මුස්ලිම් ජනතාවට සිදුකළ සේවය අපමණයි

මුස්ලිම් ජනතාවට සිදුකළ සේවය අපමණයි

අරාජික දේශයක් බියෙන් සැකයෙන් ජීවත් වූ ජාතියකට සදාකාලික සාමයක් ලබා දුන් ජනාධිපතිතුමාගේ දෙවෙනි පදවි ප්‍රාප්තියේ පළමු වසර සම්පූර්ණය නිමිති කොට ගෙන සාමයෙන් පරිපූර්ණ දේශයක ජීවත්වන මුස්ලිම් පූජකවරයෙකු වශයෙන් මෙම ශුභ පැතුම් පණිවුඩය ඉතා සතුටින් නිකුත් කරමි. ආගමික සහජීවනයට ජාතියට මහඟු නායකත්වයක් ලබාදුන් ඉතිහාසගතවන එකම නායකයා ජනාධිපතිතුමයි.

ආගම ඇදහීමට තම තමන්ගේ පූජනීය ස්ථානයකට යාම පවා බිය ගන්වන සිද්ධියක්ව පැවතුනි. ඒ සියල්ල නැතිකර තම භක්තිය නිදහසේ ඇදහීමට අවස්ථාව උදාකර දුන්නේ ජනාධිපතිතුමා ය. මෙම නිදහස ඵලදායි ලෙස සෑම ජාතියකටම ආගමකටම භුක්ති විඳීමේදී අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහජීවනයෙන් කිරීමට එතුමාගේ කෘතහස්ත නායකත්වය මාර්ගය සාදා දී ඇත. මේ නිසා එතුමා ලොව සාමය අගයන ආගම්වලට ගරු කරන ශ්‍රේෂ්ඨ නායකයෙකු බව ඔප්පු කර ඇත. මෙම ආදර්ශය ලොවට දී ඇත. බෞද්ධ, මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි ආගම්වලට වෙන වෙනම තිබූ අමාත්‍යංශ සියල්ල බුද්ධ ශාසන හා ආගමික අමාත්‍යංශය නමින් එක වහලක් යටතට ගෙන අද ක්‍රියාත්මක වන ක්‍රමය ආගමික සහජීවනයට අති වැදගත් පියවරකි. සෑම භක්තිකයෙකුම තම ප්‍රශ්නයකට පැමිණෙන්නේ එක වහලක් යටතට ය. මෙය එක රටක ඒකීය භාවයේ එකමුතු බවේ සහජීවනයේ පිළිබිඹුවකි. විවිධ ලබ්දීන්ට අයත් පුරවැසියන්, පූජ්‍ය පූජක පක්ෂවලට අයත් උතුමන් මුණ ගැසෙන අතර ඔවුන් අතර සබඳතා සාකච්ඡා, හිතවත්කම් ඇතිවන අතර පොදුවේ රටේ නීතියට හා රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාවද උදාවී ඇත. මෙය ජනාධිපතිතුමාගේ ආගමික සහජීවන සංකල්පය අති විශිෂ්ට පියවරකි. එසේම මෙම අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස වගකීම කෘතහස්ත දේශපාලනඥයෙකු වන අග්‍රාමාත්‍යතුමා යටතේ පවත්වා ගෙන යාමත් එතුමාගේ දක්ෂ තීරණයකි.

ජනාධිපති කාය¸ාලයේ සියලුම ආගම්වලට අයත් පූජ්‍ය පූජක පක්ෂයෙන් සැදුම්ලත් අන්තර් ආගමික සන්ධානයක් පත් කර එතුමන්ලාගේ උපදේශකත්වයෙන් කටයුතු කිරීමද එතුමාගේ ආගමික සහජීවනයේ පියවරකි. සම්බන්ධීකාරකයන් ලෙස සෑම ආගමක්ම නියෝජනය වන පරිදි පූජ්‍ය පූජකවරුන් මෙය නියෝජනය කරති.

