“මුල් තැන අම්මාට” දුන් රාජ්‍ය නායකයා

“මුල් තැන අම්මාට” දුන් රාජ්‍ය නායකයා

චණ්ඩ මාරුතයන් හමා ගියද ඉන් නොසැලී, ලංකාවේ පමණක් නොව ලෝකයේ කවර රාජ්‍ය නායකයකුටවත් නොතිබූ අභියෝග රාශියක් පසුගිය හය වසර තුළ ධෛර්යවන්ත ලෙස දරා ගනිමින්, ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කරමින්, රට පුරා විවිධ වූ සංවර්ධන කාර්යයන් ඉටු කරමින් ඉදිරි පස් වසර තුළ රට “ආසියාවේ ආශ්චර්ය” කරා රැගෙන ඒමේ දැවැන්ත කාර්ය භාරය “මහින්ද චින්තන දැක්ම” තුළින් රටට හිමි කරන්නට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් විසින් රට හමුවේ ශපථ කර ඇත. ඒ විශ්වාසය අප සතුව ඇත. ඒ ඔහු අව්‍යාජ ගැමියකු බැවිනි; ගැමියෙක් වුවත් ඔහු රජෙකි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ගේ සිය රාජ්‍ය විචාරණයේ සය වැනි සැමරුමට එළැඹ සිටින ජනී ජනයා තුළ ගැබ්ව ඇත්තේ භක්තිය මුසුවූ ආදරයකි, ගෞරවයකි. මන්ද, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් රට හමුවේ ශපථ කළා වූ සියල්ල එකින් එක විමසමින්, ඉෂ්ඨ සිද්ධ කරන නිසා වෙනි. රට දිනවන මංපෙත් හෙළි කරන ජාතික ආර්ථික ක්‍රියාන්විතයක ඇරැඹුම මේ වන විට දියත් කර හමාරය. යුද්ධය අවසන් වූ රටේ නිල්ලෙන් ගොයමෙන් මෙරට අස්වද්දන්නට ශක්තිය ඉපද වූයේ ඔහු ය. ජාතිය ස්වයංපෝෂිත වීමේ අරමුණ ජනිත කළේ ඔහු ය. ඒ සඳහා වූ ජාතික වැඩපිළිවෙළ ඔහුගේ ය. සියලු ලෝක අර්බූුද පිටුදැකිය හැකි ජාතික නායකයා ද ඔහු ය.

පොදු ජන හිතකාමී නායකයකු බව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගෙවුන හය වසර තුළ පසක්කර ඇත. එනිසාවෙන් ඔහු “මහජන නායකයා”  [Peoples Leader]  යනුවෙන් හඳුන්වයි. මෙය යුරෝපීය නායකත්වය පිළිබඳ සිද්ධාන්තයකි. මේ සමඟ මනාව ගැළපෙන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය තුළින් පෙන්නුම් කරන්නේ සමාජයේ සෑම තලයකම ජන කොටස් තමන්ගේ නියෝජනය ලෙසින් හඳුන්වා ගැනීම යි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේ්ශපාලනය තුළින් පසුගිය කාලය තුළ රටේ සත්‍ය ජනතා හැඟීම් හා අභිලාෂයන් නියෝජනය නොකර සිටීම නොහැකි විය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් රටේ ප්‍රශ්න බාහිරින් බලා තීරණයක් නොගත්තේ ය. එනිසාවෙන් ඔහු ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඔහු තුළ තිබූ දේශපාලන අධිෂ්ඨානය හා නායකත්වයත්, සංවර්ධන ඉලක්ක අත්පත් කර ගැනීම වේගවත්ව සිදු කරන්නා වූ ප්‍රායෝගික වැඩපිළිවෙළත්, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ඉදිරිපත් කරන්නාවූ අදහස මෙයින් ගම්‍ය වන්නේ රට පිළිබඳ රටේ ජනතාවගේ අනාගත පිරිසකගේ පැත්තෙන් බලා කටයුතු කිරීමයි.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි වූ, හොඳම විකල්පය “ගෙවතු වගාව” ජනපතිතුමන් පසක් කර ගෙන ඇති නිසාවෙන් බැසිල් රාජපක්‍ෂ අමාත්‍යතුමා වෙත මෙම භාරදූර වගකීම බාරදෙමින් “දිවි නැඟුම” ජාතික ව්‍යාපාරය ආරම්භ කරමින් පවුල් දශ ලක්‍ෂයක් ස්වයංපෝෂිත කිරීමේ ජාතික ව්‍යාපාරය මේ වනවිට බලාපොරොත්තු වූ ඉලක්ක පසුකර ඇත. ඒ තරමටම රටේ ජනතාව තුළ එයට බද්ධවීමේ උවමනාව හා අවශ්‍යතාවය ඇති වා සේම එය සැබෑ ජනතා ව්‍යාපාරයක් බවට පත්වී ඇත.

