රට බේරාගත් දියසෙන් කුමරු ඔබයි...

රට බේරාගත් දියසෙන් කුමරු ඔබයි...

නෝරා වැස්සක් පැය ගණනාවකටත් වැඩියි දැඩි සීතලත්, මීදුමත් හාත්පස වෙලාගෙනය. සීතලට ගුලි වූ මිනිසුන් එකෙකු හෝ දෙදෙනෙකු එකම කුඩයකින් මහ වැස්සට තෙමෙමින් තාර නොයෙදූ වැලි පාරේ ගමන් කරති. ඔවුන්ගේ හිස් වැසුම ප්‍රමාණවත් නැත. සුළඟ ද එන්න එන්නම දරුණු වෙයි. ගස් කොළන් ඇඹරී යන්නට ද පටන් ගෙන ඇත. වැස්ස නම් තුරල් වෙන පාටක් නැත. නා කපනා වැස්සේ වුවද මිනිස්සු රැස් කකා බලා හිඳිති.

ඔවුන් මේ බලාහිඳින්නේ කිසිවෙකුගේ හෝ පැමිණීම අපේක්ෂාවෙන් විය යුතුය.

මේ මැතිවරණ සමයකි.

ස්ථානය - කොත්මලේ “නියම්ගම් දොර” ය. නියම කර ගත් දාට පැවති ශ්‍රී.ලං.නි.ප. යේ මැතිවරණ රැළියක් පැවැත්වීමට ආසන්නය.

වැස්ස වැසුවාට කම් නැත.

සුළඟ හැමුවාට කම් නැත.

ගස් වැල් ඇඹරී, කැඩී ගොස් හාත්පස දැඩි හීතලෙන්ද මිහිදුමෙන් ද වැසී ගියාට ද කම් නැත.

පාක්ෂිකයන් කවුරුත් අමුත්තෝ එන තුරු රැස් කකා බලා හිඳින්නේ දැඩි වර්ෂාව මධ්‍යයේමය.

කවුරුත් බලා සිටි මොහොත උදා විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා වැස්ස නොබලා පැමිණියේය.

කවුරුත් ඔල්වරසන් නැඟූහ.

අත්පුඩි තැලූහ.

ඔහු අන් කවරෙකුවත් නොව එදා මෙරට සිටි අග්‍රාමාත්‍යවරයාය. නමින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාය.

අග්‍රාමාත්‍යතුමා සමඟ තවත් ප්‍රභූ පිරිසක් පැමිණ ඇත. ඒ අතර මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක තුමා ද සිටී.

වර්ෂාව මධ්‍යයේ වුවද යොදා ගත් දෑ එළෙසින්ම ඉටු කළ යුතු බව අග්‍රාමාත්‍යතුමාගේ දැඩි අදහසයි.

දිගු කතාබහකට කාල වේලාව එතරම් යහපත් නැත. වර්ෂාව එක් අතකින් බාධා ගෙන දුන්නද ඔවුන්ට එය එතරම් ගණනක් ද නැත. ප්‍රධාන කාර්යය වූයේ නීතිඥවරුන්ගේ යොදා ගත් රැස්වීමක් එදිනම හවස කොළඹ පැවැත්වෙන බැවිනි. කෙසේ හෝ ඒ අවස්ථාව මඟ නොහැර එයට ද සහභාගි වීම අග්‍රාමාත්‍යතුමාගේ අදහසයි. එබැවින් වැඩි කතා බහ කෙසේ වෙතත් ඔහුට අවස්ථාව මූලිකව සලසා දෙමින් කොත්මලේ රැස්වීම නිමා කළ යුතු බව සංවිධායකවරු කල්පනා කළහ.

“කොහොමහරි කොළඹ රැස්වීමට යන්නත් ඕනේ සරත් දැන් මොකද කරන්නේ ?” අග්‍රාමාත්‍යතුමාගේ පැනයයි.

 

යුග පුරුෂයා

අපේ කතා බහ නවත්වලා අපි එතුමාට පමණක් අවස්ථාව ලබා දුන්නේ ආපසු කොළඹ රැස්වීමට ද අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු නිසයි. වර්ෂාවෙන් පීඩා ගෙන දුන්නා පමණක් නොව පැමිණි වාහනය ද කරදරකාරී විය. හිටි ගමන් අතර මඟ නත්වන්නට වූයේ ඩීසල් ගැසිය යුතු නිසාවෙනි. තලවාකැලේ සිට කොළඹ බලා ධාරානිපාත වැස්සේ ම පැමිණීම එතරම් සුව පහසු කටයුත්තක් ද නොවිණි.

