සාගරය සම්පතක් කරමින් ආර්ථිකයේ ආශ්චර්ය වෙත ධීවරයා ගෙන ගිය සය වසරක්

සාගරය සම්පතක් කරමින් ආර්ථිකයේ ආශ්චර්ය වෙත ධීවරයා ගෙන ගිය සය වසරක්

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ක්‍රියාදාමය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මේ 85 වැනි පිටුවේ මෙසේ සඳහන් වේ.

දශක 4 ක පමණ කාලයක් මහාද්වීපික තටාකයේ අපේ රටට උරුම ප්‍රදේශය තෝරා ගැනීම සඳහා සිදු වූ පමා වූ ක්‍රියාදාමය එදා මා ධීවර ඇමැතිවරයා ලෙස ආරම්භ කර මා ජනාධිපතිවූ විට නිම කර එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිසි ලෙස භාරදීමට හැකිවිය. එමගින් අපේ අයිතිය පැහැර හැර ඇති ප්‍රදේශය දැන් රට මෙන් 23 ගුණයකි. එහි සියලු සම්පත් ඉදිරියේදී ලැබෙන්නේ අපේ දරුවන්ට බව මම සතුටින් සිහිපත් කරමි. එසේ නමුත් 2005 වන විට අප සතුව පැවතියේ අපට හිමිව තිබූ මුහුදු ප්‍රදේශයෙන්ද 1/3 කි.

ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟම සමස්ත මුහුදු ප්‍රමාණයම භුක්ති විදීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට හැකි වී ඇත. එබැවින් මෙම මුහුදු සම්පත අපතේ නොහැර එහි උපරිම ප්‍රතිඵල නොවලහා ලබාගැනීම සඳහා මහින්ද චින්තනයේ ඉදිරිපත් කළ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කර ඉදිරියට ක්‍රියාවට නංවමි.

ජනාධිපතිතුමා මීට දශකයට පමණ පෙර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී ආරම්භ කරන ලද වැඩ පිළිවෙළ නිසා එදා ධීවර ක්‍ෂේත්‍රයේ විශාල නවෝදයක් ඇතිවිය. එතුමා එදා දියවර ගම්මාන ක්‍රමය, දියවර ණය යෝජනාක්‍රම, ධීවර තාක්ෂණය, ධීවර අධ්‍යාපනය, කෙරෙහි ද අවධානය යොමුකරමින් සුවිසල් මෙහෙවරක් ඉටු කළ බව අතිශයෝක්තියක් නොවේ.

එතුමාට ධීවර කර්මාන්තය ගැන මනා දැනුමක් තිබේ. ධීවර ගැටලු ගැන හොඳින් දනී. එසේම මෙරට ආසියාවේ ආශ්චර්යක් කිරීමේ එතුමාගේ මහින්ද චින්තන සංකල්පයේ ප්‍රධාන තැනක් හිමිවන්නේ ආර්ථික සංවර්ධනයට ධීවර කර්මාන්තයට හා කෘෂි කර්මාන්තයටයි. එතුමා මීට දශකයට පමණ ඉහත ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස මෙහෙයවන ලද සුවිසල් කාර්යභාරය මහින්ද චින්තනයේ සඳහන් පරිදි යථාර්ථයක් කිරීමේ වගකීම ධීවර අමාත්‍යවරයා ලෙස මා හට පවරා තිබෙනවා.