ඉතා සහයෝගයෙන් සමීපව කටයුතු කරන මෙම පූජ්‍ය පූජක පක්ෂය ලොවටම ආදර්ශයකි. ජනාධිපතිතුමාගේ මෙම පියවර ලොව කිසිම රටක දක්නට නැති ලොවටම ආදර්ශයට ගත හැකි පියවරකි. සියලුම රාජ්‍ය උත්සවවලට හා අනෙකුත් උත්සවවලට ආගමික සහජීවනය අගය කරමින් ආගම් සතරම නියෝජනය කරන පූජ්‍ය පූජක පක්ෂය සහභාගි කරවා ගැනීමද එතුමාගේ සහජීවනයේ පියවරකි. ත්‍රස්තවාදීන් යනු මනුෂ්‍යත්වය ගරු නොකරන ආගමක් ගරු නොකරන සාමය නොඅගයන ම්ලේච්ඡත්වය රජකරවන පිරිසකි. මේ තත්ත්වය පසුගිය වකවානුවේ අපේ රටේද දුටිමු.

1987 ජුනි මස 02 වෙනිදා අරන්තලාවේ දී භික්‍ෂුන් වහන්සේලා 31 නමක් ඝාතනය කිරීම, ජය ශ්‍රී මහා බෝධීන් අසල සිදුවූ ඝාතනය, ශ්‍රී දළදා මැදුරට කළ ප්‍රහාරය 1989 දෙසැම්බර් 03 වෙනිදා කාත්තාන්කුඩියේ මුස්ලිම් පල්ලියේ යාඥාවේ යෙදී සිටි බැතිමතුන් පිරිසක් ඝාතනය කිරීම 1990 අගෝස්තු මස 11 වෙනිදා ඒරාවුර් මුස්ලිම් දේවස්ථානයේ ආගමික වතාවත්වල යෙදී සිටි 173 දෙනෙකු ඝාතනය ක්‍රිස්තු භක්තිකයන්ගේ පූජනීය දේවස්ථානයක් වන මඩු පල්ලිය ආක්‍රමණයකොට ආරක්ෂිත පලිහක් ලෙස භාවිතා කිරීම, ඊට හානි පැමිණවීම එසේම ඔවුන් නොරිස්සූ හින්දු පූජකයන් ඝාතනය කිරීම වැනි ම්ලේච්ඡ ආගමික ප්‍රහාරයන් නිසා පූජනීය ස්ථානයකට පවා යාමට බිය වූ ශ්‍රී ලාංකික ජනතාව මානුෂ්‍ය මෙහෙයුමෙන් උදාකළ සාමය ඵලදායි ලෙස ජනතාව භුක්ති විඳීමට සියලුම ලබ්දිකයනට තම ලබ්දිය නිදහසේ ඇදහීමට අවස්ථාව උදාකරදී ජනතාව තුළ අන්‍යෝන්‍ය අබෝධය තහවුරු කිරීමේ සාර්ථක පියවරක් ලෙස ආගමික සහජීවනය ඇති කර ඇත. ලද සාමයෙන් උදාවූ ආගමික නිදහස මල ඵල ගැන්වීමේ සාර්ථක පියවරකි ආගමික සහජීවනය.

මම අවස්ථාවේ දී මුස්ලිම් පූජකවරයෙකු වශයෙන් එතුමා ඉස්ලාම් භක්තිකයන්ට කළ සේවයද මතක් කළ යුතුයි. පසුගිය සමයේ ත්‍රස්තවාදීන් පැය 24කින් මුතුර්වලින් එහි ජීවත් වූ මුස්ලිම් ජාතිකයන් එම ප්‍රදේශයෙන් ත්‍රස්තවාදීන් පලවා හැරියේ මුස්ලිම්වරුන්ගේ වැදගත් මාසයක් වන නෝම්බි (උපවාස) මාසය අත ලඟ තිබියදී ය.

ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ දී එම ජනතාවට පොරොන්දු වුණා දින 40 ක් තුළ නැවත තම වාසස්ථානවලට යාමට ඉඩ සලසා දෙන බවය. එය එසේම ඉටු කළ ජනාධිපතිතුමා එම ජනතාවට තමන්ගේ ගම්බිම්වල සිට උපවාස කිරීමට අවස්ථාව උදා කර දුන්නේ ය. මෙය කිසිම මුස්ලිම් භක්තිකයෙකුට අමතක නොවන සිද්ධියකි.

දිනපතා පස්වතාව අදාන් කීමට ගුවන් විදුලියෙන් අවස්ථාව සලසා දුන්නේ ද එතුමා ය. මෙයත් මුස්ලිම් භක්තිකයනට අමතක නොවන සේවයකි. ඉස්ලාම් ආගම ඉගැන්වීම සඳහා මෞලවි පත්වීම් ලබාදී ආගමික අධ්‍යාපනයට ද එතුමාගෙන් සේවයක් සිදුවුනි.

මුස්ලිම් පූජකවරයෙකු වශයෙන් එතුමාගේ ආගම් සම්බන්ධව එතුමාගේ ක්‍රියාකලාපය වැදගත්කොට සලකන අතර එතුමාගෙන් මුස්ලිම්වරුන්ට ආගමික වශයෙන් සිදුවූ සේවයද අගයමි.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට නායකත්වයදෙන ජාති ආගම් කුල භේද නොසලකා කටයුතු කරන ජනාධිපතිතුමා ආරම්භ කර ඇති දීර්ඝ ගමනේ මුළු ජාතියටම ඵලදායි වන ආර්ථික සංවර්ධන පියවර ගැනද මතක් කළ යුතුයි. ඉතා කඩිනමින් ඉදිවන මහා මාර්ග, අධිවේගී මාර්ග පද්ධතිය සංවර්ධන යෝජනා ක්‍රම ශ්‍රී ලංකාව ආසියාවේ අශ්චර්ය බවට අප මව් බිම පත්කිරීමට එතුමා ගන්නා යෝධ වෑයමද අප අගය කළ යුතු අතර ඒ සඳහා ජාතියක් වශයෙන් අප ඊට ඇප කැප විය යුතුයි. ආගමික සහජීවනයටත් ආර්ථික සංවර්ධනය කරා ගමන් කිරීමටත් පාදක වූයේ එතුමාගේ නායකත්වයෙන් උදාකළ ස්ථීර සාමයයි.

මෙම සාමය විනාශ කොට ජනතාව නැවත අඳුරු අගාධයකට තල්ලු කිරීමට දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර ක්‍ෂෙත්‍රයේ සිදුවන කුමන්ත්‍රණ, ප්‍රචාර, මඩගැසීම් අනවශ්‍ය චෝදනා ඉදිරිපත් කිරීම්, කොමිටි වාර්තා මගින් විශාල උත්සාහයක් අප ඉදිරියේ ඇත.

මේ නිසා නිදහස් දේශයක සාමකාමී පරිසරයක ඉදිරියට ගමන් කරන ජාතියක තත්ත්වයක අපව ගෙන ආවේ ජනාධිපතිතුමා ය. එතුමාගේ නායකත්වයයි. මෙවන් දිනයක සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම ජාති ආගම් තුළ පක්ෂ භේද නොසලකා ඉදිරියට යන එතුමා සමග අත්වැල් බැඳ ගතයුතු වෙමු.

අප එතුමාට ධෛය¸යක් සහ ජවයක් විය යුතුයි. එය සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීම සහ යුතුකම වේ.

අරාජික රටක් ගොඩගත් සදාකාලික සාමය උදා කළ ආගමික සහජීවනයක් ගොඩ නැගූ ජනාධිපතිතුමාට ඉදිරි වැඩ පිළිවෙළත් සාර්ථක කර ගැනීමට ශක්තියත් දීඝ¡ායුෂත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.