නිවැරැදි නායකත්වය යුද ජයග්‍රහණයට හේතු වුණා

නිවැරැදි නායකත්වය යුද ජයග්‍රහණයට හේතු වුණා

මහින්ද රාජපක්ෂ මහතා 2005 දී ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට රට දැවැන්ත ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටියේ ය. ඉන් ප්‍රධාන ප්‍රශ්නය නම් එල්. ටී. ටී. ඊ. සන්නද්ධ බෙදුම්වාදයයි. සිය බෙදුම්වාදී වුවමනාව සපුරා ගැනීම සඳහා එය ඉතා ඉහළ මට්ටමින් ත්‍රස්තවාදය උපයෝගී කරගත්තේ ය. තම අවසන් ඉලක්කය වූ දෙමළ ජනයා සඳහා වෙනම රාජ්‍යයක් ලබාගැනීම සඳහා එල්. ටී. ටී. ඊ. ය තෝරාගත්තේ සාමකාමී මාර්ගය නොව සන්නද්ධ ප්‍රචණ්ඩත්වයයි.

සන්නද්ධ ප්‍රචණ්ඩත්වය යොදාගනිමින් ලොව මුල් පෙළේ වෙනස්කම් ඇති වී තිබේ. කියුබාවේ පිදෙල් කස්ත්‍රෝ බැටිස්ටා ගේ ආඥාදායක පාලනය පෙරළා දැමුවේ සන්නද්ධ අරගලයකිනි. චීන විප්ලපය ද සන්නද්ධ අරගලයකි. කියුබාවේ සහ චීනයේ අරගලයේ නියැළි අය සටන් කළේ පාලක පංතියට එරෙහිවයි. එහෙත් එල්. ටී. ටී. ඊ.ය අතිශය ම්ලේච්ඡ අයුරින් සන්නද්ධ ප්‍රචණ්ඩත්වය යොදා ගත්තේ සිංහල - දෙමළ - මුස්ලිම් ආදී සියලු ජන කොටස්වලට එරෙහිවය.

2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය සඳහා තරඟ කරන විට සන්නද්ධ බෙදුම්වාදී ප්‍රචණ්ඩත්වය ඉතා ශක්තිමත් තැනක තිබිණි. අන්තර්ජාතික ප්‍රජාව යනුවෙන් හඳුන්වාගන්නා ලොව ධනවත් හා බලවත් රටවල් අතළොස්සක් ද, එම රටවල අණසක යටතේ පවතින එක්සත් ජාතින්ගේ සංවිධානය ද ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ද අනුගමනය කෙළේ එල්. ටී. ටී. ඊ. හිතෛශි පිළිවෙතකි. නිදසුනක් ලෙස එල්. ටී. ටී. ඊ යේ ප්‍රධාන කාර්යාලය පිහිටුවා තිබුණේ ලන්ඩන් නුවරය. ඇතැම් අය එල්. ටී. ටී. ඊ. යේ න්‍යායාචාර්යයා ලෙස හඳුන්වන එහි ප්‍රකාශකයා වූ ඇන්ටන් බාලසිංහම් ද එහි ජීවත් විය. එල්. ටී. ටී. ඊ. ය තමන්ට හිරිහැරයක් විය හැකි නිසා මේ රටවල් එහි තහනම් කළ ද තවදුරටත් ඊට සහාය දැක්වීමේ පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය. මේ හේතූන් නිසා විශාලම අභියෝගයක් එල්ල වූයේ මෙරට දේශපාලන නායකත්වයටයි. එල්. ටී. ටී. ඊ. ය සමඟ සාකච්ඡා විසඳුමකට ගියද – මිල්ටරි විසඳුමකට ගිය ද මේ බලවත් රටවල බලපෑමෙන් මිදෙන්නට නොහැකිය. එක්සත් ජාතීන්ගේ ලේඛනවල හොඳ පරමාර්ථ ලියැවී තිබේ. ඒ මොනවා ලියැවී තිබුණ ද ඔවුන්ගේ භාවිතාව ඊට වෙනස් ය. සෝවියට් දේශය බිඳවැටීමත් සමඟ අමෙරිකාව ප්‍රමුඛ ධනවත් රටවල් වඩා බලවත් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන විසින් ද කළේ එම ලෝක ආධිපත්‍ය පවත්වාගැනීමට උපකාරී වීමයි. එල්. ටී. ටී. ඊ. ය ක්‍රෑර ඝාතනයක් කළ සෑම විටම එක්සත් ජාතීන්ගේ සංවිධානය එල්. ටී. ටී. ඊ. යෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ සාකච්ඡා කරන ලෙසයි. එවැනි ක්‍රෑරත්වයක් නතර කරන ලෙසට එල්. ටී. ටී. ඊ. යට බල කරනු වෙනුවට ඔවුන් කළේ දෙපාර්ශවයෙන් ම ඉල්ලීම් කිරීමයි. මේ නිසා ශ්‍රී ලංකාව ඉදිරිපිට දැවැන්ත අභියෝගයක් විය.

