ලෝක ධර්මතාවන්ට අනුව විසැඳුම් සෙවූ ජන නායකයා

ලෝක ධර්මතාවන්ට අනුව විසැඳුම් සෙවූ ජන නායකයා

විතයේ සෑම ප්‍රශ්නයකටම උත්තර සොයන්න අමාරුයි. ඒවා විසඳෙන්න කාලයට ඉඩ දෙන්න. ලෝක ධර්මතාවය අනුව සෑම ප්‍රශ්නයකටම සාර්ථක විසඳුමක් ලැබේ යැයි කියන විශ්වාසය මත වැඩ කරන්න. 2004 අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පැවසුවේය.

මා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හඳුනාගත්තේ මීට අවුරුදු විස්සකට පමණ ඉහතදීය. එතුමාගේ ඇසුරේ ගතකළ අවස්ථාවලදී එතුමන් ක්‍රියාකළ ආකාරය, උපදෙස් දුන් ආකාරය පමණක් නොව උපදෙස් දෙමින් ක්‍රියාත්මක වූ ආකාරයෙන් අප උකහා ගත් දේ බොහෝය. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ වසර 6 ක පදවියේ පාලන කාලයේ සාර්ථකත්වය සමරන අවස්ථාවේ මෙම සටහන තැබීම වැදගත් යයි මම සිතමි.

1995 සිට 2005 දක්වා මා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයා හා සභාපතිවරයා වශයෙන් කටයුතු කළ යුගයේදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් දුන් දායකත්වය පිළිබඳ මතකය අවදි වන්නේ එය මා සිත පත්ලේ ගලේ කෙටූ අකුරක් මෙන් නොමැකෙන ලෙසින් සටහන්ව ඇති නිසාය.

කොටි ත්‍රස්තවාදීන් විසින් 1996 ජනවාරි 31 වනදා මහ බැංකුවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදී. මේ සිද්ධිය වූ කාලයේ වීල්ස් ලෝක කුසලානයේ තරග හතරක් ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණි. රටේ තිබූ ආරක්‍ෂක තත්ත්වය අසතුටු බව පෙන්වමින් එම තරග හතරට ක්‍රීඩා කිරීමට ලංකාවට පැමිණීමට රටවල් හතරක් ප්‍රතික්‍ෂේප කළේය.

ත්‍රස්තවාදයට යටවී මේ තරග හතරෙන් එක් තරගයක් හෝ ලංකාවේ පැවැත්වීමට නොහැකි වුවහොත් වසර ගණනාවකින් ඉවත් කළ නොහැකි පරිදි ලංකාවට විශාල කළු පැල්ලමක් එල්ලවන බව ද මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පැවසුවේ කෙසේ හෝ මෙම තරග හතර ලංකාවේ පැවැත්විය යුතු බවට වන තිර අදිටනින.

හැකි සෑම ශක්තියක්ම යොදා එක් කණ්ඩායමක් හෝ ලංකාවට ගෙන්වා ගත යුතු බව එතුමා මා හට පැවසුවේය. බෙදුම්වාදී ත්‍රස්තවාදයට එහා ගිය ස්වෛරී ලංකාවක් ඇති බව පෙන්වාලීමට මෙය අවස්ථාවක් කරගන්නැයි එතුමා මා වෙත උපදෙස් දුන්නේය.

ඉන්දියාවේ හා පකිස්තානයේ ක්‍රීඩකයන්ගේ එකමුතුවෙන් ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තරග කිරීමට රටවල් දෙකට ආරාධනා කර ඒ මඟින් ලෝක කුසලාන තරගාවලියේ තරග හතර ලංකාවේ පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇති බව පෙන්නුම් කිරීමට හැකියාව පවතින බව මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මා වෙත පැවසුවේය. එවක ශක්තියක් වෙමින් මා දිරිමත් කළ ආකාරය අද මෙන් සිහිවේ.

ක්‍රිකට් සම්මේලනය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට එතුමා දුන් සහාය වචනවලට පමණක් සීමා වූයේ නැත. තරගාවලියට අවශ්‍ය ආරක්‍ෂාව සැපයීමට ප්‍රමාණවත් ආරක්‍ෂක නිලධාරීන්, යාන වාහන මෙන්ම සියලුම පහසුකම් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දීම පිළිබඳ එතුමාගේ පුද්ගලික අවධානය පවා යොමුවීය. මේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අපට සහය දැක්වූ එක් අවස්ථාවකි. අනෙක් අවස්ථාව වන්නේ මුත්තයියා මුරලිදරන් සම්බන්ධයෙන් උද්ගත වූ ප්‍රශ්නයේදීය.

