ආර්ථිකය ඉදිරි පිම්ම‍කට යොමුකළ නායකත්වය

ආර්ථිකය ඉදිරි පිම්ම‍කට යොමුකළ නායකත්වය

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බලයට පත්වූ කාලයේ පටන් අද දක්වාම අපේ ආර්ථිකය සාර්ථකත්වයේ මාවතට පිවිසී ඇති බව දක්නට තිබේ. සාමාන්‍යයෙන් ආර්ථිකයක නීරෝගීභාවය සරලව සොයාබලන ක්‍රමය නම් දළජාතික නිෂ්පාදනයේ (GDP) වර්ධන වේගයයි. ඒ අනුව බලනවිට සෘණ ආර්ථිකයක සිට සියයට 8ක වර්ධන වේගයක් දක්වා එකී කාලය තුළ අපේ ආර්ථිකය දියුණුවී පවතී. ඒ අතින් ලෝකයේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ඇති චීනය සහ ඉන්දියාවේ සංවර්ධන වේගයට සමපාතව යන වර්ධන වේගයක් ශ්‍රී ලංකාවට ද ඇති බව අවබෝධ වෙයි.

ජනාධිපතිතුමාගේ පාලන සමය තුළ වඩාත් කැපී පෙනෙන සාධකය නම් වසර 30ක් පමණ තිස්සේ නොවිසැඳී පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමයි. මෙය සුළුපටු කාරණයක් නොවේ. මක්නිසාදයත්, රටේ සියලු සම්පත් මේ යුද්ධය ජයගැනීම සඳහා යොමුකිරීමට අවශ්‍ය තීරණ ගැනීමේ ශක්තිය ජනාධිපතිතුමාට තිබූ බැවිනි. ඒ වන විටත් විපක්ෂය මේ යුද්ධය දිනන්න බෑ!, යුද්ධයට වැඩ කරන සම්පත් අපතේ යනවා!, වැනි විවේචන පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදී ද කරමින් සිටියේය.

එසේ තිබියදී ද යුද්ධය කරගෙන යාම සඳහා අවශ්‍ය සෙබළු සංඛ්‍යාව වැඩිකිරීම, නවීන උපකරණ ලබාගැනීම, නව තාක්‍ෂණය යොදා ගැනීම, මීට අවශ්‍ය ණය මුදල් ලබාගැනීම වැනි සියලු සංකීර්ණ කාර්යයන්ට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රජය අවතීර්ණ විය.

බොහෝවිට රටේ ජනතාව නොදන්නා කාරණයක් නම් මෙවැනි ව්‍යාපාරයක් සාර්ථකව ගෙනයාමට නම් දහසකුත් එක තීරණ දිනපතාම පාහේ ගැනීමට සිදුවන බවයි. එම තීරණ නිසැක වශයෙන්ම කෙටි කාලීනව අන් ක්‍ෂේත්‍රවලට බලපායි.

ආර්ථිකයට ද බලපෑමක් ඇති කරයි. එසේ තිබියදීත් නිශ්චිත අරමුණක් කරා යාමට ජනාධිපතිතුමා ලබාදුන් නායකත්වය දේශපාලනමය ලෙස පමණක් නොව ආර්ථික වශයෙන් ද තීරණාත්මක වූවකි.

යුද්ධය නිමාවීමත් සමඟ එහි ආර්ථික ප්‍රතිලාභ අපට හඳුනාගත හැකියි. 4% - 5% අතර තිබූ ආර්ථික වර්ධන වේගය මේ වන විට 8.5% දක්වා ඉහළ ගොස් තිබේ.

එසේ වන්නේ යුද්ධය නිමාවීමේ ප්‍රතිලාභ රටට ලැබෙන නිසාය. නිදසුනක් ලෙස අද උතුර සහ නැඟෙනහිර ආර්ථිකය ජාතික ආර්ථිකයත් සමඟ බද්ධ කර ඇත. එම පළාත්වලින් සහල්, එළවළු ආදී භවභෝග ජාතික වෙළෙඳ පොළට ලැබෙන්නේ එබැවිනි.