මහින්ද චින්තනය යථාර්ථයක් බවට පත් කරන්නට මේ වනවිටත් මම අමාත්‍යාංශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය හා අනුබද්ධ ආයතනයන්හි පාලනාධිකාරින් හරහා පියවර රැසක් ගෙන තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය යටතේ ආයතන හා දෙපාර්තමේන්තු 6ක් හා ඊට අනුබද්ධ ව්‍යාපෘති කීපයක් පවතී. අමාත්‍යංශය සතුව මේ වන විට ධීවර වරායන් 17 ක් ඉදිකරමින් පවතින වරායන් 02 ක් අලුතින් ඉදිකිරීමට යෝජිත වරායන් 04 ක් නැංගුරම් පොළවල් 40 ක්, මිරිදිය ධීවර තොටුපලවල් 772 කරදිය ධීවර තොටුපලවල් 790 ක් , අයිස් යන්ත්‍රාගාර 75 ක්, ශීතාගාර 20 ක්, යාත්‍රාංගන 29ක්, දැල් ආම්පන්න කර්මාන්ත ශාලා 06ක්, ග්‍රාමීය ධීවර සංවිධාන 1087 ක් හා ලියාපදිංචි මත්ස්‍ය සැකසුම් කර්මාන්ත ශාලා 34 ක්ද, පවතී. මෙම ක්ෂේත්‍රයේ සියල්ලම වඩ වඩාත් පුළුල් කරමින් ධීවර ප්‍රජාව වෙනුවෙන් පහසුකම් වර්ධනය කරමින් ඔවුන්ගේ කාර්යක්‍ෂමතාව හා ඵලදායිතාව වර්ධනය කර අප රටේ ආර්ථික සංවර්ධන කාර්ය භාරයට යෝධ ශක්තියක් ලබාදීමට අප දැනටමත් සැලසුම් කර තිබේ.

අප රටේ ධීවර හා ජලජ සම්පතට පදනම වී ඇත්තේ වර්ෂ 1976 දරන සමුද්‍ර කලාප නීතිය වේ. ඒ අනුව අපට නාවික සැතපුම් 200 ක පළලින් යුත් වර්ග කිලෝ මීටර් 517000 ක ක්‍ෂේත්‍රඵලයකින් යුත් මහා සාගරයේ අනන්‍ය ආර්ථික කලාපයක් හිමිවී පවතී. එමෙන්ම හෙක්ටයාර් 160,000 ක වපසරියකින් යුත් ප්‍රධාන කලපු හා මෝයවල් 45 ක් වෙරළ තීරය පුරා පැතිරී පවතී. ශ්‍රී ලංකාව වටා වෙරළ තීරය කි. මි. 1,700 ක් වන අතර වෙරළාසන්න ධීවර කර්මාන්තයේ යෙදෙන මහද්විපික තටාකය කි. මි. 22 සිට කි. මි. 40 දක්වා විහිදේ. එසේම හෙක්ටයාර් 155,000 ක විශාලත්වයකින් යුත් මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ නිත්‍ය ජලාශ හා වැව්ද හෙක්ටයාර් 100,000 ක සෘතු ජලාශ හෙවත් කාලීන ජලාශ ද, සමඟ හෙක්ටයාර් 303,755 ක මිරිදිය ජලාශ ප්‍රමාණයක් රට පුරාම අප සතුව පවතී.

ධීවර යාත්‍රා සංගණනයට අනුව 2008 වන විට බහුදින යාත්‍රා 3,150 ක්ද, එක්දින යාත්‍රා 600 ක්ද, පිටත එන්ජිම සහිත සම්ප්‍රදායික යාත්‍රා 1,790ක් ද, යාන්ත්‍රික නොවන පාරම්පරික යාත්‍රා 18,420 ක්ද මිරිදිය යාත්‍රා 7,760ක්ද, වන ලෙස ධීවර යාත්‍රා 50,700 ක් ධීවර කර්මාන්තය සතුව පවතී.

දේශීය මත්ස්‍ය නිෂ්පාදනය (කරදිය හා මිරිදිය) 2009 වසරේදී මෙට්‍රික් ටොන් 339,730 ක් වූ අතර එය 2011 වසර අවසාන වන විට වාර්ෂික මාළු නිෂ්පාදනය ලක්‍ෂ 4 ට ආසන්න විය. ඉදිරි වසර කීපය තුළ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරමින් වර්ෂ 2013 වන විට උතුරු නැගෙනහිර වෙරළාසන්න මත්ස්‍ය නිෂ්පාදනය සියයට 43 දක්වාද, ගැඹුරු මුහුද හා අක්වෙරළ නිෂ්පාදනය සියයට 194 කින්ද, ජාත්‍යන්තර මුහුද ජයගනිමින් ද, මිරිදිය ජලජීවි නිෂ්පාදනය සියයට 100 කින්ද වර්ධනය කිරීමට අප සැළසුම් කර තිබේ. ඒ මගින් මිරිදිය ධීවර හා ජලජීවි කර්මාන්තයෙන් දැනට උත්පාදනය කරගෙන ඇති මෙට්‍රික් ටොන් 46,560 ක මාළු නිෂ්පාදනය 2013 වන විට මෙට්‍රික් ටොන් 98,000 දක්වා වැඩි කරමින් සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 686,000 ක් දක්වා වර්ධනය කර ගැනීමට ඉලක්ක කර ඒ සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර තිබේ.

