ඉතිහාසගත නායකයාගේ පාලන කාලය

ඉතිහාසගත නායකයාගේ පාලන කාලය

ආශ්චර්යමත් ඉතිහාසයකට උරුමකම් කියන ලෝකයේ රටවල් අතුªරින් ප්‍රථම ස්ථානයේ දිදුලන රට ශ්‍රී ලංකාව බව මට හැඟේ. වසර 2358 ක ඉතිහාසගත උරුමයක් ඇති අප රටේ විසූ රාජ පරම්පරාව ඒ ඒ වකවානුවලදී විශිෂ්ඨ ඉතිහාසයක් ගොඩනඟා ඇත. ඒ අතීත ශ්‍රී විභූතිය පෑ රජ දරුවන් නිසා අප ඉතිහාසය ආශ්චර්යමත් විය.

විහාර, වැව් අමුණු, පාලම්, ඇළ මාර්ග දෙස බැලීමේදී නවීන තාක්ෂණය පවතින අද දිනටත් වඩා ඉහළ තාක්ෂණයක් එදා ඔවුන් ළඟ තිබූ බව පෙනේ. ඒ විශ්ව කර්මික වාරි කර්මාන්තය තුළින් ආශ්චර්යමත් ඉතිහාසයක් අපට උරුමය. ක්‍රි. පූ. 543 වර්ෂයේ විජය රජුගේ පැමිණීමේ ක්‍රි. ව. 1815 වර්ෂයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලනයේ අවසන් දින දක්වා වසර 2358 ක් පුරාවට රජවරුන් කී දෙනෙකු මේ රටේ රජ කළාදැයි ඇතැමෙක් පැනයක් නැගුව හොත් විවිධ අය විවිධ ගණන් ඉදිරිපත් කරනු ඇත. ඊට හේතුව අප ඉතිහාසයේ සමහර රජවරුන් පිළිබඳව නොලිය වී ඇති නිසා දැයි මට හැඟේ.

බොහෝ කතා වස්තූන්වල රජවරු 179 දෙනෙකු අප ලක් දෙරණේ රජකම් කළ බැව් සඳහන් වේ. එසේ වුවද තවත් සමහර ග්‍රන්ථවල මෙම අයට අමතරව රජවරුන් 20 දෙනෙකු පමණ සිටිය බැව් සඳහන් වේ. එම ගණන් තවත් අඩු වැඩි වශයෙන් වෙනත් ග්‍රන්ථවල සඳහන් වේ. කෙසේ වුවද එම රජවරුන්ගේ නම් හෝ රජකම් කළ වකවානුව ද කිසිම තැනක සඳහන් නොවේ. ඔවුන් අප්‍රකටව රජකම් කළා විය නොහැක. එම රජ දරුවන් රටට දැයට කිසිදු වැඩක් නොකළ නිසා ඉතිහාසය ඔවුන් අමතක කර ඇති බවක් මට හැඟේ.

ඉතිහාස පොත පතේ සඳහන් වන රජවරු 179 දෙනා අතුරින් කී දෙනෙකු අපේ මේ මාතෘ භූමිය වෙනුවෙන් යමක් සිදු කොට ඇත් දැයි විමසා බැලිය යුතු වටී. මහා සිව නම් රජතුමා අවුරුදු 10 ක් අනුරාධපුර පාලනය කළ අතර ඔහු ගැන කිසිවෙකුත් දන්නේ නැත. ඒ රට වෙනුවෙන් ඔහු කිසිත් නො කළ නිසා විය හැක. මහා සිව රජුගෙන් පසු ඔහුගේ 6 වන පුත් සූරතිස්ස රජතුමා අවුරුදු 10ක් අනුරාධපුර රජ කළ ද ඔහු කළ කාර්යයක් ගැන ඉතිහාසයේ සඳහන් වන්නේ නැත.

