ජනමූල වීරත්වය හෙවත් මහින්දගේ චණ්ඩිකම්

ජනමූල වීරත්වය හෙවත් මහින්දගේ චණ්ඩිකම්

“චණ්ඩි’ යන වර්තමාන සිංහල වචනය බිඳී අවුත් ඇත්තේ අතීත සංස්කෘත වචනයක් වූ ‘චණ්ඩ’ යන්නෙනි, ඥානේගෙදර පුඤ්ඤානන්ද හිමි සකස් කළ සංස්කෘත සිංහල ශබ්ද කෝෂයේ ‘චණ්ඩ’ යන සකු වදනට දී ඇති සිංහල තේරුමේ ‘සැඩ’, ‘තරහා’ සහ ‘උණු’ යන අරුත් වුවද ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන් සම්පාදනය කළ මහා සිංහල ශබ්ද කෝෂයේ ‘චණ්ඩි’ යන සිංහල වචනයට ‘දඟකාර’ කියා තේරුමක් ද දී තිබේ. එහෙත් සකු බසේ ඇති ‘චණ්ඩ’ වචනයේ ස්ත්‍රී ලිංග පදය වූ ‘චණ්ඩි’ යන වචනය යෙදෙන්නේ තද හිතක් ඇති දෙවඟනක් වූ දුර්ගා දෙවඟනටයි.

‘චණ්ඩ’ යන වචනය අපේ සංස්කෘතියට මුලින් ම ඇසෙන්නේ ‘චණ්ඩාශෝක’ රජු සම්බන්ධයෙනි. හේ චණ්ඩාශෝකගේ සිට ‘ධර්මාශෝක’ කමට මාරුවීම අපේ රටේ ආර්‍යකරණය සිදුවීමට ඍජු ලෙස ම බලපෑවේ ය. ධර්මාශෝක රජු ලංකාවේ සිටි තමාගේ අදෘෂ්ඨ මිත්‍ර මුටසීව රජුගේ පුත් තිස්ස කුමාරයාට තමන්ගේ නම්බුනාමය වූ ‘දෙවනපිය’ තානාන්තරය පිරිනමා එතුමන්ව දේවානම්පියතිස්ස බවට පත් කළේ ය. එතැන් සිට අපේ රටේ මෞර්‍ය රාජ වංශය ස්ථාපිත විය. රජු දැහැමෙන් සෙමෙන් රට පාලනය කළේ ය. එතැනින් එහාට ධර්මාශෝකලා මිස චණ්ඩාශෝකලා මේ රට පාලනය නො කළේ ය.

එහෙත් දකුණු ඉන්දීය ආර්‍ය චක්‍රවර්තීවරු මේ රට ආක්‍රමණය කරන්නට පටන් ගත් තැන සිට අපේ රජවරු යළි අර්බුද ඉදි කොට ගත්තහ. අප ආරක්ෂාව පතා මුල් රජරට රාජධානි අත් හැර ක්‍රමයෙන් නිරිතදිගට සංක්‍රමණය වන්නට පටන් ගත්තේ ය.

1505 වර්ෂය උදා වන විට අප බටහිර බලවන්ත ප්‍රතිකාල් ආක්‍රමණයකට මූණ දීමට තරම් ශක්ති සහිතව නො සිටියේ ය. එහෙයින් ලොරෙන්සෝ ද අල්මේදාගේ පැමිණීමේ සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය පදවියෙන් ඉවත් වීම දක්වා ම අපේ රට හරියට ම වසර 500 ක් විවිධාකාර වූ දේශපාලන අඩන්තේට්ටම් වලට ලක් විය. පරංගියා කෝට්ටේ ගිහිං හරියට ම වසර 500 ක් ඉකුත් වී 2005 වර්ෂය උදා විය. එය ලාංකීය දේශපාලන ගමන් මගේ සුබවාදී හැරවුම් ලක්ෂය නිර්මාණය කළ වසර බවට පත් වෙයි.

