වැඩකරන පන්තියේ හිතවතා

වැඩකරන පන්තියේ හිතවතා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සන්ධාන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඒ මහතා මෙරට වැඩකරන ජනතාවට ඉටුකළ මෙහෙය හා වෘත්තීය සමිති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ගත් පියවර මේ ලිපියෙන් අවධානය යොමු කරනු ලැබේ.

මහින්ද රාජපක්ෂ මහතා වරෙක තම අයිතිය ඉල්ලා වීදිවලට බැස උද්ඝෝෂණය කරන කම්කරු පන්තියට අභීත නායකත්වය සපයන්නෙකි. තවත් වරෙක මිනිස් අයිතිය ඉල්ලා වැලපෙන ජනතාවගේ මානව හිමිකම් සුරකින දෙස් විදෙස්වල අධිකරණවල පෙනී සිටින නීති විශාරදයෙකි.

ඒ මහතා මෙරට මිලියන 7ක් පමණ වන වැඩකරන ජනතාව වෙනුවෙන් ගත් සුවිශේෂි පියවර ලෙස කවුරුත් සලකන්නේ එදා කම්කරු ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී කම්කරු ප්‍රඥප්තිය ගෙනඒමට දැරූ උත්සාහයයි.

අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා වසර 2005 දී ජනාධිපති ධුරයට පත් වූ විගස සිදු කළ මූලික කාර්යයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලය තුළ වෘත්තීය සමිති සමඟ ගනුදෙනු කිරීම පිණිස වෘත්තීය සමිති අංශයක් ස්ථාපනය කොට ඒ පිළිබඳ ක්‍රිියා කිරීම සඳහා ජනාධිපති වෘත්තීය සමිති කටයුතු ගැන අධ්‍යක්ෂ ජනරාල් ධුරයක් ද ඇති කෙළේය.

ඒ රාජපක්ෂ මහතා කලක සිට දුටු අඩුපාඩුවක් සපුරාලීමටය. මේ අදහස ඒ මහතා සතු වූයේ එදා රටේ කම්කරු නායකයින් සමඟ උරෙන් උර ගැටී සිදුකළ කම්කරු සටන් නිසා වෙන්න ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අලවි මව්ලානා මහතා පෙන්වා දෙයි.

වසර 1970 දී තරුණ මන්ත්‍රීවරයකු ලෙස පත් වී ජනාධිපතිධුරය දක්වාම පැමිණි ඒ මහතා නොමැති කම්කරු සටනක් මේ රටේ නොවූ බව ඒ මහතා වැඩිදුරටත් කීවේ ය.

පෞද්ගලිකකරණයට එරෙහි වෙමින් ඊට තිත තැබීම රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ ‘මහින්ද චින්තන’ පුනර්ජීවන වැඩපිළිවෙළින් මේ රටේ තම රැකියාවන් පිළිබඳ අස්ථාවර බවකින් සිටි සේවකයින්ට යම් අස්වැසිල්ලක් ලැබිණි.

එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ රාජ්‍ය දේපොළ තම හිතවතුන්ට කුණු කොල්ලයට විකිණීම හා එක් එක් අයට විශාල කොමිස් මුදල් ලබාගැනීම පිණිස විදේශීය සමාගම්වලට විකිණීම පසුකලෙක චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ රජයේ කාලයේ ද සිදුවුණි. එය ‘මහින්ද චින්තනයෙන්’ අහෝසිවීම මේ රටේ වැඩ කරන පන්තිය ලැබූ ජයග්‍රහණයකි.

එමෙන් ම වසර 2001 හා 2002 දී සියලු සේවක වැටුප් ගෙවීම හා සේවකයින් බඳවා ගැනීම චක්‍රලේඛයක් මගින් එ. ජා. ප. රජය අහෝසි කළ ආකාරය ඔබ සැමට සිහි කැඳවීමට කැමති අතර තරුණ තරුණියන්ට රැකියා ලබාදීම ආරම්භ කිරීම හා රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩිකිරීමට පියවර ගැනීම ද තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට පියවර ගැනීම ද අගය කළ යුත්තකි.

