මහින්ද චින්තනයෙන් අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තලයට

මහින්ද චින්තනයෙන් අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තලයට

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමේ උත්සාහය ක්‍රමයෙන් ඵල දරමින් තිබේ. එය ශ්‍රී ලාංකික අපට මහත් ආඩම්බරයක් බව නිසැකය. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් වන විට ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ වී තිබේ.

යුද්ධය නිමා කර දේශය එක්සේසත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභිප්‍රාය තම ඉදිරි ධූර කාලය තුළ මේ රට කිසිදා නොවූ විරූ සංවර්ධනයක් කරා ගෙන යාමයි. එම අරමුණට ළඟාවීමට තිබූ බාධාවන් බොහොමයක් දැන් නිමා වී ඇත. ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ බැරෑරුම් කාර්යයට දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල පුරා තිබේ. එහි නියමු කාර්යය සඳහා එස්. බී. දිසානායක මහතා පත් කර උසස් අධ්‍යාපන ඇමැති ධූරය පිරිනැමීය.

ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් උසස් අධ්‍යාපනය මෙහෙයවන දිසානායක මහතා අද වන විට මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් සිදු කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මෙරට විශ්වවිද්‍යාලවලින් බිහිවන විද්‍යාර්ථයින් ක්ෂිතිජයට ඉහළින් ලෝකය දකින ප්‍රාඥයෙකු බවට පත් විය යුතු ය. මේ ප්‍රාඥයා බිහි කිරීමේ කාර්යය සඳහා අද පසුබිම සකස් වෙමින් පවති. මේ සඳහා ජනාධිපතිවරයා මෙරට විශ්වවිද්‍යාලවල පාඨමාලාවන්ගේ තත්ත්වය, ගුණාත්මක භාවය ඉහළ දැමිය යුතු ආකාරය ගැන සොයා බැලූ අතර විශ්වවිද්‍යාල විනයගරුක, සදාචාර සම්පන්න, නිදහස්, සංවාදශීලී, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බවට පත් කළ යුතු බවට තදින්ම විශ්වාස කළේය.

මේ සියලු කරුණු ජයග්‍රහණය කර ගනිමින් ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය කිරීමේ කාර්යය සම්බන්ධයෙන් ඉකුත් වසර හය පුරා ක්‍රියාත්මක කළ බහුවිධ කාර්යයන් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා මෙසේ අදහස් පළ කළේය.

මේ රටේ විශ්වවිද්‍යාල පාලනය කළේ ශිෂ්‍යයන්ය. උප කුලපතිවරයාට, පීඨාධිපතිවරයාට හෝ වෙනත් කිසිවකුට ශිෂ්‍යයන්ගේ එම බලය වෙනස් කිරීමට ශක්තියක් නොතිබිණි. විශ්වවිද්‍යාල පාලනය කළ මේ සිසුන්ගෙන් ඉතාමත් අතළොස්සක් විශ්වවිද්‍යාලයේ අනෙකුත් සිසුන්ට දැඩි පීඩාවක් කරමින් ඔවුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය මෙන්ම මානසිකත්වය ද විනාශ කර දැමූහ. මේ සිසුන් පිටුපස ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිටින බව නොරහසකි.

ඒ නිසා මුලින්ම අපි විශ්වවිද්‍යාල තුල පැවැති මේ පීඩාකාරී, දරුණු වටපිටාව වෙනස් කළෙමු. විශ්වවිද්‍යාල පාලනය කළ ශිෂ්‍ය බලය බිඳ එහි පාලනය උපකුලපති, පීඨාධිපතිවරුන් සහ අනෙකුත් පරිපාලන නිලධාරීන් අතට පත් කළෙමු. මේ කාර්යය ඉටු කිරීමේ දී සිසුන්ට දඬුවම් කරන්නට අපට සිදු විණි. සිසුන්ගේ විරෝධතා ව්‍යාපාර මැඬපවත්වන්නට සිදු විණි. මව්පියන්ට, ශිෂ්‍යයන්ට දීර්ඝ වශයෙන් කරුණු කීමට සිදු විණි. විශ්වවිද්‍යාලවල ආචාර්යවරු, අනධ්‍යයන කාර්යය මණ්ඩලය මේ කාර්යයේදී අපට විශාල වශයෙන් උපකාර කළහ. අද වන විට පේරාදෙණිය, රුහුණු විශ්වවිද්‍යාල හැර අනෙකුත් විශ්වවිද්‍යාල යහපත් අතට පත්ව තිබේ. මෙය ඉකුත් වසර හය තුළ අප ලැබූ විශාල ජයග්‍රහණයකි.

