දේශයක් එළිකළ යුග පුරුෂයාණෝ

දේශයක් එළිකළ යුග පුරුෂයාණෝ

රටක ඉතිහාසය විසින් කාලයෙන් කාලයට යුගපුරුෂයෝ බිහිකරනු ලැබෙති. ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාව සමඟ එක්ව ඔවුන්ගේ පොදු අරමුණ වෙනුවෙන් ජනතා බලවේග නිර්මාණය කරන, ඒවා සංවිධානය කරන විශිෂ්ට පුද්ගලයෝ යුග පුරුෂ නාමයෙන් හඳුන්වනු ලබති. නිදහසින් පසු ශ්‍රී ලංකාව ආලෝකවත් කළ යුග පුරුෂයකු මෙරට බිහිවී නම් ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. විශිෂ්ට ඉතිහාසඥයෙකු වු ඊ. එච්. කාර් මහතා ජර්මානු දාර්ශනිකයෙකු වන හෙගල්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් යුග පුරුෂයා යනු කවුරුන් දැයි විග්‍රහ කරයි.

“යුග පුරුෂයා වූ කලී තම යුගයේ අභිප්‍රාය වචනයට නැඟිය හැකි වු ද තම යුගයට ඒ අභිප්‍රාය කුමක්දැයි කියාදිය හැකි වූ ද, එය ඉටුකළ හැකි වු ද පුද්ගලයා ය. ඔහු කරන දේ ඒ යුගයේ හෘදය ද හරය ද වේ.”

ශ්‍රේෂ්ඨ සෝවියට් ලේඛක චින්ගීස් අයිත්මාතව් විසින් ඉන්දියානු අර්ධද්වීපය නම් කිරීම බුරුල්ලෙන් වෑහුණු කිරි බිංදුවකට සමාන කළ අපගේ මව්බිම 1815 මාර්තු 02 වැනි දින අවුරුදු 2500 ක ඇගේ අභිමානවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශීය ජාතියකට මුළුමනින් ම යටත් විය.

එදා සිට මේ බිමට නිදහස උදාකර ගැනීම ජාතියේ උත්තරීතර අපේක්ෂාව විය. නිදහස අහිමි වී අවුරුදු 03 ක් ගතවන්නටත් පෙර 1818 ඌවෙන් ආරම්භ වූ එම නිදහස් අරගලය එම සමාජ බලවේග පෙළගැසුණු ආකාරය පිළිබඳ පළමු නිදසුනයි. ඉන් අනතුරුව 1848 නිදහස් අරගලය ද ඒ දෙකට අතරමැද සිදුවූ තවත් ජනතා නැගිටීම් රාශියක් ද අපට කියාපාන්නේ ගත වු එම යුගය පුරා ජාතියේ මහා ප්‍රණිධානය වූයේ නිදහස දිනා ගැනීම බවයි.

1948 අප ලද නිදහස ද ඉහත කී උත්තම ජීවිත පූජාවන්ගේ ම ප්‍රතිඵලයක් ලෙස සැලකීම අසාධාරණ නොවේ. එහෙත් එදා අප ලද නිදහසත්, මව්බිමේ සියලු සමාජ බලවේග ප්‍රාර්ථනා කළ නිදහසක් කිසිදා එකිනෙකට සම්පාත වුයේ නැත.

එදා මව්බිම දුටු සිහිනය වුයේ මේ පොළොවේ පතුලට කිදාගිය ශක්තිමත් මුදුන් මුල් හඳුනාගත්, ඒවාට ආදරය කරන ඒවා ශක්තිමත් කරන එතුළින් අනාගත ගමන් මඟ සැලසුම් කරන නායකත්වයකි. 1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා රොද බැඳගත් සමාජ බලවේගයන් ද ඉහත කී නිදහස් සිහිනයේ ප්‍රකාශනයකි. එම සමාජ බලවේගයන්ගේ එකම අපේක්ෂාව වූයේ දේශයේ සියලු ශක්තීන් එක්සත් කොට නිවහල් මෙන්ම පුළුල් චින්තනයක් සහිතව අනාගතය වෙත මව්බිම රැගෙන යන්නා වු නායකත්වයකි.

