පරමාදර්ශී නායකයෙක්

පරමාදර්ශී නායකයෙක්

තිස් වසරක යුද්ධයේ නිමාවත් සමඟම අප ශ්‍රී ලංකාව නැවතත් අභිමානවත් ජාතියක් ලෙස ලෝකයේ සෙසු රාජ්‍යයන් අතර ඉහළට ඔසවා තැබීමට ජනාධිපතිතුමාගත් මහත් කැපකිරීම හා ධෛර්යය ඉතාම ප්‍රසංශනීය වන අතර, එතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය සිදු කෙරෙන මෙම අවස්ථාවේ ශුභාශිංසන පිරිනමනුයේ හදපිරි සතුටිනි.

අද අප රට තුළ සංවර්ධනයට හිතකර සමාජ, ආර්ථික හා දේශපාලන වටපිටාවක් නිර්මාණය වී තිබේ. සාමය, අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු වීම, යහපත් සාර්ව ආර්ථික තත්වය, ගෝලීය ආර්ථික තත්ත්වයන්ගේ බලපෑම් සුභවාදී ලෙස නැවතත් යථා තත්ත්වයට පත්වීම යන ආදිය තුළ සංවර්ධනයට හිතකර වටපිටාවක් නිර්මාණය වී ඇත.

ආර්ථික වර්ධනය

ඒ අනුව පසුගිය දශක තුන තුළ වූ ඉහළ ම ආර්ථික වර්ධන වේගය ලෙස 8% මට්ටමකට ළඟා වූයේ ආර්ථිකයේ සියලුම ආංශික අංශයන් ද සංවර්ධනය කරගනිමින් ඉතා පුළුල් පදනමක් ද සහිතව ය.

ආසියාවේ ඉහළ ම ආර්ථික සංවර්ධනයක් සහිත ප්‍රමුඛපෙළේ රටක් ලෙස ඉහළ ආර්ථික වර්ධනය, ආර්ථිකයේ ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය වීම, ආර්ථික ස්ථායීතාවය වර්ධනය වීම හා සමාජ සුභසාධනය වර්ධනය වීම යනාදියේ ප්‍රතිඵල සමස්ත රටත්, ජනතාවත් මේ වන විට බුක්ති විඳිමින් සිටී.

ශ්‍රී ලංකාවේ බස්නාහිරට පමණක් කේන්ද්‍රිය වෙමින් පැවති සංවර්ධනය ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ සෙසු ප්‍රදේශ වෙතද යොමු කරන ලදී. විශේෂයෙන් දකුණු මෙන්ම උතුරු නැඟෙනහිර පළාත් ද සංවර්ධනය සඳහා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ යටතේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා වරාය ඉදිකිරීම, මහාමාර්ග, අධිවේගී මාර්ග ඇතුළු මාර්ග පද්ධති ඉදිකිරීම හා සංවර්ධනය කිරීම, අලුතින් නගර නිර්මානය කිරීම හා සංවර්ධනය කිරීම අලුතින් විදුලි බලාගාර ඉදිකිරීම හා ධාරිතාවය ඉහළ නැංවීම, විශාල වැව් ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආදිය තුළින් ලංකාවේ සෑම ප්‍රදේශයක් ම තුලිත ආර්ථික සංවර්ධනයක් කරා මෙහෙයවා ඇත.

විචක්ෂණ මූල්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් පවත්වාගැනීම හා මුල්‍ය පද්ධතියේ ස්ථායිතාවය වැඩිදියුණු වීම තුළ, යෝග්‍ය ප්‍රතිපත්තීන් කල්යල් බලා ක්‍රියාවට නැංවීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දීමේ ප්‍රතිඵලයන් ලෙස බොහෝ දෙස් විදෙස් අභියෝග හමුවේ නොසැලී සිටීමේ හැකියාව අප රටට හිමිවුණි.

යුද්ධයෙන් නිදහස් වූ ශ්‍රී ලංකාව තුළ සංචාරක ව්‍යාපාරය, අපනයන වෙළෙඳාම, දෙස් විදෙස් ආයෝජන විශ්වාසය ඉහළ යාම, ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් වීම, ප්‍රේෂණ හා සේවා ලැබීම ඉහළ යාම ආදිය තුළ දේශීය අංශයේ මෙන් ම විදේශීය අංශයේ ද කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් සිටී.

