මා දුටු ජනපති මහින්ද

මා දුටු ජනපති මහින්ද

1964 පාර්ලිමේන්තු මහ මැතිවරණ සමය උදා විය. බෙලිඅත්ත නම් දකුණු පළාතේ ඉතා දුෂ්කර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් වූ අපේක්‍ෂකයා වූයේ ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමාය. ඩී. ඒ. රාජපක්‍ෂයන්ගේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා නව යොවුන් තරුණයකු ද එවර හා හා පුරා දේශපාලන ක්‍ෂේත්‍රයට පිවිසියේය. ඔහු නමින් මහින්ද රාජපක්‍ෂ විය. තම පියාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගෙන් ගෙට යමින් ජනතාව දැනුවත් කළ මේ අසහාය තරුණයා දේශපාලනය, ජනතා දුක්කම්කටොලු පිළිබඳ එදා නිසි අවබෝධයක් ලබා ගත්තාට කිසිදු සැකයක් නොවූයේ ඉතා තීක්‍ෂණ ලෙස හා ඉවසිලිවන්තව ජනතා ප්‍රශ්න හමුවේ පිළිතුරු සැපයූ අයුරිනි.

එදා එසේ දේශපාලනය ආරම්භ කළ මේ තරුණයාට 1970 මහ මැතිවරණයේදී තම පියාණන් දීර්ඝ කාලයක් නියෝජනය කළ බෙලිඅත්ත අසුනට තරග කිරීමේ අවස්ථාව උදා වන්නේය. ඒ වන විටත් හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාම මේ නව යොවුන් තරුණයා පිළිබඳ පෙර මග සළකුණු පැතිර ගොස් තිබූ නිසාත් ඔහු තුළින් විද්‍යාමාන වූ සැබෑම ජනහිතකාමී බවත් නිසාම ඉතා විශිෂ්ඨ ජයග්‍රහණයක් මැතිවරණයෙන් ලබා එම පාර්ලිමේන්තුවේ ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසින් දිවුරුම් දුන්නේය.

එදා බෙලිඅත්ත සංවර්ධනයේ නියමුවා ලෙස ගමන් ඇරඹූ මේ නව යොවුන් මන්ත්‍රීවරයා, 1977 පැවැති මහ මැතිවරණයෙන් පරාජයට පත් වුවත් තම ජනතාව සහ ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න හමුවේ නොබියව පෙරමුණ ගෙන ක්‍රියාකිරීම් හමුවේ යළිත් 1989 මැතිවරණයෙන් ජය ලබා පාර්ලිමේන්තුවට පිවිසියේය.

එදා විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේදී ඔහු කළ හරඹයන් හමුවේ මහින්ද රාජපක්‍ෂ නාමය සමස්ත ශ්‍රී ලාංකිකයන් හමුවේම අතිශය ජනපි‍්‍රයත්වයට පත් වූවේය.

88, 89 රට පුරා පැතිරී ගිය භීෂණකාරී වාතාවරණය හමුවේ තරුණ තරුණියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙරට ආ ඔහු අවසානයේ අතුරුදන් වූවන්ගේ මවුපිය සංවිධානයක් පිහිටුවාගෙන සමස්ත ශ්‍රී ලාංකික මවු පියවරුන්ගේ එකම ගැලවුම්කරුවා බවට පත්ව ඔවුන්ගේ කඳුළු රැගෙන ජිනීවාහි මානව හිමිකම් කොමිසමට කරුණු ගෙන ගියේ තමා කරා පැමිණෙමින් තිබූ මරණීය තර්ජනය පවා නොතකමිනි.