ඊළඟ ප්‍රශ්නය සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු ලොව සියලු රටවල් නතු කොටගත් නව ලිබරල් ආර්ථික මාදිලිය හමුවේ ඊට අනුගතවනවා ද එසේ නැති නම් දේශීය අවශ්‍යතාවන්ට අභිමත ලෙස හැඩ ගැසෙනවාද යන්නයි.

මේ හැර රට තුළ තවත් ප්‍රශ්න තිබිණි. එහෙත් ඒවා එම පරිසරය තුළ ද්විතියිකය. 2005 ට කළින් සිටි සෑම රාජ්‍ය නායකයකු ම එල්. ටී. ටී. ඊ. හිතනවාදී බලවතුන්ගේ න්‍යාය පත්‍රයට අනුව ගියේය. 1994 අගභාගයේ දී බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව එල්. ටී. ටී. ඊ. ය සම්බන්ධයෙන් ක්‍රියා කළේ බටහිරින් හඳුන්වාදුන් මතවාදය එලෙසම පිළිගනිමිණි. යාපනය මුදාගනිමින් එල්. ටී. ටී. ඊ. ය මිල්ටරිමය වශයෙන් පරාජය කිරීමේ යම් ප්‍රයත්නයක යෙදුණ ද පොදු පෙරමුණු ආණ්ඩුව සැලකිය යුතු යුද ජයග්‍රහණ ලැබුවේ නැත. පරාජයන් වැඩිවන විට එය බටහිර රටවල මතවාදය දෙසට වඩාත් තල්ලුවිය. නිදසුනක් ලෙස හමුදාවේ පත්කිරීම් සිදුකිරීමේ දී කොළඹ සිටින බටහිර රටවල තානාපති නිලධාරීන්ගේ හා රාජ්‍ය නොවන සංවිධානවල වුවමනාවන්ට එකඟව එය සිදු කෙරිණි.

සුනාමි ව්‍යසනය

 අපට යළි ජීවය ලබා දුන්නේ ඔබයි මහරජාණෙනි...

තවත් වැදගත් කාරණයක් නම් ඉන්දීය සාධකයයි. 2005 වන විට ඉන්දියාව එල්. ටී. ටී. ඊ. ය ට විවෘතව සහය නොදැක්වූව ද එල්. ටී. ටී. ඊ. බලයට අභියෝග කළේ ද නැත. 2004 දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය පශ්චාත් සුනාමි යන්ත්‍රණයක් (PTOM) ගොඩනැගීමේ උත්සාහයක යෙදිණි.

එය මුළුමනින් ම පාහේ එල්. ටී. ටී. ඊ. අවශ්‍යතාවන් ඉටුකරන ව්‍යුහයක් විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වන විට ඊට පෙර බලයේ සිටි නායකයන් මුහුණදුන් අන්තර් ජාතික පරිසරය වෙනස් වී තිබිණි.

