ජනපතිතුමනි, අනාගතයත් ඔබමය!

ජනපතිතුමනි, අනාගතයත් ඔබමය!

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන යුගයට අවුරුදු හයක් සපිරීම රටටත් ජනතාවටත් සුවිශේෂ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. රාජපක්‍ෂ යුගය තරම් ජන ජීවිතයටත් රටටත් අතිමහත් සේවාවක් ඉටු කළ පාලන තන්ත්‍රයක් නොමැති තරම් ය.

ජනාධිපතිතුමාගේ පාලන යුගයේ දී රට ගොඩගැනීමටත් ජාතීන් අතර සමඟිය ඇති කිරීමටත් කටයුතු කළ අතර යුදබිය තුරන් කර සමගිය තහවුරු කිරීමත් සාමයට මංපෙත් විවර කිරීමත් ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ කාලය ඇතුළත ඉටු වූ යුග මෙහෙයක් ලෙස සඳහන් කළ හැකිය.

ජනාධිපතිවරයාගේ මුල් ධුර කාලය ඇතුළත ඉටු කළ මහා මෙහෙයට ජනතා ප්‍රසාදය ලැබී ඇති බවට හොඳම සාක්‍ෂිය පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් වටහා ගත හැකිය.

2005 දී ලැබූ වැඩි ඡන්ද ප්‍රමාණයට වඩා දස ගුණයකින් වැඩි ඡන්ද ප්‍රමාණය ඉහළ යාම මෙයට හොඳම සාක්‍ෂිය ලෙස හඳුන්වා දිය හැකිය. එය අති විශිෂ්ට ජයග්‍රහණය සමඟ මෙරට දේශපාලන ස්ථාවරත්වය විශාල ලෙස ඉහළ ගියේය. එපමණක් නොව අලුත් සාමයේ ප්‍රතිලාභ ලබා ගැනීමට ජනතාව වෙත පුළුවන්කම ලැබී තිබුණි.
 

රටේ සංවර්ධනය

යුද්ධයේ දී ආරක්‍ෂක හමුදා ලැබූ ජයග්‍රහණය සමඟ අපටත් රටටත් වාසිදායක විසදුමක් ලබා ගැනීමට පුළුවන් කම ලැබී තිබේ. ඒ වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය කටයුතු අප දැන් දැන්ම සම්පාදනය කළ යුතුය. මන්දයත් ජාතීන් අතර සමඟිය ඇති කරන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම යනු රටේ දේශපාලන හා සමාජීය ස්්ථාවරත්වය ගොඩනැගීම ය. රටේ සංවර්ධනයට එය අත්‍යවශ්‍ය සාධකයෙකි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතිකර ඇත්තේ එම මාවතට අවශ්‍ය මඟ පෙන්වීමයි.

උතුරු නැගෙනහිර ප්‍රදේශය පුරා අවුරුදු තිහක් පුරා තිබූ යුද වාතාවරණය නිමාවීමත් සමඟ සමගිය සමඟ සංවර්ධනය වෙත ගමන් කිරීමට අවශ්‍ය පසුබිම සකස්කර දී තිබේ. යුද්ධය තිබූ අවධියේ දී පවා සංවර්ධනය වෙත අවශ්‍ය පසුබිම සකස් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රජය කටයුතු කර තිබේ. ජනාධිපතිතුමාගේ සත් අවුරුදු ධූර කාලය ඇතුළත සිදු වූ විශේෂ කාරණයක් ලෙස මෙය හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ.

යුද්ධයක් තිබෙන ඕනෑම රටක ඇති වන මූලික කරුණ වන්නේ සංවර්ධනය සඳහා අවශ්‍ය වන සැලසුම් හකුළා ගැනීම ය. නැතිනම් සංවර්ධනය වෙත ඇති අවධානය අඩු කිරීමය.

එහෙත් මහින්ද රාජපක්‍ෂ රජය තම කාලය ඇතුළත යුද්ධය ජයග්‍රාහි ලෙස මෙහෙයවන අතර සංවර්ධනය වෙත අවශ්‍ය යෝජනා ක්‍රම රැසක් ඇති කිරීමට ද කටයුතු කර තිබේ. එමෙන්ම රටේ යුද වාතාවරණයක් තිබියදී සමාජ සුබසාධන කටයුතු සිදු කිරීමට ද අවශ්‍ය පසුබිම මඟ හැරිය හැකිය.