පාද යාත්‍රා, ජනඝෝෂා, මිනිස් දම්වැල් යන විවිධ වැඩපිළිවෙළ සංවිධානය කරමින් එවක පැවැති එජාප රජයේ තාඩන පීඩනවලින් රටවැසියා මුදා ගැනීමේ ඒකායන බලාපොරොත්තුව පෙරදැරි කරගෙන කටයුතු කළ මෙතුමා, 1994 පැවැති මහ මැතිවරණයෙන් නැවත විශිෂ්ඨ ජනතා වරමක් ලැබ පාර්ලිමේන්තුවට යළිත් තෝරා පත්වන්නේ එවක රජයේ කම්කරු හා වෘත්තීය පුහුණූ අමාත්‍ය තනතුර ද සමඟිනි.

නොයෙකුත් කෙනෙහිළිකම් මධ්‍යයේත් තමන්ගේ ඇමැති තනතුර තුළින් ජනතාවට ලබාදිය හැකි උපරිම සේවාව සැලසීමට මෙතුමා ක්‍රියා කළ අතර මෙරට සමස්ත වැඩ කරන ජනතාවගේ උන්නතිය උදෙසා කම්කරු ප්‍රඥප්තිය සකස් කළ ද එදා සිට ඉහළ නායකයන්ගේ බලපෑම් හමුවේ එය හමස් පෙට්ටියට ගියේ රටේ ජනතාවගේ බලාපොරොත්තු කඩකරමිනි. අවසානයේ කම්කරු ඇමැති පදවිය ද මෙතුමාට අහිමි වන්නේ ධීවර ඇමැති ලෙස පත්වීම් ලබමිනි. ඇමැතිකම කුමක් වුවත් ජනතාවට සේවය කිරීමට අවශ්‍ය නම් එය කළ හැකි බව පෙන්වමින් එතුමා ධීවර හා ජලජ සම්පත් ඇමැතිවරයා ලෙස මෙතෙක් කිසිම කලෙක ආලෝකයක් නොදුටු ධීවර ප්‍රජාව වෙනුවෙන් ඉහළම සේවා සපයන්නට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කටයුතු කළේය.

2004 මහ මැතිවරණයෙන් පසු මෙතුමගේ ගමන් මග තවත් එක් සන්ධිස්ථානයකට පිවිසියේ ය. ඒ එවක රජයේ අග්‍රාමාත්‍ය තනතුරින් මෙතුමා පිදුම් ලැබීමය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, විපක්‍ෂ නායකවරයකු සහ ඇමැතිවරයකු ලෙස පාර්ලිමේන්තුවේ සහ රටේ ගමන් මග දෙස පැහැදිලි අවබෝධයකින් සිටි මෙතුමාට අග්‍රාමාත්‍ය තනතුරද තවත් එක් තනතුරක් වූවා පමණක් මිස එය ඔහුට මහා බරක් නොවීය.

අගමැතිවරයා ලෙස ද මෙතෙක් කලක් තමා කරගෙන ආ ජනතා හිතවාදී වැඩසටහන තවත් පුළුල් කරමින්ද පාර්ලිමේන්තුවේ කටයුතු ද ඉතා සූක්‍ෂ්ම ලෙස ඉටුකරමින්ද මෙරට ජනතාවගේ ආකර්ෂණය තව තවත් තීව්‍ර කර ගැනීමට මෙතුමා සමත්කම් පාන්නේය. නිරන්තරයෙන්ම ජනතාව අතර සිටි නිසා ජනතා ආකර්ෂනය ද මෙතුමා කරා නිරායාසයෙන්ම පැමිණිනි.

මහා සංඝයා වහන්සේට අපිරිමිත ගෞරවයක් දැක් වූ රාජ්‍ය නායකයා...