මුරලිගේ පන්දු යැවීමේ විලාශය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් තෙවැනි වරටත් පරීක්‍ෂණයක් කර අවසන් තීරණයකට එළඹෙන තෙක් මුරලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් කර තැබිය යුතු යැයි අයි. සී. සී. එක තීරණයක් ගෙන තිබුණේය. මේ ප්‍රශ්නය 2003 දී ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට රැගෙන යන අවස්ථාව වන විට රටේ අගමැතිවරයා මහින්ද රාජපක්‍ෂ මැතිතුමාය. මා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට යාමට පෙර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එතුමාගේ නිවසට කැඳවූවේය. නිවසේ එක් කාමරයක අප දෙදෙනා මුරලිගේ ප්‍රශ්නය ගැන කතා කළෙමු. මුරලි ක්‍රීඩා කිරීම ආරම්භ කළ දිනයේ සිට 2004 වසර දක්වා කාලය තුළ ඇතිවූ සියලුම ප්‍රශ්න පෞද්ගලිකව කතා කරන විට ඊට සම්බන්ධ සියලුම ලිපි ලේඛන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කියවූයේය.

ආයු බෝ වේවා/ මහ රජාණෙනි

1998 නයිරෝබි චැම්පියන් කුසලානය, 2000 වසරේදී ඩැරල් හෙයාර් විසින් ප්‍රකාශයට පත් කරන ලද DECISION MEKER කෘතිය මගින් මුරලි විවේචනය කළ ආකාරය, 2003 වසරේදී දුස්රා පන්දුව ක්‍රිකට් ලෝකයට හඳුන්වා දීමෙන් පසුව ඇතිවූ තත්ත්වයන් පිළිබඳ එතුමා අධ්‍යයනය කර තිබුණි. ඒ ජනාධිපතිතුමා දක්‍ෂ නීතිඥයකු බැවිනි. ඒ අධ්‍යයනයෙන් පසුව එතුමා මා හට කීවේ මෙවන් කතාවකි.

“අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැහැ කියලා පෙන්වීමට තිබෙන හොඳම සාධකයක් තමයි මුරලි කියන්නේ.

මුරලිට එල්ල වෙලා තිබෙන චෝදනාවලින් ඔහු නිදහස් කර ගැනීමට අපි අවංක කැපකිරීමකින් කටයුතු කරන්න ඕන. ඔහු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් මිස සිංහල, දෙමළ, මුස්ලිම් හෝ බර්ගර් ක්‍රීඩකයෙක් නොවන බව ලොවට කියාපානවා.

අපිට ප්‍රතිවිරුද්ධව ත්‍රස්තවාදීන් විසින් අන්තවාදී දෙමළ නිජබිමක් ඉල්ලන අවස්ථාවකදී තමයි අපි මුරලි වෙනුවෙන් පෙනී සිටින්නේ. දෙමළ ජාතික දක්‍ෂ තරුණ ක්‍රීඩකයෙක් වෙනුවෙන් පෙනී සිටින්නේ.

අපි අන්තවාදී, ජාතිවාදී නොවන නිසා මෙන්ම සතුරාටද මෛත්‍රී කරන ධර්මිෂ්ඨතාවයේ සිට කටයුතු කරන දේශයක් වන නිසයි”. එතුමා දුන් ඒ ඔවදන නිසා මුරලිගේ ප්‍රශ්නය වඩාත් හොඳින් නිරාකරණය කර ගැනීමට මා හට ශක්තිය, ධෛර්ය, හැකියාව ලැබුණා.

මා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට පත් වන විට එහි පරිපාලන කටයුතු කළේ එන්. ටී. ටී. නමැති ජපන් සමාගමයි. පරිපාලන කටයුතු සඳහා පමණක් එම සමාගමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් වාර්ෂිකව රුපියල් මිලියන පන්සියයක මුදලක් (ලක්‍ෂ 5000) එන්. ටී. ටී. ආයතනයට ලබා දුන්නේය.

එපමණක් නොව ටෙලිකොම් ආයතනයේ ආදායමෙන් 1.5%ක මුදලක් ද එම සමාගමට වාර්ෂිකව ලබාදිය යුතුව තිබුණි. එම පරිපාලන කටයුතු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් කිරීමට මා තීරණය කළේ විදේශීය සමාගමකට නිකරුණේ ලබා දෙන මිලියන ගණනක මුදල් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන නිසාය.