1970 ගණන්වල බලයට පත් නායකයන්ට නිරවි යුද්ධය (Cold War) නම් සාධකය බලපෑවේය. ධනවාදී කඳවුර හෝ සමාජවාදී කඳවුර තෝරා ගැනීම පිළිබඳ ගැටලුව ඔවුන් ඉදිරිපිට විය. එහෙත්, 2005 වනවිට ඒ සාධකය ඉවත් වී තිබිණි.

ලෝක බලවතුන්ගේ දැඩි පීඩනය මැද බලයට එන මහින්ද රාජපක්ෂ වැනි චරිතයකට ව්‍යාකූල සංකීර්ණ තත්ත්වයන්ට මුහුණ දිය නොහැකි බව බොහෝ අය කල්පනා කළහ. අන්තර් ජාතික ප්‍රජාවන් සමඟ ගනු - දෙනු කිරීමට නම් කටේ තොලේ නොගෑවී ඉංගිරිසි කතා කළ හැකි විය යුතු බව ද එය කළ හැක්කේ ඔක්ස්ෆර්ඩ් සෝබෝන්, කේම්බ්‍රිජ් අධ්‍යාපනය ලැබූ කොළඹ ප්‍රභූ පංතිය නියෝජනය කරන කෙනෙකුට පමණක් යැයි ද ඔවුහු විශ්වාස කළහ.

ඇතැම් ඉංග්‍රීසි පුවත්පත්වලට ලිපි සපයන අය තම විවරණ වලින් කියා සිටියේ ගමක ඉපදී, මෙරට විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ අයකුට එය කළ නොහැකි බවයි. 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බටහිර ලෝක ප්‍රජාවගේ මතවාදයට එකවරට පටහැණි වූයේ නැත. මෙරට ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන් යෝජනා කළ පරිදිම ජනාධිපතිතුමා කළේ එල්. ටී. ටී. ඊ. යත් සමඟ සාකච්ඡා මේසයට යාමය.

එහෙත්, ඉන් පෙර ප්‍රයත්නයන් ට වඩා එවර වෙනසක් තිබිණි. ඒ මෙවර සාකච්ඡා සඳහා අවතීර්ණ වූයේ එල්. ටී. ටී. ඊ. යේ ස්වභාවය පිළිබඳ මනා තේරුම් ගැනීමකින් යුතුව බැවිනි. එසේ නොවුණේ නම් යළිත් රැවටීමට ඉඩ තිබිණි. එලෙස සාකච්ඡා මේසයට යාම මඟින් එල්. ටී. ටී. ඊ. යේ ස්වභාවය ලොවට පෙන්වීමට අපේක්ෂා කළ බව පැහැදිලිය.

සමාජ ක්‍රියාකාරීන්

සාකච්ඡා සඳහා පළමුව ජීනිවා නුවරට ගියේ රජය වෙනුවෙන් හොඳ කණ්ඩායමක් ද සමඟය. එල්. ටී. ටී. ඊ. ය තම ස්ථාවරය බිඳකුදු වෙනස් කර තිබූ බවක් නොපෙණින. දෙවන වටය සඳහා ගියේ ඔස්ලෝ නුවරටයි. රජයේ නියෝජිත පිරිස සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටිය ද එල්. ටී. ටී. ඊ. ය ඊට පැමිණියේ ම නැත. ඉන් පසු ද එල්. ටී. ටී. ඊ. ය දිගින් දිගට ම හමුදා සෙබලුන් සහ සිවිල් වැසියන් මරා දැමීමේ යෙදෙන්නට විය.

යම් කාලයක් මේ සිදුවීම් දෙස රජය බලා සිටියේ ය. එවිට ජනතාව රජයට දොස් නඟන්නට පටන් ගත්තේ ය. එම අවස්ථාව තම වාසියට හරවා ගැනීමට අපේක්ෂා කළ අය තමන් කී දේ හරි බවත් මහින්ද රාජපක්ෂට මෙය විසඳිය නොහැකි බවත් හඬනගන්නට විය. එහෙත්, ඒ වන විට ඉතිරිව තිබූ එකම විකල්පය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් තෝරාගන්නා ලදී.