ඉන් පසු සේන හා ගුත්තික යන දෙදෙනා අවුරුදු 22 ක කාලයක් ලංකාවේ රජ කළද ඒ අවුරුදු 22 පුරාවට ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය වෙනුවෙන් ඔවුන්කළ කිසිදු දෙයක් ගැන ඉතිහාසයේ සඳහන් වන්නේ නැත. ඛල්ලාට නාග නම් රජ කෙනෙකු අවුරුදු 6ක් ශ්‍රී ලංකාවේ රජකම් කළ ද රට වෙනුවෙන් ඔහු ද කළ කී දෙයක් ඉතිහාසයේ සඳහන්ව නොමැත. පුලහස්ථ රජතුමා අවුරුදු 3ක් ද බාගිය රජතුමා අවුරුදු 2ක්ද පනයමාර රජතුමා අවුරුදු

7 ක්ද පිලයමාර රජතුමා අවුරුද්දක් ද දාඨිය රජතුමා අවුරුදු 2ක් ද රජකම් කළත් ඔවුන්ගේ නම පමණක් ඉතිහාස ග්‍රන්ථවල සඳහන්ව ඇත. අප රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් කළ දෙයක් ගැන කිසිදු තැනක සඳහනක් නොවේ. කණිරාජානු තිස්ස යන රජ කෙනෙකු අවුරුදු

3ක් ද චූලාභය තිස්ස රජු අවුරුදු 1ක් ද ඉල නාග නම් රජෙකු අවුරුදු 9 ක් ද සද මුහුණ රජතුමා අවුරුදු 8 ක් ද අනුරාධපුර පාලනය කළත් ඔවුන්ගෙන් රටේ අභිවෘද්ධියට සිදු වූ යහපතක් ඉතිහාසයේ සඳහන් නොවේ.

මහඑනා නම් රජෙකු අවුරුදු 6ක් අනුරාධපුර රජ කොට ඇත. පුලුනා රජතුමා අවුරුදු 2ක් ද කුට්ඨ නාග රජතුමා අවුරුදු 2ක් ද අභය නාග රජු අවුරුදු 8ක කාලයක් ද විජයිදු රජතුමා අවුරුද්දක කාලයක් ද ශ්‍රී සංඝ තිස්ස රජු අවුරුදු 4ක කාලයක් ද අනුරාධපුර රජකම් කළත් රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ඔවුන් ඉටු කළ මෙහෙවරක් ගැන ඉතිහාසයේ සඳහන් නොවේ.

රටට දැනෙන යමක්

පණ්ඩු, පාරින්ද, මල්කුඩා පාරින්දු, තිරිතර, දාඨිය හා පීඨිය නම් වූ දෙමළ රජවරු 6 දෙනෙක් වසර 27ක් පුරාවට අනුරාධපුර රජකම් කළ ද ඔවුන්ගෙන් රටට වූ යහපතක් කොතැනකවත් සදහන්ව නැත.

කීර්ති සේන නම් රජ කෙනෙකු සහ සිව නම් රජ කෙනෙකු දෙවසරක් රජකම් කළ ද ඔවුන් කළ සේවාවක් ගැන කිසිදු සටහනක් නැත. ශීලා කාල රජතුමා 13න් වසරක් රාජ්‍ය කළ ද අප රටට දැනෙන යමක් සිදු කොටඇති බවක් නො පෙනේ. දළ මුගලන් රජතුමා අවුරුදු 6ක් ද ශිලා මේඝවන්ත රජතුමා අවුරුදු 9ක් ද අනුරාධපුර රජකම් කළත් ඔවුන් කළ කී දෑ ගැන ඉතිහාසයේ සඳහන් නොවන්නේ ඔවුන් රට වෙනුවෙන් යමක් නොකළනිසා විය හැක. පළමු වන දඨෝප තිස්ස රජතුමා අවුරුදු 12ක් තරම් විශාල කාලයක් අනුරාධපුර රජකම් කළ ද ඔහුගේ ක්‍රියාකාරකම් ඉතිහාස පොත්වල නැත. එසේ ලියවී නැත්තේ ඔවුන් රටේ අනාගතය වෙනුවෙන් යමක් නොකළ නිසා විය හැක. හත්ථදඨ රජතුමා රජකම් කළ කාලය අවුරුදු 9කි. එහෙත් ඔහුගෙන් සිදු වූ යහපතක් සඳහන්ව නැත. සිලමෙවන් රජතුමා රට පාලනය කළ කාලය අවුරුදු 40කි. එහෙත් ඔහුගේ වික්‍රමයන් ඉතිහාස පොත්වල නැත. තුන්වන දප්පුල රජතුමා අවුරුදු 16ක් රජකම් කළද ඔහු ද කළ කිසිවක් සටහන්ව නැත. 4වන දප්පුල රජතුමා අවුරුදු 12ක් රජකම් කළ ද ඔහු කළ කී දෑ ගැන සටහනක් නැත.

