නිදහසේ හුස්ම ගන්නේ ඔබ නිසා ය

නිදහසේ හුස්ම ගන්නේ ඔබ නිසා ය

මුළු මහත් ශ්‍රී ලංකාවාසී ජනතාව දුන් ජන වරම වඩාත් අර්ථවත් කරමින්, මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවට අභිමානය ගෙන දුන් ශ්‍රේෂ්ඨ නියමුවාණන් වන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ 65 වෙනි ජන්මෝත්සවයට මා සුභ පතන්නේ මහත්වූ අභිමානයක් පෙරදැරිවය.

ලෝකයේ සෑම දර්ශකයන් අතරේ පරාජිත ගොන්නට වැටී තිබූ අප මව්බිමට, ජාතික කොඩියට නව ප්‍රතාපවත් බවක් ගෙන දුන් එතුමා “මම ශ්‍රී ලාංකිකයෙක්මි” යන්න මුළු ලෝකයට මහත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කිරීමට අවශ්‍ය ශක්තිය සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදුන්නේය.

නැඟෙනහිර හා උතුරු පළාත්වල ප්‍රාණ ඇපකරුවන් වී සිටි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අද නිදහසේ හුස්ම ගන්නේ අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට පින් සිදුවන්නටය.

පසුගිය කාලයේ පැවති රජයන් යටතේ වටමේස සාකච්ඡාවල ලිපිගොනු හා ව්‍යවස්ථාවන් තුළට පමණක් සීමාවී තිබුණ දේශපාලන විසඳුම් ජනතාව අතරට ගෙන ගොස් මානුෂීය මෙහෙයුම අවශ්‍ය තැන මානුෂීය මෙහෙයුමත්, දේශපාලන විසඳුම අවශ්‍ය තැනට දේශපාලන විසඳුමත් ලබාදෙන ශක්තිමත් රජයක් ලෝකයට පෙන්වාදීමේ ගෞරවයට පාත්‍ර වන එතුමන් කිසිදාක පරාජය කළ නොහැකියයි මුළු ලෝකයම පැවසූ කොටි ත්‍රස්තවාදය ඉතා කෙටි කලකින් ශ්‍රී ලංකාවෙන් තුරන්කිරීමේ විජයග්‍රහණයට අභීත නායකත්වය ලබාදුන් ජනනායකයාද වෙයි.

එතුමන් මූලික අධ්‍යාපනය ලැබූ තර්ස්ටන් විදුහල් භූමිය තුළ කනිෂ්ඨ ශිෂ්‍යයෙකු ලෙස එම වකවානුවේම මා හටද අධ්‍යාපනය ලැබීමට හැකිවීම අද දින සිහිපත් කරන්නේ අභිමානයෙනි. එවක මලල ක්‍රීඩාවේ මෙන්ම පාසල් බාහිර ක්‍රියාකාරකම් තුළදී කැපී පෙනෙන සිසුන් අතරට එක්වූ එතුමා තර්ස්ටන් සිසුන් අතර දීප්තිමත් සිසුවෙක් විය.

එතුමන් 1971 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි කාලයේ එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් සිටි ජෝර්ජ් රාජපක්‍ෂ මැතිතුමන් සමඟ ගාල්ලේ ධීවර වරායට පැමිණි දිනයද මාගේ මතකයට නැඟේ. එවකට මා නාවික හමුදාවේ කනිෂ්ඨ නිලධාරිවරයෙකු වශයෙන් සේවයේ නිරතව සිටියෙමි. එදින මා එතුමන් හමුවී කථා කළ ප්‍රථම දිනයද විය.

මා ත්‍රිකුණාමලය නාවික ආඥාපතිව සිටි 1999 වර්ෂයේ එතුමන් එවක පැවති රජයේ ධීවර අමාත්‍යවරයා වශයෙන් ත්‍රිකුණාමලය කොඩ්බේ වරායේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ත්‍රිකුණාමලයට පැමිණි දිනයද මාගේ මතකයට නැගෙන්නකි.