සාමාන්‍ය තත්ත්වය එයයි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ධූර කාලයේ දී ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකියාව ලැබුණි.

සහනාධාර කපා දැමීම වෙනුවට සහනාධාර ඉහළ දමමින් සංවර්ධනය වෙත මංපෙත් විවර කළේ ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ධූර කාලය ඇතුළත දී ඉටු කළ යුතු තවත් සුවිශේෂ කාර්ය රැසක් ඉතිරිව තිබේ. ඒ සඳහා අවශ්‍ය කරන මහජන බලය හා මහජන ශක්තිය ලැබී තිබේ. ඒ ශක්තිය මතින් ඉදිරි කාලය ඇතුළත ද මහජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ජනාධිපතිතුමාට ශක්තිය ලබාදිය යුතුය.

මීට පෙරද සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව පැවැති රජයන් හා බලයේ සිටි ජනාධිපතිවරු සැලසුම් ඉදිරිපත් කළ ද ඒ සැලසුම් සැලසුම් වලටම සීමා වූ වැඩපිළිවෙළක් පමණක්ම විය.

මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වූවද එමඟින් පොදු ජනතාවට අවශ්‍ය ප්‍රතිලාභ මහා පරිමාණයෙන් නොලැබුණි. එහෙත් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ නිසා සංවර්ධනයේ ප්‍රතිලාභ පොදුජනතාව වෙත ලැබුණි. ඒ වැඩපිළිවෙළ ගැන දන තුඩ තුඩ රැව් දෙන කාරණාවක් බවට පත්ව ඇත්තේ මේ නිසාය. සංවර්ධනය පමණක් නොව එහි ප්‍රතිලාභ ද මහජනතාව වෙත ලබාදීමම මහින්ද චින්තනයේ අරමුණ බවට පත්ව තිබේ.

යුද්ධයෙන් පීඩිතව සිටි මහජනතාව වෙත බලාපොරොත්තු සහගත අනාගතයක් ගෙන ආ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මහජන ආශීර්වාදය ලැබීම විශ්මයට පත්විය යුතු කරුණක් නොවේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ආයතන අති බහුතරයක බලය ලබා ගැනීමට පුළුවන් වීම නිසා රටේ ප්‍රාදේශීය ලෙස හා මධ්‍යම රජය අතර උසස් සම්බන්ධතාවයක් ඇති කිරීමයි. ප්‍රාදේශීය ලෙස හා මධ්‍යම රජය අතර සම්බන්ධතාවය ගොඩනැගීමේදී පළාත් පාලන ආයතනවල බහුතර බලය ආණ්ඩු පක්‍ෂයට ලැබී තිබීම සුවිශේෂ ය. ජනතාව ඒ බලය පළාත් පාලන ආයතනවලට ලබා දුන්නේ ජනපති පිළිබඳව වූ අපමන විශ්වාසය නිසාය.
 

සහයෝගය හා මඟ පෙන්වීම

අපට පළාත් සභාවක් ලෙසද ජනාධිපතිතුමාගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයකි. මන්ද යත් පළාත් සභාවක් තුළ කෙතරම් විශාල බලයක් හා ශක්තියක් ලැබුණ ද මධ්‍යම රජයේ සහය නොලැබේ නම් පළාත් සභාවෙන් ඉටුවිය යුතු වගකීම් ඉටුකිරීමට නොහැකිවනු ඇත. එහෙත් ජනාධිපතිතුමාගේ සහයෝගය හා මඟ පෙන්වීම නිසා අපට පළාත් සභා මඟින් ඉටු කරනු ලබන කාර්යය ඉතාමත් ඉහළින් ඉටු කිරීමට පුළුවන් කම ලැබී තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය කාලයේ දී අති විශාල මෙහෙයක් ඉටු කෙළේ ය. එම මෙහෙවර මෑත කාලයේ දී කිසිදු රාජ්‍ය නායකයෙක් නොකළ තරමේ මෙහෙයකි. අනාගතය සඳහා ද එතුමා ගේ මෙහෙවර ශ්‍රී ලාංකේය ජන සමාජය අපේක්‍ෂා කරයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් ජනපති ගමන් මඟ අනුමත කරමින් එතුමා සමඟ එක්ව සිටිති.