දකුණේ විශ්වවිද්‍යාලවල පැවැති භීෂණකාරී තත්ත්වය යාපනය, නැෙඟනහිර, නිරිතදිග විශ්වවිද්‍යාලවල ද පවත්වා ගෙන යාමට සිසුන් අතළොස්සක් ක්‍රියාකරමින් සිටි අතර ඔවුන් එල්.ටී.ටී.ඊ. මත වාද විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරමින් සිටියහ. එම විශ්වවිද්‍යාලවල මුදල් අක්‍රමිකතා රැසක් සිදුවිය. ඒ තත්ත්වය වෙනස් කර එම විශ්වවිද්‍යාල යහපත් ලෙස පවත්වා ගෙන යාමට අද කටයුතු යොදා තිබේ.

විශ්වවිද්‍යාලවල පාඨමාලා ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කිරීමේ කාර්යය මේ දිනවල අපි ක්‍රියාත්මක කරන අතර මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පිළිබඳව ගැටලු මතුවිණි. මේ නිසා ලෝක බැංකු ආධාර ව්‍යාපෘතියක් යටතේ මෙරට ආචාර්යවරුන් 200 කට වැඩි පිරිසකට විදේශ ගතව ඉංගී‍්‍රසි භාෂාව දියුණු කර ගැනීමටත් පශ්චාත් උපාධියක් හැදෑරීමටත් අවස්ථාව ලබා දී තිබේ.

මේ අතර විශ්වවිද්‍යාල සිසුන්ගේ අන්තවාදී මර්දන ඉදිරියේ අනෙකුත් සිසුන්ට දේශන ශාලාවේ, පුස්තකාලයේ සිටීම තහනම් කර තිබිණි. ආචාර්යවරුන් සමඟ සාකච්ජා කිරීම තහනම්ය. සිසුන් කැට අරගෙන පාරට බැසිය යුතුය. මේ කැට සංස්කෘතිය අපි විශ්වවිද්‍යාලවලින් තුරන් කළෙමු. මේ අන්තවාදී සිසුන් විශ්වවිද්‍යාල තුළ ඉංග්‍රීසියෙන් කතා කිරීම පවා තහනම් කර තිබිණි. මේ සියල්ල ඉකුත් වසර හය තුළ අපි සම්පූර්ණයෙන් වෙනස් කිරීමට පියවර ගත්තෙමු.

විශ්වවිද්‍යාල සිසුන් සියයට 93 ක් ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ඈත්ව සිටි අවධියේ ඔවුගේ වෙනත් කුසලතා මතු කර ගැනීම සඳහා අපි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළෙමු.

ජනාධිපතිවරයාගේත්, ආරක්ෂක ලේකම්වරයාගේත් ආශිර්වාදය ඇතිව නවක සරසවි සිසුන්ට නායකත්ව පුහුණුවක් ලබා දීමට ද අපි පියවර ගත්තෙමු. හමුදා හා පොලිස් පුහුණු කඳවුරුවලදී පැවැති මේ පුහුණුව ඉතාමත් සාර්ථක විය.

විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංගී‍්‍රසි හා තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණීමට මත්තෙන් මධ්‍යස්ථාන 200 කදී පැවැති පාඨමාලාවන් සඳහා සිසුන් යොමු කළ අතර අඩුපාඩුකම් මධ්‍යයේ වුවද මේ පාඨමාලා අතිශයින් සාර්ථක වූයේය.

මේ වසරේ සිට විශ්වවිද්‍යාලවල සියලු පාඨමාලා ඉංගී‍්‍රසි මාධ්‍යයට හැරවීමට අපි කටයුතු කරමින් සිටිමු. මෙයට අමතරව විශ්වවිද්‍යාලයේ කලා හා මානව ශාස්ත්‍ර විෂය හදාරන සිසුන්ට විශ්වවිද්‍යාලය තුළදීම ඉංග්‍රීසි ගෞරව උපාධියක් හෝ තෛ‍්‍රභාෂා ගෞරව උපාධියක් හෝ පරිගණක ගෞරව උපාධියක් හෝ වෙනත් අලුත් පාඨමාලාවක් හදාරන්නට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නට කටයුතු යොදා ඇත්තෙමු. ඉදිරියේදී කලා සිසුන්ට සංචාරක ව්‍යාපාරය අරමුණු කර ගත් පාඨමාලාවක් හා හෙද පාඨමාලාවක් ආරම්භ කිරීමට පියවර ගන්නෙමු. රජයේ මෙන්ම ජනාධිපතිවරයාගේත් ඉලක්කය වන්නේ මින් පසු විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට ඉංගී‍්‍රසි භාෂාව ප්‍රශ්නයක් නොවිය යුතු බවයි. එමෙන්ම ඔවුන් විශ්වවිද්‍යාලවලින් පිට වන විට ඔවුන්ගේ උපාධියට වෙළෙඳපොළේ ඉල්ලුමක්, වටිනාකමක්, හා මිලක් තිබිය යුතුය. ඔවුන්ට රැකියා ප්‍රශ්නයක් ඇති නොවිය යුතුය. මෙවැනි පරිසරයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතියි.