ඒ එල්. ටී. ටී. ඊ. ය යුදමය වශයෙන් පරාජය කිරීමයි. හොඳින් සැලසුම් කර, හමුදා පිරිස් බලයෙන් සහ ආයුධ – උපකරණ ආදියෙන් ශක්තිමත් කර, දිගුකාලීන මිල්ටරි ක්‍රියාදාමයක් සඳහා අවශ්‍ය ජනමතය ද ඇති කරමින් යුදමය ක්‍රියාමාර්ගය අරඹන ලදී. ඒ සමඟ යළිත් වරක් එල්. ටී. ටී. ඊ. හිතවාදී බලවේග, අන්තර් ජාතික ප්‍රජාවගේ මුදලින් යැපෙන සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන මෙන් ම ඇතැම් මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවෝ ද පරණ පුරුදු තාලයට ගැයීමට පටන් ගත්තේය.

රජයට බලපෑම් කිරීමට ද ඔවුහු ක්‍රියා කළහ. නමුත් එවැනි බලපෑම් හමුවේ කළින් පැවැති රජයන් ක්‍රියාකළ ආකාරයට වඩා වෙනස්ව තමන් තෝරාගත් ක්‍රියාමාර්ගය දිගට ම පෙරට ගෙන යාමේ අධිෂ්ඨානයකින් යුතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ක්‍රියා කළේය.

අසත්‍ය ප්‍රචාරයන්

යුද ජයග්‍රහණයෙන් පසු මතු වූ අදහසක් නම්, සන්නද්ධ හමුදා සෙන්පතියන්ට එහි ගෞරවය යා යුතු බවයි. සැකයක් නැත, ඔවුන්ට එහි ගෞරවය හිමිවිය යුතුය. එහෙත් යුද්ධය හෝ සාමය පිළිබඳ තීරණය ගන්නේ දේශපාලන නායකත්වයයි. යුද්ධය සඳහා ගෞරවය තනි පුද්ගලයකුට ලඝු කළ යුතු නම්, නිසැකවම එය හිමිවිය යුත්තේ රාජ්‍ය නායකයා ද, සේනාධිනායකයා ද වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටය. මිල්ටරිය ක්‍රියාමාර්ග කරා අවතීර්ණවන විට විවිධ බලපෑම් ඇතිවන්නට පටන්ගත්තේ ය. රෝහල්වලට ප්‍රහාර එල්ල වූ බව, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල වූ බව ආදී විවිධ අසත්‍ය ප්‍රචාරයන් ඩයස්පෝරාව, විසින් ගෙනයන ලදී. ඒ අනුව බලපෑම් ද කෙරිණි. ඉන් අපේක්ෂා කෙරුණේ හමුදාමය ක්‍රියාමාර්ගය නතර කරවීමයි. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. පළමුව නැඟෙනහිර ජයග්‍රහණය කරන ලදී. උතුරට යොමුවූයේ ඉන් අනතුරුවයි. නැඟෙනහිර සටන් කරන විට ඇතැම් දෙනා කීවේ ‘පුලුවන්නම් කිලිනොච්චියට ගිහින් ගහන්න’ කියායි. මෙවැනි හෑල්ලු කිරීම් හා අවමන් කිරීම් මැද ජනාධිපතිතුමා තම මාර්ගයේ ම ගමන් කළේය. මිල්ටරි ක්‍රියාදාමය උතුරට යොමුවීමත් සමඟ අන්තර්ජාතික ප්‍රජාවගේ පීඩනය ද තවත් වැඩි විය. යුද්ධය නතර කිරීම සඳහා දැඩි බලපෑම් ඇති විය. එල්. ටී. ටී. ඊ. වාදී ජාත්‍යන්තර බලවේග, එල්. ටී. ටී. ඊ. ය කිසිදා පැරදවිය නොහැකි බවට ඔවුන් විසින් ම නිර්මාණය කළ බොරුවට රැවටී තිබිණි. බටහිර මාධ්‍ය මෙන් ම සිවිල් සමාජය ලෙස පෙනීසිටි මෙරට ඇතැම් උදවිය ද කීවේ මෙය දිනාගත නොහැකි යුද්ධයක් (Unwinnable war) බවයි. එල්. ටී. ටී. ඊ. ය යුදමය වශයෙන් පරාජය කිරීම සිහිනයක් බව ඔවුන්ගේ මතය විය. බටහිර රටවල් ගොදුරු වූයේ මේ මිත්‍යාවටයි. සර්බියාව හෝ ලිබියාව සම්බන්ධයෙන් කළා වැනි හමුදාමය මැදිහත්වීමක් ඔවුන් විසින් නොකළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා හමුදාවට එය කළ නොහැකිය යන විශ්වාසය මත ඔවුන් පිහිටා සිටි බැවිනි. මේ මිත්‍යා විශ්වාසයෙන් ඔවුන් මිදුනේ කිලිනොච්චිය එල්. ටී. ටී. ඊ. ග්‍රහණයෙන් ගිලිහෙන්නට වූ විටය.