ගමත් - ලෝකයත් යා කරන පාලම සදන්නට අවශ්‍ය වන්නාවූ ප්‍රායෝගික මෙන්ම සාර්ථක වැඩපිළිවෙළ ඇත්තේ “මහින්ද චින්තන ඉදිරි දැක්ම” තුළය. ග්‍රාමීය ආර්ථිකයේ පුනරුදය උදෙසා සිදු වූ සේවය ද ඒ තුළින් අති මහත් ය. ගම සංවර්ධනය කිරීම තුළින් එහි ප්‍රතිඵලයත් සමඟ රට සංවර්ධනය කිරීම ප්‍රායෝගික වැඩපිළිවෙළකි. ලෝක ආර්ථික අර්බුදයන් හමුවේ ශ්‍රී ලාංකීය ආර්ථිකය එඩිතරව නැගී සිටීමට පදනම යොදනු ලැබුවේ මෙකී ග්‍රාමීය සංවර්ධන වැඩ සටහන් ය.

ලෝක ආහාර අර්බුදය බලපෑම ලංකාවට එතරම් දැනුනේ නැත. ඒ වන විටත් “අපි වවමු - රට නඟමු” දේ්ශීය ආහාර දිරි ගැන්වීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ ව තිබූ නිසාවෙනි. ජනපතිතුමන්ගේ දුරදර්ශී ක්‍රියාකාරිත්වය නිසා ලංකාවට එහි ජයග්‍රහණය බුක්ති විඳීමට හැකි විය.

රට අහරින් ස්වයංපෝෂිත විය යුතු බවත්, එය කාලීන අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහා අවැසි ප්‍රතිපාදනයන් හා යෝධ ශක්තිය ජනපතිතුමන් විසින් ලබාදී ඇත.

ලෝක වෙළෙඳපොලේ රුපියල් හයදායකට වන පොහොර මිටිය රුපියල් 350/= කට ලාංකීය ගොවියාට ලබා දීමට ජනපතිතුමන් ගත්තා වූ පියවර ප්‍රශංසනීය වූ කාරණාවකි. මන්ද යත් පොහොර සහනාධාරය යනු ස්වයංපෝෂිත රටක් උදෙසා වන පැහැදිලි ආයෝජනයක් බැවිනි. එපමණක් නොව අනෙකුත් බෝගයන් සඳහා ද පොහොර සහනාධාරය ලබා දෙමින් දේශීය කෘෂි ක්‍ෂේත්‍රයේ දියුණුවත් කෘෂි නිෂ්පාදන ඉහළ නංවා සේවා නියුක්තිය වැඩි කොට ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් ලද දායාදයන් ය.

රටක සංවර්ධන දර්ශකයේ එක් අංශයකි “මාර්ග සංවර්ධනය” එහි අදහස නම් රටක එක් තැනක සිට තවත් තැනකට පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව පැවතීම ය. ගමත්, නගරයත් දෙකෙහිම මාර්ග පද්ධතින් ක්‍රමවත්ව වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවරයන් ගත්තා සේම ගමත් නගරයත් යා කරමින් අලුතින් බිහිවන්නාවූ සුවිශේෂි වූ අධිවේගී මාර්ග කීපයක් මේ වන විට තම ඉදිකිරීම් අවසන් කර ඇත. එය ශ්‍රී ලංකාවේ අයට අලුත් අත්දැකීමකි.