දැනට රටේ වී අතිරික්තයක් තිබීමට ප්‍රධාන ;හ්තුවක් වන්නේ ද උතුර සහ නැඟෙනහිර ගොවීන් විශාල ලෙස වී වගාවේ නිරත වීමයි. නිෂ්පාදන ඉහළ දැමීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් රජය විසින් යහමින් ලබාදී තිබේ.

මේ නිසා නිදහස ලැබෙන වකවානුවේ අප රටේ ලක්‍ෂ 80ක ජනගහනයක් සිටියදී පවා බුරුමය, චීනය ආදී රටවලින් සහල් ආනයනය කිරීමට සිදුවුවද දැන් ජනගහනය ලක්‍ෂ 200ක් ව තිබියදී ද එවැනි අවශ්‍යතාවක් ඇතිවී නැත. සහලින් රට ස්වයංපෝෂිතය.

අතිරික්ත වී/සහල් පිටරට යැවීමේ හැකියාවද පවතී. මෙය සකල ශ්‍රී ලංකාවාසීන් ලැබූ ජයග්‍රහණයක් ලෙස දැකීම නිවැරදිය. අතීතයේදී යම් කාලවල ගීතයෙන් කුමක් කියැවුණත් අපේ අටුකොටු පිරුණේ පිට රට සහලිනි. නමුත් දැන් අපේම සහලින්, වී තොගවලන් අටුකොටු පිරෙන තත්ත්වයක් ඇති බව විපක්‍ෂය ද පිළිගත යුතුය.

විදෙස් මිතුරන් සමඟ හොඳ හිත

අපේ ආර්ථිකයේ සුබ දිශානතිය දෙස බලනවිට නව ආදායම් මාර්ග විවෘතවී ඇති බවද පෙනෙන්නට ඇත. ඕනෑම රටකට කෙටිකාලීන – මධ්‍යකාලීන හා දිගුකාලීන ලෙස ආර්ථික සැලැසුම් තිබිය යුතුය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා 2005 දී වැඩභාරගන්නා අවදියේ කෙටිකාලීන මූල්‍යමය අර්බුදයකට අප මුහුණ දුනිමු. එහෙත් එය ඉතා දක්‍ෂ ලෙස කළමනාකරණය කිරීමට ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ හැකිවිය. ජාත්‍යන්තර මූල්‍යායතන සමඟ ගනු - දෙනු කරමින් එම අර්බුදය ජයගන්නා ලදී. 2005 – 2006 වසරවල ලෝකයේ තෙල් මිල ඉහළට ගොස් තිබිණි. බොහෝ රටවල ආර්ථිකයන් අර්බුදයට ගියේය. ඛනිජ තෙල් අර්බුදයත් සමඟ ආහාර අර්බුදය සහ මූල්‍ය අර්බුදය ද ඇතිවිය. නමුත්, මේ සියල්ලෙන් ජනතාව මුදා ගනිමින් ආර්ථික සංවර්ධන මාවතට රට යොමු කිරීමට ජනාධිපතිතුමාට හැකිවිය. මූල්‍ය අර්බුදය හා එහි බලපෑම් කළමනාකරණය කර ගැනීම අද ද දියුණු රටවලටත් අභියෝගයකි. මේ රටවල ආර්ථික වර්ධනය භයානක ලෙස පහත වැටී තිබේ. විරැකියාව ඉහළ ගොස් ඇති අතර ජනතාවගේ අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය අඩුවී ඇත. මේ නිසා ගී‍්‍රසිය – අයර්ලන්තය - ස්පාඤ්ඤය ආදී රටවල සමාජ අර්බුද පවා ඇතිවී තිබේ.

