිරය ධර්ම මන්දිරයක් බවට පත්වෙයි. එදිනට ජනාධිපතිතුමා ඇතුළු රටේ සුවහසක් ජනතාව ධර්මශ්‍රවණයෙහි යෙදී ප්‍රතිපත්ති ගරුක බෞද්ධ ජීවිතයකට යොමුවෙති.

කුඩා කල පටන් ම භික්‍ෂූන් වහන්සේ ඇසුරෙහි ලත් පන්නරය නිසා එතුමා කවදත් සංස්කෘතික හරයන්හි අගය දන්නා නිසා ම රටේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් තහවුරු කිරීමට ප්‍රශංසනීය වෑයමක් දරනු පෙනේ. බුදු සසුනේ පැවැත්මටත්, චිරස්තිථියටත් රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ ඒ අනුවය.

ලාංකේය සමාජය තුළ බෞද්ධ සාරධර්ම සුපෝෂණය කිරීමට නම්, අධිරාජ්‍යවාදී පාලනය යටතේ ගිලිහී ගිය - පැවිදි සබඳතාව යළි තහවුරු කිරීමට නම් ගමත් පන්සලත් එකතු කළ යුතු බව ඇදහූ එතුමා විශේෂයෙන් හෙට දවසේ අනාගතය භාර ගන්නා තරුණ පරම්පරාව ඒ සඳහා යොමු කරවීමට අදහස් කළේ ය. විහාරස්ථාන ආශි‍්‍රත ව වෘත්තීය පුහුණු පාඨමාලා ඇරඹුණේ ඒ සංකල්පය ඔස්සේ ය. සැබැවින්ම එය විපුල ඵලදායී ක්‍රියාවලියක් වූයේ ය.

ක්‍රි. ව. 2011 යෙදුණු ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ බෞද්ධ ආගමික නැඹුරු ව මැනැවින් ප්‍රදර්ශනය කළ කදිම අවස්ථාවක් විය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා එතුමා විසින් පත්කරන ලද ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවේ නිර්දේශ මත ක්‍රියාත්මක වූ විසි වැදෑරුම් ප්‍රවර්ධන වැඩසටහන, දිවයින පුරා බෞද්ධ ප්‍රබෝධයක් උදාකරලීමට ඉවහල් විය.

වෙහෙර විහාර සංවර්ධනය, භික්‍ෂූන් වහන්සේලාගේ ජීවින තත්ත්වය නගාලීම, බෞද්ධ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සහ ධර්මානුකූලවූත්, විනය ගරුකවූත් සමාජයක් ගොඩනැගීම උදෙසා විශාල රාජ්‍ය අනුග්‍රහයක් ලැබී ඇත්තේ මහින්ද චින්තනය ඔස්සේ ය. නිදහස ලැබීමෙන් පසු කිසිදු රජයක් විසින් ඉටුනොකළ අන්දමේ වැඩසටහන් රැසක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් ඉටුවී ඇත.

රාජ්‍ය පාලකයන්

රටේ ප්‍රධාන ආගම වූ බුද්ධාගම, රක්‍ෂණය පෝෂණය කිරීමේ රාජ්‍ය වගකීම ව්‍යවස්ථාවට පමණක් සීමා වී පැවැති යුගය අවසන් කරමින්, එය ප්‍රායෝගික කාර්ය සංසිද්ධියක් බවට පත් කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ය.

උපතින් පමණක් නොව පෙළපතින් ම නිර්මල බෞද්ධයකු වූ එතුමා බුදු සසුනේ අභිවෘද්ධියට නොමසුරු ව දායකත්වය ලබා දෙන අතර ම අනෙකුත් ආගම්වලට දක්වන අනුග්‍රහය ද විශේෂයෙන් ම අගය කළ යුතුය.

වර්තමානය වන විට අපේ රට බහු ආගමික රටකි. ප්‍රධාන ආගම වූ බුද්ධාගම ට අමතරව, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආගමිකයෝ ද විශාල පිරිසක් වෙසෙති. ඔවුන් සතු දේවස්ථාන ද රාශියකි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ඕනෑම පුරවැසියකුට ඕනෑ ම ආගමක් ඇදහීමේ අයිතිය තිබේ. ඒ අයිතිය ආරක්ෂා කිරීම රාජ්‍ය නායකයාගේ වගකීමයි.

ඒ වගකීම මැනැවින් අවබෝධ කරගෙන සිටින මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා, වෙනත් ආගම් කෙරෙහි දක්වන අනුග්‍රහයත්, විවිධ ආගම් අදහන්නවුන් අතර ආගමික සහජීවනයක් ඇති කිරීමට දරන ප්‍රයත්නයත් ප්‍රශංසාර්හ ය.

බුදු දහම අපේ රටේ තහවුරු වීමෙන් පසු, විවිධ රාජ්‍ය පාලකයන් යටතේ බෞද්ධ ප්‍රබෝධය වඩාත් ඉහළ නැඟුණු අවස්ථා රාශියක් අපේ ඉතිහාසයෙන් පෙනේ.

මෑත ඉතිහාසයේ එබඳු බෞද්ධ ප්‍රබෝධයක් දක්නට ලැබෙනනේ මහනුවර රාජධානි සමයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසයි. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ ඇති වූ එම බෞද්ධ ප්‍රබෝධයෙන් පසු යළිත් එවන් බෞද්ධ ප්‍රබෝධයක් අපට දකින්නට ලැබෙන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේදී ය. එබඳු යුගයක ජීවත් වන්නට ලැබීම අපගේ ද භාග්‍යයකි.