ශ්‍රී ලාංකීය දේශපාලනයේද මහින්ද රාජපක්‍ෂ නම් දේශපාලනඥයාගේ ද තීරණාත්මක සන්ධිස්ථානය උදාවන්නේ මේ මොහොතේදීය. ඒ 2005 ජනාධිපතිවරණය පැමිණීමයි. මේ සඳහා ශ්‍රීලනිප ප්‍රමුඛ එජනි සංධානයේ අපේක්‍ෂකයා ලෙස නොයෙක් කැපිලි කෙටිලි මධ්‍යයේ මහින්ද රාජපක්‍ෂ නම යෝජනා වන්නේය. ඒත් සමඟම රට පුරා මහත් උද්‍යෝගයක් උනන්දුවක් බලාපොරොත්තුවක් ඇතිවන්නේ මෙතෙක් රට ගමන් කළ මාවත සැබෑ දේශ හිතෛෂී නායකයකු පැමිණීමෙන් වෙනත් මඟකට පැනගොස් සැබෑ ජනහිතකාමී මාවතට යොමු කිරීමට ජනතාවට අවස්ථාවක් උදාව ඇති බැවිනි. විශේෂයෙන්ම 2005 ජනාධිපතිවරණය රටට ඉතා තීරණාත්මක ජනාධිපතිවරණයක් විය. ඒ දශක තුනක් පුරා රට වෙලාගෙන පැවැති වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මිලේච්ඡ ත්‍රස්තවාදය එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබූ හෙයිනි.

වේලුපිල්ලේ ප්‍රභාකරන්ට රටේ පළාත් දෙකක් හොර ඔප්පුවකින් ලියාදී ඔවුන්ගේ මිලේච්ඡත්වය සමස්ත රට පුරාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව සකසා තිබූ මොහොතේ තවදුරටත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යනවාද? එසේත් නොමැතිනම් දෙකට කැඩුණු රටක් ලෙස උ/නැ කොටස දෙමළ ත්‍රස්තවාදීන්ට බාර දෙනවාද යන අවසන් තීරණාත්මක මොහොත උදාව තිබූ නිසා මේ 2005 ජනාධිපතිවරණය රටට ඉතා වැදගත් විය.

දේශපේ‍්‍රමී සහ දේශද්‍රෝහී පිල් දෙකක් අතර එවර ජනාධිපතිවරණය පැවැති අතර අවසානයේ දේශපේ‍්‍රමී පිල නියෝජනය කළ මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති ලෙස විශාල ජනතා වරමක් ලබා පත්වූයේය.

මේ මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දුන් එකම පොරොන්දුව වූයේ රට නිදහස් කරගෙන ඒකීය ශ්‍රී ලංකාවක් සහ නිදහස් රටක් බිහිකරන බවයි. ජනතාවට අවශ්‍ය වූයේද නිදහස හා ස්වෛරීත්වයයි. අවසානයේ ජනතාව ජය ගත්තේය. රට ජය ගත්තේය. සතුරාගෙන් රට මුදාගැනීමට තරම් කොන්දක් තිබූ නායකයෙක් රට බාරගත්තේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා රට බාරගත් සැණින් රට බේරාගැනීමේ තීරණාත්මක හා අතිශ බැරෑරුම් කර්තව්‍යයට අත තබන්නේ සමස්ත රටවැසියාට තමා දුන් පොරොන්දුව එලෙසම ඉටුකළ යුතු නිසා මෙන්ම රටට ජාතියට, ආගමට තමාගෙන් ඉටුවිය යුතු සේවය නොපිරිහෙළා ඉටුකිරීමේ වගකීමද ඉටුකිරීම තම යුතුකම කොට ගනිමිනි.

මාවිල්ආරුවෙන් ඇරැඹි මානුෂීය මෙහෙයුම වෙල්ලමුල්ලිවයික්කාල්වලින් අවසන් වෙඩි උණ්ඩය පිටවෙද්දී ශ්‍රී ලංකාව දසක තුනක කුරිරු යුද්ධයෙන් විඳි පීඩාවන් සදහටම අවසන් කරන්නේය.

