ජනපති මාමාට ලියුමක්....

 ජනපති මාමාට ලියුමක්....

ආදරණීය මහින්ද මාමා වෙත!

අලුත් ශ්‍රී ලංකාවක් පෙරදැරි කරමින් මහින්ද චින්තනය කරපින්නාගෙන 2005 නොවැම්බර් 17 වැනිදා ජනවරමක් පැතූ මාමා ඡන්ද 4887152 ලබමින් බහුතර ජනතා කැමැත්තෙන් අපේ රටේ ජනපති වුණා වගේම මාමා 2010 ජනවාරි 26 වැනිදා සුබ අනාගතයක් පෙරදැරි කරමින් මහින්ද චින්තන ඉදිරි දැක්ම කරපින්නාගෙන යළිත් ජනවරමක් පතා ඡන්ද 6015934 ලබමින් අති විශිෂ්ට ජනවරමකින් අපේ රටේ භාරකාරයා වීම ගැන මම එදත් අදත් සතුටු වෙන්නේ හරිම ආඩම්බරයෙන්.

මාමා අලුත් ශ්‍රී ලංකාවක් තේමාකොට 2005 දී ජනතාව අතරට එනකොට මේ රට තිබුණේ මොන තරම් අඳුරු අගාධයකද කියල මතක් වෙනකොටත් ඇතිවෙන්නෙ පුදුම කලකිරීමක් මාමා ලැබූ ඒ ජනවරමින් පසු මාමාගේ නායකත්වයෙන් රට පිබිදුණු හැටි දැක්කාම සමහරු හිතුවෙ මාමා රටේ භාග්‍යයට පහළවුණු විශ්වකර්මයෙක් කියල මම හිතන්නෙ මාමෙ කවුරු මොනව කිව්වත් ඉපැරණි රජ දවසෙන් පස්සේ අපේ රට බත බුලතින් පිරි ඉසුරුමත් රටක් බවට පරිවර්තනය වෙන්න පටන් ගත්තේ මාමාගේ නායකත්වයෙන් පස්සේ කියලයි.

2005 නොවැම්බර් 17 වැනිදාත්, 2010 ජනවාරි 26 වැනිදාත් මම හිතන්නේ අපේ රටේ ඉරණම විසඳෙන දවස උදාවුණා කියල ඒ දවස් දෙකේමත් වෙනද වගේම ඉර පායලා අහස් කුස සිපගත්තා. මේ වසර දෙකේ දවස් දෙකේම මට මාමා වෙනුවෙන් කෘතගුණ දක්වන්න මගේ වයස හරහට හිටියත් මට මාමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිතින් ප්‍රාර්ථනය කළ ප්‍රාර්ථනා නම් මෙතෙකැයි කියන්න බෑ.

මාමාට කියන්න මේ දවස් දෙකේම අම්මයි, තාත්තයි එක්ක මම ඡන්ද පොළට ගියේ උදේ පාන්දරින්ම මාමා මුල්වරට ජනපති වෙන්න ජනවරමක් පතන දවසෙත් මම ඡන්ද පොළට ගියේ ඒ වෙනකොට අපේ ගමේ පුරන්වෙලා, වල්බිහි වී තිබුණු කුඹුරු යාය මැදින්. එදා මාමාගේ ජයග්‍රහණයෙන් පස්සේ මාමා දුන්න තුන්සිය පනහේ පෝර මිටියට පිංසිදුවෙන්නට මේ ගමේ කුඹුරු යාය වගේම රටේම කුඹුරු යායවලුත් කොළ පාටින් බබලන්න පටන් ගත්තා. මට අද වගේ මතකයි. මාමා දෙවන වරටත් ජනවරමක් පැතුව දවසෙත් මම අම්මයි, තාත්තයි එක්ක ඡන්ද පොළට ගියේ ඒ කුඹුරු යාය මැදින්මයි.

