සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලබාගත් යුගයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලබාගත් යුගයක්

මේ පුංචි ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය අතිශයින්ම වැදගත් ය. රටක් සංවර්ධනය කරා යන ගමනේදී පුද්ගලයන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය වක්‍රාකාරව සංවර්ධනයට බලපායි. “ආරෝග්‍යා පරමා ලාභා” නිරෝගිකම උතුම්ම ලාභය බව බුදුරජාණන් වහන්සේ ද දේශනා කළහ.

මිනිස් වාසයක් මේ ලෝකයේ ඇරැඹූ දා සිටම පුද්ගලයාගේ සෞඛ්‍ය පිළිබඳ කතිකාවතක් පැවැති බව පැහැදිලි වේ. ඒ නිසාම පුද්ගලයන්ගේ සෞඛ්‍ය සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමට රජය නිරන්තරයෙන්ම කටයුතු කරයි. ඒ සඳහා වැඩි මුදලක් වැයකිරීමට ද රජය වැඩපිළිවෙළ සකස් කර තිබේ.

මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් වුවත්, මෙරට සියලුදෙනාගේම උපතේ සිට මරණය දක්වා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලයේ ලබාදෙන රටක් වශයෙන් ලොව පුරා ඇගැයීමට ලක් වී තිබේ. බොහෝ සංවර්ධිත රටවල් පවා එරට ජනතාවට සෞඛ්‍ය සේවාවන් සපයනුයේ මුදලට ය. බටහිර රටවල රෝගීන් රෝහලක් අසල අසනීප වී කෑගසමින් මහමඟ වැටී සිටියත්, එම රෝහල්වලින් ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම සිදු නොකෙරේ. එහෙත් මෙරට රෝහල්වලින් ඉතාම කුඩා තුවාලයේ සිට බයිපාස් සැත්කම දක්වා සියලු සෞඛ්‍ය පහසුකම් රජය මඟින් ජනතාවට නොමිලයේ ලබාදීම සිදුකෙරේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් හා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීම යටතේ මෙරට සෞඛ්‍ය සේවාව ගත වූ වසර කිහිපය තුළ අතිවිශිෂ්ට තත්ත්වයකට පත්වී ඇත. මීට දශක කිහිපයකට පෙර මෙරට රෝහල් පද්ධතියේ තිබූ තත්ත්වය හා වර්තමාන තත්ත්වය සසඳා බලන කල අද අපගේ රෝහල් පද්ධතිය පෞද්ගලික රෝහල්වලට නොදෙවෙනි අයුරින් අංග සම්පූර්ණ රෝහල් ලෙස පවතී. ඒ අනුව වෛද්‍ය උපකරණවලින් ද, පිරිසුදු බවින් ද ඉතාමත් ඉහළ මට්ටමකට පැමිණ තිබේ. විශේෂයෙන්ම නාගරිකව පවතින රජයේ රෝහල් පමණක් නොව ග්‍රාමීය අංශයේ පවතින රෝහල් පවා ඉහළ මට්ටමකට ගෙන ඒමට රජයට හැකි විය.

මීට දශක කිහිපයකට පෙර රෝහල් වෙත යන විට රෝගීන්ට දැනුණ ඉස්පිරිතාල ගඳ වර්තමානයේ රෝහල්වල දැන් නොමැත. ඒ වෙනුවට ඉතාමත් පිරිසුදු පරිසර අලංකරණයට මුල් තැන දෙමින් රෝහල්වල ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ කායික හා මානසික සුවය දනවන අයුරින් රෝහල් පද්ධතිය සකස් කර තිබේ.

මුදල් ප්‍රතිපාදන

මහින්ද රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට පත්වීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරයි. සෞඛ්‍ය සම්පන්න ජාතියක් රටක බිහි වීම එම රටේ සංවර්ධනයට හේතුවන බව පෙන්වා දෙමින් පසුගිය කාලපරිච්ඡේදය පුරා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට රජය විසින් ලබාදෙන මුදල් ප්‍රතිපාදන වාර්ෂිකව ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කර තිබුණේ රුපියල් දසලක්ෂ 39,000 ක් වැනි මුදලකි. ඖෂධ මිලදී ගැනීම සඳහා වැය කළ මුදල රුපියල් දසලක්ෂ 6500 කි. එහෙත් වර්තමාන රජය යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රජය මඟින් වැයකරන මුදල රුපියල් දසලක්ෂ 90,000 ක් ඉක්මවයි. ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් මේ වසරට රජය ලබාදී ඇති මුදල රුපියල් දසලක්ෂ 21,000 ක් ඉක්මවා තිබේ.