අමාත්‍යාංශය මේ වන විටත් ධීවර කාර්මිකයින් නවීන තාක්‍ෂණික දැනුමෙන් සවිමත් කරන්නට සැලසුම් කර තිබේ. ඒ යටතේ කාර්මිකයින් පුහුණු කරන්නටත්, නාරා ආයතනය හරහා නවීන තාක්‍ෂණය භාවිතා කරමින් මත්ස්‍යයින් වැඩියෙන් ඇති ස්ථාන හඳුනාගෙන අපේ ධීවරයින් එම ප්‍රදේශවලට යොමු කිරීමටත්, එසේම මුහුදු සීමාව ආක්‍රමණය කිරීම නිසා අත්අඩංගුවට පත්වන අපගේ ධීවරයින්ට මුහුදු සීමා හඳුනා ගැනීමේ සංඥා ක්‍රමයක් නවීන තාක්‍ෂණය හරහා හඳුන්වාදීමටත්, නීති විරෝධී වාර්තා නොවන, හා ලියාපදිංචි නොවන IUU - lllegle, Unreported and Unregisterd  යාත්‍රා මාළු ඇල්ලීම වැළැක්වීමට යාත්‍රා සුපරීක්‍ෂණ පද්ධතියක් Vessel Monitoring system ඇති කිරීමටත් සැලසුම් කරමින් සිටී. මේ ආකාරයේ යාත්‍රා සුපරීක්‍ෂණ පද්ධතියක් ලබා ගැනීම සඳහා මීට කළින් සැළසුම් කරතිබූ අතර ඒ සඳහා අති විශාල මුදලක් වැය කිරීමට යෝජිතව තිබුණි.

නමුත් මා අමාත්‍යධූරයට පත්වීමෙන් පසුව යාත්‍රා සුපරීක්‍ෂණ පද්ධතියක්  VMS  ලබාගැනීම සඳහා විවිධ රටවල්වලින් මිල ගණන් හා යෝජනා කැඳවූ අතර මේ වන විට රටවල් කීපයකින් කණ්ඩායම් 22 ක් පමණ යෝජනා හා මිල ගණන් ඉදිරිපත් කර ඇති අතර මීට කළින් ගැනීමට යෝජිතව තිබූ VMS පද්ධතියේ මිල ගණන් වලට වඩා මේවායේ මිල 10 ගුණයකින් පමණ අඩුය.

 මෙහිදී අවධානය යොමු වී ඇත්තේ මුහුදු සීමා නිර්ණය කිරීම, යාත්‍රා සුපරීක්‍ෂණය, මත්ස්‍යයින් වැඩියෙන් සිටින තැන් හඳුනාගැනීම, ආගන්තුක යාත්‍රා හඳුනාගැනීම, අපේ යාත්‍රා අපේ මුහුදු සීමාවෙන් ඉවත්වී වෙනත් රටක මුහුදු සීමා ආක්‍රමණය කරන විට සංඥා මගින් දැන්වීම, ද්විත්ව සන්නිවේදන ක්‍රමය භාවිතා කරමින් සියලුම පහසුකම් සහිත, අවම මිල ගණන් ඇති, ප්‍රමිතිය හා සේවා දායකත්වයෙන් ඉහළ, අපගේ රටට වාසිදායක යාත්‍රා සුපරීක්‍ෂණ පද්ධතියක් මිල දී ගැනීමට ය. එසේම මේ මඟින් සමහර ධීවර යාත්‍රා මගින් කරනු ලබන නීති විරෝධී ක්‍රියාවන් පාලනය කිරීමටත් අවම කිරීමටත් අපේක්‍ෂා කෙරේ.