අලුතින් විශ්වවිද්‍යාලයට පැමිණෙන සිසුන්ට මේ වසරේ සිට ලැප්ටොප් එක බැගින් ලබා දීමේ වැඩපිළිවෙළක් ද අපි ක්‍රියාත්මක කරන අතර ඉංග්‍රීසි දුර්වල සිසුන් 10000 ක් සඳහා ඇමරිකානු දුරස්ථ ශිෂ්‍යත්ව ලබා දී තිබේ. මේ අතර සිසුන්ගේ පරිගණක හා ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කිරීමේ පාඨමාලා ආරම්භ කර තිබේ.

විශ්වවිද්‍යාල තුළ අධීක්ෂණ කටයුතු සුපරීක්ෂණ කටයුතු, අධ්‍යයන විගණන කටයුතු වැනි කාර්යයන් දියුණු කිරීම සඳහා ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. මේ වනවිට විශ්වවිද්‍යාල පද්ධතිය පරිගණකගත කිරීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. මේ ව්‍යාපෘතිය මින් පෙරද ක්‍රියාත්මක කළ නමුත් අතර මඟ නතර වී තිබිණි. එය නැවත ආරම්භ කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට අපට සිදු විය.

එමෙන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට ද අපට ඉඩකඩ ලැබිණි. ඔවුන්ගේ වැටුප ඉහළ මට්ටමකට ගෙන ඒමට ද අපි පියවර ගත්තෙමු. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක මණ්ඩලවලද වැටුප් වැඩි කිරීමට අවශ්‍ය කටයුතු අපි මේ වන විට සුදානම් කරමින් සිටින අතර ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය හා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වාර්තා සකස් කරමින් සිටියි.

උසස් අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන් කළ මුදලට අමතරව ඕස්ට්‍රියානු, කුවේට්, ඉන්දියානු රජයන්ගේ ආධාර ව්‍යාපෘති කිහිපයක් ද මෙරට ක්‍රියාත්මක වේ. මේ ආධාර ව්‍යාපෘති යටතේ විශ්වවිද්‍යාල වල අඩුපාඩු සපුරාලනු ඇත.

විශ්වවිද්‍යාල සිසුන්ගේ දක්ෂතා ඇගැයීමේ අරමුණෙන් කවිතා යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපි පියවර ගෙන ඇත්තෙමු. මෙමඟින් දරුවන්ගේ හැකියාවන් ඔප් නංවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස්වෙන අතර එහිදී හොඳම ගායකයා, අධ්‍යක්ෂකවරයා, සංගීතඥයා, කැමරා ශිල්පියා, චිත්‍ර ශිල්පියා වන සිසුන්ට ඉදිරියට යෑමට අතහිත දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට මේ රටේ ඉඩ ලබා දී එම විශ්වවිද්‍යාලවලට මේ රටේ දරුවන් සියයට 20 ක් නොමිලයේ ඇතුළත් කිරීමට පියවර ගන්නෙමු. දැනටමත් ඒ යටතේ විශ්වවිද්‍යාල ආයතන 29 ක් ක්‍රියාත්මක වන අතර ඒවායේ තත්ත්වය, ගුණාත්මකභාවය පිළිබඳ ව ගැටලු තිබේ. මේ ගැටලු විසඳීම සඳහා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

මෙරට විශ්වවිද්‍යාල හයක් ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා රුපියල් බිලියන තුනක මුදලක් ජනාධිපතිවරයා ලබා දී තිබේ. ඒ අනුව පේරාදෙණිය, කොළඹ, කටුබැද්ද, ජයවර්ධනපුර, රුහුණ යන විශ්වවිද්‍යාල තරඟකාරී ලෙස ඉදිරියට එමින් සිටියි. ඉතා ඉක්මණින් යාපනය විශ්වවිද්‍යාලය මේ තත්ත්වයට ගෙන ඒමට පියවර ගන්නෙමු. අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තලයට ගෙන ඒමට නම් ඒ විශ්වවිද්‍යාලවල විදේශීය සිසුන් සිටිය යුතුයි.