අපේ ආර්ථිකයට අදාළව කෙටිකාලීනව මුදල් ලබාගත හැකි අංශ දෙකක් තිබේ. ඒ, සංචාරක ව්‍යාපාරය සහ විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් ය. මේ දෙකොටසම මේ වන විට ඉතා හොඳ ප්‍රවණතා පෙන්වමින් ඇත. මේ වනවිට සංචාරකයන්ගේ ඉලක්කය ලක්‍ෂ 10ට ළඟා වෙමින් පවතී. ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 16ක් පමණ විදේශයන්හි සේවය කරයි. එමගින් අපේ විදේශ විනිමය සංචිතය ඉතිහාසයේ අන් කවරදාකවත් නොවූ තරමින් වර්ධනය වී ඇත. මගේ පුද්ගලික අදහස නම් ලංකාව ඉතා කෙටි කාලයකදී ඉහළම දියුණුවක් අත්කරගන්නා රටක් බවට පත්කරගැනීමට නම්, සංචාරකයන් ලක්‍ෂ 20ක් ගෙන්වාගන්නා අතර විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාවද ලක්‍ෂ 20 දක්වා වැඩිවිය යුතු බවයි. මේ වනවිට අපේ ගම්බද පළාත් ශීඝ්‍රයෙන් දියුණු වීමට එක් හේතුවක් වී ඇත්තේද විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන් වාර්ෂිකව ඇ. ඩො. බිලියන 5ක් පමණ ඉතිරිකිරීම් ලෙස මෙරටට එවීමයි. එම මුදල් ගලායන්නේ ගම්බද පළාත්වලටය. මේ ප්‍රවණතාව තවත් වසර 10ක් නොකඩවා රැකගත හැකිනම් ග්‍රාමීය දිළිඳු බව සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකි බව මගේ මතයයි.

ආර්ථික සංවර්ධනයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අත්කරගෙන ඇති තවත් ජයග්‍රහණයක් නම් තිරසාර සංවර්ධනයක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට හැකිවී තිබීමයි. ලොව කිසිදු රටකට එවැනි පහසුකම් සැලසීමකින් තොරව ආර්ථික වර්ධන වේගය 8% හෝ ඉන් ඔබ්බට පවත්වාගත නොහැකිය.

ලොව ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් සහිත රටවල් වන චීනය සහ ඉන්දියාවේ එම පුදුමාකාර වර්ධනයට හේතු 2ක් බලපා ඇති බව කිව හැකිය. පළමුවැන්න ලෝකයේ අඩුම මිලට කම්කරු ශ්‍රමය ලබාගැනීමයි. දෙවැන්න යටිතල පහසුකම් සපයාදීමයි. ලංකාව ද සෑම ක්‍ෂේත්‍රයකටම යටිතල පහසුකම් යොමුකර තිබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ විදුලිය නිෂ්පාදනයයි. විදුලිය හිඟ රටවලට ආයෝජකයන් එන්නේ නැත. සංවර්ධනය ද නොපැමිණේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බලයට පත්වූ පසු නොරච්චෝලේ හා සාම්පූර් ගල් අඟුරු බලාගාර, ඉහළ කොත්මලේ, උමාඔය වැනි ජල විදුලි ව්‍යාපෘති මෙන්ම තවත් මහා පරිමාණ, මධ්‍යම ගණයේ හා සුළු පරිමාණ විදුලි යෝජනා ක්‍රම ගණනාවක් ද ක්‍රියාත්මකව ඇත. මීටත් අමතරව ඩීසල් හා දැවිතෙල් බලාගාර ද කෙරවළපිටිය වැනි ප්‍රදේශවල ඉදිවී තිබේ. මේ සියල්ල දෙස බලනවිට පැහැදිලිව පෙනෙන්නේ විදුලි බල ක්‍ෂේත්‍රය සඳහා මෙවැනි අයෝජනයන් අන් කිසිවකුත් කර නැති බවයි.

තවදුරටත් සපුරාගතයුතු අඩුපාඩුවක් ලෙස අපේ තෙල් පිරිපහදුව නවීකරණය සහ පිරිපහදු ධාරිතාව වැඩිකිරීම පවතී. මේ පිළිබඳ දැනට සාකච්ඡා සිදුවෙමින් තිබේ.