එන්. ටී. ටී. සමාගම විසින් ඉටු කළ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පවරා ගැනීමෙන් පසුව අපගේ ආයතනය කඩාවැටෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වෘත්තීය සමිති නියෝජිතයෝ මහින්ද රාජපක්‍ෂ හමුවේ පැවසූහ. සාමාන්‍ය සංස්ථාවකට අත්වන ඉරණම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටත් අත්වෙතැයි ඔවුහු බියට පත්ව සිටියහ.

සාකච්ඡා

මේ අවස්ථාවේදී එවකට විපක්‍ෂ නායකව සිටි මහින්ද රාජපක්‍ෂ මහතාව මා හමුවී මේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළේය. එන්. ටී. ටී. ආයතනයට නිකරුණේ මුදල් දීම වෙනුවට එම මුදල් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රඳවා ගැනීමට මා ගත් පියවරක් පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහතාට කරුණු ඉදිරිපත් කළෙමි. එන්. ටී. ටී. ආයතනය ඉවත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ජංගම දුරකතන සමාගමක හිමිකාරීත්වය මෙන්ම විශාල ජී. එස්. එම්. ජාලයක හිමිකාරීත්වය හිමිවන ආකාරය මම ඔහුට පැහැදිලි කළෙමි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගත යුතු ප්‍රගතිශීලී පියවරක් එක්සත් ජාතික පක්‍ෂ රජයක් විසින් ගන්නා දුටු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එය උපේක්‍ෂාවෙන් යුතුව අගය කළේ අපේ අහිංසක සේවකයන්, කම්කරුවන් පාරට ඇද දමන්නේ නැතිව තවත් අලුත් සේවකයන් වැඩි කර ගැනීමට හැකිවන බව වැටහී ඇති බැවින් ද, එන්. ටී. ටී. ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් ඉවත් කරන විට කිසිදු රාජ්‍ය හෝ වෘත්තීය සමිතියක විරෝධයක් එල්ල නොවූ අතර ඒ සඳහා එතුමා ඇතුළු සියල්ලන්ගේම ආශීර්වාදය හිමිවිය. ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පටු දේශපාලන වාසි පිළිබඳ නොසිතා රටේ ආර්ථිකයට ශක්තියක් වන පියවරට නොමඳ ආශීර්වාදය දුන්නේය.

නිවැරැදි දේ වෙනුවෙන් එතුමා පෙනී සිටියේය. ඒ සඳහා ජනාධිපතිතුමා පූර්ණ ශක්තිය ලබා දුන්නේය. මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ආශීර්වාදය ද ඇතිව එදා ගත් පියවර නිසා පසුගිය වසර දහයක කාලයකදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ලක්‍ෂ විසිපන්දහසක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

2004 වසරේ මුල් තෙමසේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සැලසුම් සහගතව මා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයෙන් හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ ගත්තා පමණක් නොව මාගේ නායකත්වයෙන් යුතු ලක්බිම පුවත්පතට නොයෙක් හිරිහැර කළේය. මේ අතර 2004 අප්‍රේල් මාසයේදී එවකට විපක්‍ෂ නායක ධුරයේ සිටි අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සමඟ විටින් විට පෞද්ගලිකව සාකච්ඡා කිරීමේ අවස්ථාව මට ලැබිණ. මට අත්විඳින්නට සිදුවූ අසාධාරණයන් පිළිබඳ මා පැවසූ විට ඒවා සාවධානව අසා සිටි එතුමා අවසානයේදී පැවසුවේ මෙවැන්නකි.

“ජීවිතයේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු සොයන්න බැහැ. ඒවා විසඳීමට කාලයට ඉඩ දිය යුතුයි. ලෝක ධර්මතාවය අනුව ඒවාට සාධාරණය ඉටුවනවා යැයි යන විශ්වාසය මත සිට කටයුතු කරන්න. ප්‍රශ්න අපේ ජීවිතය ඉදිරියට එන්නේ නොසිතූ, නොපැතූ ආකාරයටයි. ඒ ප්‍රශ්න වෙන් වෙන් වශයෙන් බලලා ක්‍රියාත්මක වීමට උත්සාහ නොගතහොත් විශාල මානසික පීඩනයක් ඇතිවිය හැකියි. ඒවා විසඳීමට විශාල කාලයක්, ශ්‍රමයක් වැය කරන්න සිදුවෙනවා. ඒ නිසා දහම විසින් දැහැමියා රකී යන්න මත සිට ලෝක ධර්මතාවය විසින් සියල්ල විසඳා දෙනු ඇතැයි යන විශ්වාසය මත සිට කටයුතු කරන්න. එහෙම කටයුතු කළොත් අපිට වරදින්නේ නැහැ.” එතුමා දුන් වටිනා ඔවදන් අදටත් මගේ හිතේ දෝංකාර දෙයි. රටේ සේනාධිනායකයා ලෙස එඩිතර පියවරක් ගනිමින් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්‍ෂක පොලිසියට නායකත්වය ලබා දෙමින් 2007 වසරේ අවසානය වන විට නැඟෙනහිර පළාතෙන් ත්‍රස්තවාදය තුරන් කළ අවස්ථාවේදී මා සමඟ කතා කරමින් සිටි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පැවසුවේ අපගේ වීරෝධාර ආරක්‍ෂක අංශවලට ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය අතුගා දැමිය හැකි බවය.