‘චණ්ඩ’ කියන සංස්කෘත වචනයෙන් ‘ප්‍රචණ්ඩ’ යන වචනය ද සකස් කර ගත හැක. එහෙත් ‘චණ්ඩි’ යන දඟකාර වීර සංකල්පයට ප්‍රචණ්ඩත්වය එක් කරනු ලැබුවේ වර්තමාන පාතාල මැරයන් විසිනි. ටයිටස් තොටවත්තයන් ගාමිණී ෆොන්සේකා සමඟ එක් වී සිනමාවේ නිර්මාණය කළ ‘චණ්ඩියා’ වනාහී ආකර්ෂණීය වීරයෙකි. චණ්ඩියා චිත්‍රපටයෙන් පසු කොළඹ පාතාල මැරයින් පවා ගාමිණී ෆොන්සේකා අනුකරණය කරමින් යුක්ති ගරුක වීරයින් වීමට උත්සාහ කළේ ය. එහෙත් දුර්ගා දේවතාවියට සංස්කෘතියේ භාවිතාවන ‘දඟකාර යුක්ති ගරුකයා’ වෙනුවෙන් සිංහල භාෂාවේ භාවිතාවන ‘චණ්ඩියා’ යන සංකේත රූපය ප්‍රචණ්ඩ පාතාල මැරයින්ට නො ගැලපෙයි.
බුද්ධ රත්නයට බාරයි රට රකිනා දෑත ඔබේ
ධම්ම රත්නයට බාරයි දැය රකිනා දෑත ඔබේ
සංඝ රත්නයට බාරයි සමය රකින දෑත ඔබේ
තුණුරුවන්ට ඔබ බාරයි ඔබට සදා රැකවරණේ

- රඹුකන සිද්ධාර්ථ හිමි

ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂගේ ‘යුක්ති ගරුක චණ්ඩිකම’ බෙලිඅත්තේ මහින්ද මහත්තයාගේ සිට නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය නිහඬ කළ ජාත්‍යන්තර දේශපාලන වීරත්ව දක්වා වැඩී එන්නට වසර 40 ක් ගත වූවේ ය. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ සභා ශාලාවට ‘ආසියාවේ සිංහයා’ ගොඩවදින විට එතුමන් ජාත්‍යන්තර රාජ්‍ය නායකයින් අතර ද යුක්ති ගරුක දේශපාලන චණ්ඩිකම ප්‍රකට කොට ගෙන සිටියේ ය. පර්ත් නුවරදී මහින්ද රාජපක්ෂගේ ජාත්‍යන්තර දේශපාලන වීර ප්‍රකට බව දෙවෙනි වූවේ එලිසබෙත් මහා රැජිනට පමණි.

පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් හා ගැටුණේ තම සහජ සටන් දක්ෂතායේ සාක්ෂි පෘතුගීසි බලකොටුවේ සිට සටහන් කොට තබා ය. එහෙයින් විමලධර්මසූරිය නමින් සෙංකඩගල රජ වූ කොනප්පු බණ්ඩාරව“, පරංගින් හැඳින්වූවේ Rebel හෙවත් “කැරලිකාරයා” යන නමිනි. ඒ නයින් ගත් කළ කොනප්පු බණ්ඩාර ද දේශ හිතෛශී යුක්තියට චණ්ඩියෙකි.

කොනප්පු බණ්ඩාර තම පීතෘ වීරසුන්දර බණ්ඩාරගේ දේශපාලන අයිතිවාසිකම අතැතිව ප්‍රතිකාලුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකොට වීරත්වය ප්‍රදර්ශනය කළා සේ, මහින්ද රාජපක්ෂ ද බෙලිඅත්තේ ඩී.ඒ.රාජපක්ෂ සිරිමතාණන්ගේ ප්‍රගතිශීලී දේශපාලන සේසත යට අධිරාජ්‍යවාදයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ ය.

1970 ජුනි මස 14 වැනි දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මැති සභයේ හෝරා යන්ත්‍රයේ වේලාව පස්වරු 4 පසු වී විනාඩි 07 සටහන් වෙද්දී අනාගත ජාත්‍යන්තරයේ වීරත්වයට පත් වන්නට දෛවය විසින් නියම කොට තිබූ “ආසියාවේ සිංහයා” තම මංගල දේශනය පවත්වන්නට සභා ගර්භයට ප්‍රවිෂ්ඨ විය.