මහින්ද රාජපක්ෂ මහතා මේ රට භාරගත්තේ ආසියාවේ කිරි බිඳුව - ආසියාවේ කඳුළු බිඳුව බවට පත් වූ මොහොතක ය. අසාර්ථක රාජ්‍යයකැයි කුප්‍රකට විදේශීය බලවේගයන් විසින් හඳුන්වා දෙන ලද අවස්ථාවක ය. ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක, කුමන්ත්‍රණකාරී බටහිර බලවේගයන් අත යළිත් වරක් මව්බිම ලේ ගලන ගොදුරක් ව තිබූ මොහොතක ය.

දේශයක් ඉතා දුර්දශාපන්න අවධියකට පත් වූ විට අපේක්ෂා භංගත්වයකට පත්ව නිද්‍රාශීලීව සිටින සමාජ බලවේග පෙළගස්වා, එම යුගයට තම අභිප්‍රාය විය යුත්තේ කුමක්දැයි කියා දෙන්නා වූ ද එම අභිප්‍රාය ඉටුකරන්නා වූ ද පුද්ගලයා යුග පුරුෂයකු ලෙසයි මහා ජර්මානු දාර්ශනික හෙගල් හඳුන්වා දුන්නේ.

ක්‍රි.පු. 161 දී ගාමණී අභය මහ රජතුමන් ද 1070 දී කීර්ති විජයබාහු හෙවත් මහ විජයබාහු මහරජතුමන් ද 1153 දී මහා පරාක්‍රමබාහු මහරජතුමන් විසින් ද 1415 දී කෝට්ටේ රජ පැමිණි 06 වන පරාක්‍රමබාහු මහරජතුමන් විසින් ද ආපදාපන්න අවස්ථාවන්හි දී මව්බිම බේරාගත් අන් සියලු වීරවරුන් විසින් ද ඉටුකරන ලද්දේ මෙම යුග මෙහෙවරයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිඳී විසිරී ගිය ප්‍රාර්ථනාවන්ට නව අරුතක් දෙමින් එම ප්‍රාර්ථනා යථාර්ථයක් බවට පත්කරන ලද්දේ මෙම යුග පුරුෂයන් විසිනි.

ගාමණී අභය කුමරු මෙම අරමුණු වෙනුවෙන් කැපවී රාජ උදහසට පවා ලක්වුයේ කුමර අවධියේදීම ය. කීර්ති කුමරු පය තැබූ තැන තමා සොයමින් ලුහුබඳින සතුරන්ගෙන් වසන් වී සේනා සංවිධානය ඇරඹූයේ අවුරුදු 13 ක කුඩා දරුවෙකු සිටි අවධියේය. 1970 සමඟි පෙරමුණ රජය ප්‍රථම රාජාසන කතාව වෙනුවෙන් ස්තුති යෝජනාව ඉදිරිපත් කරද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා විය. එම ළාබාලම මන්ත්‍රීවරයාගේ ස්තුති යෝජනාව තුළ වූයේ ද එදා බිඳී විසිරී සිටි සමාජ බලවේගයන්ගේ අපේක්ෂාවන්ගෙන් බිඳකි.

“රුහුණේ සිංහයා නමින් විරුදාවලිය ලබා සිටි දිවංගත ඩී. එම්. රාජපක්ෂ මහතා එවකට හම්බන්තොට ගරු රාජ්‍ය මන්ත්‍රීතුමා තම සාටකය සඳහා තෝරා ගත්තේ කුරහන් පාට බව මෙහිදී මතක් කරනවා. මා බොහෝ සන්තෝෂ වෙනවා රාජාසන කතාවේ ඉඩම් නැති ගොවියන්ට ඉඩම් ලබාදීමේ ක්‍රමයක් පිළිබඳව සඳහන් කිරීම ගැන.”

