සරස්වතියට නිදහසේ සරසන්නට යළි දෙවොලක් තනාදුන් ඔහු!

සරස්වතියට නිදහසේ සරසන්නට යළි දෙවොලක් තනාදුන් ඔහු!

“අපගේ ජීවිත කාලයේ සිත් සසල කරවනසුලු දේශපාලනමය සිදුවීම් මාලාවක් සිදුවුනා. ඝාතන, මරණ, වංචා වගේම රැවටීම්ද පසුබෑම්ද සහිත එය කම්පිත මාලා නාටකයක් වගෙයි. දෙවොලක් තිබුන අපිට දේශපාලන ආගමකුත් තිබුනා.

අපි දේශපාලන නායකයින් දෙවියන් හැටියට ඇදහුවා. එහෙත් අපගේ සියලුම දෙවිවරුන් අසාර්ථක වුනා.” සුප්‍රකට ඇමරිකානු රූපවාහිනි වාර්තාකරුවෙකු වන බිලි මෝයර්ස්ගේ ඉහත ප්‍රකාශය 1979 නොවැම්බර් ටයිම් සඟරාවේ කවරයේ කථාව ආරම්භකරමින් එහි විශේෂාංග කතුවරයාට ලියන්න සිදුවූයේ ඇමෙරිකාවේ දකුණු දිග ඉලිනොයිස් ප්‍රාන්තයේ ඩික්සන් ප්‍රත්‍යන්තයෙන් හොලිවුඩයේ කව්බෝයි චරිත රඟපාමින් ඇමෙරිකාවේ ධවල මන්දිරයට පැමිණි ධෛර්ය සම්පන්න මිනිසෙකුවූ රොනල්ඩ් රේගන් ගැන කථාකිරීමටයි.

මා මාගේ ලිපියද එසේ ආරම්භ කිරීමට සිතුවේ නව යටත් විජිතවාදය මතු මතුත් සක්‍රීය කිරීමට වෙහෙසවූ සියලු ඇමෙරිකානු ජනාධිපතිවරුන්ට කොහෙත්ම අසමාන නොවූ රොනල්ඩ් රේගන් අපිටත් කොහොමටත් සමාන නොවන නමුත් බිලි මොයර්ගේ වැකිය අපට කොයිතරම් බද්ධ යන්න දැනුන හෙයිනි. නවසිය හතළිස් අටෙන් ඇරඹුන අපගේ දේශපාලන කථාන්තරයේ රාෂ්ඨ පාලකයන් අරභයා වුව ඉහත වැකිය අසමාන නොවේ.

අපටද දේශපාලන දෙවොලක් තිබුන අතර අපි එහි වැඩහුන්නන් දේවත්වයෙන් සැලකීමු. එහෙත් අපගේ සියලු දෙවිවරුන්ට අත්වූයේද එකම ඉරණමකි. සිරිලක දකුණු දිග ප්‍රත්‍යන්තයෙන් පැමිණ සරල එහෙත් ධෛර්ය සම්පන්න තාණ්ඩව දේහධාරියාගේ දේශාටනය අපේ කාලයේ නොමැකෙන මඟ සලකුනක් සටහන් කොට තැබූ නොරහස ඔහු අපේ දේශපාලන දෙවොලේ පුදසුන මත ඔසවා නොතැබීමට කවරනම් වරදක්ද?

ඔහුගේ ලාස්‍ය හුදු ශූර සටකපට දේශපාලකයෙකුගේ ලාස්‍යයක් පමණමක් නොවීය. දේශපාලන ගමනේ පරිසමාප්තියෙන් පසු මිලින නොවූ එම ලාස්‍ය අදද සිරිලක දනන්ගේ මුවග නැගෙන ලාස්‍යයට උල්පත් වූ ලාස්‍යමැයි. යුද්ධය ගැන පුන පුනා කීම අසා දැන දැක උපරිමයට පත්වූවක්. ඒ ගැන දිගින් දිගටම කීම දන්නා දෙයම දෙඩවීමක් බව සැබෑවි. එහෙත් මා මව්බිම ගැලූ ලේ ගංගා සිඳ දමා ඒ මත සාමයේ මල් වපුල මිනිසා ඔහුය. සැබැවින්ම ඔහුට ඒ ගෞරවය හිමිය. එහෙත් මාගේ ගෞරවය ඒ පමණ වුව පසු සඳහන ඒ මතු ද නොවේ.