එදා නිවසින් එළියට බට පුද්ගලයෙක් යළි තම නිවසට පැමිණෙන තෙක් කිසිවකුටත් ඔහු ගැන බලාපොරොත්තුවක් තබන්නට නොහැකි විය. ඒ කොයි මොහොතේ කොතැනක කුමන ආකාරයෙන් බෝම්බ පිපිරීමක්, වෙඩිතැබීමක් සිදුවී ඔහුගේ ජීවිතය විනාශ විය හැකි දැයි නොදනිමිනි. කොටි ත්‍රස්ත ක්‍රියා හමුවේ භීතියට හා අසහනයට පත් නොවූ කිසිවෙක් රට තුළ ජීවත් නොවූ බව සැබෑවකි. එම සියලු ජනතාවගේ සියලු බලාපොරොත්තු මල්ඵල ගන්වමින් ජාති මාමක දේශමාමක සියලු බලවේග එක්කර ගනිමින් සහ වීරෝදාර රණවිරුවන්ට නිවැරැදි නායකත්වය හා අවශ්‍ය පහසුකම් ලබාදෙමින් සමස්ත ජාතියටම සැනසුම් සුසුමක් හෙළීමට අවස්ථාව උදාකර දීමට මේ අද්විතීය නායකයාට හැකි විය.

මේ මෙහෙයුම් කාලයේදී ත්‍රස්තවාදීන් පෝෂණය කළ බෙදුම්වාදී බලවේග ජාතිකවත් විදේශිකවත් සිට එල්ල කළ පීඩනය ද සුළුපටු නොවීය. අද යුද්ධය නිමාවී වසර ගණනාවක් ගතව ඇතත් තවමත් මේ බලවේග උත්සාහ කරගන්නේ රටට නිදහස දිනාදුන් නායකයාව විදුලි පුටුවේ හිඳුවීමටය. නමුත් එදා එල්ල වූ ඒ සියලු අභියෝග ජය ගන්න ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් සතු පරිණත අධිෂ්ඨානශීලී නායකත්වයට හැකිවිය.

මවුබිමට විජයග්‍රාහී ඒකීයභාවය දිනා දෙමින් සමස්ත ලෝකය පුරා විනාශකාරී පිළිකාවක් ලෙස පැතිරී තිබූ කොටි ත්‍රස්තවාදය විශ්වයම විස්මයට පත්කරමින් අවසන් කළ මේ අසහාය නායකයාට සාමය අගයන සමස්ත ලෝකවාසීන්ගේම ගෞරවය හිමි විය.

මිනිසුන්ගේ හද ගැස්ම සහ දුක, වේදනාව මැනවින් හඳුනාගෙන සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දශක තුනක් තිස්සේ ආපස්සට ගමන් කර තිබූ රට නැවත ඉදිරියට ගෙන යෑම සඳහා නිවැරැදි චින්තනයක් හඳුන්වා දෙමින් රට සංවර්ධනය කිරීමේ භාරධුර කාර්යයට ද අත ගැසුවේය. එක අන්තයකින් යුද්ධය කරගෙන යන අතරතුර අනෙක් අන්තයෙන් රට ඉදිරියට ගෙන යෑමේ ගමනද එතුමා දැඩි ආයාසයකින් වුවත් කරගෙන යන්නේ තමන් සතු රාජ්‍ය පාලනයේ හැකියාව මනාව ප්‍රගුණ කරමිනි.

මහින්ද චින්තන වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඒ තුළින් රට සංවර්ධනය කිරීමේ මාවතට අවතීර්ණ කළ එතුමා දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික සංවර්ධනය ප්‍රතිපත්ති මාලාව තුළින් අලුත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමෙහිලා අරඹා ඇති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වගේම ග්‍රාමීය ජීවනෝපාය මාර්ග සංවර්ධනයෙහිලාත් තිස් වසරකට අධික කාලයක් තිස්සේ වියැකෙමින් පැවැති උතුම් සාරධර්ම ගොඩනැංවීම සඳහාත් වැඩපිළිවෙළක් ආරම්භ කළේය.