කොටි ත්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි උතුරු නැඟෙනහිර අහිංසක දෙමළ ජනතාව මුදාගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ රජය විසින් ගෙන ගිය මානුෂීය මෙහෙයුම සාර්ථක වෙමින් ඉදිරියට යන අවස්ථාවේදී ජාත්‍යන්තර වශයෙන් නොයෙක් විවේචන ශ්‍රී ලංකාවට එල්ලවන්නට විය. අන්තර්ජාලය හරහා මානුෂීය මෙහෙයුම පිළිබඳ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමට කොටි ත්‍රස්තවාදීන් මෙන්ම කොටි හිතවාදීන් නොගත් උත්සාහයක් නැත.

මේ වැඩපිළිවෙළ පරාජයට පත් කිරීමට නම් ශ්‍රී ලංකාවට විරුද්ධ ප්‍රචාරක ජාලයට වඩා හමුදාවට වෙන්වූ ප්‍රචාරක ජාලයක අවශ්‍යතාවය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් හඳුනා ගත්තේය. රට තුළ ත්‍රස්තවාදීන් පරාජය කර යුද්ධය ජයග්‍රහණය කළත් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ප්‍රචාරක ජාලය ඔවුන් විසින් ගෙන යන රාජ්‍ය විරෝධි ප්‍රචාරක ජාලයක් කිරීමේ වැදගත්කම එතුමා නිතරම අවධාරණය කළේය. එම රාජ්‍ය විරෝධී මතවාදයන් පරාජය කිරීම සඳහා “අපි වෙනුවෙන් අප”ි ප්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ වූයේය.

මානුෂීය මෙහෙයුම

ප්‍රබුද්ධ දේශපාලනඥයෙක්, වගකීම් සහගත ජන නායකයෙක් ලෙස මුළු රටේම ඉදිරි ගමන පිළිබඳ තීරණ ගැනීමට පෙර ඊට අවශ්‍ය පසුබිම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් සකස් කළේය. යුද්ධය මෙතරම් සාර්ථකව ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ එම සැලසුම් සහගත වැඩපිළිවෙළ නිසාය.

2008 සඳහා ඉදිරිපත් කළ අය-වැය ලේඛනය සම්මත කර ගැනීමට හැකියාවක් ලැබෙනවාද නැද්ද යන්න එදා යුද්ධය ජයග්‍රහණය කිරීමේ තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබුණේය. කොටි නායක ප්‍රභාකරන්ගේ සහචරයන් එක්වී අය-වැය ලේඛනය පරාජයට පත් කළා නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බිඳ වැටී යුද ජයග්‍රහණය සිහිනයක් පමණක් බවට පත්වීමට ඉඩ තිබුණි. මේ නිසා අය-වැය ලේඛනය ජයග්‍රහණය කරවා ගැනීමට අවශ්‍ය සහයෝගය ගැනීම පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කිහිප අවස්ථාවකදීම මා සමඟ සාකච්ඡා කළේය. එම අයවැය ලේඛනය ජයග්‍රහණය කරවා ගැනීමට හොඳ සූදානමක් ඔහුට තිබුණේය.

2008 වසරේ නුවර දී ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති හමුවකට මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සමඟ එක්වීමට මටද අවස්ථාව උදාවිය. ඒ වන විට මානුෂීය මෙහෙයුම සාර්ථකව ඉදිරියට යමින් තිබුණ අතර අප සමඟ සිටි වේලාවේදී එතුමාට දස අතින් දුරකතන ඇමතුම් ලැබෙමින් තිබුණේය. විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එතුමාට දුරකතන ඇමතුම් ලැබුණේය. මානුෂීය මෙහෙයුම නවතන ලෙස නොයෙක් බලපෑම් කිරීමට එම රාජ්‍ය තාන්ත්‍රිකයෝ සූදානමින් සිටියහ.