වෙල් නියරේ ඇවිදගෙන යනකොට මාමාගේ තුන්සිය පනහේ පෝර මල්ලෙන් අස්වද්දපු කුඹුරු යාය රන්වන් පාටින් බබලමින් තිබුණා. මුළු කුඹුරු යායම මාමාට ආශීර්වාද කරන්නාක් සේ වී කරලින් බරවෙලා අපේ ගමනට ආශීර්වාද කළා. වෙල්යාය සිපගෙන හමා ආපු සුළං පාරින් රන්වන් පාටින් බබලමින් තිබුණු වී කරල් සිලිසිලි ගා හඬ නැඟුවේ මාමාගේ විජයග්‍රහණයේ පෙරනිමිති දැනිලද කියලත් මට හිතුණා.

එදා ඡන්ද පොළට වෙල්යාය මැදින් යනකොට මාමේ තාත්ත කිව්ව කතාවක් අදටත් මාමේ මගේ හිතේ කාවැදිලා තියනවා. මහින්ද මහත්තයා රට බාරගන්න කලින් මේ පුරන් වෙලා තිබුණ කුඹුරු යාය අද වෙනකොට මෙහෙම බබලන්නේ එතුමන්ට පිංසිදුවෙන්න. මේ වෙල්යායේ තියන හැම වී කරලක් පාසාම තියෙන වී ඇටයක් ගානේ මාමාට ඡන්දය වැටිලා. මාමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක්ම වේවා කියල ඒ තාත්තාගේ පැතුම ගැනත් මාමේ මට හරි සතුටුයි. මගේ තාත්තාගේ පැතුම වගේම තමයි මාමේ රටේ බහුතරක් ජනතාවගේ එකම පැතුම උනෙත්.

අද මාමාගේ සෘජු නායකත්වය යටතේ සංවර්ධිත ශ්‍රී ලංකාවක් බිහිකරන්න යෝධ පියවරක් තබල ගම නැඟුම, මඟ නැඟුම දැවැන්ත සංවර්ධිත ව්‍යාපෘති ඔස්සේ මුළු රටම මාර්ග සංවර්ධනයේ යෝධ පෙරළියක් සිදුවෙලා ගංඟා, ඇළදොළ, කලපුවලින් වෙන්වී තිබුණු ප්‍රදේශ මනම්පිටිය, කින්නියා, මන්නාරම, ආරුගම්බේ වැනි දැවැන්ත පාලම්වලින් එකට එකතුවෙලා.

මාමට කියන්න අපේ නගරෙ පාරවල් විතරක් නෙමේ ගමේ පාරවල් පවා කාපට් කරල ගමේ අතුරු මාර්ග කොන්ක්‍රීට් කරලා නැඟෙනහිර නවෝදය, උතුරු වසන්තය ඔස්සේ රට පුරා සංවර්ධනයේ යෝධ අරුණැලි උදාවෙලා.

 රට වටකර මාගම්පුර, කන්කසන්තුරේ, ඔලුවිල්, ගාල්ල, දකුණු කොළඹ වරායවල් ඉදිවෙනවා. උමා ඔය, ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ, කෙරවලපිටිය විදුලි බලාගාර ඉදිවෙනවා. රට අභ්‍යන්තරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් ඉදිවෙන අතරේ රටපුරා කොළඹ – කටුනායක, කොළඹ – මහනුවර, කොළඹ – මාතර අධිවේගී මාර්ග, දැවැන්ත ගුවන් පාලම් ඉදිවෙමින් දැවැන්ත සංවර්ධනයක් හරහා අපේ රට ආසියාවේ ආශ්චර්යමත් රට වන දවස වැඩි ඈතක නෑ කියලයි මට හිතෙන්නේ.

රට සංවර්ධනය මෙන්ම ආර්ථික සංවර්ධනයේ ද යෝධ සංවර්ධනයක් මාමාගේ යහපාලනය තුළ අන්තර්ගත වෙලා “අපි වමු - රට නඟමු”, “ඉසුරුමත් නිවහනක්”, “අසිරිමත් මව්බිමක්”, “දිවි නැඟුම” වැඩපිළිවෙළ නිසා මාමේ අපේ ගමේ හැම ගෙදරකම එළවළු, පලතුරු වගා කරන්න පටන් අරන්. මාමට කියන්න අපේ ගෙදරටත් දැන් කඩෙන් එළවළු ගේන්නෑ. මාම දුන්නු එළවළු ඇට මම හිටෙව්වා ගෙදර වත්තෙ මිදුලෙ.

