ජන හද ගැස්ම හඳුනාගත් නායකයා

ජන හද ගැස්ම හඳුනාගත් නායකයා

එදා මෙදාතුර අප මාතෘභූමිය තුළ පහළ වූ රාජ්‍ය නායකයන් අතුරින් මව්බිමේ සෛවරීත්වය හා එක්සත්බව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදු කළ මහින්ද රාජපක්ෂ නම් වූ ජනහිතකාමී නායකයා පිළිබඳ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, යන පංච මහා බලවේගයෙන්ම නැගෙන්නේ එකම හඬකි. තිස්වසරකට අධික කාලයක් පුරා මෙරටට පැවති ත්‍රස්තවාදය තුරන් කොට රටට සාමය උදාකර නව සංවර්ධන මාවතක් කරා ශ්‍රී ලංකාව ගෙනයන ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය පළමු වසර පිළිබඳව කැළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසෙන ලිපියකි මේ.

කළ යුතු දේ වන්නේ රට සංවර්ධනය කිරීමයි. එසේම රට විනාශ කිරීම නොකළ යුතු ය. රාජ්‍ය දේපළ තමන්ගේ බූදලයක් ලෙස හිතාගෙන කටයුතු කළ රාජ්‍ය නායකයන් සිටි මේ රටේ ජනාධිපතිතුමා සැබෑම ආදර්ශවත් නායකයෙකි. අතීතයේ සිටි බොහෝ රාජ්‍ය නායකයන් සිදු කළේ රට සංවර්ධනය නොකර තමන්ගේ ඥාති වර්ගයා සංවර්ධනය කිරීමයි. එනමුත් ජනාධිපතිතුමා නොකළ යුතු දේනොකළා, කළ යුතු දේ කළ නිසා රට වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකිරීමට එතුමාට හැකිවිය.

රට සංවර්ධනය කිරීම පිළිබඳ අවධානය යොමු කරද්දී ඇතැමුන් රට ලෙස තේරුම් ගත්තේ කොළඹ ප්‍රදේශයයි. එසේම ඇතැමුන් ජනතාව ලෙස තේරුම් ගත්තේ මධ්‍යම පන්තියයි. ඇතැමුන් ආර්ථිකය පමණක් සංවර්ධනය ලෙස සැලකුවද ජනාධිපතිතුමන්ගේ කටයුතු පිළිබඳ සලකා බැලීමේදී එතුමා සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම අවධානය යොමු කළ රාජ්‍ය නායකයෙක් බව හඳුනාගත හැකිය. නිදසුනක් ලෙස ගතහොත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන තන්ත්‍රිය තිබූ යුගයේ ඔහු කළ යුතු දේ ලෙස හඳුනාගෙන තිබුණේ ආර්ථික සංවර්ධනය පමණි. අධ්‍යාපනය, සංස්කෘතිය, විදෙස් සම්බන්ධතා, රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළ කළ යුතු දේවල් ලෙස ඔහු හඳුනාගෙන තිබුණේ නැත. එසේම ප්‍රෙමදාස මහතාගේ රාජ්‍ය පාලන කාලයේ දී එතුමා සිතුවේ සංවර්ධනය යනු නිවාස සෑදීම පමණක් බවයි. එතුමා නිවාස ඉදිකළත් විදෙස් සබඳතා, ත්‍රස්තවාදය තුරන් කිරීම වැනි මාතෘකා කෙරෙහි අවධානය යොමු කළේ නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන කාලයේ ද එසේමය. එතුමිය වැඩි අවධානයක් යොමුකළේ සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජනවර්ගයන්ට සමතැන ලබාදීම පිළිබඳවය. එම රාජ්‍ය නායකයින් එදා ගමන් කළේ දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙළක මාතෘකාවන් දෙකක් මත පමණක් රැඳී සිටි මණ්ඩුක දේශපාලන ගමනකය. සෑම ක්ෂේත්‍රයක්ම සමතුලිතව, සමබරව පවත්වාගෙන යාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ විශේෂත්වයකි.

යුද්ධයෙන් රට බේරා ගැනීම, ආර්ථිකය සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, විදේශ සබඳතා පවත්වා ගැනීම, ඩයස්පෝරාවට මුහුණදීම, රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම වැනි සියලුම ව්‍යාප්තීය කරුණු ඒකරාශී කරගත් ගමනක යන ජනාධිපති තුමාගේ සේවය අගය කළ යුතුය.