ඒ අනුව කෘෂිකර්මාන්තය යළි පුබුදුවා රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමේ කාර්ය ඇරඹිණි. ඒ සඳහා විශාල මුදල් කන්දරාවක් අයවැය තුළින් වෙන්කර ගොවියන් දිරිගැන්වීම් සිදු කෙළේය. පොහොර සහනාධාර ලබාදීම, ගොවීන්ට වගා කිරීම සඳහා ඉඩම් ලබාදීම, ප්‍රමිතියෙන් ඉහළ වී වර්ග ලබාදීම, කාබනික පොහාර සඳහා ගොවියන් දැනුවත් කිරීම, වසර ගණනාවක් වසා දමා තිබූ වී අලෙවි මණ්ඩලය වැනි ගොවීන්ට අවැසි රාජ්‍ය ආයතන යළි ඇතිකිරීම, තරුණ පරපුර ගොවිතැනට හුරු කිරීම උදෙසා රට පුරා ගොවි බැංකු බිහිකර ඒ තුළින් ගොවීන්ට අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සකස් කිරීම, අපනයන කෘෂි බෝග වන තේ, සාදික්කා, ගම්මිරිස්, කරාබුනැටි, කරදමුංගු ආදී බෝගවලට අවශ්‍ය පහසුකම් හා ආධාර ලබාදීම එම වගාවන්ද සාර්ථක කිරීම, අතිරේක බෝග වගාවන් ව්‍යාප්ත කිරීම හා ගෙවතු වගාව ගොඩනැංවීම, ඇලවේලි, වැව්, ජලාශ නැවත සකස් කිරීම හා ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ගොවීන්ගේ ඵලදාව අලෙවි කිරීම සඳහා නිසි වටිනාකමක් ඇති කිරීම වැනි ක්‍රම සහ ඵලදාව ඇසුරුම් ක්‍රම හඳුන්වාදී අපතේ යන නිෂ්පාදන ප්‍රමාණය අවම කිරීම හා වෙළෙඳ පොළවල් ස්ථාපිත කිරීම ආදී ;ස්වා රැසක් ආරම්භ කර ගොවියා හා කෘෂිකර්මාන්තයට යළි පණ දීම ද සිදුකරන ලදී.

ගව පාලනය, කුකුල් පාලනය ඇතුළු පශු සම්පත් ක්‍ෂේත්‍රයේ ද ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට මෙතුමා ක්‍රියා කළේය. ඒ අනුව දේශීය කිරි ගොවියා යළිත් නැගිටුවාලීම සඳහා නව වැඩපිළිවෙළ හඳුන්වා දීම සහ කිරිවලින් නව නියැපුම් හඳුන්වා දී ඒ සඳහා වෙළෙඳ පොළක් ද නිර්මාණය කරන ලදී. පශු වෛද්‍ය සේවය රට පුරාම ව්‍යාප්ත කර සත්ත්ව ගොවීන්ට අවශ්‍ය දැනුම හා පහසුකම් ඇති කිරීම තුළින් ද ඔවුන් ශක්තිමත් කිරීමට පියවර ගත්තේය. ඒවාගේම ධීවර කර්මාන්තයට නව එළියක් ලබාදීම මහින්ද චින්තන ප්‍රතිපත්තිවල අඩංගු විය. ඒ අනුව ධීවර යාත්‍රා කර්මාන්ත ශාලා ඇතිකිරීම, අලුත් ධීවර වරායන් ස්ථාපිත කිරීම, නව වෙළෙඳ සංකීර්ණ ආරම්භ කිරීම, පැරණි ධීවර වරායන් කඩිනමින් සංවර්ධනය කිරීම, ධීවරයන්ට අවශ්‍ය දැල් ආම්පන්න ආදී පහසුකම් ලබාදීම, ණය ක්‍රම හඳුන්වා දීම තුළින් එම ජනතාවට ද සේවය සලසන ලදී.

ශ්‍රී ලංකාවේ වාරිකර්මාන්ත ක්‍ෂේත්‍රය ද වේගවත් සංවර්ධන ක්‍රියාවලියට දායක කරගනිමින් මෙතෙක් කලක් නිසි ප්‍රයෝජනයට නොගත් කුඩා වැව් සිය ගණනක් නැවත ප්‍රතිසංස්කරණය කිරීම, මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීම, උමා ඔය ව්‍යාපෘතිය, රඹුක්කන් ඔය ව්‍යාපෘතිය, දැදුරුඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීම තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගත්තේය.