නැඟෙනහිර පළාත තුළ ත්‍රස්තවාදය දැඩිව පැවති කාල වකවානුවක් වුවද ඒ කිසිවක් ගණනකට නොගෙන මුළු ත්‍රිකුණාමලය නගරයේම එතුමන් සංචාරය කළ අතර එතුමාගේ ආරක්ෂාව පතා එදා එතුමා පැමිණි රතු පැහැති වෝල්වෝ කාර් රථය වෙනුවට හබරණ නගරයට යාමට මාගේ නිල රථය සූදානම් කළ අයුරු මට අද ද සිහිපත්වේ.

මා නාවික හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලෙසට සේවය කරන කාලය තුළදී අග්‍රාමාත්‍යව සිටි එතුමා නාවික හමුදාවේ ඉදිරි දැක්ම පිළිබඳව එවකට මා සමඟ ප්‍රකාශ කළේ පැහැදිලි දුරදක්නා නුවණකින් යුතුව බව මා දැනුදු සිහිපත් කරන්නේ මහත්වූ ගෞරවයෙනි.

නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමත් සමඟම 2006 ජනවාරි 20 වන දින මා හට උතුරු හා නැඟෙනහිර ආණ්ඩුකාර ධුරය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් පිළිගන්වන ලදී.

එවකට නැඟෙනහිර පළාත තුළ පැවතුණු එල්ටීටීඊ ක්‍රියාකාරකම් හේතුවෙන් අඩාල වී ගිය ජන ජීවිතය නැවත නඟා සිටුවීමත්, ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය සේවය නිසි ලෙස පවත්වාගෙන යාමත් මා වෙතින් එතුමා අපේක්‍ෂා කළ බව පැහැදිලිය.

උතුරු, නැඟෙනහිර වෙන්වීමෙන් පසු 2006 දෙසැම්බර් 22 දින උතුරු පළාතේ වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙසද එතුමන් මා පත්කරනු ලැබූවේ මා කෙරෙහි දැක්වූ එවැනිම දැඩි විශ්වාසවන්ත භාවය නිසා වන්නට ඇත.

නිවැරදි දේ නිවැරදිව කිරීමට දන්නා ප්‍රතිජනාත්මක දූරදර්ශී නායකත්ව ඉතිහාසය එතුමන්ගේ වයසටත් වඩා දීර්ඝ යැයි මට වරෙක සිතේ. නිර්මාණශීලි නව අදහස්වලට ගරු කිරීම තුළින් ආයතනික සාරධර්ම සමුදායක් වර්තමාන දේශපාලන ක්‍ෂේත්‍රයට පැමිණ ඇති බව අපි හොඳින් දනිමු. පුද්ගලවාදී නොවී මානවීය කෝණයෙන් සියලු ජාතීන් දෙස බැලීමට අවශ්‍ය බව රටටම ආදර්ශයක් කර පෙන්වූයේද එතුමන් බව මුළුමහත් ජනතාවම හොඳින් දන්නා කරුණකි.

සැබෑ නායකයෙකු සතු මානවීය ගුණය ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු මහත් ලෝකයට අවබෝධ කර දිය හැකි විචක්ෂණ සන්නිවේදන ශක්තියක් ඇති ජන නායකයෙකු බවද අපි හොඳින් දනිමු. වසර තිහක පමණ කාලයක් බේද බින්නව සී සීකඩව අඳුරේ ජීවත්වූ සියලුම ජනතාවට ඔවුන්ගේ හදගැස්මේ රාවය හඳුනාගනිමින් ඔවුන්ගේම වචනවලින් කථාකළ හැකි මෑත පහළවූ එකම ජන නායකයා වන්නේද අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ය.

රට කරවන මෙවන් ශ්‍රේෂ්ඨ නායකයෙකු යටතේ අපට සේවය කරන්නට ලැබීම මහත් භාග්‍යයක් මෙන්ම මහත් ආඩම්බරයකි.

අප මව්බිමේ ආර්ථිකමය, දේශපාලන හා සමාජමය සංස්කෘතික උන්නතිය උදෙසා අද එතුමා දියත්කොට ඇති යෝධ සංවර්ධන පියවරවල් භුක්ති විඳීමට ලබාදීම පිළිබඳව අප ඇතුළු අනාගත පරපුර එතුමන්ට සදා ණයගැතිය.