අපේ විශ්වාසය ඔබයි...

යුද්ධය දේශපාලන විෂයයෙහි තවදුරටත් අලෙවි භාණ්ඩයක් නොවේ’ එම නිසා යුද්ධය දේශපාලන අවියක්වත්, තවදුරටත් දේශපාලන න්‍යාය පත්‍රයේ තිබෙන අංගයක්වත් නොවනු ඇත. දැන් ජනාධිපතිතුමාට නිර්මාණශීලී දේශපාලන ගමනක් ආරම්භ කරන්නට හොඳම කාලය එළඹ තිබේ. ඒ තුළින් අනාගතයට මුහුණ දීමට අනාගත දේශපාලන අරමුණු හඳුනාගැනීමට එතුමාට සිදුවේවි. එහිදී ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සංස්කෘතියක් නිර්මාණය කළ යුතුය. විශේෂයෙන් ආහාර නිෂ්පාදන සංස්කෘතියක් අපේ රට තුළ නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ. එසේම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් මත තිබෙන අධ්‍යාපනයක් නිර්මාණය කිරීම තුළින් බුද්ධිමත් පූජාවක් බිහි කළ හැකිය. ආහාරයෙන් පෝෂණීය ප්‍රජාවක් නිර්මාණ කිරිම තුළින් මන්ද පෝෂණය වැනි මාතෘකා අපේ රට තුළ කතා නොකරනු ඇත. මේ සියල්ල ඒකරාශී වෙද්දී අපේ රට ස්වයංපෝෂිතභාවයට පත් වේවි.

එහිදී තමන් කළ යුතු දෙයක් තිබේ. එනම් අනවශ්‍ය ආකාරයෙන් විදේශීය භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමෙන් විදේශගත වන්නා වූ දැවැන්ත විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමට ක්‍රියා මාර්ගයක් ගත යුතුය. එසේ වුවහොත් ජනාධිපතිතුමාගේ තුන්වන පදවි ප්‍රාප්තියටත් පණිවුඩයක් නිකුත් කිරීමට අපට හැකි වනු ඇත.

අධ්‍යාපනික, සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ජනතාව අපේක්ෂිත මට්ටමේ ජාතික තලයකට ඒ සියල්ල ගෙනයා නොහැකි වුණද ආණ්ඩුව ජාතික මාවතකට හැරුණේ ජනාධිපතිතුමා බලයට පැමිණීමත් සමඟය. එනම් එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ සිරිමා බණ්ඩාරනායක යුගයෙන් පසු ජාතික මාවතකට පත්වුනු ආණ්ඩුවක් නිර්මාණය කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. නමුත් මේ වන විට ජාතික මාවතේ ගමන් කර අවසන් යැයි ප්‍රකාශ කළ නොහැකිය. එසේම මේ රටේ පහළ වූ සහ පහළ වීමට නියමිත විශිෂ්ටතම එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව ප්‍රකාශ කිරීමට ඉක්මන් වන්නේ ද නැත. ස්වයං විවේචනයක් නොමැතිව අපට රටේ සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකිය. සංවර්ධනය සම්බන්ධයෙන් තවමත් ජනාධිපතිතුමා වටහාගත යුතු කරුණක් තිබේ. එනම් සංවර්ධනය යනු ජාතික සංවර්ධනය යන්නයි. මංමාවත්, ගුවන්තොටුපල, වරාය සංවර්ධනය විය යුතුයි.

එහි කිසිදු දොසක් දකින්නේද නැත. නමුත් රටේ අතිශය අනාගතය දකින්න නම් අපේ රටේ වාරිකර්මාන්තය, කෘෂිකර්මය, අධ්‍යාපනය සංවර්ධනය විය යුතුය. එම ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනය කෙරෙහිද අවධානය යොමු කළ හොත් ශ්‍රී ලංකාව තවදුරටත් ලෝක තලයේ ඉහළින් ඔසවා තැබිය හැකිය. එවිට රටේ ජනතාව අදත් හෙටත් රටේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාව පිළිගනු විශ්වාසය.