අන්තර්ජාතික කම්කරු සම්මේලනයේ බොහෝ නීතිරීති ක්‍රියාත්මක කරමින් මේ රටට ගෞරවණීය තත්ත්වයක් ලබා දීම සිදු වූ අතර පෞද්ගලික අංශයේ පැවැති රුපියල් 3500 යේ අවම වැටුප පඩිපාලක සභා ක්‍රම වේදයක් හඳුන්වා දෙමින් වැඩිකිරීමට පියවර ගැනීම හා හදිසි නීතිය ඉවත් කිරීම ප්‍රශංසනීය කරුණු බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා දන්වා සිටියි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ආරම්භ කර තිබෙන තවත් කාර්යක් වනුයේ වෘත්තීය සමිති හා රජය අතර මාස තුනකට වරක් වත් පැවැත්වෙන සංවාදය. එමෙන් ම සෑම වසරකට වරක් අයවැය ලේඛනය සකස් කිරීමට පෙර රජයට සම්බන්ධ හා විපක්ෂයේ, ස්වාධීන වෘත්තීය සමිති නියෝජිතයින් කැඳවා අදහස් විමසීම. ඒ ලේඛනයට වැඩ කරන පන්තියේ අදහස් ලබා ගැනීමක් ලෙස ද කම්කරු පන්තියේ සැබෑ සුව දුක් විමසීමක් වශයෙන් ද හැඳින්විය හැකිය.

විශ්‍රාම යෑමේ වයස 60 දක්වා ඉහළ නැංවීම, පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දස දහස කිරීම හා රාජ්‍ය සංස්ථා හා එවැනි ආයතනවල මුදල් නිකරුණේ නාස්තිවීම වැළැක්වීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ද වෘත්තීය සමිති නායකයින් මේ අනභිභවනීය අවස්ථාවේ ඉල්ලා සිටිති.

හෙද ව්‍යවස්ථාව සකස් කිරීම හා හෙද කවුන්සිලයක් ඇති කිරීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන අතර ඒ මහතාට තව තවත් යහපත් උපදෙස් ලැබෙනවානම් තවත් විපුල ප්‍රයෝජනවත් කටයුතු කිරීමට අවස්ථාව උදාවේ යැයි එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ විශ්වාසය පළ කළහ.

වසර 1980 දී ඇති වූ මහ වැඩ වර්ජනයේ දී කම්කරු නායකයින් සමඟ එක්ව වැඩකරන පන්තියේ අයිතීන් වෙනුවෙන් සුවිශේෂි කාර්ය භාර්යක් ඉටුකළ රාජපක්ෂ මහතා ඔරුවෙල වානේ සංස්ථාව හා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බේරා ගැනීමට ද කටයුතු කළ අතර පසුව වානේ සංස්ථාවේ සේවකයින්ට සැළකිය යුතු වන්දියක් ලබාදිය යුතු යැයි හඬක් නගා එක් සේවකයකුට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබාදීමට කටයුතු කළ ආකාරය ඒ ගැන හොඳින් කරුණු දන්නා අය සාක්ෂි දරනවා ඇත.

රාජ්‍ය බැංකු, ජලය, විදුලිය, රජයේ වැදගත් ආයතන පුද්ගලිකකරණයට සුදානම් කිරීමට සකස් කළ පර්ක් පනත අහෝසි කළ අතර ලුණු සංස්ථා පුද්ගලිකකරණය වීමෙන් නතර කළ හැටි එහි කළගුණ දත් සේවකයින් හා මේ ආයතනවලින් සේවා ලබන කම්කරු පන්තියේ ජනතාව සිහිපත් කරති.