අපට රටක් හිමිකර දුන් පියාණෙනි, ඔබට අප සැම සදා ණය ගැතියි...

කල්‍යාණවතී නම් රැජිනක් අවුරුදු 6ක් පොළොන්නරුව රාජධානියේ සිට රට පාලනය කළ ද අප රට වෙනුවෙන් කළ කිසි දෙයක් ඉතිහාස පොත්වල නැත. දෙවන ජයබාහු

රජතුමා කුරුණෑගල සිය අග නගරය කරගෙන රජකම් කළ ද ඔහු කළ කී දෑ කෙසේ වෙතත් රජකම් කළ කාල සීමාව ද ඉතිහාසයේ පරස්පරය. කෝට්ටේ රාජධානිය කරගත් 6 වන බුවනෙක බාහු රජතුමා හත් අවුරුද්දක් රජකම් කළ ද ඔහු රට වෙනුවෙන් කළ දෙයක් ඉතිහාසයේ සඳහන් නොවේ.

ඉහත සඳහන් කළ අපේ මාතෘ භූමියේ රජ කළ රජවරුන් පිළිබඳව අඩුම තරමින් එම නම්වත් අසා ඇත්තේ කීයෙන් කී දෙනාද? ඔවුන් රජකම් කළත් රට වෙනුවෙන් රටට දැනෙන යමක් නො කළ නිසා ඉතිහාස කතා පොත් වල ශීලා ලේඛනවල පුස්කොල පොත්වල කිසිවක් සඳහන් කර නැතැයි මට හැඟේ.

අවුරුදු 24ක කාලයක් අනුරාධපුර සිය රාජධානිය කර ගත් දුටුගැමුණු රජතුමා ගැන කුඩා දරුවෙකු පවා දනී. අපේ මේ මාතෘ භූමිය සොළී රජෙකුට යටත්ව අරාජිකව පැවති යුගයක සතුරන් පරදවා රට එක්සේසත් කළේ දුටුගැමුණු රජතුමාය. අද පවා රජරටට අභිමානයක් වූ රුවන්වැලි මහාසෑය ඉදි කළේද ලැගුම් ගෙවල් 900 ක් ඇතුළත්වූ ලෝවාමහාපාය ඉදි කළේද මිරිසවැටිය චෛත්‍ය ඉදි කළේ ද එතුමාය. මිරිසවැටිය හා රුවන්වැලි මහා සෑය එදා මෙන්ම අදත් එතුමාගේ විශ්මිත නිර්මාණයකි. අරාජිකව තිබූ රට එක්සේසත් කොට දීර්ඝ කාලයක් සශ්‍රීකව රට පාලනය කළ දුටුගැමුණු රජතුමා ලක් ඉතිහාසයෙස් රන් අකුරින් ලිය වී ඇත.

රට එක්සත් කිරීම

පළමු වරට රටේ අග නුවර අනුරාධපුර බවට පත් කොට රට එක්සත් කිරීම නිසා ජනතාව තුළ නව ජීවන සම්ප්‍රදායක් ඇති කළ පණ්ඩුකාභය රජතුමා ඈත ඉතිහාසයේ වර්ණවත්ව ඇත. එතුමාගේ කාල සීමාවේදී ජය වැව හා අබා වැව බන්දවා මාලිගා, කෝවිල් ආදිය කරවා නගරය අතිශයින් අලංකාර කරවූවේය. නුවර සෞඛ්‍ය රක්ෂණය අරබයා නගර ශෝධකයින් 500ක් ද කසල ශෝධකයින් 200ක් ද මල මිනී බැහැරට ගෙන යන්නන් 150ක් ද නියුක්ත කළේය. මුළු ලක් දිවෙහිම ග්‍රාම සීමා කළේ එතුමාය. පණ්ඩුකාභය රජතුමා ගැන නොදන්නා කුඩා දරුවෙක් ද ලක්බිමේ නැත.