එසේම මව් යාත්‍රා Mother Vessles  දෙකක් පළමු අදියර යටත් මිලදී ගෙන එකී මව් යාත්‍රා මඟින් ගැඹුරු මුහුදේ මසුන් අල්ලන බහුදින යාත්‍රා සඳහා අවශ්‍ය බෙහෙත්, ඉන්ධන, ආහාර, අයිස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔවුන් වෙතම ගොස් ලබාදී ඔවුන් නෙලන මත්ස්‍ය අස්වැන්නේ ඵලදායිතාවය වර්ධනය කරමින්, ඔවුන් නෙළාගෙන ඇති මසුන් මව් යාත්‍රා මඟින් ගොඩබිමට ගෙන ඒමෙන් නෙළාගන්නා මත්ස්‍ය අස්වැන්න කීප ගුණයකින් වැඩි කරගැනීමටත් කාර්යක්‍ෂම කරවීමටත් සැළසුම් කර තිබේ. මේ අනුව දැනට මව්යාත්‍රා 2 ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර එක් මව් යාත්‍රාවක් දැනටමත් චීනයේ නිෂ්පාදන කටයුතු අවසන් වෙමින් පවතී. අනෙක් මව්යාත්‍රාව මගේ ඉල්ලීම මත සීනෝර් පදනම මඟින් නිෂ්පාදනය කිරීමට මේ වන විටත් සැලසුම් කර තිබේ.

එසේම මිරිදිය ධීවර කර්මාන්තයේ සුවිශාල සංවර්ධනයක් ඇති කිරීම සඳහා අලුතින් මිරිදිය ජලාශ 8000 ක මිරිදිය ජලජීවි වගාව ආරම්භ කිරීමට මෙම වසරේදී සැළසුම් කර තිබේ. මේ මගින් මිරිදිය මත්ස්‍ය අස්වැන්න දෙගුණයක් කිරීමට අපේක්‍ෂිතය.

මම ධීවර අමාත්‍යාංශය 2011 අප්‍රේල් මස භාර ගන්නා විට මැයි මාසයේදී ධීවර සංස්ථාවේ අලෙවි ආදායම රු. මිලියන 68 ක් වූ අතර අලෙවි කළ මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 185 ක් විය. නමුත් මාස 6 ක් තුළ මාළු අලෙවිය ක්‍රමයෙන් වැඩි වී ගොස් මසක මාළු අලෙවිය මෙට්‍රික් ටොන් 370 දක්වා සියයට 100 කින්ද, එහි වටිනාකම, රු. මිලියන 142 ක් දක්වා සියයට 100 කින්ද වැඩිවී තිබෙන බව සතුටින් සඳහන් කළ හැකිය.

2009 වසරේ දී ධීවර සංස්ථාව මාළු මෙට්‍රික් ටොන් 2678 ක් අලෙවි කර රුපියල් මිලියන 795 ක ආදායමක් උපයනු ලැබීය. එය 2010 වන විට සියයට 50 කින් වැඩිකිරීමට මා හට හැකිවිය. එනම් 2010 දෙසැම්බර් 31 වන විට මාළු මෙට්‍රික් ටොන් 3459 ක් අලෙවි කරමින් රුපියල් මිලියන 1196 ක ආදායමක් උපයනු ලැබීය. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කරගනිමින් 2011 සැප්තැම්බර් 31 වන විට මාළු මෙට්‍රික් ටොන් 3506 ක් අලෙවි කරමින් රුපියල් මිලියන 1373 ක් උපයා ගැනීමට ධීවර සංස්ථාව සමත්ව සිටී. ඒ වගේම ලංකා ධීවර සංස්ථාව මෙතෙක් සිදුවෙමින් තිබූ පාඩුව ක්‍රමයෙන් අඩු කරගනිමින් ලාභ ලබන මට්ටමට වර්ධනය වෙමින් තිබේ. එදා දිනකට මාළු ටොන්7 ක් අලෙවි කළ ධීවර සංස්ථාව අද දිනකට මාළු ටොන් 15 - 20 ක් අලෙවි කරති.