එවැනිම සේවයක් ජලසම්පාදන ක්‍ෂේත්‍රයටද ලබාදීමට මෙතුමා ක්‍රියාකළේය. මිනිසාගේ මූලික අයිතිවාසිකමක් වන පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා වැඩි අවධානයකින් ක්‍රියා කළේ ය. ඒ අනුව රට පුරා ම ජලසම්පාදන ව්‍යාපෘති ඇරඹූ අතර ප්‍රාදේශීය වශයෙන් ජලය බෙදා හැරීමේ මධ්‍යස්ථාන ඇතිකොට සෑම නගරවාසියකුට මෙන්ම ගම්වාසීන්ටත් එක ලෙස ජල පහසුකම් ලබාදීමට කටයුතු කළේය.

විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රට බාර ගන්නාවිට සියලුම මාර්ග පද්ධතීන් අභාවයට ගොස් තිබූ අතර ගමේ අතුරු පාරේ සිට රටේ ප්‍රධානතම මාර්ග සියල්ලම පාහේ කාපට් ඇතිරීම, කොන්ක්‍රීට් ඇතිරීම හා ගල් ඇතිරීම තුළින් යථා තත්ත්වයට පත් කළ අතර කිසි දිනක ශ්‍රී ලාංකික ජනතාව නොදැක තිබූ ගුවන් පාලම් රැසක් රට වටා ඉදිකරමින් ප්‍රවාහනය කඩිනම් කිරීමට ද එතුමා පියවර ගත්තේය.

මග නැඟුම වැඩසටහන යටතේ නව මාවත් රැසක් ඉදිකළ අතර කොළඹ – කටුනායක, කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය ඉදිකිරීම, දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම ආදී අප රටට සිහිනයක් ලෙස පැවැති අධිවේගී මාර්ග පද්ධතියක් ද රටට දායාද කිරීමට මෙතුමා මූලිකත්ව ක්‍රියා කළේය.

නව පාලම් ඉදිකිරීම, උමං මාර්ග තැනීම වැනි වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් ඒවා සියල්ලම රටේ සංවර්ධන ක්‍රියාවලියට එක් කළේ ය.

ප්‍රවාහන ක්‍ෂේත්‍රය ද වේගවත් සංවර්ධනයක් ලැබුවේ ජනපති මහින්දගේ මගපෙන්වීම යටතේය. ඒ අනුව නව බස් රථ ලංගම සඳහා එක්කිරීම, පැරණි බස් රථ ප්‍රතිසංස්කරණය කිරීම, ගමට බස්, පාසල් දරුවන්ට, කාන්තාවන්ට කාර්යාල සේවා වැනි බස් රථ සේවා ආරම්භ කිරීම, දුම්රිය සේවය කාර්යක්‍ෂම කිරීම සහ අලුත් දුම්රිය ගෙන්වා මගී තදබදයට විසඳුම් ලබාදීම ද නව දුම්රිය මාර්ගයන් ඉදිකර රට පුරාම දුම්රිය සේවය ව්‍යාප්ත කිරීමට පියවර ගැනීමද විශේෂයෙන් පෙන්වා දිය හැකි සංවර්ධන ව්‍යාපෘතීන්ය.