කටුසර බෝගයෙන් එදා වේල සරිකර ගත් මෙරට අහිංසක ගොවිජනතාව තම උරපලඳනාවෙන් සංකේතවත් කරන බවත්, ඉඩම් නැති ගොවීන්ට ඉඩම් ලබාදිය යුතු බවත්, ඇළවේලී, වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට ගොවියාට ජලය ලබාදිය යුතු බවත් සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා එදා ප්‍රකාශ කළේ මෙරට සමාජ බලවේගයන්ගේ අභිප්‍රාය කුමක්ද යන්න තමන් නිවැරැදිව වටහාගෙන ඇති බවයි.

පාර්ලිමේන්තුව තුළින් මෙන් ම තම පක්ෂය තුළින් එතුමා පැමිණි ගමන් මග කිසිසේත් රෝස මල් ඇතිරු සොඳුරු මාවතක් නොවී ය. පියාගේ දේශපාලනය වෙනුවෙන් මැදමුලන මහගෙදර ද උගසට බැඳී තිබුණු විට එතුමා තම ප්‍රථම මැතිවරණයට ඉදිරිපත් වන්නේ රජයේ රැකියාවෙන් ආපදා ණයක් ලබාගනිමිනි.

තම පක්ෂය නින්දා සහගත පරාජයක් ලබා නිද්‍රෝපගතව සිටිද්දී පාද යාත්‍රා, ජන ඝෝෂා, මිනිස් දම්වැල් තුළින් බිඳී විසිරී ගිය සමාජ බලවේග ඒකරාශී කරමින් ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් අවදි කිරීමට එතුමා එදා සමත්විය.

මේ රටේ ජනතා අපේක්ෂා නම් රන්කරඬුව දෝතින් දරාගෙන බාධක, අභියෝග, අසණිවරුසා හමුවේ නොසැලී එතුමා පැමිණි දුෂ්කර ගමන් මඟ බියෙන් අත්මිදෙන්නට – ජීවිතය යළි දිනාගන්නට මෙරට ජනතාවට ඉමහත් ආස්වාදයක් විය.

අභියෝග ජයගැනීමේදී දේශපාලනඥයෙකු කෙතරම් නිර්මාණශීලී විය යුතු ද යන්න එතුමා අමාත්‍යවරයෙකු ලෙස තමා භාරගත් අමාත්‍යාංශ තුළින් මනාව ඔප්පුකොට පෙන්වීය. හම්බන්තොට ලුණු ලේවාය පුද්ගලික සමාගමට විකුණා දැමීම වැළැක්වීමටත්, මතුරට හා කොටගල වතු විදේශීය කොම්පැණිවලට අයත්වීමට ඉඩ නොදී බේරාගැනීමටත් කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එතුමාට අවශ්‍ය විය.

මෙය කම්කරු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වන්නේ ද යන්න හෝ ඒ සඳහා මුදල් සපයා ගන්නේ කෙසේ ද යන්න එතුමාට ප්‍රශ්නයක් නොවී ය. ඒවා බේරා ගැනීම පොදුජන ප්‍රාර්ථනාවකි.

සේවක අර්ථසාධක අරමුදල් යොදවා එදා එතුමා මේ සියල්ල බේරාගත්තේ ජනතා අභිප්‍රායට අරුතක් එක්කරමිනි. ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී එතුමා ඇරඹූ සාගරික විශ්වවිද්‍යාලය, ඉදිවර ධීවර බැංකුව, වෙරළාරක්ෂක බලකායක් ඇති කිරීම, මිරිදිය ධීවර අධිකාරිය පිහිටුවීම, ධීවර ගම්මාන බිහිකිරීම, රට වෙනුවෙන් සිහින දකින නිර්මාණශීලී දේශපාලනඥයෙකුගේ භූමිකාව පිළිබඳ ජීවමාන සාක්ෂීන් ය.