විපක්ෂයේ උදවිය අද කම්කරු පන්තිය පිළිබඳ කිඹුල් කඳුළු හෙළුවත් මහින්ද රාජපක්ෂ නාමය කිසිදා මේ රටේ පැවැති කම්කරු සටන්වලින් මකා දමන්න බැරි බව ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා අවධාරණය කර සිටියි.

කාර්මික ආරවුල් පැවැතීම ආයතනයක පැවැතීම එහි ඉදිරියට යෑම බාධාවක් වගේ ම රටක සංවර්ධනයට ද අහිතකර බලපෑම් එල්ල වේ. ඒ අනුව සියලු අමාත්‍යාංශවලට සහකාර ලේකම්වරයකු කම්කරු සබඳතා නිලධාරියකු ලෙස පත්කොට ඒ අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතනවල වෘත්තීය සමිති හා පාලක පන්තිය අතර සුහදත්වය ඇතිකිරීම පිණිස සම්බන්ධීකරණ කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් දියත් කොට තිබේ.

මේ තනතුරු සඳහා වෘත්තීය සමිති නායකයින් පත් කළ බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් හේමසිරි ජයලත් මහතා පවසයි. මේ රටේ කිසිදු රජයක්, නායකයෙක් පිළිනොගත් කාගේත් අවධානයට ලක් නොවූ පදික වෙළෙඳුන්, නාටාමිවරු, වඩුකාර්මිකයින්, ඇඳුම් මසන්නන්, ත්‍රිරෝද රථ රියැදුරන්, ආහාර නිෂ්පාදකයින් ඇතුළු ස්වයං රැකියාවල නිරත වූ පිරිස ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය ලෙස ඒකරාශිකොට එය රජය පිළිගත් සංවිධානයක් බවට පත්කොට ඒ පීඩිත ජන කොටසම අරලිය ගහ මැදුරට කැඳවා භෝජන සංග්‍රහයක් ලබා දී ඔවුන්ගේ ගැටලු විමසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතා පෙන්වා දෙයි.

වීදියේ ජීවන උපාය සලසාගෙන ජීවත් වූ අපට සමාජයේ ඉහළට යෑමට මග පෙන්වූ මේ සංවේදි නායකයාට එරෙහිව ක්‍රියාත්මක වන දෙස් විදෙස් බලවේගවලට විරෝධය පෑමට ඕනෑම අවස්ථාවක වීදි බසින්න සූදානම් යැයි හෙතෙම පැවසුවේය.

පෞද්ගලික අංශයේ සේවකයින් මුහුණ පෑ තවත් ගැටලුවක් වූයේ උපයන විට බදු ගෙවීමය. එහි සීමාව රුපියල් ලක්ෂ තුනේ සිට හය දක්වා සීමාව ඉහළ දැමීම මේ රටේ ලක්ෂ සංඛ්‍යාත සේවකයින්ට සෙතක් සැලසී තිබේ.

රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට මේ අවස්ථාවේ දී සමානව සැලකීමට කටයුතු කිරීම ගැන ආහාර, බීම දුම්කොළ, කර්මාන්ත සංගමයේ හා සේවක බදු සහන සංගමයේ සභාපති කේ. ඩී. ජේ. ක්‍රිස්ටෝපර් මහතා පැවසීය.

වසර 2001 හා 2002 කාලයේ පැවැති එ.ජා.ප. රජය ක්‍රියාත්මක කළ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ නිසා රාජ්‍ය අංශයේ සේවකයින් හත් ලක්ෂ පනස් දහසේ සිට ලක්ෂ පහ දක්වා අඩු කිරීමේ ද්‍රෝහි ක්‍රියාව හකුලා දමා මේ වන විට සේවකයින් දොළොස් දහස දක්වා වැඩිකර තිබේ. රාජ්‍ය අංශයේ අවම වැටුප් රුපියල් හත් දහස් නවසියේ සිට එකොළොස් දහස් හත්සිය තිහ දක්වා වැඩිකිරීමද එය ඛාදනය නොවන පරිදි වසරින් ලබාදීමේ දීමනාව රුපියල් පන්දහස් අටසීය පනහ දක්වා ලබා දී ඇත.