වරාය හා ගුවන්තොටුපල අංශය ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ වේගවත් සංවර්ධනයක් පෙන්නූ තවත් ක්‍ෂේත්‍රයකි. කොළඹ දකුණ වරාය සංවර්ධනය කිරීම, කොළඹ වරාය පුළුල් කිරීම, නැඟෙනහිර පළාතේ ඔලුවිල් වරායේ ඉදිකිරීම් ඇරඹීම, හම්බන්තොට වරාය ඉදිකිරීම, කන්කසන්තුරේ වරාය ඉදිකිරීම් ඇරඹීම, ගාලු වරායේ සංවර්ධන කටයුතු ඇරඹීම සහ ඒ හා සම්බන්ධව රැකීරක්‍ෂා විශාල ප්‍රමාණයක් බිහිකිරීම ද ඉතා ප්‍රශංසනීය කටයුත්තකි. බණ්ඩාරනායක ගුවන්තොටුපළ නවීකරණය කිරීම හා මත්තල නව ගුවන්තොටුපළක් ආරම්භ කිරීම ද ඉතා සුවිශේෂී සංවර්ධන කාර්යයන්ය. මෙම වරාය සහ ගුවන්තොටුපළවල් ඉදිකිරීමත් සමඟම සංචාරක කර්මාන්තය වැඩිදියුණු වීම හා වැඩි ගුවන්යානා ප්‍රමාණයක් ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීම තුළින් රටට ආදායම් ගලා ඒමට සැලැස්වීම මේ දුරදක්නා නුවණක් හිමි නායකයාගේ මෙහෙවර අතරට එක්වන්නේය.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දියුණුව උදෙසාද කළ මෙහෙවර රැසකි. ප්‍රධාන රෝහල්වල පැවැති අඩුපාඩුකම් සකස් කිරීම සහ නව රෝහල් ඉදිකිරීම තුළින් ජනතාවගේ සෞඛ්‍ය උදෙසා හිතකර කාර්යයකට මුල පිරුවේය. ඒත් සමඟම වෛද්‍යවරුන් සඳහා විශේෂ පුහුණුවීම් හා නව තාක්‍ෂණය හා උපකරණ ලබාදීම තුළින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්‍ෂේත්‍රය ලෝකයේ ප්‍රධාන ස්ථානයකට ඔසවා තබන්නට මහින්ද චින්තනය හමුවේ හැකිවිය.

ගැබිනි මවුවරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම, ළමා සෞඛ්‍ය වෙනුවෙන් වැඩි පහසුකම් සැලසීම, සේලයින් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් නිරෝගිමත් ජනතාවක් උදෙසා කළ සේවය අපමණය.

ඉසුරු පාසල්, නාවෝද්‍යා පාසල්, ජාතික පාසල් යන සංකල්ප හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ අනාගතය බාරගැනීමට සිටින දරු පරපුරේ අධ්‍යාපනය උදෙසා ද මහඟු මෙහෙවරක් කිරීමට ජනාධිපතිවරයා අපමණ වෙහෙසක් දැරීය. මානව හා භෞතික සම්පත්වලින් සපිරි පාසල් පද්ධතියක් රට පුරා පිහිටුවාලීම සඳහා අවශ්‍ය ගුරුවරු බඳවා ගැනීම ඉගෙනුම් උපකරණ ලබාදීම, ගොඩනැගිලි, විද්‍යාගාර පහසුකම්, පුස්තකාල හා පරිගණක පහසුකම්, ක්‍රීඩාංගණ, ක්‍රීඩා උපකරණ ප්‍රමාණවත් පරිදි නගරබද මෙන්ම ගම්බද පාසල්වලට ද ලබාදෙමින් එදා කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය විනාශ කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ මෙරට දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා යන විරුදාවලිය ද ලබමිනි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වෘත්තීය පුහුණු ආයතන සහ තොරතුරු තාක්‍ෂණය යන ක්‍ෂේත්‍ර ද නව ලොවට ගැලපෙන ලෙස ගොඩනැංවීමට අවශ්‍ය උපදෙස් හා අනුග්‍රහයන් ලබාදුන්නේ හොඳම දේ දරුවන්ට ලබාදීමේ පවිත්‍ර චේතනාවෙනි.