මේ සිරිලකේ බුදු සමය තහවුරු වූයේ දෙවන පෑතිස් රාජ්‍ය සමයේ සිදුවූ මහින්දාගමනය හේතු කොටගෙනයි. ඒ ඓතිහාසික සිදුවීම අදටත් සුවිශේෂ වැදගත් කමක් දරන්නේ ඉන් ඇතිවූ සඵල ප්‍රතිඵල අදත් ලක් වැසියන් බුක්ති විඳීනා හෙයිනි. සාමාජික, ආර්ථික, දේශපාලනික මෙන්ම සංස්කෘතික ආදි විවිධ ක්‍ෂේත්‍රපුරා එය විහිදී ගියා. ඉන් අපගේ ජන ජීවිතය වෙනස් මගකට පිළිපන්නා. මිහිඳු හාමුදුරුවන්ගේ ලංකාගමනය නිසා සිදුවූ පුනර්ජීවනයේ යථාර්ථය වන්නේ සිතීමේ නිදහස තහවුරුවීම බව මගේ හැඟීමයි. ප්‍රජාතන්ත්‍රවාදී දේ්ශයක නිදහස යන්න වඩාත්ම වැදගත් සාධකයකි.

නිදහස්ව ක්‍රියාකිරීම, නිදහස්ව සිතීම, නිදහස්ව හැසිරීම, නිදහස්ව රසවිඳීම, ඒ එදා වුව මෑතකාලීනව අපගේ නිදහස විශාල ඛේදවාචකයකට මුහුණ දුන්නා. මරණයේ සෙවනැලි මහමග, දුම්රිය, බස්රිය, කාර්යාලය මෙන්ම අප අවටත් සැරිසරන්නට පටන් ගත්තා. අප කොතෙක් බියෙන් මිරිකුනේද යත් ජීවිත බිය සමග හැකි ඉක්මණින් නිවෙස්ගතවූ මිනිසුන්ගෙන් කලාරසඥතාව ගිලිහී ගියා. මරණයට බියේ පලාගිය ඔවුන් රංගශාලා දෙස හැරී බලන්නවත් වැඩි තැකීමක් කළේ නැහැ.

 කරලියට දුර්භාග්‍ය සම්පන්න යුගයක් එළඹුනේ රංගකරුවන් තවදුරටත් මංදීත්සාහි කරමින්. ඔවුන්ට සිදුවුනේ තම සිතැඟි හකුලාගෙන බලාසිටින්නට. යුද්ධයෙන් ආතුර ව, ආකූල වූ මිනිසුන්ට මොන අභිරමණීය සිතුවිලිද, නිවෙස්ගතවූ මිනිසුන් රූපවාහිනි පෙට්ටියේ සිරකරුවන් වුනා. පශ්චාත් අබුද්දස්සේ සියල්ල උඩුයටිකුරු කළා. ඉතිං අපි කවදාක හමුවෙමුද ඒ බිමේ කියා මංදෝස්සාහි වූ රංගකරුවෝ වෙනත් වෙනත් මාධ්‍ය සොයා ගියා. අයෙක් රටහැර ගියා. අයෙක් සකල කලාවන්ම අත්හැර දැමුවා.

මෙසේ කම්පිත සිත් ඇති මිනිසුන්ගේ මුවට යළි ලාස්‍ය ගෙන ආවේ නූතන මහින්දාගමනය යි. සියලු ගොර සපුන් මැඩ අපට මග තනාදුන්නේ ඔහුයි. ඔහු කටුකොහොල් හැර පිළිසකර කර දුන් මාර්ගයේ අපි අපේ කරලිය යලි ඉදිරිකරමින් සිටිමු. දිගු හේමන්තයට පසු වසන්තය යලි එළැඹෙමින් තිබේ.

ඒ වසන්තයේ ඵල නෙලීමට අනාගත නාට්‍යකරුවන් බොහෝ වාසනාවන්ත වනු ඇත. එය මෑත යුගයේදී, ළමා, යොවුන්, රාජ්‍ය මෙන්ම කෙටි නාට්‍ය උත්සවද නියෝජනය කරන අංකුර නාට්‍යකරුවන්ගේ ප්‍රබෝධයෙන් අපටත් මනාව පසක් වෙයි. බොහෝ කාලයක් නිදාසිටි හිමවලසුන් වසන්තය දැක අවදිවන්නාක් මෙන් ඔවුන් දැන් අවදිවෙමින් සිටිති. එහි ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ට නිතැතින්ම හිමිවනු ඇති. සරස්වතියට නිදහසේ සරන්නට යලි දෙවොල තනාදුන් උත්තුංග දේහධාරියට ප්‍රවීණයන්ගේ මෙන්ම අංකුර නාට්‍යකරුවන්ගේ ද තුති පැසසුම් නිරායාසිත ය.