මහා යුග පුරුෂයෙක් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙතෙක් පැමිණි ගමන සුන්දර වූවක් නම් නොවේ. බොහෝ දුක් කම්කටොළුද ඒ අතර විය. මෙතෙැන් සිට අප ගොනු කරන්නේ ඒ සා කැපවීමක් කර එතුමා ආ ගමනේ උත්තුංග මානුෂික ගුණාංග කැටි වූ මතක සටහන්ය.

එදා 1993 වර්ෂයේ එක්තරා දවසක්. ඒ වෙන කොට මගේ සහෝදරයා දකුණේ දේශපාලන කටයුත්තක නිරත වෙන්න දකුණ බලා ගියා. මමත් ඔහු සමඟ ඒ ගමනට එකතු වුණා. එහිදී තමයි මට එතුමාව ළඟින් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ. යහපත් පුද්ගලයෙකු දුටු විගස ඇති වන ආකර්ශනය මම එතුමාගෙන් දුටුවා.

තවත් දිනයක දී මගේ සහෝදරයාගේ නිවසට එතුමා ආවා. මොනවද බොන්නේ කියලා අපි ඇහුවේ ආගන්තුක සත්කාර එතුමා වෙනුවෙන් පුද කළ යුතු නිසාවෙන්. එතුමා බොහෝම නිරහංකාර විදිහට “කෝපි බොමු කිව්වා” එතුමා පිළිබඳ බොහෝම හොඳ පැහැදීමක් මට ටිකෙන් ටික ගොඩ නැඟුණා. ඉන් පස්සේ අවස්ථා කිහිපයකදීම මම එතුමාව දුටුවා. කතා බහ කළා. ඒ විශ්වාසයෙන් තමයි මම දේශපාලනයටත් ප්‍රවිෂ්ට වූයේ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා, දේශපාලන ජීවිතයට පිවිසිලා දැන් වසර 40 ගණනක් වෙනවා. එතුමාගේ පරම්පරාව ගත්තත් ශ්‍රී ලංකාවේ ඓතිහාසික සිදුවීම්වලදී පවා මූලිකත්වය ගත්තු පරම්පරාවක්. ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ අභාවයත් සමගම එතුමාගේ පුත්‍ර රත්නය මහින්ද රාජපක්ෂ දේශපාලන කරළියට ප්‍රවිෂ්ට වෙනවා. තමන්ගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා චමල් රාජපක්ෂගේත්, දෙමාපියන්ගේත්, ප්‍රදේශයේ අයගේත් කැමැත්ත ඇතිව තරුණ නායකයෙකු වශයෙන් තමයි දේශපාලනයට ප්‍රවිශ්ට වන්නේ.

කෙසේ වෙතත් මා හඳුනාගත් මහින්ද රාජපක්ෂ නම් මානව හිතවාදියා රටේ ජනතාවට ඉතාමත් ළෙන්ගතු චරිතයක්. එතුමා විවිධ අවස්ථාවලදී කරන ලද දේෂපාලන ඉදිරිපත් වීම් ඉතාමත් වැදගත්. ජනතාව වෙනුවෙන් මහා බලවත් ජන ඝෝෂා, පාද යාත්‍රා පැවැත්වූවා. ඔහුගේ නිර්භීතත්වයත්, එඩිතර භාවයත් පොදු මහජනතාව එහිදී දුටුවා. කම්කරු අරගලවලදී කම්කරුවන්ගේ පැත්ත ගෙන කතා කළා. 1994 ආණ්ඩුවේදී කම්කරු අමාත්‍යවරයා වශයෙන් කම්කරු ප්‍රතිපත්තියක් ගෙන එමින් කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. එතැනදී වඩාත් සැළකිලිමත් වූයේ අපේ රජයකින් කම්කරු ජනතාව වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද කියන කාරණාවයි. මේ සෑම දෙයකින්ම ඉස්මතු වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි එතුමාගේ මනුස්සකම. එතුමා තුළ තිබූ මානව හිතවාදීකම. මේ මිනිස්කමත් සමඟම ගොඩ නැඟුණු ළෙන්ගතුභාවය තමයි මේ සෑම තැනකදීම ඉස්මතු වෙන්නේ.