මේ ගෙවීගිය මාස 6 ක කාලය තුළ අප ලද ජයග්‍රහණ 2011 දී තවදුරටත් වර්ධනය කරමින් මෙම රාජ්‍ය ආයතන 3 ලාභ ලබන මට්ටමට ගෙන ඒමට සැලසුම් කර තිබේ. එසේම ලංකා ධීවර සංස්ථාවට ධීවර යාත්‍රා 90 ක් මිලදී ගැනීමට අප සැළසුම් කර තිබේ. මේ මගින් ධීවර සංස්ථාව සතු මාළු අස්වැන්න කීප ගුණයකින් වැඩිකිරීමට අපේක්‍ෂා කෙරේ. එමෙන්ම ලංකා ධීවර සංස්ථාවේ අලෙවි සැල් සංඛ්‍යාව 250 දක්වා වැඩි කිරීමේ අපේක්‍ෂාවෙන් ඈත ගම්මානවල, නගරවල සංස්ථා අලෙවිසැල් ආරම්භ කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ.

මේ වන විට සංස්ථා අලෙවි සැල් 99 ක් ආරම්භ කර තිබේ. මේ මඟින් පාරිභෝගික ජනතාවට අඩු මිලට ප්‍රෝටින් සපිරි මාළු ලබාදීමටත්, මාළු පාරිභෝජනය වැඩි කිරීමටත්, මාළු මිල වෙළෙඳපොළ තරගකාරිත්වය තුළින් ලංකා ධීවර සංස්ථාවේ මැදිහත් වීමෙන් පාලනය කර සියයට 50 කින් පමණ අඩු කිරීමටත් අපේක්‍ෂා කෙරේ. ඒ සඳහා රට පුරා පිහිටි සතොස අලෙවිසැල්, ආර්ථික මධ්‍යස්ථාන හා සමූපකාර අලෙවිසැල් තුළ ලංකා ධීවර සංස්ථාවේ මාළු උප අලෙවිසැල් දැමීමෙන් නගරයට මෙන්ම ගමටත් පහසු මිලට ගුණාත්මක බවින් යුත් මාළු සැපයීමට සැලසුම් කර තිබේ. මීට අමතරව ධීවර සංස්ථා ජංගම අලෙවි රථ රට පුරා සංචාරය කිරීමෙන් නගරයට මෙන්ම ඈත ගම්මාන වෙත ද මාළු අඩු මිලට ලබාදීමට සැලසුම් කර තිබේ.

එසේම අප අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචි වී ධීවර කටයුතු වල යෙදෙන ධීවර කාර්මිකයින්ට ධීවර ආම්පන්න කට්ටලයක් සමඟ ඔවුන්ව සවිබල ගැන්වීම උදෙසා ණය ආධාර ලබා දීමට ද සැලසුම් කර තිබේ. මේ යටතේ පසුගියදා යාපන සංචාරයේදී මුලතිව් යාපනය හා කිලිනොච්චි ප්‍රදේශවල අවතැන් ධීවර කාර්මිකයින් 200 කට රු. ලක්‍ෂය බැගින් ලක්‍ෂ200 ක ණය ආධාර පිරිනමනු ලැබීය. මේ වැඩසටහන යටතේ ලංකා බැංකුව මඟින් තවත් ධීවර කාර්මිකයින් පිරිසකට ණය ආධාර ලබාදීමට අපේක්‍ෂිතය. මෙහි පළමු අදියර සඳහා ලක්‍ෂ 1000 ක් වෙන් කර තිබේ.

මීට අමතරව යාපනය, කරෙයිනගර්, මුලතිව්, කිලිනොච්චි, වව්නියා, ප්‍රදේශ වල ධීවර ජනතාවට මේ වනවිට බෝට්ටු, දැල්, බයිසිකල්, මාළු පෙට්ටි, බෝට්ටු එන්ජින්, චාජර් ඇතුළු ධීවර ආම්පන්න කට්ටල බෙදා දී තිබේ.

උතුරු නැඟෙනහිර ධීවර හා ජන ජීවිතය ඉහළ නංවා ධීවර කර්මාන්තයේ සුවිශාල සංවර්ධනයක් ඇති කරලීම සඳහා පළමුව පියවර ගනු ලැබුවේ ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රථම දිස්ත්‍රික් කාර්යාලය යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරමිනි.