එළවළු හැදිල හැරිම ලස්සනයි මාමේ. ඵල බරවෙලා තියනව දකිනකොටත් හිතට පුදුම සතුටක් මාමේ රුපියල් තුන්සිය පනහේ පෝර මිටියෙන් රට පුරා කුඹුරු අස්වැද්දෙන කොට මාමා දුන්නු රුපියල් එක්දහස් තුන්සියයේ පෝර මිටියෙන් ගොඩ ඉඩම් සශ්‍රීක වෙන්න පටන් අරන්. කණාටු වෙලා ඵලදාවක් නැතුව තිබුණු පොල් ගස් අද පොල් වලුවලින් බරවෙලා මුළු රටම සශ්‍රීකත්වයෙන් බබලන්න පටන් අරන්. අපේ ගමේ වැඩිහිටියෝ මාමාගේ ආර්ථික වැඩපිළිවෙළ දැකල පුදුම වෙලා. එදා රජ දවස අපේ රට පෙරදිග ධාන්‍යාගාරය වෙලා තිබුණ වගේ. මාමාගේ නායකත්වයෙන් ඒ දවසත් උදාවෙන එක වැඩි ඈතක නෑ කියලයි කවුරුත් කියන්නේ.

මාම කවදත් හිතුවෙ රට ගැන. ජාතිය ගැන. ආගම ගැන. මට පෙර රජ දවස අපේ ඉතිහාසය ගැන අහල තියන ඉතිහාස කතා හැරුණුකොට මම දැක්කෙ රට ගැන හිතපු නායකයෙක් හිටිය නම් ඒ මහින්ද මාමා කියල. පටු අන්දමින් හිතලා පටු අන්දමින් වැඩ කරලා පටු උවමනාවන් ඉටුකර ගන්න මේ රට කෑලිවලට කඩන්න කිසිවකුටත් ඉඩ තියන්නෙ නෑ කියල තමයි මාම නිතර කිව්වේ. මාම හැම වෙලාවෙම මේ රටේ ජනතාවගෙන් ඉල්ලුවේ අපි සැවොම එක මවකගේ දරුවෝ අපි එකට වැඩ කරමු. අපි එකට ජීවත් වෙමු. මේ රට අපේ රට අපි ජීවත්වෙන රට. අප ඉපදුන රට. ඒ නිසා සියලු දෙනාම එකතුවෙලා මුලින් අපේ රට ගොඩනඟමු. අපේ ගම ගොඩනඟමු. ජාති ආගම්, කුල භේද සලකන්නේ නැතුව අපි සැවොම එක ධජයක් යටතේ පෙළගැසෙමු කියලා.

ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විසිරී සිටින සියලු දූ දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා මාම කියල මට දැනුණ වගේ අනිත් දරුවන්ටත් එහෙම දැනෙනවා ඇති කියලයි මට හිතෙන්නේ. මහින්ද මාමේ, දැන් පුංචි අපට අපේම කියල රටක් තියනවා. කෲර ත්‍රස්තවාදී සාපයෙන් වසර තිහක් පුරා වෙලාගෙන සිටි අපේ රට වීර රණවිරුවන් සමඟ බේරල එක්සේසත් රටක් අපට උරුම කර දීපු එක ගැන මේ ජීවත්වෙන අපි විතරක් නෙමෙයි, අනාගතයේ ඉපදෙන්න ඉන්න පුංචි දරු පැටියොත් මාමාට පිං දෙනවා කියලයි මට හිතෙන්නේ.