එදා විදුලි එළියක් පෙනෙන තෙක් මානයක නොතිබුණු ඈත දුෂ්කර ගම් නියම්ගම්වලට විදුලිය ලබාදී එම ජනතාව අඳුරෙන් ආලෝකයට ගැනීමට මහින්ද චින්තන ප්‍රතිපත්තිවලට හැකිවිය. කෙරවලපිටිය විදුලි බලාගාරය, ඉහළ කොත්මලේ විදුලි බලාගාරය, නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ඇතුළු ග්‍රාමීය විදුලි බලාගාර රාශියක් ස්ථාපිත කරමින් ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමට කළ මෙහෙය උත්කෘෂ්ඨය.

වල්වැදී තිබූ මෙරට රාජ්‍ය සේවයට නව පණක් ලබාදීමට ජනාධිපතිතුමාට හැකියාව ලැබිණි. ඒ අනුව රජයේ සේවක වැටුප් ඉහළ දමමින් විශ්‍රාම වැටුප් ක්‍රම ආරක්‍ෂා කරදී රාජ්‍ය සේවයට අලුතින් විශාල පිරිස් බඳවා ගැනීම සිදුකරමින් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට පියවර ගත්තේය.

ණය පහසුකම්, රක්‍ෂණ පහසුකම්, වැටුප් වර්ධක, රෝහල් පහසුකම් හා විදෙස් අධ්‍යාපනය ඇතුළු වරප්‍රසාද රාශියක් තුළින් රාජ්‍ය සේවකයා ගෞරවාන්විත තත්ත්වයකට ගෙන ඒමට ක්‍රියා කළේය.

නව ආයෝජකයන් රට තුළට කැන්දාගෙන එමින් පෞද්ගලික අංශයේ රැකියා සුරක්‍ෂිත කිරීමට පියවර ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බදු සහන ණය පහසුකම් ලබාදීම් තුළින් දේශීය ආයෝජකයන්වද ආරක්‍ෂා කර දෙන්නට ක්‍රියා කළේය.

වැලලී යමින් තිබූ මෙරට සමාජ ධර්ම ආරක්‍ෂා කිරීම උදෙසාද අපමණ සේවාවක් ඉටු කළේය. මතට තිත සංකල්පය තුළින් දැහැමි සමාජයක් ගොඩනැඟීමේ ආරම්භක පියවරක් තැබුවේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් අප රට තුළට පමණක් කොටු නොවී අපට හිතැති අප ගැන උනන්දු ජාත්‍යන්තර හිතවතුන් පිරිසක් ද ගොඩනගා ගත්තේ ය.

එදා නායකයො බටහිර රටවල්ම සොයා යද්දී වත්මන නායකයා සැබෑ හිතවතුන් ළංකර ගත්තේය. ඒ අනුව ඉරානය, මැලේසියාව, වියට්නාමය, චීනය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින, දකුණු අපි‍්‍රකාව, වෙනිසියුලාව, ජපානය, පාකිස්තානය, කියුබාව හා ලිබියාව වැනි රටවල් අප රට සමඟ දැඩි මිත්‍ර සම්බන්ධතා ගොඩනගා ගත්තේය.

මෙනයින් බලන කළ අපට වැඩක් කළ රටට වැඩක් කළ එකම නායකයා අපේ නායකයා අන් කවරෙක්වත් නොව ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා පමණි.

ජනාධිපති ධුරයට පත් වී වසර 06ක් ගතවන මේ මොහොතේ අප ඉහතින් සඳහන් කළේ ඔහු රට වෙනුවෙන් කළ අපරිමිත සේවාවන් අතරින් සොච්චමක් පමණි.

රටේත් ජනතාවගේත් හෙට දවස යහපත් කිරීම සඳහා ඔහුට කළ හැකි මෙහෙවර තවත් විශාලය. ඒ සඳහා මගපෑදිය හැකි, එය මෙහෙයවිය හැකි එකම නායකයාද මහින්ද රාජපක්‍ෂ පමණි. ඒ නායකත්වය අද වගේම හෙටත් අප මාතෘ භූමියට අවශ්‍ය වන්නේ එහෙයිනි.

චිරං ජයතු ජනපතිඳුනි