ලක්දිව බුදු දහම ස්ථාපනය කරවීමට මිහිදු මහ රහතන් වහන්සේ ලක් බිමට වැඩම කරවූ දේවානම්පියතිස්ස රජතුමා බුදු දහම වෙනුවෙන් මහත් අනගි සේවයක් රටට ඉටු කළේය. සංඝමිත්තා තෙරණිය ලංකාවට පැමිණ මෙහෙණි සසුන ආරම්භ කළේ එතුමාගේ කාලයේය. දේවානම් පියතිස්ස රජතුමා ගැන ඉතිහාසයේ පිටු ගණන් ලිය වී ඇත.

වෙහෙර විහාර 84000 ක් කරවා රටට සුවිසල් සේවයක් කළ වලගම්බා රජතුමා ලක් මාතාව වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටු කළේය. එතුමාගේ කාලයේදී ජන පරිහානිය දැක ධර්මයේ චිරස්ථිතිය සඳහා පොත් පත් ලියවූහ. ලක් ඉතිහාසයේ එතුමාගේ නම රන් අකුරින් ලියවී ඇත. 1 වන ගජබා රජතුමා සොළී රටට රැගෙන ගිය සිංහල මිනිසුන් බොහෝ ගණනක් නිදහස් කර ගෙන අප රටට ගෙනවිත් දුන්නේය. එතුමා මේ රටට විශිෂ්ඨ සේවාවක් කළ රජ කෙනෙකි. වසර 27 ක් අනුරාධපුරයේ රජකම් කළ මහසෙන් රජතුමා ලක්දිව වාරි කර්මාන්තයට විශාල සේවාවක් ඉටු කළ අයෙකි.

විශිෂ්ට සේවාව

අනුරාධපුරයේ ජේතවනාරාමය ඉදි කළේ එතුමාය. මින්නේරිය වැව ද ගංතලා වැව ඇතුළු මහා වැව් සොළොසක් එතුමා බන්දවන ලද්දේය. මහසෙන් රජතුමාගේ ඇවෑමෙන් වසර 28 ක් ලක්දිව පාලනය කළ කිත්සිරි මෙවන් රජතුමා බුදු දහම වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළඅයෙකි. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ නමක් දරා සිටි බුද්ධදාස රජතුමා අප රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කළ අයෙකි. සීගිරි පර්වතය සිය රාජධානිය කර ගත් 1 වන කාශ්‍යප රජතුමා ගැන ද ඉතිහාසය බොහො දේ කතා කරයි. දක්ෂ කවියෙකු වූ කුමාදාස රජතුමා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් බොහෝ කටයුතු කළ අයෙකි.

වසර 33 ක කාලයක් පොලොන්නරුව රාජධානිය කර ගත් මහා පරාක්‍රමබාහු රජතුමා ගැන නොදන්නේ අලුත උපන් ළදරුවෙකු පමණි. නටඹුන්ව තිබූ පොළොන්නරුව සිත්කළු මහා නුවරක් බවට පත් කළ එතුමා බලකොටු බදවා, වනයෙන් ගැවසී ගත් ඇළ දොල එළි කර මහා වන

කප්පවා වී ගැල් දහස් ගණනක් වපුරන කෙත් කරවීය.

සහලින් ස්වයං පෝෂිත

එතුමාගේ කාලයේ රට සහලින් ස්වයං පෝෂිත වූ බව පත පොතේ සඳහන් වේ. රටේ අභිවෘද්ධිය සඳහා නානා විධ කර්මාන්ත කරවූ එතුමා සිය ගණන් කුඩා වැව් ද පරාක්‍රම සමුද්‍රය ද බොහෝ වෙහෙර විහාරද කර වූයේය. එතුමා පිළිබඳ අතීතය ආඩම්බරයෙන් කතා කරයි.

පඬුවස්දෙව් රජතුමා, අභය රජතුමා, මුටසීව රජතුමා, සද්ධාතිස්ස රජතුමා, මකලන් තිස්ස රජතුමා, මකලාලක රජතුමා, සුභ රජතුමා, වසභ රජතුමා, ගෝඨාභය රජතුමා, සොත්ථි සේන රජතුමා, ධාතුසේන රජතුමා, කාශ්‍යප රජතුමා, මුගලන් රජතුමා, මහා නාග රජතුමා, මානවම්ම රජතුමා, මිහිදු රජතුමා, කීර්ති නිශ්ශංක රජතුමා, සහස්ස මල්ල රජතුමා, බුවනෙකබාහු රජතුමා, වික්‍රමබාහු රජතුමා, විමලධර්ම සුරිය රජතුමා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, රාජාධි රාජසිංහ රජතුමා යනාදි රජවරු පිළිබඳ ඔවුන් රටට කළ සේවය පිළිබඳව විශාල වශයෙන් පොත පතේ සඳහන් වේ.

