කුරහන් සාටකය පැලඳි මිනිසා . . .

කුරහන් සාටකය පැලඳි මිනිසා . . .

දවසක් උදේ හයට විතර ලොකු වෙඩි සද්දයක් ඇහුණා. පැයක් විතර යනකොට ඕනෑගමට ආරංචි වුණා පුදුරුව ගමට කොටි ගහල කියලා. අපි යනකොටත් හමුදාවේ පොලීසියේ විශාල පිරිසක් ඒ ගමට ඇවිත් හිටියා. මේක ගම අවසානයේ පිහිටි කැළෑව ළඟ තියෙන හේනක්. හේනේ පැල්පත් හදාගෙන හිටපු 26 දෙනෙක් විතර මේ ප්‍රහාරයෙන් මරාදමලා තිබුණා.

මිනිස්සු හඬා වැළපුනා. එක ගර්භනී මාතාවක් කපා කොටා තිබුණා. ළමයින්ගේ ඇස් වලට පිහියෙන් ඇනලා, වයසක ආච්චි කෙනෙකුගේ බෙල්ල වෙන් වෙන්න කපලා ඔළුව පැලේ ලිපට වැටිලා.

තවත් මැදිවියේ පුද්ගලයින් තැනින් තැන වැටී හිටියා. ඒ අයගේ පිට පසාරු කරන විශාල කැපුම් පාරවල් තිබුණා. සමහර මිනිසුන්ගේ සිරුර ඒ අසලින් ගලාගිය ගඟ ඉස්මත්තේ වැටී තිබුණා. මේක දැක්කම ඇති වූ කම්පනය විස්තර කරන්න අමාරුයි. මට මතකයි හමුදාවේ නිලධාරියෙක් කීවා, මළ සිරුරු වැටී තියෙන තැන්වලට යනකොට හමුදාවේ අය යන අඩිපාරේ අඩිය තියන්න කියලා. ඊට හේතුව මම තේරුම් ගත්තේ පස්සේ. එල්.ටී.ටී.ඊ. එක ප්‍රහාරයකින් පස්සේ එතැනින් පිටව යනකොට පුද්ගල නාශක බෝම්බ (බට්ටෝ) තබා යන නිසා ඔවුන් එහෙම කියන්න ඇති.
 

සිවිල් ආරක්ෂක බලකාය

පල්ලියගොඩැල්ල ගම්මානයට ප්‍රහාර එල්ල කළේත්,මේ කියන කාලයේ. සමහර මළසිරුරු පොළොන්නරුව රෝහලට ගෙනත් තිබුණා. දිනපතාම එල්.ටී.ටී.ඊ ප්‍රහාර වලින් පොළොන්නරුව රෝහලට ගෙන එන මළසිරුරු, විශේෂයෙන්ම හමුදාවේ පොලීසියේ මළසිරුරු දැකීම සාමාන්‍ය දෙයක් විදිහට ඒ කාලේ අපේ ජීවිත වලට බද්ද වෙලා තිබුණා. ඔය කියන කාලේ පොළොන්නරුව රෝහලේ අඩුපාඩුකම් නොතිබුණා නොවේ. නමුත් වෙනත් විකල්පයක් නැති නිසා එල්.ටී.ටී.ඊ ප්‍රහාර වලින් තුවාල ලබන ආරක්ෂක අංශ සාමාජිකයින් මූලික ප්‍රතිකාර සඳහා හැමදාම ඇතුළත් කෙරුණේ පොළොන්නරුව රෝහලටයි.

ඒ කාලේ ගෙදරක විදුලි පහන් දැල්වීම පවා හමුදාව විසින් සීමා කළා. හේතුව වුණේ එල්.ටී.ටී.ඊ. යට විදුලි එළිය ප්‍රහාරයක් සඳහා හොඳ ඉලක්කයක් වූ නිසයි. මේ කියන්නේ අනාරක්ෂිත ගම්මාන වලට එල්.ටී.ටී.ඊ. ප්‍රහාර එල්ල වීමේ දරුණුතම කාලපරිච්ඡේදය ගැන. ඒ කාලේ මට මතකයි අපේ ගෙදර බිත්ති ඇතුළේ පවා ආරක්ෂිත බිත්ති හැදුවා. හුඟක් අයගේ ගෙවල් මැද රහසිගත බිම් කාමර තිබුණා. ගස් උඩ ආරක්ෂක අට්ටාල හැදීම අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වුණා.