2005 දී එතුමා මෙරට නායකත්වය භාරගත්තේ රුදුරු ත්‍රස්තවාදයේ ප්‍රතිඵල ලෙස ආර්ථිකය කඩා වැටී ජනජීවිතය අවුලෙන් අවුලට පත්වූ මොහොතක ය. දේශීය, විදේශීය බලවේග විසින් පෝෂණය කරන ලද ත්‍රස්තවාදය මුළු රටම වෙළාගත් මොහොතක ය. ලොව අංක එකේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කිරුළු පළන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ග්‍රහණයෙන් උතුරු නැඟෙනහිර සේම සමස්ත ජන ජීවිතය මුදාගැනීම ඒ මොහොතේ ප්‍රමුඛ කාර්යය විය. එහෙත් ඒ මොහොතේ සියලු තුරුම්පු තිබුණේ ත්‍රස්තවාදීන් අත ය.

දේශය බේරා ගැනීම සඳහා දීර්ඝ කාලීනව යුද වැදුණු ගාමණී අභය, මහ විජයබා වැනි නායකයෝ ඒ සඳහා පළල් අනාගත දැක්මක් ඇතිව ක්‍රියාකළ බැව් පැහැදිලි ය. ගාමණී අභය කුමරා පළමුවෙන් ම කළේ සතුරාට එරෙහි ;ද්ශීය බලවේග එක්සත් කිරීම සහ දීර්ඝ කාලීන යුද්ධයකට අවශ්‍ය පරිදි ආහාර සම්පාදනය කොට ගබඩා කොට තැබීමයි.

මහා විජයබා කුමරාගේ උපක්‍රමය වූයේ දකුණේ සියලු බලවේග ඒකරාශී කිරීමෙන් නොනැවතී සතුරාට එරෙහි විදේශීය රාජ්‍යයන් සමඟ සබඳතා තරකර ගැනීමයි. මාවිල්ආරු අමුණේ සිට නන්දිකඩාල් කළපුව දක්වා විහිදුණු මානුෂීය මෙහෙයුම පියවරෙන් පියවර විමසා බලනවිට එම මෙහෙයුම පෙරමුණුගතව විහිදුණු ආකාරය මෙන් ම ඒ පසුපසින් වු දේශීය විදේශීය බලවේග ඒ සඳහා පෙළගැස්වීම විශ්ලේෂණය කිරීමේදී අපි දකින්නේ තුන්කල් දක්නා නායකයෙකුගේ ප්‍රාදුර්භුතියයි.

අද එතුමා මේ රටේ නායකත්වය භාරගැනීමේ සයවන වසර සපුරයි. ගතවු සයවසර සාමයේත්, සංවර්ධනයේත් මිහිරිඵල ජාතියට තිළිණ කළ මේ රටේ මුදුන්මුල් ශක්තිමත් කළ කාලපරිච්ඡේදයකි.

අද උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය උතුරු නැඟෙනහිර නැතිවු ජීවිත හැර අන් සියල්ල ලබාදීමට සක්‍රීයව දායක වී ඇත. දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි දියුණු මහාමාර්ග, යෝධ විදුලිබලාගාර, දැවැන්ත පාලම්, වරාය, ගුවන්තොටුපල, ජලාශ ඉදිවේ. කුණුකසල පිරි නගර රම්‍ය නගර බවට පත් වේ. අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන් ම ආහාර හා පෝෂණය දීර්ඝකාලීන සැලසුම් මත සංවර්ධනය වේ. ගුවන්, නාවික, බලශක්ති, වාණිජ, දැනුම යන ක්ෂේත්‍ර පහ බලගන්වමින් දැයේ දූ පුතුන්ගේ අනාගතය සවිබල ගන්වා ආසියාවේ අසිරිය මව්බිම වෙත කැඳවීමේ දූරදර්ශී වැඩපිළිවෙළ ඇරඹී ඇත.

හේනේ කුරහන් සුවඳ, කෙතේ කළල් සුවඳ, මැඩුවන් සුවඳ හඳුනන මව් පොළොවේ හැම චලනයකටම සංවේදී සියවස් ගණනාවක් තිස්සේ මව්බිම දුටු සුබ සිහින රන් කරඬුවකලා වඩම්මන ජන විඥානය මැනවින් හඳුනාගත් නායකයෙකු මෑත ඉතිහාසයේ පහළ වී නම් ඒ මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා පමණි.

එතුමා යුගයක් ආලෝකවත් කළ යුග පුරුෂයෙකු වන්නේ එබැවිනි.