රාජධානිවලින් පසුව අප මාතෘ භූමිය නිදහස ලැබූවායින් පසු මේ මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් සේවය කළ රාජ්‍යය නායකයින් පිළිබඳව ද කතා කළ යුතුව ඇත. ඒ අතරින් අවිවාදයෙන්ම ප්‍රථම ස්ථානයට එන්නේ වර්තමාන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය. 30 වසරක පාපකාරී යුද්ධයෙන් රට මුදවා ගත් එතුමා දැන් රට සංවර්ධනය කිරීමේ යෝධ පියවර ගෙන ඇත. එදා දකුණේ සිට පැමිණ සොළීන්ගෙන් රට මුදවා ගත් දුටුගැමුණු රජතුමා, ඉන් අනතුරුව වෙහෙර විහාර, දාගැබ් ඉදි කර වැව් අමුණු බදවා රට ස්වයංපෝෂිත කළේය. එපරිද්දෙන්ම දකුණේ ගිරුවා පත්තුවේ උපත ලබා දරුණු ත්‍රස්තවාදයෙන් රට මුදවා ගෙන අද මහින්ද රාජපක්ෂ මැතිතුමන් කරන්නේද රට සංවර්ධනය කිරීමයි. එදා දුටුගැමුණු රජතුමා, අද මහින්ද රාජපක්ෂයන් ලෙස ඉපදී ඇත්දැයි මට සිතේ.

ඕනෑම රටක් සංවර්ධනය වීමේ මූලික අවශ්‍යතාවය වන්නේ හොඳ මාර්ග පද්ධතියකි. අද ලෝකයේ දියුණු රටවල් ලෙස සැලකෙන සිංගප්පූරුව, ජපානය, මලයාසියාව, ඕස්ට්‍රේලියාව ආදි රටවල් ගතහොත් ඒවායේ ඇත්තේ ඉතා හොඳ මාර්ග පද්ධතියකි. අද අතිගරු ජනාධිපතිතුමා අපේ මේ කුඩා දිවයින ආසියාවේ ආශ්චර්ය කිරීමට මංපෙත් එළිපෙහෙලි කරමින් සිටී. ඇතමුන්ට දිරවන්නේ නැත්තේද මේ ක්‍රියාවලියයි.

ආසියාවේ ආශ්චර්යය

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහල යන විට අප රටේ තෙල් මිල ඉහළ දැමූ පසු ආසියාවේ ආශ්චර්ය මෙය දැයි අසයි. විදුලි බිල්පත ඉහල යන විට, දුම්රිය අනතුරක්වූ විට ආශ්චර්ය මෙය දැයි අසයි. එසේ අසන අයගේ මේ පිළිබඳ දැනුවත්කම මනාව පැහැදිලි වේ. යුද්ධය ජයග්‍රහණයෙන් පසු ආර්ථික යුද්ධය ද ජය ගත යුතුව පවතී. අතිගරු ජනාධිපතිතුමන්ගේ තේමාව ගැන දැන ගත යුතුම නම් ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ කියවිය යුතුමය. එතුමන් ශ්‍රීීලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කරන්නේ පංච බල කේන්ද්‍රස්ථාන අතුරිනි. මේ මහා යෝධ පිම්මේ ප්‍රමුඛ ඉලක්කයක් වන්නේ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීමයි. අප රටේ විශිෂ්ඨ වූ ගෝලීය පිහිටීම උපයෝගී කරගෙන බටහිර හා නැගෙනහිර යා කරන නාවික, ගුවන්, වාණිජ්‍ය, වෙළඳ හා දැනුමේ කේන්ද්‍රස්ථානයක් ලෙස අප රට දියුණු කිරීම එතුමන්ගේ අධිෂ්ඨානයයි.