මහා මණ්ඩල සැසිවාරය

එහෙත් එතැන් සිට ඔවුන්ට තිබුණේ සීමිත කාලයකි. යුදමය මැදිහත්වීමක් කිරීමට යෝජනා වී තිබුණ ද එය කිරීමට තරම් කාලය ප්‍රමාණවත් වූයේ නැත. එල්ල වූ පීඩනය කොතරම්දැයි තේරුම්ගත හැකි ප්‍රබල නිදසුනක් නම් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ අමාත්‍ය බර්නාඩ් කුෂ්නර් ගේ ශ්‍රී ලංකා ගමනයි. ජනාධිපතිතුමා විසින් ඔවුන් ඇඹිලිපිටියට ගෙන්වන ලද අතර එහි දී ඔවුන්ට පැහැදිලිව කියා සිටියේ ත්‍රස්තවාදයට එරෙහි යුදමය ක්‍රියාදාමය අවසානය දක්වා පෙරට ගෙන යන බව සහ අනතුරුව දේශපාලන විසඳුමක් කරා යන බවයි. මින් පෙර කිසිවකුත් ඍජුව තම ස්ථාවරය එපරිදි දක්වා තිබුණේ නැත. පෙර සිටි නායකයන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ද පෙන්නුම් කළේ බටහිර න්‍යාය පත්‍රයට එකඟව මේ පිළිබඳ ක්‍රියාකරන බවයි. නමුත් 2008 වසරේ දී මහා මණ්ඩල සැසිවාරය අමතමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවධාරණය කළේ ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වයෙන් රටත්, ජනතාවත් රැකගැනීමේ වගකීම නොපිරිහෙළා ඉටුකරන බවයි.