විජයග්‍රහණය

එමෙන්ම සියලු ම මැතිවරණ විජයග්‍රහණය කරමින් දේශපාලනික වශයෙන් ද ස්ථාවරභාවය ගොඩනගා ගැනීම, අතිගරු ජනාධිපතිතුමන් කෙරෙහි ජනතාවගේ පවතින නොසැලෙන විශ්වාසය හා කැමැත්ත විදහා පෑමකි.

ජනාධිපතිතුමා විසින් පෙන්වනු ලැබූ මානුෂවාදී ප්‍රතිපත්තීන් අනුව යමින්, රජය ට විරුද්ධව සටන් කර අත්අඩංගුවේ සිටි එල්.ටී.ටී.ඊ රැෙඳවියන් හා ත්‍රස්ත ක්‍රියාවන් නිසා වක්‍රාකාරයෙන් පීඩාවට පත්වූවන්, පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යාංශය මගින් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීමේ ක්‍රියාවලිය ද අවසන් අදියරේ පවතී.

මේ ක්‍රියාවලිය මගින් රජයකට එරෙහිව අවිගත් සටන්කාමීන්, එම රජය විසින් ම කෙටිකාලයකින් පුනරුත්ථාපනය කර සාර්ථකව නැවත සමාජගත කළ ලෝකයේ පළමු හා එකම රාජ්‍ය නායකයා ලෙස, සිදුකළ පරමාදර්ශී මග පෙන්වීම පිළිබඳ ජනාධිපතිතුමන් වෙත සැමගේ ගෞරවය හිමිවිය යුතුය. “සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන්න විදහා දක්වමින් රැෙඳවියන්ගේ පුනරුත්ථාපන කටයුතු සවිමත් කිරීම උදෙසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැලපෙන ලෙස, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීම සහ නව බන්ධනාගාර අලුතින් ඉදි කිරීමට එතුමා අප අවධානය යොමු කරමින් කළ මගපෙන්වීම මෙම අවස්ථාවේ කෘතඥතාපූර්වකව සිහිපත් කරමි.
 

සංවාදශීලී ප්‍රවේශය

රාජ්‍ය නායකයා වශයෙන් සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වයන් එකම සංවර්ධන අරමුණක පිහිටුවා සංවර්ධනයට හිතකර අයුරින් මෙහෙයවාලීමේ භාරධූර හා අභියෝගාත්මක මෙහෙවරක නිරතවනුයේ ජනතාවාදී සැබෑ නායකත්වයක් ප්‍රදර්ශනය කරමිනි.

රටක සංවර්ධන ප්‍රවේශයේ දී මානව සම්පත් සංවර්ධනය පිළිබඳ විශ්වාසය තබමින් රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදාය තුළ අනුගමනය කරමින් වෘත්තීය සමිති සම¼ඟ නිරන්තරව සංවාද පැවැත්වීමත්, එමෙන්ම විදේශ රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග ද සුහද හා මිත්‍රශීලීව ගණුදෙනු කිරීමත්, වඩාත් ප්‍රතිිඵලදායී ආර්ථික, සමාජ හා දේශපාලන ජයග්‍රහණ අත්කරගැනීම උදෙසා හේතු වූ බව මාගේ හැඟීමයි.

කවර බාධක හමුවේ වුවද නොසැලෙමින්, සිය ධූර කාලය තුළ අභියෝගාත්මක පියවර රැසකට සාර්ථක ලෙස මුහුණ දුන් ජනාධිපතිතුමාට, නිවහල් දේශයක සියලු ජාතීන්ට එකම ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සතුටින් සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට අත්කර දුන් නිදහස, තම දෙවන ධූර කාලය තුළ දී තවත් ඉහළ ට ඔසවා තබමින් තිරසාර සාමය සහතික කර ආසියාවේ ආශ්චර්යය දෙසට අපරට මෙහෙයවාලීමේ හැකියාව, ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.