රෝහල් ක්ෂේත්‍රයේ පැවති ප්‍රධාන ගැටලුව වූයේ කාර්යමණ්ඩලවල සහ වෛද්‍ය උපකරණවල හිඟයයි. මේ තත්ත්වය අවබෝධ කර ගනිමින් රජය විසින් පසුගිය කාලය තුළ විශාල වශයෙන් කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ බඳවා ගැනීම සිදුකරනු ලැබීය. විශේෂයෙන්ම වෛද්‍යවරු, හෙද හෙදියෝ, පරිපූරක වෛද්‍ය සේවයට අයත් නිලධාරින් හා සෙසු කාර්ය මණ්ඩල ද සිය ගණනින් බඳවා ගැනිණ. හෙදියන් 15,000 ක් පුහුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ 14,000 ක් පමණ පුහුණු කරවීමට මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එසේම වෛද්‍ය වෘත්තිකයන් ද 5000 කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අමාත්‍යාංශය කටයුතු කර තිබේ. සෑම රෝහලකටම එම්.බී.බී.එස්. උපාධිධාරි වෛද්‍යවරු ලබාදීමට ද පියවර ගෙන ඇත. මීට අමතරව විශේෂඥ වෛද්‍යවරු පුහුණු කිරීමේ වැඩපිළිවෙළ ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ එකඟත්වය පරිදි කාර්යක්ෂමව සිදුකෙරිණ.

තාක්ෂණික වෛද්‍ය උපකරණ

දැනට මෙරට රෝහල්වල භාවිත කරන වෛද්‍ය උපකරණ ගත්විට බොහෝ සංවර්ධිත රටවල යොදාගන්නා අතිනවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ රැසක් රෝහල් පද්ධතිය තුළ ස්ථාපිත කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයට පමණක් සීමා නොකර මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, පොළොන්නරුව, අම්පාර, මඩකලපුව, යාපනය වැනි දුෂ්කර ප්‍රදේශවල පිහිටි ප්‍රධාන රෝහල්වලට පවා නවීන වෛද්‍ය උපකරණ ලබාදී එමඟින් ජනතාවට නොමිලයේ සෞඛ්‍ය පහසුකම් ලබාදීම ශක්තිමත් කර ඇත. දිස්ත්‍රික්කයකින් එක් ප්‍රධාන රෝහලක් බැඟින් තෝරාගෙන ඒවා අංග සම්පූර්ණ රෝහල් වශයෙන් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ නුවරඑළිය, කන්තලේ, හලාවත, ගම්පොළ, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරය වැනි රෝහල් ගණනාවක් මධ්‍යම රජය යටතට පවරාගෙන ඒවා අංග සම්පූර්ණ රෝහල් වශයෙන් සංවර්ධනය කෙරිණ. ඒ සඳහා අතිවිශාල මුදලක් රජය වැය කළ අතර මහල් කිහිපයකින් සමන්විත පරිපාලන ගොඩනැඟිලි රැසක් මේ රෝහල්වල ඉදිකර තිබේ.

දීපව්‍යාප්ත හදිසි අනතුරු සහ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතිය වර්තමාන රෝහල් සංවර්ධනයේ වැදගත් පියවරකි. විශේෂයෙන්ම රජය විසින් ක්‍රියාත්මක කරන ලද දැවැන්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සමඟ මාර්ග අනතුරු ද ඉහළ ගොස් ඇත. මින් පෙර කොළඹ ජාතික රෝහලට පමණක් සීමා වී තිබූ හදිසි අනතුරු ප්‍රතිකාර සේවාව රටේ වෙනත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේත්, කුරුණෑගල මහ රෝහලේත් හදිසි අනතුරු ප්‍රතිකාර සේවා නිම කර තිබේ. කෑගල්ල, රත්නපුර ඇතුළු රෝහල් කිහිපයක එම ඒකක ඉදිකිරීම දැන් සිදුකෙරේ. මීට අමතරව රුපියල් දසලක්ෂ 400 ක වියදමින් මඩකලපුව මහ රෝහලට හදිසි අනතුරු නව ඒකකයක් ලබන වසරේදී ලබාදීමට ද මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