හදවතින් උතුරා යන දරු සෙනෙහසින් අපිට ආදරය කරන මාමා, රටේම දරු දැරියන්ට ඒ හා සමානව ආදරය කරමින් මාමාගේ සෙනෙහසේ සුවඳ පතුරාලන කොට ඒ දරුවනුත් මහින්ද මාමේ කියනකොට මාමාගේ අතේ සුරතල් වෙනකොට මගේ නෙතටත් සතුටු කඳුළක් එක්වන වාර අනන්තයි මාමේ. රටේ දරුවන්ට එතරම් ළෙන්ගතු රටේ දරුවොත් මෙතරම් ළෙන්ගතු ජනාධිපතිවරයෙක් මගේ ජීවිත කාලයට දැකල තිබුණෙ නෑ. ඒ ගැන මට මාමා ගැන තියෙන්නේ පුදුම ආදරයක්.

අද වෙනකොට මාමා මත් රකුසාගෙන් රට බේරාගන්නත් පටන් අරන්. මතට තිත වැඩපිළිවෙළට ඉකිමනින් තිත තබන්න වැඩි කලක් යන එකක් නෑ කියලා මට හිතෙනවා. වසර තිහක් පැවති කෲර ත්‍රස්තවාදයෙන් වසර කීපයකදී රට බේරාගත්ත මාමාට මත් රකුසාගෙන් රට බේරගන්න එක සුළු දෙයක් කියලයි අපේ ගමේ වැඩිහිටියොත් කියන්නෙ. අනේ මාමේ, අපිට රට බේරල දුන්න වගේ මත් රකුසාගෙනුත් අපිවත්, රටත් බේරල දෙනවා නේද?

මාමාට පුංචි රහසකුත් කියන්න තියනවා. මොකක්ද දන්වද ඒ රහස. මාමා ගැන ලියවුණු පුංචි ගීතයක් මම ටී. වී. එකේ යනකොට පාඩම් කර ගත්තා මම ආසයි මාමේ ඒ සිංදුවට මට සිංදුවක් කියන්න හිතෙන වෙලාවට වගේම කාගෙන් හරි ආරාධනාවක් ලැබුණොත් මම කියන්නේ ඒ ගීතයයි. දවසක් මාමේ මම ඉස්කෝලේ දී මේ ගීතය ගායනා කළා. මම දැක්කා ගුරු මෑණිවරුන්ගේ, ගුරු පියවරුන්ගේ ඇස්වලින් සතුටු කඳුළක් උනනවා. මාමාටත් දැනගන්න මම ඒ සිංදුවත් ලියන්නම්කෝ.

මහින්ද රාජපක්‍ෂ අපේ රජතුමා
පුංචි අපට හෙළ දිවයින බේරල දුන්නා
සතුරන් හට බියක් නොවී

එඩිතරකම සිතේ රැඳී
පුංචි අපට අපේ කියල රටක් තියෙනවා

වීර විකුම් පෑ රජිඳුන් දුටුගැමුණු
ඉතිහාසයේ නම තැබුවා ඒ නිරිඳු//

රන් අකුරින් ඉතිහාසයෙ නම ලියවේ
රාජපක්‍ෂ රජතුමාගෙ නම ලියවේ

මහින්ද රාජපක්‍ෂ අපේ රජතුමා
පුංචි අපට හෙළ දිවයින බේරල දුන්නා
සතුරන් හට බියක් නොවී
එඩිතරකම සිතේ රැඳී
පුංචි අපට අපේ කියල රටක් තියෙනවා

ඉතින් මාමේ මම අදට නවතින්නම්. ඉඩක් ලද විගස මාමට ලියන්නම්. හැබැයි මාමේ මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් රට දිනෙන් දින සංවර්ධනය කරා පියමනින හැටි මම දෑස් දල්වා බලාගෙන සිටිනවා කියල නම් අමතක කරන්න එපා. සුබ අනාගතයක් රැගෙන දෙවැනි වරටත් ජනවරමක් ලැබූ මාමාගේ එළඹෙන සත් වසරේ යහපාලනය තුළින් අපේ මව්බිම සමෘද්ධිමත් රටක් ලෙසින් බබලවන්නට මාමාට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

මාමාට තෙරුවන් සරණයි

මීට
මාමාට කවදත් හිතාදර චන්දන පුතා