එමෙන් ම ජාතික රක්ෂණ භාර අරමුදල පිහිටුවා රාජ්‍ය අංශයේ සේවකයින්ගේ නැතිවී ගිය අග්‍රහාර රක්ෂණය ලබා දීම. දින 84 ප්‍රසූත නිවාඩුව වසරක් දක්වා දීර්ඝ කිරීම මෙහි දී සිහිපත් කළ යුතු බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්. එම්. පියදාස මහතා පැවසීය.

රටේ ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් දහසේ සිට අමෙරිකානු ඩොලර් දෙදහස් හාරසිය දක්වා වැඩිකොට සෑම ප්‍රදේශයකම මංමාවත්, ජලය, විදුලිය ඇතුළු යටිතල පහසුකම්වල සැලකිය යුතු වර්ධනයක් ලබාදීම කාගේත් අවධානයට ලක්විය යුතු කරුණකි. එමෙන් ම රාජ්‍ය අංශයේ තිබී විකුණා දැමූ රක්ෂණය, ගෑස් සමාගම, එයාර් ලංකා ආයතනය යළි රජයට ගැනීම අගය කළ යුත්තකි.

මේ රටේ කෘෂි ක්ෂේත්‍රයේ දියුණුව පතා පොහොර සහනාධාරය ලබාදීම, එ.ජා.ප. ය කැපීමට සූදානම් කළ සමෘද්ධි සහනාධාරය ලබාදීම තිස් අවුරුදු භයානක යුද්ධයක පැටලී සිටි තවත් නායකයකුට කළ හැකි දෙයක්දැයි එදා මේ රටේ හා වර්තමානයේ බටහිර රටවල කප්පාදු කරමින් තිබෙන ජනතා අයිතීන් පිළිබඳ කල්පනා කිරීමේ දී කාගේත් දැඩි අවධානයට ලක්විය යුතු කරුණකි.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සමස්ත ශ්‍රී ලාංකික වැඩකරන ජනතාවට උතුරු, නැඟෙනහිර, බටහිර, දකුණ යන ඕනෑම පළාතක ජීවිත ආරක්ෂාව ඇතිව යුද බියෙන් තොරව නිදහසේ ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීම පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සියලුම වැඩකරන ජනතාවගේ සදාකල්හිම මතකයේ රැඳිය යුතු බව ජාතික වැඩකරන ජනතා මධ්‍යස්ථානයේ කැඳවුම්කරු පියසිරි විජේනායක මහතා අවධාරණය කරයි.

වතුකරයේ සංචාරය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වතුකම්කරුවන්ගේ ගැටලු පෞද්ගලිකවම නිරික්ෂණය කළේය.

ඔවුන්ගේ නිවාස, වැටුප, විදුලිය, සනීපාරක්ෂක ඇතුළු යටිතල පහසුකම් වගේ ම මත්පැන් බීමට හා පාන්පිටි ආහාරයට ගැනීම පිළිබඳ දැඩි අවධානය යොමු කළ ජනාධිපතිවරයා, වතු කම්කරුවන්ට යටිතල පහසුකම් ඇතිකොට ජීවන තත්ත්වය උසස් කිරීමට ගත් උත්සහය ඉතා ගෞරවයෙන් සිහිපත් කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ පරිපාලන ලේකම් වි. ජිමානන්ද රාජා මහතා පැවසීය.

වැඩකරන ජනතාවගේ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳ මේ ආකාරයට තම අවධානය යොමු කළ තවත් නායකයකු ගැන අප අසා නැත. එවැනි ජන නායකයකුගේ සත්වන පදවි ප්‍රාප්තියට මෙසේ වැඩකරන ජනතාවගේ ආචාරය පුදකර සිටිමු.