ගොවියෙකු වූ මගේ පියා මහපොළොව සමග පොරබදමින්, අපිව පෝෂණය කරන්න උත්සහ ගත්තේ මේ කුරිරු ත්‍රස්තවාදයේ බලපෑම් ද සමඟයි. ඒ කාලේ කුඹුරකට යන්නෙත්, සිවිල් ආරක්ෂක බලකායෙ රැකවරණය මතයි. ඔය වගේ එක දවසක මහා විශාල ශබ්දයක් කැලෑවෙන් ඇහුනා. හරියටම වේලාව රෑ 10.45ට විතර ඇති. ටික වේලාවකින් කොටි ඇවිත් කියලා කීපදෙනෙක් පාර දිගේ උඩහට දුවගෙන ආවා. අපේ ගමට පහළින් තිබුණ ගමේ ලොකු පොඩි සියලුම දෙනා මහ පාර දිගේ ඉදිරියට එන්න පටන් ගත්තා.

සමහර අය වතුවල කැලෑවේ හැංගුනා. මමත්, කුඩා ළමයකුව සිටි ඒ කාලේ අපේ ගෙදර වත්ත පහළ තිබුණ පිදුරු කන්දක හැංගුනා. පැය දෙකක් විතර පිදුරු කන්ද අස්සේ හැංගිලා ඉන්න කොට, හමුදාවේ ට්‍රක් එකකුයි, ජීප් එකකුයි ගමට ආවා. ඊට පස්සේ තමයි අපි ඒ පිදුරු කන්දෙන් එළියට ආවේ. ඒ කාලේ අපි සියලුදෙනා රාත්‍රිය ගත කළේ භීතියෙන්. ඇත්තටම හැම රැකම බත්ටික කාලා නිදාගන්නව කියන එක මහා ඛේදවාචකයක් විදිහට අපට දැනුණේ.
 

කේන්ද්‍රීය ගුණය

මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියේ තෝපාවැව මහ විද්‍යාලයේ. එක දවසක් විභාගය ලිය ලියා ඉන්නකොට, අපේ තෝපාවැව ඉස්කෝලේ පිට්ටනියට හිටි හැටියේ හෙලිකොප්ටරයක් බැස්සුවා. ඒ එක්කම ගිලන්රථයකුත් එතෙන්ට ආවා. එක පාරටම හමුදාවේ පොලීසියේ අය වටවෙලා හෙලිකොප්ටරෙන් ගෙනාපු යුද හමුදා තුවාලකරුවෝ ගිලන්රථයට අරන් ගියා. විභාග ලියවිල්ල පැත්තකට දාලා මමත් තවත් කීපදෙනෙකුත් අර හෙලිකොප්ටරය ළඟට ගියා. තුවාලකරුවන් අරගෙන යන්න උදව් කළා. ඊට පස්සේ ඇවිත් තමයි ආපහු විභාගෙ ලිව්වේ.

ඒ කාලේ පොල් ගහකින් පොල් අත්තක්, පොල් ගෙඩියක් වැටුණත් හීනෙන් ඇහැරිලා ගල් ගැහිලා බලා හිටියා. මේ වගේ අවුරුදු ගානක් ගෙවුනා. සමහරු ගම අත්හැරලා ගියා. සමහර දෙමාපියෝ දරුවන් ගමෙන් පිට කරල තනියම ජීවත් වුණා. තවත් සමහරු රාත්‍රී කාලයට ආරක්ෂිත ස්ථාන හොයාගෙන ගියා. දවල් කාලයට මොන දේ කළත්, හැන්දෑවේ හය හත වෙනකොට මරණ බය ඇඟට දැනෙනවා. ඒ කාලේ සිද්ධියක් වුණාම දේශපාලඥයින් ගමට එන්නේ පෝළිමේ. ඇවිත් මොනව හරි කියලා මිනිස්සු සතුටු කරලා යන්න යනවා. මම මේ කියන්නේ සුරංගනා කතාවක් නෙමේ. මේ රටේ එක්තරා කාලපරිච්ඡේදයක් ගනයි.

මහින්ද රාජපක්ෂ නැමැති නායකයා මට වැදගත් වෙන්නේ මෙන්න මේ කියන කාරණා නැවත මෙනෙහි කිරීමේ දීයි.
 

අනාරක්ෂිත ගම්මාන

මහින්ද රාජපක්ෂ කියන පුද්ගලාර්ථය ජනතා හදවත් තුළ ස්ථානගතවන බල නහරය තමයි එතැන. එදා සීමා මායිම් සලකුණු කරපු මායිම් ගම්මාන. අනාරක්ෂිත ගම්මාන කියන සංකල්පයට රතු ඉර ගැහුවේ ඔහු. දැන් මිනිස්සුන්ට මර බිය නැහැ. මහින්ද රාජපක්ෂ නැමැති මේ යුග පුරුෂයාගේ කේන්ද්‍රීය ගුණය මා විනිශ්චයට ලක් කරන්නේ මෙන්න මේ ප්‍රධාන කාරණාව ඔස්සේ, මේ රටේ ජනාධිපතිවරු හතර දෙනෙකුට අවසන් කරන්න බැරි වුණු යුද්ධය අවසන් කළේ ඔහු.