2010 ජුනි මස 10 වැනි දා යාපනය දිස්ත්‍රික්කයේ ධීවර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කෙරුණු අතර ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 226 ක් විය. ඒ සමඟ ම උතුරේ ධීවර ජනතාව වෙනුවෙන් රු. ලක්ෂ 180 ක ඔරු, බෝට්ටු, දැල් ආම්පන්න, මාළු පෙට්ටි, බයිසිකල් ඇතුළු ධීවරයින්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද බෙදා දෙනු ලැබීය. එසේම යාපනය ධීවර කාර්මිකයන් 200 දෙනෙකුට රුපියල් ලක්ෂය (100,000/-) බැගින් රුපියල් ලක්‍ෂ 200 ක ණය ආධාර බෙදා දෙනු ලැබීය. ඒ සමඟ ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දමා තිබූ ගුරුනගර් ජැටිය ප්‍රතිසංස්කරණ කටයුතු ද ආරම්භ කරනු ලැබීය.

මීට අමතරව කැනේඩියානු රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ටචධ මඟින් ක්‍රියාත්මක කරන ප්‍රජා සහභාගීත්වයෙන් කළමනාකරණයට ලක් කෙරෙන ධීවර තොටුපළ දියුණු කිරීම නැමැති ව්‍යාපෘතිය මඟින් මේ වන විට උතුරු නැගෙනහිර පළාත්වල තොටුපළ ගණනාවක් සංවර්ධනය කර ඇත. මේ යටතේ මුලතිවු දිස්ත්‍රික්කයේ මයිලකුඩිරිප්පු, කල්ලපාඩු, සීලාවතෙයි තොටුපළවල් සංවර්ධනය කර තිබෙන අතර අංග සම්පූර්ණ දෙමහල් කාර්යාල සංකීර්ණ, ප්‍රජා ශාලා, ධීවර පරීක්‍ෂක කාර්යාල, ධීවර සංවිධාන කාර්යාල ඇතුළු පහසුකම් රැසක් ලබා දී තිබේ. මේ සඳහා වැය කරන ලද මුදල ලක්ෂ 453 කි.

එසේම මන්නාරම දිස්ත්‍රික්කයේ වෙන්කුලායි, විදදාතයිතීව්, පේසාලායි, පල්ලිමුනෙයි, තල්වපාඩු, යන ධීවර තොටුපළවල් සංවර්ධනය කර යටිතල පහසුකම් නිමකර අංග සම්පූර්ණ කර ජන අයිතියට පවරා තිබේ. මේ සඳහා වැය කරන ලද මුදල ලක්ෂ 383 ක් වේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චනේ, පේතාලෙයි, පුනචිමුනායි හා චෙඩ්ඩිපලායම් තොටුපළවල් සංවර්ධනය කර ඇති අතර ඒ ආශි‍්‍රත මාර්ග පද්ධතිය ද සංවර්ධන කර තිබේ.

ඒ සඳහා රුපියල් ලක්ෂ 142 ක් පමණ වැය වී තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ මාලිගයිකාඩු හා සයින්දමරිදු ධීවර තොටුපළවල් රු. ලක්ෂ 103 ක් වැය කරමින් සංවර්ධනය කර තිබේ. රුපියල් ලක්ෂ 240 ක මූල්‍ය ප්‍රතිපාදන යොදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමුද්‍රාගම, එරක්කන්ඩි, ජායිනගර් - කුච්චවේලි හා විජිතපුර ධීවර තොටුපළවල් අංග සම්පූර්ණ ලෙස සංවර්ධනය කර ඇති අතර මහා මාර්ග, ජල පහසුකම් විදුලිය පහසුකම් ශීතාගාර පහසුකම් ඇතුළු ධීවර යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කර තිබේ.

එසේම යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, කල්මුණේ, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය යන ධීවර දිස්ත්‍රික්කවල ධීවර සේවා කටයුතු, කඩිනමින් හා කාර්යක්‍ෂමව ඉටු කර ලීම සඳහා එම දිස්ත්‍රික්කයන් හි පිහිටි ධීවර කාර්යාල වලට මෝටර් සයිකල්, පරිගණක, පි‍්‍රන්ටර්ස් , ස්කෑන් යන්ත්‍ර ඇතුළු නවීන තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර බෙදා දෙනු ලැබීය. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 58 කි.

ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන අරමුදලේ ifad ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන පශ්චාත් සුනාමි වෙරළ පුනරුත්ථාපන හා සම්පත් කළමනාකරණ වැඩසටහනේ රුපියල් ලක්ෂ 940 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ත්‍රිකුණාමලයට නවීන පහසුකම් වලින් සමන්විත දෙමහල් මත්ස්‍ය තොග වෙළඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. ධීවර නියෝජ්‍ය අමාත්‍ය ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතාගේ අධීක්‍ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු කෙරෙන මෙම මත්ස්‍ය තොග වෙළෙඳ මධ්‍යස්ථානය වර්ග අඩි 9100 ක වපසරියකින් යුත් දෙමහල් ගොඩනැඟිල්ලකි.

මෙහි බිම් මහලේ වෙළෙඳ කුටි 62ක්, ශීතාගාර පහසුකම්, ගබඩා පහසුකම්, කාර්යාල පහසුකම්, අපවිත්‍ර ජලය පවිත්‍ර කිරීමේ අංශ, භූගත ජල ටැංකි, අපවිත්‍ර ජලය හා වැහි ජලය බැහැර කිරීමේ මාර්ග ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ. එසේම ඉහළ මාලයේ කාර්යාල කාමර 34 ක් ද ආපන ශාලාවක්ද අඩංගු වේ. මෙම තොග වෙළඳ මධ්‍යස්ථානය නිසා උතුරු නැගෙනහිර ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්නට හොඳ මිලක් ලැබීම නිසා උතුරු නැගෙනහිර ධීවර ජනජීවිතය ඉහළ නැංවෙනු නොඅනුමානය.

මුදලාලිලාගේ ග්‍රහණයට ලක්වී අසරණ ව සිටි බත්තලංගුණ්ඩුව ධීවර ගම්මානය ආලෝකමත් කරමින් රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා දැවැන්ත විදුලි ජනක යන්ත්‍රයක් (ජෙනරේටරයක්) ලබාදීමට අප හැකිවිය. මේ නිසා එහි ජීවත් වන පවුල් 700 කට පමණ ජනදිවිය ආලෝකමත් කරමින් විදුලි ආලෝකය ලැබුණි. මේ නිසා දැන් එහි ධීවර කාර්මිකයන්ට විදුලිය සඳහා මුදලාලිට කුලී ගෙවිය යුතු නැත. සිය මත්ස්‍ය අස්වැන්න කුණු කොල්ලයට ලබා දිය යුතු නැත.

මුදලාලි ඉදිරියේ දණින්වැටිය යුතු නැත. අද ඔවුන්ට දෙපයින් නැගී සිිටින්නට සිය මත්ස්‍ය අස්වැන්නට හොඳ මිලක් ලබා ගැනීමට කාලය උදා වී තිබේ. ඔවුන්ගේ මත්ස්‍ය අස්වැන්නට හොඳ වටිනාකමක් ලබා දී එය මිළදී ගැනීමට ලංකා ධීවර සංස්ථාව සුදානමින් සිටිති. මේ නිසා ධීවර කර්මාන්තයට හොඳ මිලක් ලැබෙන අතර අතරමැදියන්ගෙන් තොරව සෘජු ලෙසම පාරිභෝගිකයන්ට මසුන් අලෙවි කර ගැනීමට හැකිවීම නිසා මාළු මිල ද බොහෝ සේ අඩු කිරීමට හැකි වී තිබේ.

අප මීට අමතරව රුපියල් ලක්‍ෂ 2 1/2 ක් පමණ වටිනා කරවල නිෂ්පාදන යන්ත්‍රයක් රු. ලක්ෂයක් පමණ වටිනා හිරු තාපයෙන් කරවල වියළන යන්ත්‍රයක්, රුපියල් 45,000/- ක් වටිනා පොලිතීන් සීලර් 15 ක් රු. ලක්ෂ 12 ක් වටිනා තොටුපළ විදුලි පහන් කණු 04 ක්, ස්වයං රැකියා ඇරඹීමට මූලික ප්‍රාග්ධනය ලෙස රු. ලක්ෂ 3 ක් මෙහිදී ධීවර ජනතාව වෙත ලබා දෙනු ලැබීය.