තමිල්නාඩුවේ උද්ඝෝෂණ

ඉන්දීය සාධකය කළමනාකරණය කළ ආකාරය ද බෙහෙවින් වැදගත් ය. එල්. ටී. ටී. ඊ. ය ඉන්දියාවේ භෞමික අඛණ්ඩතාවට ද සැබෑ තර්ජනයක් බව තේරුම් කර දී තිබිණි. එහෙත් තමිල්නාඩුවේ උද්ඝෝෂණ ඇති වූ විට ඉන්දීය මධ්‍යම රජය අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. 1987 දී සිදු වූ වඩමාරච්චි සටන බොහෝ සාර්ථක හමුදා ක්‍රියාන්විතයකි. එහෙත් ඉන්දියාව කළේ ප්‍රභාකරන් බේරාගෙන තම රටට රැගෙනයාමය. නමුත්, මෙවර එවැන්නක් සිදුවූයේ නැත. ඉන්දියාවට අවශ්‍ය නම්, ශ්‍රී ලංකාවේ මිල්ටරිමය ක්‍රියාදාමය නතර කිරීමේ හැකියාව නිසැකවම තිබිණි. එසේ වී නම් අපට එය නතර කළ නොහැකිය. මේ නිසා ඉන්දීය සාධකය නිසිලෙස කළමනාකරණය කිරීම අතිශයින් වැදගත් ය. 1991 න් පසු ඉන්දියාවේ කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩු බලය පිහිටුවිය නොහැකි තත්ත්වයක් පවතී. දිගින් දිගට ම බිහිවෙමින් පවතින්නේ සභාග ආණ්ඩුය. එවැනි පසුබිමක ලොක් සභාවේ ආසන 40 ගණනක් ඇති තමිල්නාඩුව තීරණාත්මකය. නමුත් එල්. ටී. ටී. ඊ. ය මිල්ටරිමය වශයෙන් පරාජය කිරීමෙන් පසුවද ඉන්දියාව අපට සහාය දක්වමින් සිටින්නේ ඉන්දීය සාධකය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට හැකි වූ බැවිනි.

අප කැමති වුණත් නැතත් වැඩි මිල්ටරි බලයට අඩු මිල්ටරි බලය පරාජය කළ හැකිය. ලිබියාවේ දී සිදුවූයේ එයයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ පාලන කාලයේ දී අලිමංකඩ කඳවුර ඇද වැටුණු පසු ලොවම විශ්වාස කළේ යාපනය ද එල්. ටී. ටී. ඊ. ග්‍රහණයට නතු වනු ඇති බවයි. ඒකපාර්ශවිකව ඊළම ප්‍රකාශයට පත්වනු ඇත යන අභියෝගයට ආණ්ඩුව මුහුණ දී සිටියේ ය. මේ නිසා යාපනයේ සිටි 40,000ක හමුදා භට පිරිසක් ඉවත්කර ගැනීම සඳහා රජය ඉන්දියාවේ සහාය අපේක්ෂා කළේ ය. එහි දී ඉන්දීය රජය ප්‍රකාශ කළේ ලංකාවේ හමුදාභට පිරිස් එක් තැනෙක සිට තවත් තැනකට රැගෙන යාම තම රාජකාරියට අයත් නැති බවයි. මෙයින් ද පැහැදිලිවන්නේ ඉන්දීය සාධකය නිසිලෙස කළමනාකරණය කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමත්වීම අප රට ලැබූ විශාල ජයක් බවයි.

දෙමළ ජනයාට ඇති ප්‍රශ්න මෙන් ම නැඟෙනහිර සිංහල දිළිඳු ජනයාට ඇති ප්‍රශ්න ද විසඳිය යුතු ය. එහෙත් එල්. ටී. ටී. ඊ. ය මේ ප්‍රශ්න උපයෝගී කරගත්තේ තම වෙනම රාජ්‍ය වුවමනාව සැබෑ කර ගැනීම සඳහායි. යම් හෙයකින් මේ ප්‍රශ්නය විසඳීමට හැකි නොවිණි නම් අප නොදන්නා තරම් කාලයක් ලේ ගංඟා ගලන භූමියක් බවට අපේ රට පත්වන්නට ඉඩ තිබිණි. මේ ඬසා බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට හැකිවීම විශිෂ්ට කාරණයකි. දැන් උදෑසන නිවසින් පිටවන තැනැත්තා සවස ගෙදර එන බවට විශ්වාසයක් තබා ගත හැකිය. දවස පුරා ජීවිතය පිළිබඳ බියෙන් ගැහෙමින් ජීවත්විය යුතු ද නැත. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ලැබූ දුර්ලභ හා විශිෂ්ටම ජයග්‍රහණය ඒ නිසා මෙයයි. රජය ඇතුළතින් පවා ඇතැම් දෙනා එල්. ටී. ටී. ඊ. ය මිල්ටරිමය වශයෙන් පරාජය කළ නොහැකිය යන මතයේ පිහිටා සිටිය දී නිවැරදි දැක්මකින් යුතුව ක්‍රියා කරමින්, එය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකි වීම බෙහෙවින් අගය කළ යුතු ය.