ඒ ක්‍රියාවලියේ දී මල්මාලා වලට වඩා ඔහුගේ ගෙලට වැටුනේ ගල් මුල්. අපේ රටේ ඇතැම් පාර්ශවයන් ඔහුගේ මේ ගමන වළක්වාලන්න කකුලෙන් ඇද්දා විතරක් නොවෙයි, ලෝකය හමුවේ අපේ රට අපකීර්තියට පත් කරන්නත් ක්‍රියා කළා.

එදා ඈත දුෂ්කර ගම්මාන වලට එල්.ටී.ටී.ඊ. ප්‍රහාර එල්ල වුණත් එහි උණුසුම දවසෙන් දෙකෙන් නැති වුණා. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල බෝම්බ පුපුරණ විට ඒක පාලකයන්ට වගේම පොදු ජනතාවටත් දැඩි ලෙස දැනෙන්න පටන් ගත්තා. නමුත් යුද්ධය අවසන් කරන්න එවකට හිටපු නායකයින්ට සැබෑ උවමනාවක් නොතිබුණු බව මා ඉතාම අවධාරණයෙන් කිව යුතුයි. යුද්ධයට විසඳුම් හෙව්වේ තුවාලයට පැලැස්තර අලවන විදිහටයි.
 

කුරහන් සාටකය

ජනතාවත් එක්ක එක පෙළට හිටපු දේශපාලඥයෙක් විදිහට මහින්ද රාජපක්ෂ කියන ජනතා ලකුණ, රටේ නායකකමට ජනතාව විසින්ම තෝරා පත්කර ගන්නේ අන්න එහෙම පසුබිමක් තිබුණු කාලවකවානුවකයි.

ඔහු සාමයෙන් ප්‍රශ්න විසඳගන්න අකමැති පුද්ගලයෙක් කියලා කාටවත් හංවඩු ගහන්න බෑ. මිනීමරු ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග හිත හොඳ කතා බහකට යන්න ඔහු ඇති තරම් වීරිය කළා.

ඒ කතා බහ අවසන් වුණේ කොතනින්ද කියන එකත්, ඊළඟට තුවක්කුවෙන් උත්තර හොයන්න සිද්ධ වුණේ ඇයි කියන එකත්, කෙනෙක් අලුතින් විස්තර නොකෙරුවාට මුළු රටම දන්නවා. හැමෝම බෑ කියූ දේවල් ඔහුට කළහැකි බව ඔහු ක්‍රියාවෙන් ඔප්පු කළා. 1948 නාමික නිදහසින් පසුව, එහෙම ප්‍රායෝගික නායකයෙකු ලංකාවට පහළ වුණේ පළමු වතාවට.

ඔහු තමයි, ජාතික චින්තනය පෙරටු කොටගත් කුරහන් සාටකය පැළදි මිනිසා, ලක් පොළෙවේ පස් මිටක් පවා ආදරයෙන් වැළඳගන්න සැබෑ ශ්‍රී ලාංකිකයා, චින්තකයෙක් විදිහට ඔහුව කාටවත් සමාන කරන්න බැරි මහින්ද රාජපක්ෂ කියන්නෙ අසමාන චින්තකයෙක් නිසා. දේශපාලඥයන් ජනතා හිත් වලින් දියවෙලා ගිය කාලෙක, ජනතාවගේ ආත්මයට කිඳා බැහැපු, දේශපාලඥයෙක් වෙන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂයන්ටම පමණයි.

ඒක තමයි, ඔහු ගැන කියන්න තියෙන ඇත්තම කතාව.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ තවත් විශේෂතා කිහිපයක් මා දකිනවා. ලෝකයේ සංවර්ධනය වූ රටවල ඉතිහාසය දිගහැර බැලීමේ දී ඒ රටවල සංවර්ධනයට බලපෑ පොදු අංග කිහිපයක් තිබුණා. ඒ අතර ප්‍රධාන වෙන්නේ රටේ සමස්ත ජනගහනයේ තරුණ දායකත්වයයි. ජපානය, වියට්නාමය වැනි රටවල තරුණ දායත්වය 25%ක් තිබුණා. ඒ ප්‍රතිශතය අඛණ්ඩව ඉදිරියට පැවතුනා. අපේ රටේ අවුරුදු 15ත් 29ත් අතර තරුණ වයස් කාණ්ඩය ජනගහනයෙන් 25%ක්. මේක ඉතාම හොඳ සාධකයක්.