 

හිර ගෙදර

මේ වගේ ළෙන්ගතු නායකයෙක් අපට සිටියේම නෑ...

1970 දී එතුමා ප්‍රථම වතාවට මැතිවරණයට ඉදිරිපත් වෙලා බෙලිඅත්ත ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ජයග්‍රහණය කළාම එතුමා තමයි එවකට පාර්ලිමේන්තුවේ හිටපු ළාබාලතම මන්ත්‍රීවරයා වූයේත්. ඔහුට ලැදි හිත මිතුරෝ පක්ෂ, විපක්ෂ දෙකේම හිටියා.

එතුමන් සමඟ සිටි අද වියපත්ව සිටිනා දේශපාලනඥයන්ට වැටහුණා ඔහු මහා පෞරුෂයක් හෙබි පුද්ගලයෙකු බව. ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා වරක් පවසා තිබෙනවා “අර යන්නේ රටේ නායකයා” කියලා. ඒ එතුමාගේ කතා බහ සහ පෞරුෂය දැකලායි එසේ ප්‍රකාශ කර ඇත්තේ.

1970 මැතිවරණයෙන් පස්සේ මහා දුක්ඛිත කාලජ්ඡේදයක් උදා වුණා. එතුමාගේ මෑණියන්ගේ අභාවයත් සිදු වුණා. එවිට එතුමා සිටියේ සිර ගෙදර. සිර ගෙදර ඉඳලයි මවගේ මළගමට ආවේ. මේ ආකාරයේ අඬන්තේට්ටම්වලට ලක් වූ අවස්ථාත් අපමණයි.

එතුමාගේ දැවැන්ත චරිතය තුළ නිහතමානීකම , සංවේදීකම කැපී පෙනෙන්නක් වුණා. කැබිතිගොල්ලෑවේ බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ එතුමා එතැනට ගියා. දුකට, වේදනාවට පත් වූ මිනිසුන්ගේ නෙතින් ගලා ගිය උණු කඳුළු දුටු එතුමාගේ හද ශෝකයෙන් බරිත වුණා. දෑස කදුළින් තෙත් වුණා. කුඩා දරුවන් ඉදිරියේදී එතුමා බොහෝම සංවේදී පුද්ගලයෙක්. දරුවන්ට පුදුමාකාර ළබැඳියාවක් දක්වනවා. ඔහු තුළ ඇති මානව දයාවත්, මිනිසත් කමත් තමයි මේ එළියට එන්නේ.
 

සසර පුරුද්ද

කාහටත් පුදුමාකාර සුහඳ බවක් දක්වනවා. එජාපයේ සිට ආණ්ඩු පක්ෂයට ආවා කියලා ඒ අයට හිත් දෙකකින් කටයුතු කරන්නේ නෑ. ඒ අයටත් දක්වන්නේ ඒකාකාර ළෙන්ගතුකමක්. සුහදතාවයක්. මේක සංසාරය පුරාවට එතුමා රැගෙන ආ දෙයක් ලෙසටයි මම නම් සළකන්නේ. පෙර සසරෙත් එළෙසින්ම ජනතාව සමඟ බැඳීමෙන් සිටින්න ඇති. ඒ සසර පුරුද්ද, බැඳීම තමයි තවමත් මේ ආකාරයට එන්නේ. දුකට පත් වූ මිනිසුන්ගේ දුක් කඳුළු අතරට ඔහු ගියා. කැබැතිගොල්ලෑවේ එදා සිදු වූ බෝම්බ ප්‍රහාර අවස්ථාවේදී කිසිදු කෙනෙක් අනුමත නොකරපු වේලාවේදී එතැනට ගිහින් ජන හදවත් ළෙන්ගතුව ආමන්ත්‍රණය කළා. ඒ අයට එදා පොරොන්දුවක් දුන්නා.

 

ගැළවුම්කාරයා

“මේ දරුවන් වෙනුවෙන් මේ ඇස් දෙකෙන් වැටුණු කඳුළු ආය වැටෙන්න දෙන්නේ නෑ මම” ඔහු එදා කළ ඒ ප්‍රකාශනය ඒ විදියටම ඉෂ්ට කළා. ඒ හින්දා මේ රටේ පොදු මහජනතාවගේ එකම ගැළවුම්කාරයා විදිහට සළකන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. මිනිස්සු එතුමාව මව්පියෙක්, සහෝදරයෙක්, ළඟම ලේ ඥාතියෙක් විදිහටත් සළකන්නත් පුරුදු වෙලා ඉන්නේ ඒ නිසයි. ඒ නිසා පොදු මහජනතාවගේ අපේක්ෂාව 2018 වන තුරාවටම එතුමා මෙරටේ රාජ්‍ය නායකයා ලෙසින් පිළිගැනීමටයි.