මුහුදු සේද මාවතේ නාවික කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීම ජනාධිපතිතුමාගේ අධිෂ්ඨානයයි. ලොව කාර්ය බහුලම ජාත්‍යන්තර මුහුදු වෙළඳ මාර්ගයට කිලෝමීටර් 18 ක් ඔබ්බෙන් වූ හම්බන්තොට වරාය ඉදිකිරීම නිසා අපට රටට වාසි රැසක් හිමි වනු ඇත. පිටරට නැව් හම්බන්තොට වරායට පැමිණීමේදී විශාල විදේශ විනිමයක් අප රටට ලැබෙනු ඇත. එතුළින් හම්බන්තොට ඇතුළු ඒ අවට ප්‍රදේශ විශාල ලෙස දියුණු වනු ඇත. එම ප්‍රදේශවල ජනයාගේ ජන ජීවිතය සමෘද්ධිමත් වනු ඇත.

සංචාරක කර්මාන්තය

තවද දකුණු කොළඹ වරාය වැඩිදියුණු කිරීමෙන් අප රටට අති විශාල ආර්ථික වාසි රාශියක් හිමි වනු ඇත. ගාල්ල සංචාරක වරාය වැඩි දියුණු කිරීමෙන් අප රටේ සංචාරක කර්මාන්තය දියුණු වනු ඇත. මෙ තුළින් සංචාරක කර්මාන්තයේ නියැලෙන අයගේ ආදායම ඉහළ යනු ඇත. එලෙසම ඔලුවිල්, කන්කසන්තුරේ හා ත්‍රිකුණාමල යන වරායන්ද සංවර්ධනය වනු ඇත.

නිල් ගුවන ජය ගැනීම තවත් අරමුණකි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වැඩිදියුණු කිරීමෙන් රටට විශාල වාසි රැසක් හිමි වනු ඇත. ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපල මත්තල ඉදි කෙරෙමින් පවතී. එනිසා ඒ අවට ප්‍රදේශ ශීඝ්‍ර දියුණුවක් ලබනු ඇත. ප්‍රධාන ගුවන් තොටුපල දෙක හැර පලාලි, අම්පාර, රත්මලාන, හිගුරක්ගොඩ හා අනුරාධපුර යන රට අභ්‍යන්තරයේ ගුවන් තොටුපලවල් වැඩි දියුණු කිරීමෙන් අභ්‍යන්තර ප්‍රවාහනය මෙන්ම සංචාරක කර්මාන්තය ද ශීඝ්‍ර දියුණුවක් ලබනු ඇත.

අධිෂ්ඨානයේ මල්ඵල

කොටස් වෙළඳ පොල හා විදේශ ආයෝජන වැඩි ආසියාවේ ප්‍රධානම වාණිජ්‍ය මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීම ජනාධිපතිතුමාගේ තවත් අධිෂ්ඨානයකි.

අප ජාතිය සතු වටිනා සම්පතක් වන තෙල් සම්පත ගෑස් සම්පත හා ඛනිජ වැලි සම්පත ලබාගෙන අනාගතයේදී අප රට බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීම එතුමාගේ තවත් අධිෂ්ඨානයකි.

එම අධිෂ්ඨානයේ මල්ඵල ලඟදීම ලබාගත හැකි වනු ඇත.

අධ්‍යාපනය හා දැනුම රටට උචිත ලෙස ප්‍රති නිර්මාණය කර ශ්‍රී ලංකාව ලෝකයේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීම ජනාධිපතිතුමාගේ තවත් අධිෂ්ඨානයකි.

දැනට වසර කීපයකට පෙර ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ ‘ගම නැඟුම’ වැඩසටහන තුළින් මුළු රටේම සියලුම ගම්මාන සංවර්ධනය වනු ඇත.

‘මග නැඟුම’ තුළින් රටේ සියලුම මාර්ග සංවර්ධනය වනු ඇත. අද ලංකාවේ කුමන දිශාවකට ගියද ශීඝ්‍ර මාර්ග සංවර්ධනයක් අපට දැකිය හැකිය.

ඉහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී අපේ මේ පුංචි මාතෘ භූමිය අනාගතයේදී ආසියාවේ ආශ්චර්ය බවට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇත.

අප කළ යුත්තේ විවේචනය කිරීම නොව අපට හැකි අයුරින් මේ සංවර්ධන ක්‍රියාදාමයට දායක වීමය. ශ්‍රී ලාංකිකයින්වන අප සැමගේ යුතුකම එය වන්නේය.