ඒ අනුව විදේශීය සිසුන් 100 දෙනෙකුට ජනාධිපති ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කර තිබේ. එමෙන් ම මෙරට විශ්වවිද්‍යාලවලට සියයට 5 ක් මුදල් ගෙවා විදේශීය සිසුන් බඳවා ගැනීමටද පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාලවල විභාග ප්‍රතිඵල දීමේ ක්‍රමවේදයේ වෙනසක් කිරීමටද අපි පියවර ගෙන ඇති අතර මින් ඉදිරියට සිසුන්ගේ ප්‍රතිඵල බැලීමෙන් පසු ප්‍රශ්න පත්‍රය නැවත සිසුන් අතට පත්කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ. එමඟින් සිසුනගේ වැරැදි වැටහීම් හා ගුරුවරුන්ගේ වෙනත් ක්‍රියාකාරකම් මඟහැරවීමට බලාපොරොත්තු වෙමු.

රාජ්‍ය නොවන වෛද්‍ය විශ්වවිද්‍යාල මේ රටේ ඇතිකිරීම පිළිබඳව තවමත් විරෝධයක් පවතී. වෛද්‍ය සභාවත් වෛද්‍ය සංගමයත් අසාධාරණ ලෙස මෙයට විරුද්ධත්වය දක්වයි. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමිමේ අයිතිය අපි ලබා දුන්නෙමු. ඉදිරියේදී තවත් එවැනි විද්‍යාල කිහිපයකට උපාධි පිරිනැමීමේ අයිතිය ලබා දෙන්නෙමු. ජනාධිපතිවරයා සිතන ආකාරයෙන් ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වීමට අවශ්‍ය සම්පත් අපට ඇත. විශේෂයෙන් පිහිටීම, දේශගුණය, පිරිසුදුකම ඇතුළු තීරණාත්මක ලෙස වාසි සහගත වටපිටාවක් අපට ඇත.

අපේ රටේ බාහිර උපාධි පාඨමාලාවල තත්ත්වය ඉතාමත් ශෝචනීය වන අතර දශමයෙන් දෙකෙන් විශ්වවිද්‍යාල වරම් අහිමි වන දරුවන් බාහිර උපාධි කර උපාධි ලැබූවත් එම උපාධියේ කිසිම වටිනාකමක් නැත. ඉදිරියේදී දරුවන්ට එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතැබීම අපගේ අරමුණයි. මේ නිසා විශ්වවිද්‍යාලවලට අනුබද්ධ ආයතන බිහිකර එමඟින් විශ්වවිද්‍යාලයීය උපාධියක් ලබා දීමට පියවර ගන්නා ලෙස සියලු විශ්වවිද්‍යාලවලට උපදෙස් දී තිබේ. ඒ උපාධි පාඨමාලා රටට, ලෝකයට, අවශ්‍ය පරිදි ඉල්ලුමක් සහිතව ආරම්භ කරන ලෙසද විශ්වවිද්‍යාලවලට උපදෙස් දී තිබේ.

නවකවදය වැනි ඉතා අමානුෂික ගෝත්‍රිකවාදී ලක්ෂණ විශ්වවිද්‍යාල තුළින් ඉවත් කර දැමීමට අපි කටයුතු කළෙමු. මෙවරත් විශ්වවිද්‍යාල කිහිපයක නවකවදය ලබාදෙන බවට තොරතුරු වාර්තා වුවත් ඉදිරියේ දී සිසුවාගේ මානසික හා ශාරීරික යෝග්‍යතාවයට උචිත පරිසරයක් විශ්වවිද්‍යාල තුළ ඇති කරන්නෙමු.

විශ්වවිද්‍යාලවල ඇති අඩුපාඩුකම් ඉක්මනින් සපුරාලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සහනශීලී ණය ආධාර ලබා ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. ඉතා ඉක්මණින් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පනත සම්මත කර ගත් වහාම විශේෂ කවුන්සිල් 3 ක් පත් කිරීමටත් ඒ යටතේ උසස් අධ්‍යාපනයේ පරිවර්තන රාශියක් සිදු කිරීමටත් අපි බලාපොරොත්තු වෙමු.

එමෙන්ම උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනවලත් විශාල වෙනස්කම් රැසක් අපි සිදු කර ඇත. එහි පාඨමාලා සියල්ල ඉංග්‍රීසියට හරවා ඇත. එහි පාඨමාලා ගුණාත්මකභාවයෙන් ඉහළ දමා ඇත. අලුත් පාඨමාලා හඳුන්වා දී ඇත.

මේ අනුව අපි තර්ජන, ගර්ජන බාධක හා කුමන්ත්‍රණ මැද ජනාධිපතිවරයා අපේක්ෂා කළ උසස් අධ්‍යාපනයේ විප්ලවීය වෙනස ඇති කරමින් සිටින්නෙමු. මේ රට ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ ඉලක්කය වෙත ළඟාවීමට අපි අධිෂ්ඨානශීලීව ඉදිරියට යන්නෙමු.