 

එඩිතර පිළිතුර

එතුමාගේ ජීවිතයේ මා දුටු තවත් ගුණාංගයක් තමයි සෘජු තීන්දු තීරණ ගැනීම. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කිරීමත්. එතුමා කියූ දේවල් නොකර ඉන්නේ නෑ. ඒ විදිහටම ඉෂ්ට කරනවා. ඡන්ද කාලයෛ් කියලා, යන ගමන නතර කරන්නෙත් නෑ. සුළු ජාතික ප්‍රතිපත්තිය වෙනස් කරන්නේත් නෑ. අපට එතුමා දුන් උපදේශය තමයි “ඡන්දය දිනන්න කියලා වැරැදි පොරොන්දු දෙන්න එපා. අපි කරලා තියෙන දේවල් කියන්න වැරැදි දේවල් කියලා මිනිස්සුන්ව රවට්ටන්න එපා. මොකද අපි රටක් හදන්නයි යන්නේ. රටේ ආශ්චර්යයක් කරන්න හදන කොට මුඩුක්කු තියාගන්නවයි කියන එක බොරු කතාවක්නේ. ඒක වෙන්න බෑනේ. ඊට වැඩිය අපි හොඳ ගෙයක් හදලා දෙනවා කියන්න. ඒක අපි කරලා දෙනවා.

ගෙවල් කඩනවා නෙවෙයි. අපි ගෙවල් හදනවා. ඔයාලා ඉන්න මේ පැල්පත්වලින් ඔයාලා හොඳ නිවසකට ගේනවා. ඒක තමයි අපි කරන්නේ. ඒ විදිහට පැහැදිලි කරලා දෙන්න.” එතුමා පැවසුවා.

ඒ වගේමයි යුධ කාලයේ දී යුද්ධය නවත්වන ලෙසට විදේශීය බලපෑම් තර්ජනාත්මකව ආ හැටි. ඒ වගේම රට අභ්‍යන්තරයෙන් ප්‍රශ්න ආවා. ඒ අවස්ථාවේදී එතුමා දුන් එඩිතර පිළිතුර වුණේ,

“මේක අපේ රට ඇතුළේ ප්‍රශ්නයක්. අපි ඒක කර ගන්නම් හොඳට හෝ නරකට ඔයගොල්ලෝ කිසි බලපෑමක් කරන්න අවශ්‍ය නෑ. උදව් කරන්න ඕනෙත් නෑ. නොකරන්න ඕනෙත් නෑ. ඔයාලා ඔයාලගේ වැඩක් බලාගන්න. අපේ රට තුළ දේවල් අපි බලාගන්නම්”

මේ ආකාරයට සෘජු ප්‍රතිපත්තියක සිට සෘජුවම කෙළින් කතා කරලා හඬක් නඟන්න එතුමාට ශක්තිය තිබුණා. ඒ වගේම ලෝකයේ ත්‍රස්තවාදයට විරුද්ධ අයට මෙහෙම කිව්වා.

“මානව හිමිකම් කියා දාගෙන එන්න ඕනෑ නෑ. තියෙන ප්‍රශ්නය විසදාගන්න අපි ගත්තු තීරණයට අපිත් එක්ක එකතු වෙන්න”

දරුස්මාන් වාර්තා ඉදිරිපත් කරමින් එතුමාට චෝදනා කළ විදෙස් රාජ්‍යයන්වලට එතුමා නොබියව ගියා. එතුමා හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන කෙනෙක්. ඒ නිසා කිසිවෙකුට එතුමාට අත තියන්න බෑ කියන විශ්වාසය එතුමාට තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මිලියන 22 ක් වන ජනතාව එතුමා සමඟ ඉන්නවා කියන විශ්වාසයත් එතුමාට තියෙනවා. ඒ වගේමයි ඕනෑම ගැටළුවක් වු විටකදී පැන නොයා සෘජුවම ඊට මුහුණ දීම එතුමාගේ සෘජු ප්‍රතිපත්තියක්. තමා විදෙස් රටක සිටියදී මෙරටේ කිසියම් ගැටළුවක් පැන නැඟියේද එතුමා වහා ලංකාව බලා පිටත් වීමට සූදානම් වෙනවා.