එහෙත් එම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා මනාව කළමනාකරණය කර ගැනීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට හැකියාව ලැබුණේය. ප්‍රභාකරන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට සූදානමින් සිටි රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ ගැටුම් ඇතිකර නොගත් එතුමා ඔවුන් උපක්‍රමශීලීව වෙන් කර තැබීමට කටයුතු කළේය.

මානුෂීය මෙහෙයුමට සහාය දැක්වූ රටවල් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් අනෙක් රටවල් ප්‍රතික්‍ෂේප නොකර ඔවුන් අතේ දුරින් තබා ගැනීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සෑම විටම උත්සාහ ගත්තේය.

ව්‍යාපාරික ප්‍රජාව

ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා චන්ද්‍රිකා කුමාරතුංග යන ජනාධිපතිවරුන්ට කළමනාකරණය කර ගත නොහැකි වූ ජාත්‍යන්තර බලවේග මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මනාව හැසිරවූවේය. යුද්ධයේ සංකීර්ණ අවස්ථාවලදී අනෙකුත් රාජ්‍ය නායකයන්ට ගත නොහැකි වූ එඩිතර තීරණ ගැනීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නොපැකිල වූ ආකාරය දෙස බැලූ විට ජීවිත කාලයටම එතුමාට ගරු කිරීමට එයම ප්‍රමාණවත් යැයි මට සිතේ.

යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව ජය පැන් බීමෙන් නොනැවතුණ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රී ලංකාව සංවර්ධිත දේශයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කළේය. පසුගිය අවුරුදු හතළිහ පුරා සංවර්ධනය වූ රටවල් සංවර්ධන ඉලක්ක ළඟාකර ගත් ආකාරය පිළිබඳ අධ්‍යයනය කළ එතුමන් ශ්‍රී ලංකාවේ සංවර්ධන මාර්ගය ඉදිරියට ගෙන යාමට සංවිධ සැලසුමක් මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් ඉදිරිපත් කළේය. වෙළෙඳ හා වානිජ මෙන්ම ගුවන් සහ නාවික කේන්ද්‍රස්ථානයක්, තොරතුරු තාක්ෂණයෙන් පිරිපුන් ජන සමාජයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම මගින් සංවර්ධිත දේශයක් කරා ලංකාව රැගෙන යා හැකි බව මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ දැක්මේ වෙති.

මහින්ද චින්තන ඉදිරි දැක්ම

මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙළේ අවසානය ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්වීමය. මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව මෙම අංශ පහ කෙරෙහි වැඩි අවධානය යොමු කර තිබෙන්නේ එයට ප්‍රමුඛතාවය ලබාදීම යුගයේ අවශ්‍යතාවය වන නිසාය. මේ වැඩපිළිවෙළට කුමන විවේචන එල්ල වුවත්, කුමන බාධක දේශීය හෝ විදේශිකයන්ගෙන් පැමිණියත් යුද්ධය ජයග්‍රහණය කිරීමට ලබා දුන් ශක්තිය මෙන්ම දැවැන්ත ශක්තියක් මේ වන විට සංවර්ධන සංග්‍රාමය ජයග්‍රහණය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් ලබා දෙමින් සිටී.

මහින්ද චින්තනය අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ යෝධ පිම්මක් පනිමින් දැවැන්ත සංවර්ධනයක් කරා රට ගමන් කරමින් සිටී. ඒ ගමන් මඟට මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ රජයේ සියලු දෙනාගේම දායකත්වය ලැබෙමින් තිබේ. ඒ සියල්ල දෙස එතුමා බලා සිටින්නේ මේ දේශය සංවර්ධිත රටක් කරා ගෙන යාමේ උදාර අදිටනින් යුතුවය.

හොඳ පියෙක්, ස්වාමිපුරුෂයෙක්, සහෝදරයෙක්, මිත්‍රයෙක්, ඥාතියෙක්, දාර්ශනිකයෙක්, අධිෂ්ඨානශීලී හික්මීමක් ඇති, ප්‍රජාතන්ත්‍රවාදී නිහතමානී, සරල, ගුණවත්, ප්‍රබල නායකයෙක් රටේ වෙත්නම් ඒ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාය. මේ රටේ අපේ යුගයේ අංග සම්පූර්ණ නායකයෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මිස වෙන අන් කිසිවෙකු නොවේ.

මෙවැනි අභිමානවත් නායකයෙකුගේ හයවැනි පදවි ප්‍රාප්තියට ශුභ පැතුම් එක්කරනුයේ හද පිරි සතුටකිනි.

චිරං ජයතු ජනාධිපතිතුමනි!