ජනපතිතුමන් දේශපාලකයෙක් මතු නොව ස්නිග්ද ස්නේහයෙන් පිරි මානව හිතවාදි කලාකරුවෙක්ද වන්නේය. එයම ඔහු සියලු කලාකරුවන් වෙත බැඳීමට පාලමක් කොට ගත්තේය. ඔහුගේ රංග විලාසයන් අප සැලෝලයිඩ් පටයේ මෙන්ම රූපවාහිනියේ පෙට්ටියේද දැක ඇත්තෙමු. ඒ අපූරු කලාකාර දේ්ශපාලකයාගේ මනෝඥ ක්‍රියා සංයමය අපට නිදහසේ සිතන්නට රඟන්නට හැසිරෙන්නට ලබාදුන් ඉඩ හසර සුලුපටු නොවේ. ඒ හෙයින් ඔහු අපේ මිනිසෙකි. බදා වැළඳ සිපගන්නට වටිනා සොඳුරු මිනිසෙකි.

මේ වනවිට මහව, සයිමන් නවගත්තේගම රංග ශාලාව මෙන්ම, පොල්පිතිගම ආදි ප්‍රත්‍යන්හිද නව රංග ශාලා ඉදිවී තිබේ. අනුරපුරයට ද නව රංග ශාලාවකට පිඹුරු පත් සැකසෙමින් පවතී. අග නගරයේ මෙන්ම රටපුරා රංගශාලාවල ද අලුත් නාට්‍ය රඟදැක්වෙමින් තිබේ. බොහෝ නාට්‍යකරුවෝ සක්‍රීයවී සිටිති. දසතින් ඇසෙන්නේ සිත් පී‍්‍රති වන පණිවුඩය. දින සොයාගැනීමට නොහැකි තරමට රංගකරුවෝ කාර්යබහුලය. එපමණක් නොව අගනුවර පැරැණි නොමෑඩ්ස් පිටිය අරා නැග සිටින සොඳුරු පතාක යෝධයා ලංකාවේ සුවිශාලම රංගභූමියයි. එය නවීන ලෝකයේ සියලු රංග මෙවලමින් ආඩ්‍යය. අපි විදේශයන්හි පමණක් දැක තිබූ විශ්වකර්ම එහි තිබීම අප රටට ද මහත් ආඩම්බරයකි.

ඒ ආඩම්බරයේ හිමිකරු ද රංගරුචි ජනපතිතුමාය. මා ඇද නැති පොළවක් තනාදී තිබේ ඉතිං නටාපල්ලායයි ඔහු අපිට කියන්නාක් වැනිය. මගේ පරම්පරාවේ අභිනාංග, කටාක්‍ෂ, නීරක්ෂණ කාලයක් පුරා සිරකොට වසාදමා තිබුනි. මේ ලෙන්ගතු රාෂ්ඨපාලකයාගේ මිහිරියාව වාසනාවක් වන්නේ අර්බූදයත් සමඟ උපන් මගේ පරම්පරාවටත් වඩා අනාගතයට අත්පොත් තබන ඊළඟ පරම්පරාවටයි. ඔවුන්ට රඟන්නට ඇද නැති පොළවක් දැන් ලැබී තිබේ. අප හඬනගා කියන්නේ ඉතිං රඟපල්ලා කොල්ලනේ. මේ උඹලාගේ කාලයයි. මේ උඹලාගේ දේශයයි. මේ උඹලාගේ දීපයයි. එහි අපූරු ලෙන්ගතු ස්නිග්ද ස්නේහයෙන් පිරුණ කපටි ලාස්‍යයෙන් තොර හැඟීම්බර මිනිසෙක් බලා සිටියි. ඔහු අපට නිදහස ගෙනැවිත් දී තිබේ. මානව ශිෂ්ටාචාරයේ වඩාත් වැදගත්ම සංසිද්්ධිය වූ නිදහස අපට නිශ්චිතවම ලැබී තිබේ. ඉතිං තුටුපහටු සිත් ඇතිව රංගකාර්යේ යෙදීමට උචිතම කාලය මේයි. කාළුදායි ස්ථවිරයන් සිය උදාන කාව්‍යයෙන් මහාවීරයාණෙනි වනයෙන් නික්ම එන්නට කාලය මේයි බුදුන්ට කීවාක් මෙන් මේ අපූරු මිනිසා අපට කියන්නේ රංගකරුවනි ඔබට සරන්නට හොඳම කාලය මේයි. ඉතිං ඇවිත් නිදහසේ රඟල්ලා කියා ය.

අප මේ කලා හිතැති ජනපතිවරයාට චිරාත් කාලයක් ආවඩා ආයුබෝවේවායි පතන්නේ රටට හොඳ හෙටක් මෙන්ම ඔහුගේ කාලය කරලියේ වසන්තය නිම නොවන කාලයද වන බව පසක්වන නිසායි.