 

නම්බු නාමය

ඉවසීම ඉතා හොඳින් ප්‍රගුණ කළ ධෛර්යවන්ත යුග පුරුෂයෙක් බව මෙරටේ කවුරුත් හොඳාකාරව දන්නා දෙයක්. එපමණක් නොවෙයි. එතුමා හොඳ බෞද්ධයෙක්. වඳින්නන් වාලේ හාමුදුරුකෙනෙකුට වඳින්නේ නෑ. ඒක බොහෝම හැඟීමෙන්, භක්තියෙන් හා හෘදයාංගවයමයි සිදු කරන්නේ.

මේ චරිත ලක්ෂණ එතුමාගේ නායකත්වයට උචිත අයුරින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගොඩ නැඟුණා. මහා සංඝරත්නය එතුමාව දුටුවේ රට බේරාගන්න එන දියසෙන් කුමාරයා විදිහටයි. ඒ නිසා තමයි “ශ්‍රී රෝහණ ජන රංජන” නාමය මල්වතු අස්ගිරි මහා නායක හාමුදුරුවෝ එතුමාට පුද කළේ. ඒ විතරක් නොවෙයි,අඹන්වැල්ලලේ පඤ්ඤාසේකර අනු නාහිමියෝ කියූ වචන මට තාමත් මතකයි.

“මේ නම්බු නාමය රාජපක්ෂ මැතිතුමාට අපි පිරිනමන්නේ තුන් කල් බලා දෙන නම්බුනාමයක් ලෙසයි”

උන්වහන්සේ එතුමාව දැක්කා. එතුමා සාමාන්‍ය කෙනෙක් නොවන බව උන්වහන්සේලාටත් වැටහුණා.

විපක්ෂයේ සිටියදී අපි එතුමා සමඟ දේශපාලන කටයුතුවල නිරතවෙලා සිටිද්දී අපි බොහෝම අහිංසක තැන්වලට ගියා. කෑම බීම කෑවේ මහ හෝටල්වල නොවෙයි. කුඩා පැල්පත්වලයි. අතේ බත්පත තියාගෙනයි. එතුමා කිසිම උස් පහත් භේදයකින් තොරව මහජනතාව ළඟට ගියා. මහජනතාවත් සමඟ ගැවසුණා. ඔවුන්ගේ ජන හද හඳුනා ගත්තා.

එපමණක් නොව තම දේශපාලන ගමන් මගේදී විවිධ අඬන්තේට්ටම් වුණු තම පාක්ෂිතයන් වෙනුවෙන් ඇප කැප වුණා. මට හොඳට මතකයි.

1994 වෙනකම් තිබුණු දරදඬු දේශපාලනයෙන් අපේ පාක්ෂිකයන්ට නොයෙක් හිරිහැර වුණා. ඒවා කොතරම් උච්ච වුණාද කිව්වොත් ශ්‍රී.ලං.නි.ප. පාක්ෂිකයන් හිරගෙවල්වලට තල්ලු කළා. ඒ වෙලාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වශයෙන් ලංකාව පුරා තිබුණු හිර ගෙවල්වලට ගිහින් තමන්ගේ පාක්ෂිකයන් මුණ ගැසුණා. තමන්ගේ දේශපාලන හිතවතුන්ට තහවුරු කළා ඔවුන් තනිවෙලා නෑ කියලා. මේක නායකයෙකු සතු මහා ගුණයක්. එතැනදී හිර ගෙදර දුකට පත්වෙලා ඉන්න අය කල්පනා කළා අපේ පක්ෂය වෙනුවෙන් අපටත් කෙනෙක් ඉන්නවා නේද කියලා.

මහින්ද රාජපක්ෂ කියන මහා චරිතය බිහි වුණේ අපේ රටේ, රටවැසියන්ගේ සහ අනාගත දරුවන්ගේ පින් මහිමය නිසයි. කාලාන්තරයක් තිස්සේ යුග පුරුෂයෙක් නිර්මාණය කළ මව්පියන් සහෝදරයන් වගේම දක්ෂිණ දේශයත් රන් අකුරින් ඉතිහාසයේ ලියැවෙන්නේ ද මේ හේතු කාරණා නිසයි. එබැවින් සියලු රටවැසියන්ගේ ආශිර්වාද මැදම එතුමාට රට කරවන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාට සුබ උපන්දිනයක් වේවා! අපේ පැතුම එයයි.