දෛවය යනු විශ්වයේ මානව ජීවන රටාවයි. එය පූර්වයෙන් හඳුනාගත හැකි අයෙක් වෙතොත් හේ අනාගත වාක්තෘ වරයෙකු හෝ දෛවඥයෙකු හෝ අඩු තරමින් පේන කියන්නෙකු, ශාස්ත්‍ර බලන්නෙකු හෝ බවට පත් වන්නේ ය. බෙලිඅත්තේ මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂ නම් තරුණ දේශපාලනඥයාගේ මංගල පාර්ලිමේන්තු දේශනය අසා සිටි කිසිවෙක් ඔහුට අනාගත වාක්‍ය කීවාදැයි මම නො දනිමි. එහෙත් තම වාමවාදී දේශපාලන ආවේගයන් අධිරාජ්‍යවාදයට, ධනවාදයට හා පැසිස්ට්වාදයට එරෙහිව ගොනු කළ මේ තරුණ කටකාරයා මෙසේ කියාගෙන ගියේ ය.

“ගරු කථානායක තුමනි,

1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රටින් ගියේ ඔවුන්ට සුවච කීකරුව සිටින සේ පුහුණු කළ කළු ඉංගී‍්‍රසි ධනපති නියෝජිත පිරිසකට මේ රටේ පාලනය භාර දීලයි. මේ පිරිස සිංහල දැනගෙන හිටියෙ නෑ. සිංහල රට, සිංහල ඉතිහාසය, සිංහල සංස්කෘතිය දැනගෙන හිටියෙ නෑ.

ගරු කථානයක තුමනි,

මේ රටේ පොදු ජනතාව අධිරාජ්‍යවාදය අනුමත නො කරයි. ධනේශ්වර වාදය අනුමත නො කරයි. සියලු සූරාකෑම අනුමත නො කරයි. ජනතා රජය ඉදිරියේ ඇති ප්‍රතිගාමී, කුමන්ත්‍රණකාරි, අධිරාජ්‍යවාදී බලවේග අප විසින් සුළුවෙන් තැකිය යුතු නොවේ. එහෙත් ඒ සෑම බාධකයක් ම බිඳ දමමින් සමාජවාදය කරා යන ගමන සහතික කරවීම සඳහා මේ රටේ තරුණ පරපුර ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වන්නට සූදානම් බව තරුණයකු වශයෙන් මා එඩිතරව මේ ගරු සභාවේදී ප්‍රකාශ කර සිටිනවා.”

1983 දී මෙරට පාලනය කළ ධනේෂ්වර දේශපාලනය විසින් ඇස් කන් පියාගෙන ගිනි ගන්නට හැරිය ජාතිවාදී කළු දුමාරයෙන් ජාත්‍යන්තර ලෝකය තුළ ලංකාව අඳුරු වී, කිළිටි වී , නිහීන වී ගියේ ය. උන් හිටි තැන් අහිමි වූ ද්‍රවිඩ ජන සන්නිපාතය උකසට තබා රටින් පැන විදේශවල සරණාගත වී රැකී රක්ෂා අවස්ථා තනා ගත් LTTE සාමාජිකත්වය 2005 වන විට වෙන ම රාජ්‍යයක ඊලාම් සිහිනය මස්තකප්‍රාප්ත කොට ගෙන සිටියේ ය.

තට්ටු මාරුවට පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳි මෙරට සමස්ථ දේශපාලන ධාරාව ම වසර 30 ක් පුරා හිඟන්නාගේ තුවාලය බවට පත් කර ගත් “යුද්ධය” පැසවා, කුණු වී, ඉහඳ තබා තිබුණි.

එහෙත් මෙරට දේශපාලන දෛවය ඒ වන විටත් බෙලිඅත්තේ සත්‍යවාදී කඟවේණාගේ ඉරණම සමස්ථ රටේ ම කේන්දරය බවට පත් කොට තිබුණේ ය. ලොරෙන්සෝ ද අල්මේදාගමනයෙන් හරියට ම වසර 500 ක් ගිය තැන ශ්‍රී ලංකාවේ දේශපාලන ඔරලෝසුව ආපිට කරකැවෙන්න පටන් ගත්තේ ය. ගමේ කමින් යුක්තියට චණ්ඩිකම භුක්තියට සවි කොට සිටි දේශජ වීරයා පිටියට පිවිසුණේ ය.