මහින්ද චින්තන හා ඉදිරි දැක්ම තුළින් රටේ මාර්ග පද්ධතියේ විප්ලවීය වෙනසක් ඇති වූ බව පක්‍ෂ විපක්‍ෂ සැවොම පිළිගත් හා පැසසුමට ලක්වූ කරුණකි. අලුත් අත්දැකීම් ලෙස රටට දායාද වන්නාවූ අධිවේගී මාර්ගයන් කීපයක් ඇත. මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් මත දක්‍ෂිණ අධිවේගි මාර්ගය, කොළඹ – කටුනායක ගුවන් තොටුපල අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, යනුවෙන් අධිවේගී මාර්ග හතරක් දැනට ඉදිවෙමින් පවතී.

මෙයින් දිගම අධිවේගී මාර්ගය වන්නේ කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා නිමවා ඇති අධිවේගී මාර්ගයයි. කි. මී. 128 කින් යුක්ත මෙම අධිවේගී මාර්ගයේ පළමු අදියර ගාල්ල පින්නදූව දක්වා සකස් කර ජනතා අයිතියට පත්වේ. ආසියානු සංවර්ධන බැංකුවේ ජයිකා ණය යෝජනා ක්‍රමය මගින් ණය ආධාර යටතේ රුපියල් බිලියන 80 ක් මේ සඳහා රජය වැය කර ඇත.

මීලග කොළඹ – කටුනායක කි. මී. 25 කින් යුත් අධිවේගී මාර්ගය නොබෝ දිනකින් වැඩ ආරම්භ කරන අතරම මිනිත්තු 20 ක් වැනි කෙටි කාලයකින් කොළඹ සිට – කටුනායක ගුවන් තොටුපළට යාමට හැකිවේ. ඉදිරි වසර කිහිපය තුළදී ඉතා ඉක්මනින් ආරම්භ වන්නට නියමිත අධිවේගී මාර්ගය නුවර - කොළඹ කඳුරට අධිවේගී මාර්ගය මෙහි පළමු පියවර ලෙස අඹේපුස්ස දක්වා වැඩ ආරම්භ කිරීමට නියමිත වේ. මෙහි අධිවේගී මාර්ගවලට අමතරව තවත් අධිවේගී මාර්ගයක් ඉදිවේ.

එය “පිටත වටරවුම් මාර්ගය” වේ. එහි වැඩ කටයතු ද මේ වනවිට නිමවෙමින් පවතී. කොළඹ නගරයේ තද බදය අඩු කිරීම මෙයින් අපේක්ෂා කරන අතරම නුවර සිට මාතර යාමට කොළඹට පැමිණිය යුතුය. ඉදිරියේ දී කොළඹට නොපැමිණ යාමට හැකි වන පරිදි මෙය ඉදිවේ.

මෙය කොට්ටාව, කඩුවෙල, කඩවත, හරහා කෙරවලපිටිය දක්වා දිවෙන මෙම මාර්ගය කි. මී. 29 ය කින් යුක්තවේ. මෙකී අධිවේගී මාර්ගවලට අමතරව ගෙවුනාවු සය වසර තුළ නව මාර්ග රාශියක් සංවර්ධනය විය. වඩාත් හොඳ නඩත්තුවක් හා ප්‍රතිසංස්කරණයක් සිදුවුවා මෙන්ම සෑම පළාත් සභාවකට අයත් පාරවල් සඳහා මැතිවරණ කොට්ඨාසයක් සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ කිලෝ මීටර් 25 ක් කාපට් කිරීමට මුල්‍ය පහසුකම් සපයා ඇත.

ඉතිහාසයේ කවර යුගයක දී වත් නොවූ විරූ තරමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාගේ කාලය තුළ ජාතික මාර්ග මෙන්ම ග්‍රාමීය මාර්ග ද සංවර්ධනය වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ අධිවේගී මාර්ග ඉදිවන කාලය තුළදීම ග්‍රාමීය මාර්ග ද සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය කිරීමයි. මාර්ග සංවර්ධනය සඳහා වැඩිම මුදලක් ආයෝජනය කර ඇත්තේ මේ යුගයේ දීය. එය මුදලින් රුපියල් කෝටි 10000 ක් ඉක්මවයි.