මානව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ලංකාවේ තරුණ ජනගහන ප්‍රතිශතය අඛණ්ඩව ඉදිරි දශක කිහිපය තුළත් නොවෙනස්ව පවතින බවයි. මෙම අති විශේෂ සාධකය රටේ සංවර්ධන ක්‍රියාදාමයට යොදා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා අවබෝධයෙන් සිටිනවා. අනෙක් කාරණය තමයි, ලෝකයේ දියුණු වූ රටවල ස්ථාවර දේශපාලන තත්ත්වය.

චීනය, රුසියාව, ජපානය, වියට්නාමය වගේ රටවල ස්ථාවර දේශපාලන ක්‍රියාවලියක් තියෙනවා. පාලකයින් වෙනස් වෙනවා. ඒත් පක්ෂය වෙනස් වෙන්නේ නැහැ. දියුණු රටවල ඔවුන්ගේ ඉතිහාසය දිහා බලන කොට ඒ හැමෝම දරුණු යුද්ධ වලට මුහුණදීපු රටවල්. ඒ වගේම ඒ රටවල ජනතාව යුද්ධයෙන් බැටකාලා තමන් ඒ පීඩාකාරී තත්ත්වයෙන් ගොඩ ආ යුතුයි කියන ජාතික හැඟීමකින් ක්‍රියාකර තිබෙනවා.
 

තරුණ දායකත්වය

එහෙමනම් මේ කාරණා අපිට ගලපා ගන්නේ කොහොමද ? අපේ රටේ ජනගහනයෙන් තරුණ දායකත්වය 25%ක් වෙනවා. දේශපාලන ස්ථාවරභාවය ගත්තොත් ඉතාම ශක්ති සම්පන්න එකක්. අපිත් විශාල දරුණු යුද්ධයකට මුහුණ දුන්නා. දැන් රට තුළ සියලු ජාතීන්ගේ හැඟීමක් තිබෙනවා අපේ රට දියුණු කළයුතු බවට. මේ තත්ත්වයන් යටතේ අපිට බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් තිබෙනවා.

ගෙදරක දියුණුවට නම් අඹු - සැමි සමගිය ඉතාම වැදගත්. ඒක තමයි පෙරදිග පවුල් සංස්ථාවේ පදනම. ඒ පෙරදිග චින්තනයම රටට ආදේශ කරනව නම් පාලකයා හා පාලිතයා අතර හොඳ සමීප සම්බන්ධතාවයක් තිබුණොත් තමයි, රටේ දියුණුව සඳහා වන සුසංයෝගය ගොඩ නැගෙන්නේ. අපේ රට ඉල්ලන්නේත්, රටට හොඳින්ම ගැළපෙන්නේත් ඒ ක්‍රමය.
 

ජනතාවගේ හදවතට

අන්න එතැනදීත් ජනතාවගේ හදවතට සමීප පුද්ගලයා වන්නේ කුරහන් සාටකය හැඳි මේ දේශීය චින්තකයායි. ඔහු දැන් නිශ්චිත ගමනක් අරඹා තිබෙනවා. ඒ අඹු - දරුවන් පමණක් රැගෙන යන තනි ගමනක් නොවෙයි. රටේ දෙකෝටි හය ලක්ෂයක හද ගැස්ම, ඔහුගේ සළුවේ එතිලා. ඔවුන් මග අතැර යෑමට හෝ අතරමගදී ඔහුව අතහැරීමට හෝ දැන් දෙපාර්ශවයටම හැකියාවක් නෑ.

ගිරි දුර්ග පසුකළ ඒ ගමනේ දැන් මුදුනත පෙනි පෙනී අප ඉන්නේ. මාර්ගය ද ඉතාම පැහැදිළියි. අරමුණත්, ගමන් මාර්ගයත් අප ළඟයි. එහෙමනම්, රටේ දියුණුවේ ප්‍රධාන හවුල්කරුවන් වශයෙන් අප කළයුතු දේ ඉතාම පැහැදිළියි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුනි,

මාර්ගයත්, අරමුණත් වෙනුවෙන් තවත් චිරාත් කාලයක් ඔබේ ජනතාවට නායකත්වය දෙන්න. ඒ වෙනුවෙන් ඔවුන් ඔබට බොහෝ කෘතවේදී වනු ඇත. සදාකල්හිම ආදරයෙන් ඔබ වැළඳගනු ඇත.