එසේම ධීවර පවුල් නගා සිටුවීම සඳහා ජාතික ධීවර මහා සම්මේලනයක් පිහිටුවා ඇති අතර ඒ යටතේ ප්‍රායෝගික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. එමගින් ධීවර කාර්මිකයින් සඳහා අවමය රු.10,000/-ක විශ්‍රාම වැටුපක් මෙන්ම රක්‍ෂණයක් ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබේ. එසේම මේ වන විට දිවයින පුරා ධීවර දිස්ත්‍රික්ක සියල්ලේම ජාතික ධීවර මහා සම්මේලනයේ දිස්ත්‍රික් සංවිධාන පිහිටුවා තිබේ. එසේම මේ වන විට අපගේ ධීවර සමිති සම්මේලනයට සාමාජිකයින් 82,000 ක් පමණ බැඳී තිබීම අපගේ ධීවරයාගේ ශුභ අනාගතයක පෙරනිමිත්තක් බව සඳහන් කළ යුතුය.

මෙම ජාතික ධීවර මහා සම්මේලනය මගින් ධීවරයා මෙන්ම ඔහුගේ පවුලත් සමෘද්ධිමත් කිරීම අපගේ අරමුණයි. එසේම ධීවරයාගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබාදීමටත් පරිභෝගික ජනතාවට පහසු මිලට මසුන් ලබාදීම සඳහාත්, මත්ස්‍ය ව්‍යාපාරිකයින්ට හොඳ වෙළෙඳ පොලක් ලබාදීම සඳහාත් පෑලියගොඩ නගරයේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ අතිනවීන මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය මගින් මේ වන විට ඉටු කරන මෙහෙවර අති විශාලය. මෙය ආරම්භ වීමත් සමඟ මාළු වෙළෙඳ පොළේ ඇති වන තරගකාරිත්වය හරහා මාළු මිල අඩු කිරීමටත් ගුණාත්මක බවින් යුත් අලුත් මාළු ජනතාවට ලබාදීමටත් හැකිවී ඇත.

මේ අතර උතුරු නැගෙනහිර පළාත්වල ධීවර ප්‍රජාව සඳහා නවීන යාත්‍රා ලබාදීම, එන්ජින් ලබා දීම, අබලන් වූ යාත්‍රා අළුත්වැඩියා කිරීම, ධීවර වරායන්, නැංගුරම්පොළවල, තොටුපළවල්, වල යටිතල පහසුකම් සංවර්ධනය, ධීවරයින්ට දියවර සවිය හා දියවර දිරිය යටතේ කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා ඉතාමත් අඩු පොළියට ණය පහසුකම් ලබා දීම, මෙම ණය සඳහා වන පොළියෙන් සියයට 4 ක් අමාත්‍යාංශය මඟින් ගෙවීම තුළින් ධීවරයාට සුවිශාල සහනයක් හා දිරියක් ලබාදී ඇත.

එසේම ධීවර ප්‍රජාව නවීන තාක්ෂණය පිළිබඳව මෙන්ම මත්ස්‍ය අස්වැන්න වැඩි කර ගැනීම ආශි‍්‍රතව පුහුණු කිරීම සඳහා ද අමාත්‍යාංශය සැළසුම් කර තිබේ. මේ සඳහා ලක්‍ෂ 3000කට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂිතය.

උතුරු නැඟෙනහිර ධීවර සංවර්ධනය උදෙසා අමාත්‍යාංශය වැය කරන ලද මූල්‍ය ප්‍රතිපාදන වලට අමතරව අතිගරු ජනාධිපතිතුමා හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන්ද ප්‍රතිපාදන ලබාදී තිබේ.

මේ සා සුවිසල් සංවර්ධනයක් උතුරු නැගෙනහිර පළාතට ලබාදීම තුළින් ධීවර ජන ජීවිතය සවිමත් කරමින් මත්ස්‍ය නිෂ්පාදනය දෙගුණයක් , තෙගුණයක් කිරීම අපගේ අපේක්ෂාව වේ.

මේ අනුව මහින්ද චින්තන ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් මහා සාගරය සම්පතක් කරගැනීමට අප දැනටමත් සැළසුම් කර තිබේ. එවිට ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරන විට අපේ ධීවර කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයේ ආශ්චර්ය වනු ඇත.