පොදුරාජ්‍ය මණ්ඩල නායකයන්ගේ සමූහ ඡායාරූපයක්

2005 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා වූ සිව් වසර තුළ ලාංකීය දේශපාලනයේ ක්‍රියාත්මක වූ දේශපාලන න්‍යායේ නම රුසියානු සමාජවාදයවත්, චීන මාවෝ වාදයවත් නොවෙයි. එය වනාහී අනාගත ලෝකයේ ‘මහින්දවාදය’ යැයි නම් ලබන්නට නියමිත ‘මහින්ද චින්තන ‘ න්‍යාය ධර්මයයි. මහින්ද චින්තනය ක්‍රියාත්මක වන්නේ ‘මහින්ද දර්ශනය’ පාදක කොටගෙන ය.

මහින්ද දර්ශනය වනාහී 2005 වර්ෂය තුළ අභිනවයෙන් උත්පාද වී අලුතින් ම ප්‍රකාශයට පත් වූවක් නොවන බවට ලිඛිත සාක්ෂියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ අන්තර්ගතව ඇත. එය වනාහී මීට පෙර අප උපුටා දැක්වූ 1970 ජුනි 14 වැනි දා බෙලිඅත්තේ තරුණ මන්ත්‍රීවරයාගේ මංගල සභා දේශනයයි.

“මේ රටේ පොදු ජනතාව අධිරාජ්‍යවාදය අනුමත නො කරයි. ධනේශ්වර වාදය අනුමත නො කරයි...”

1970 දී පාර්ලිමේන්තු කම්පනය කරමින් ඇසුන ඒ ලාබාල ම තරුණ මන්ත්‍රීවරයාගේ ‘චණ්ඩි හඬ’ එලෙසින් ම යළි ඇසෙන්නේ 2009 මැයි මාසයේදී ඇඹිලිපිටියෙන් ය. කරන දේ කියන, කියපු දේ කරන ප්‍රගතිශීලී දේශපාලනයේ යුක්තියට චණ්ඩියා ඇඹිලිපිටියේදී හැප්පුනේ අධිරාජ්‍යවාදී බඩගැත්තර කළු සුද්දෙකු සමඟ නොව අධිරාජ්‍යවාදී බඩ ගැබ්බර සුදු සුද්දෙකු සමග ය.

යුද්ධයේ අවසාන ජවනිකාව පුදුමාතලන් වෙත කේන්ද්‍රගත වෙද්දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන් සහ ප්‍රංශ විදේශ ඇමති බර්නාඩ් කෘෂ්නර් කරළියට පිවිසුනේ අන්තිම වාහල නැටුම නටන්නට ය. බුදුහාමුදුරුවන් අංගුලිමාලයා මෙල්ල කරන්නට වනාන්තරයට පිවිසුනා සේ මහින්ද රාජපක්ෂ නමැති ජනමූල නායකයා අධිරාජ්‍ය සුද්දන් මෙල්ල කරන්නට පිවිසියේ ශුෂ්ක කලාපයේ ගී‍්‍රෂ්ම ඇඹිලිපිටියට යි.

ඇඹිලිපිටියේ විශ්‍රාමික අඹ ගහක් යට වේවැල් පුටු දෙකක ඉන්ද වූ දාදිය වැකුණු සුදු සුද්දන් දෙදෙනාට ආසියාවේ සිංහයා යළි පවත්වනු ලැබූවේ තමා 1970 පාර්ලිමේන්තුවේදී පැවැත් වූ මංගල දේශනයමයි. මේ රට තවදුරටත් නුඹලාගේ යටත් විජිතයක් නොවන බවත් තමා කටයුතු කරන්නේ මේ රටේ පොදු මහා ජනතාව තමන් කෙරේ තැබූ විශ්වාසය මත පමණක් බවත් ආසියාවේ සිංහයා ඉතා නිවුණු, පැසුණු සහ ස්ථාවර ස්වරයෙන් දන්වා සිටියේ ය.

මහින්ද රාජපක්ෂ නම් ජනමූල නායකයාගේ ජාත්‍යන්තර දේශපාලන චණ්ඩිකම් එතැනින් නිමා වූවේ නැත. ඒ වන විට බින්ලාඩන්ව පරාද කරගත නො හැකිව සිටි අමෙරිකාවට මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදය පරාද කිරීම අදහාගත නොහැකි විය. පළමුව බින්ලාඩන්, දෙවනුව ප්‍රභාකරන් වූවේ නම් මහින්ද රාජපක්ෂට ජාත්‍යන්තරයේ බැරක් ඔබාමාගේ දෙවෙනි වීරත්වය හිමි වන්නේ ය. එහෙත් ජෝර්ජ් බුෂ්ලාට සපත්තුවෙන් ගසා අගෞරව කළ ලෝකයේ මහින්ද රාජපක්ෂට වීර පදක්කම් පළඳවන්නට අමෙරිකානු ගැති යුරෝපා මාධ්‍ය කාරයෝද ඉදිරිපත් නො වී සිටියේ ය.