පාලම් ක්‍ෂෙත්‍රයේ නව පෙරළියක් කරමින් ගුවන් පාලම් රාශියක් මේ වනවිට ඉදිකර පරිහරණය කරනු ලබයි. ඉදිරියේ දී ද බේස්ලයින් ගුවන් පාලම, කිරුලපන, කොට්ටාව, යන ස්ථානවල ද ඇති කිරීමට යෝජිත වේ.

කාන්තාවට සම තැන නොව “මුල් තැන” ලබාදීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාගේ සංකල්පයයි. එය එසේ විය යුතුය. ඒ සඳහා “මුල් තැන අම්මාට” ය. කාන්තාව සවිබල ගැන්වීමක් සමාජයම සවිබල ගැන්වීමක් බව ඔහු අදහස් කරයි. එහි අදහස ගෙදර බුදුන් අම්මා, ලොව උතුම්ම පදවිය මව් පදවිය බවත්, අපේ සමාජයේ මවට උරුම විය යුතු ඉහළම තැන ලබා දීමට ගන්නා වූ වැඩසටහන් රාශියකි.

දේ්ශපාලනය තුළින්, ශ්‍රේෂ්ඨාධිකරණයේත්, අමාත්‍යාංශ ලේකම් වරියන් ලෙසත්, ආණ්ඩුකාරවරියන්, ආදි පරිපාලන ක්‍ෂේත්‍රයන් තුළට “අම්මා” වරුන් පත්කිරීමට එතුමන් ක්‍රියා කිරීම තුළින්ම එකී සංකල්පය සංකල්පයක් පමණක් නොව සැබෑ ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් බව ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා කාන්තාවන්ට නායකත්වය ලැබීමට ඇති අවකාශය මහින්ද රාජපක්‍ෂ පාලන තන්ත්‍රය තුළ නිර්මාණය කර ඇත.

ග්‍රාමීය පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීමට කාන්තාව ශක්තිමත් කළ යුතු බව මහින්ද චින්තන ඉදිරි දැක්ම පුන පුනා ප්‍රකාශ කර ඇත. ඒ වෙනුවෙන් කරනා ස්වයං රැකියා වැඩසටහන් මෙන්ම ව්‍යවසායකත්ව වැඩසටහන් ක්‍රියාත්මක වී ඇත. පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අම්මා වරුන්ගේ දායකත්වය ඉහළින් ලැබී ඇත. මතට තිත තුළින් පවුල් සමගිය වඩන්නට සතුට සමාදානය උදාකර ලන්ට හැකි විය.

මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් ඉටුවිය යුතු සහ ඉටු කළ යුතු බොහෝ දෑ ද ඇත. අනාගත අපේක්‍ෂාවන් ලෙස වාර්ෂික ආර්ථික වර්ධන වේගය 7% - 10% අතර ස්ථාවරව පවත්වා ගෙන යාමටත් ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4000 – 5000 දක්වා ඉහළ නැංවීමටත් අපේක්‍ෂිත ය. එපමණක් නොව ලංකාව නාවුක කේන්ද්‍රස්ථානයක්, ගුවන් කේන්ද්‍රයක්, වාණිජ කේන්ද්‍රයක්, බලශක්ති කේන්ද්‍රයක් සහ දැනුමේ කේන්ද්‍රයක් බවට පත් කරමින් ලංකාව ගෝලීය පංච මහා කේන්ද්‍රයක් බවට පත් කිරීමේ දැවැන්ත අභියෝගය අප තුළ ඇත. මේ සඳහා අපි සැවොම එක්ව එකාවන්ව එක්ව වැඩ කළ යුතුව ඇත. ඒ තුළින් රටට සුබ අනාගතයක් උදාකරමින් “ආසියාවේ ආශ්චර්ය” උදාකර ගත හැකිවේ.