අසල්වැසි මාලදිවයිනට ශක්තියක් වූ අපේ ජනපති

වරාය හා ගුවන්තොටුපොළ ඉදිකිරීම හා නවීකරණය විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇත. හම්බන්තොට වරායේ පළමු අදියර සම්පූර්ණ කෙරිණි. කොළඹ – ගාල්ල – ඔලුවිල් - කන්කසන්තුරේ ආදී සියලුම වරායන් සංවර්ධනය කෙරෙමින් පවතී. මත්තල ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිවෙන අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවීකරණයන් සිදුවෙමින් ඇත. අනුරාධපුර, මින්නේරිය, කොග්ගල, මහනුවර වැනි ප්‍රදේශවල ගුවන් තොටුපොළ සංවර්ධනය ද සිදුවනු ඇත.

දුම්රිය මාර්ග හා මහාමාර්ග සංවර්ධනය ද සලකා බැලිය යුතු තවත් ක්‍ෂේත්‍රයකි. දක්‍ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවරීමට සූදානම්ව ඇත. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ පිටරවුම් මාර්ගය ඉදිවෙමින් ඇත. උතුර සහ නැඟෙනහිර මහාමාර්ග ශීඝ්‍රයෙන් ඉදිකෙරෙමින් තිබේ. මීට අමතරව දිවයින පුරා ප්‍රාදේශීය මාර්ග කොන්ක්‍රීට් කිරීම, කාපට් කිරීම ආදී කටයුතු විශාල ලෙස සිදුවී ඇත.

අධිරාජ්‍යවාදී යුගයෙන් පසු කිසිම දියුණුවක් ඇති නොවූ දුම්රිය මාර්ග ද දැන් සංවර්ධනය කෙරෙමින් පවතී. දක්‍ෂිණ දුම්රිය මාර්ග සංවර්ධනය ව්‍යාපෘතිය විශේෂයෙන් දැක්විය යුතුය. මේ සියල්ලෙන් පෙනෙන්නේ අපේ රටේ විශ්මිත වෙනසක් සිදුවෙමින් ඇති බව හා සංවර්ධනයට විශාල රුකුලක් ඉන් ලැබෙමින් ඇති බවයි.

මේ සෑම ක්‍රියාදාමයක් තුළින්ම සමාජයේ දිළිඳු සහ වරප්‍රසාද නොලත් කොටස්වලට විශාල සහනයක් සැලසීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ රජයේ අරමුණයි. මෙවැනි ක්‍රියාදාමයන් හරහා රැකියා උත්පාදනය වීමද සිදුවේ.

මෙතෙක් අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා සැපයීම ආදී සියල්ල කළේ රජයේ අරමුදල්වලින් පමණි. ඉන් සැබැවින්ම සිදුවූයේ දුප්පතුන් වෙත ගලා යන මුදල් ප්‍රමාණය සීමිත වීමයි. නමුත් අපේ ප්‍රතිපත්තිය මෙකී ක්‍ෂේත්‍රවලට පුද්ගලික අංශයේ මුදල් ද යෙදවීමට සැලැස්වීමයි. එබැවින් එකී ක්‍ෂේත්‍රවල ශීඝ්‍ර වර්ධනයක් ද දැකිය හැකි අතර එහි ප්‍රධාන ප්‍රතිලාභීන් වන්නේ අප සමාජයේ දිළිඳුම කොටසයි.

සමාජයක් දියුණු කළ හැක්කේ සටන්පාඨවලින් හෝ පාට කමිස ඇඳගෙන වීදි දිගේ කෑගසමින් ගිය පමණින් වත් රැවුල වැවීමෙන්වත් නොවේ. ඒ සියල්ල දැන් ඉතිහාසයේ කුණු බක්කියට වැටී හමාරය. එවැනි දෑ හාස්‍යයට ලක්වීම වැළැක්විය නොහැකිය. එබැවින් මේ විකට ජවනිකාවලට ආයුබෝවන් කියා වගකීමෙන් යුතුව සාර්ථක ආර්ථික ගමනකට රට දැන් යොමුකර තිබේ.