ත්‍රස්ත ජයග්‍රහණයෙන් පසු බිත්තර කටුවේ හැංගෙන්නට වගක් නො තිබුණු අභීත ජන නායකයා ලෝකය පුරා සැරිසැරුවේ මැදමුලන නියර දිගේ ඇවිද යන්නා බඳු සැහැල්ලු ගමනිණි, වරක් CNN ප්‍රවෘත්ති මැදිරියකදී මේ අධිරාජ්‍ය විරෝධී, ධනේශ්වර විරෝධී, පැසිස්ට් විරෝධී ජනමූල නායකයාව ප්‍රශ්න කිරීමකට ලක් වූවේ ය. චතුර නිවේදිකාව නැඟූ සියලු ම ඍජු ප්‍රශ්නවලට චතුර ලෙස පිළිතුරු දුන් ආසියාවේ සිංහයාගෙන් අවසාන ලෙස අසනු ලැබුවේ මෙබඳු අරුතක් ඇති සරල ප්‍රශ්නයකි.

“ලෝකයට ම ගැටලුවක් වී ඇති ගරිල්ලා ත්‍රස්තවාදයට එරෙහිව ඔබලා කටයුතු කළේ කොහොමද?”

එතුමන්ගේ උත්තරය ඉතා ම සරල ,නිවැරැදි, අරුත්බර එකක් වූවා සේ ම, ඒ උත්තරය සැබැවින් ම “චණ්ඩි උත්තරයකි”.

“නුඹලට ඒක තේරෙන්නෙ නෑ.

ඒ අපේ හැටි !”

එහෙත් මේ පිළිතුර සමාජ විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ නම් එහි ඇත්තේ ජනමූල නායකයෙකුගේ අනුහස් සහිත දේශජ පැවැත්මේ ඇති ස්ථීරසාර ආත්ම විශ්වාසයයි. නායකත්වය පිළිබඳ සමාජ විද්‍යා ඉගැන්වීම්වල එන Charismatic Leadership යන යෙදුම මා සිංහලෙන් හඳුන්වන්නේ “ අනුහස් සහිත නායකත්වය” කියා ය. මේ අනුහසේ පරිපාකය වනාහී නායකයා ජනමනස තුළ දේවත්වයට පත් වීමයි. සීතාවක රාජසිංහ රජු අපේ ජන මනස තුළ “රාසිං දෙයියෝ” බවට පත් වූයේ ප්‍රතිකාල් අධිරාජ්‍යවාදයට විරුද්ධව ආත්මීයව සටන් කළ නිසා ය. ගාන්ධි තුමන් වර්තමාන ඉන්දීය ජනමනස තුළ සදාතනික නායකත්වයට පත්ව ඇත්තේ ද ඉරු නො බසින අධිරාජ්‍යය දන ගැස්සවූ මාතෘ භූමි සංකල්පය හේතු කොටගෙන ය.

එහෙත් ආසියානු දේශපාලනයේ අභිනව ජනමූල නායකයාගේ වික්‍රමාන්විත අධිකෘතිය තවමත් හමාර වී නැත. නව යටත් විජිත වාදයේ අමෙරිකානු බුල්ඩෝසරය ආසියාවේ ප්‍රගතිශීලී දේශපාලන කඳු මුදුන් සමතලා කිරීම සඳහා තව තවත් තල මුවහත් තබයි. ජාත්‍යන්තර රයිනෝසරස්ලා මෙන්ම දේශීය මීයන්, වේයන් සහ කාවන් අමෙරිකානු බුල්ඩෝසරයට තව තවත් දරදිය අදිමින් සිටී. එහෙත්, ආසියානු සිංහයාගේ බාහු බලය තව තවත් යෝද බල යෝද ශක්තිය ලබන්නේ ජන බලයේ අනුහස පරමානු බලයට වඩා අධික වන නිසා ය.