අසාධාරණයක්

එල්. ටී. ටී. ඊ.ය පරාජය කිරීමෙන් පසු එල්. ටී. ටී. ඊ. හිතවාදී බලවේග බලවත් සන්ථාපයකට පත්විය. ඒ ඇයි? බලවත් ධනවත් ජාතීන් එල්. ටී. ටී. ඊ. හිතවාදීව කටයුතු කළේ ඔවුන් කියන පරිදි දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වූ නිසා නොව තිබෙන ප්‍රශ්න උපයෝගී කර ගනිමින් රටට එරෙහි මැදිහත්වීමක් කළ හැකි වූ නිසාය. තම අණසකට නතුව ශ්‍රී ලංකාව තබා ගැනීම අධිරාජ්‍යවාදී බලවේගවල වුණමනාව විය. මෙරටට පයගසා ගැනීමට ඇති අවශ්‍යතාව මත රටේ අවුලක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අවශ්‍යතාව විය. එය අපේ රටට පමණක් අදාළ තත්ත්වයක් ද නොවේ. ලිබියානු නායකයා 2003 වසරෙන් පසු බටහිර රටවල් සමඟ මිත්‍රශීලි පිළිවෙතක පිහිටා කටයුතු කරන්නට පටන් ගත්තේ ය. තමන් විසින් පළවා හැරි බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා අමෙරිකා තෙල් සමාගම්වලට යළි තම රටට ඇතුළු වීමට ද ඔහු විසින් ඉඩ සලසන ලදී. එහෙත්, තම අණසකට නතු නොවීම නිසා බලවත් ජාතීන් ඔහුට එරෙහි විය.

ප්‍රබල ප්‍රයත්නයක

ඔවුන් අප දෙසද බලන්නේ ඒ අන්දමිනි. ලංකාව කුඩා රටක් නිසා තමන්ට එය නොවැදගත් යැයි මේ බලවත් රටවල් කල්පනා කරන්නේ නැත. දැන් ඔවුන් කරමින් සිටින්නේ එල්. ටී. ටී. ඊ. ය පරාජයෙන් බේරා ගැනීමට නොහැකි වූ නිසා ඒ පළිය ගැනීමට අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයට ශ්‍රී ලංකාව ගෙනයාමට වෑයම් කිරීමය. නමුත් එය වැළැකී ඇත්තේ ලොව රටවල් සැලකිය යුතු සංඛ්‍යාවක ප්‍රසාදය දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බැවිනි. එම ගෞරවය හිමිවිය යුත්තේ ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි. ඉකුත් මස පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේදී ද මේ බලවත් ජාතීන් එකතුවක් ලෙස අපට බලපෑම් කිරීමේ ප්‍රබල ප්‍රයත්නයක යෙදිණි.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන්ව සිටි අය ඔස්ට්‍රේලියානු මාධ්‍ය ද හවුල්කරගනිමින් ජනාධිපතිතුමා අවමානයට ලක් කිරීමේ උත්සාහයක යෙදී සිටියේ ය. නඩු පැවරීමට පවා වෑයම් කරන ලදී. නමුත්, ඒ සියලු ප්‍රයත්නයන් පරාජය කිරීමට ද ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිළිව ලෝකය ඉදිරිපිට කියාපෑමට ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකියාව ලැබිණි. මේ සියල්ල සමඟ, දිනපතා ලේ, කඳුළු දකිමින්, බෝම්බ හඬ අසමින් ගෙවා දැමීමට සිදු වූ යුගයක් නිමා කිරීමට ජනාධිපතිතුමා ලබාදුන් එඩිතර හා නිවැරදි නායකත්වය මෙරට ජනයාගේ සිත්වල ඉතා ගැඹුරට තවත් බොහෝ කාලයක් තැන්පත්ව පවතිනවා ඇත.