යටිතල පහසුකම්

රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනයේ දී විශේෂයෙන්ම රෝහල්වල බාහිර අලංකරණය මෙන්ම ඒ ඒ රෝහල්වලට අවශ්‍ය ඖෂධ ගබඩා, ඔක්සිජන් නිෂ්පාදනාගාර ප්‍රධාන රෝහල්වල පිහිටුවා තිබේ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දර්ශක කිහිපයකින් මේ වන විට ලොව සංවර්ධිත රටවල මට්ටම කරා පැමිණීමට හැකි වී තිබේ. මාතෘ මරණ අනුපාතය, ළදරු මරණ අනුපාතය, සමස්ත ආයු අපේක්ෂාව හා ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ සාර්ථකත්වය ගත් විට සංවර්ධිත රටවල මට්ටමට පැමිණීමට අපට හැකි වී තිබේ. මෙරට ළදරු මරණ අනුපාතිකය සජීවි දරු උපත් දහසකට 11 ක් වන අතර මාතෘ මරණ අනුපාතිකය සජීවි දරු උපත් ලක්ෂයකට 37 කි. සමස්ත ආයු අපේක්ෂාව වසර 76 දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ සාර්ථකත්වය සියයට 95 කි. නිදහස් සෞඛ්‍ය සේවාවත්, ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළත් නිසා අපට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකි වී තිබේ.

සෞඛ්‍ය ගැටලුව

වර්තමානයේ අප මුහුණ දෙන බරපතලම සෞඛ්‍ය ගැටලුව වන්නේ බෝ නොවන රෝගවල ඇති වී තිබෙන ශීඝ්‍ර වර්ධනයයි. රට ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වනවිට ජන ජීවිත යහපත් වීම සිදුවේ. එනිසාම සිදු වන ආහාර රටාවල වෙනස්කම්, ජීවන රටාවන්හි වෙනස්වීම් හේතුවෙන් බෝ නොවන රෝග ඉහළ ගොස් තිබේ. පසුගිය වසර පනහක කාලය ගත් විට බෝ වන රෝග සියයට 24 සිට සියයට 12 දක්වා අවම වී ඇතත්, බෝ නොවන රෝග සියයට 3 සිට සියයට 25 දක්වා ඉහළ ගොස් ඇත. දිනකට පුද්ගලයෝ 350 ක් පමණ බෝ නොවන රෝගවලින් මියයති. හෘදයාබාධ, අධිරුධිර පීඩනය, පිළිකා, දියවැඩියාව, ආඝාතය, ස්වසන රෝග වැනි බෝ නොවන රෝග බහුල වශයෙන් මෙරට තුළ දක්නට ලැබේ. මේ රෝග පාලනය කිරීම අභියෝගයක් වී ඇති අතර ඒවා පාලනය කිරීමට රජයෙන් රුපියල් දසලක්ෂ 900 ක් ලබාදීමට රජය තීරණය කර ඇත.

එමෙන්ම මීට අමතරව මෙරටින් බෝ වන රෝග රැසක් තුරන් කිරීමට ද අපට හැකියාව ලැබී ඇත. ඇතැම් බෝ වන රෝග තුරන් කිරීමේ මට්ටමට පැමිණ තිබේ. ඒ අනුව ගලපටලය, කක්කල්කැස්ස, වසූරිය, බාලපක්ෂාඝාත රෝගය, කොළරාව වැනි රෝග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් තුරන් වී තිබෙන අතර මැලේරියාව වැනි රෝග කිහිපයක් නුදුරු අනාගතයේ දී අප රටෙන් තුරන් කිරීමට හැකි වනු ඇත.

ඩෙංගු වසංගතය ද මෑත කාලීනව මුහුණ දුන් ප්‍රධාන ගැටලුවකි. ලෝකයේ ප්‍රථම වතාවට ඩෙංගු මර්දනය සඳහා රටේ ප්‍රධාන රාජ්‍ය නායකයාගේ මැදිහත් වීමෙන් ඩෙංගු මර්දනය සඳහා ජාතික ඩෙංගු කාර්ය සාධක බලකායක් පිහිටවනු ලැබීය. ඒ අනුව අමාත්‍යාංශ ගණනාවකින් සමන්විත එම බලකාය මඟින් ඩෙංගු මර්දන කටයුතු සිදුකිරීම හේතුවෙන් පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසර තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ හා මරණවල ප්‍රමාණය සියයට පනහකින් පහළ බැස තිබේ.

ඖෂධ අර්බුදය

වරින්වර රෝහල්වල පැනනඟින ඖෂධ අර්බුදය සම්බන්ධ ගැටලුවට ද තිරසාර විසඳුමක් ලබාදීමට රජය මැදිහත් වී කටයුතු කරයි. ඒ අනුව මෙතෙක් මිලදී ගන්නා ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වාදෙමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි මේ සම්බන්ධව අන්තර් අමාත්‍ය අතුරු කමිටුවක් පත්කර තිබේ. ඊට අමතරව සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමඟ සාකච්ඡා කර රජයකින් රජයකට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත්, ගුණාත්මක බවෙන් ඉහළ ඖෂධ හිඟයකින් හා ප්‍රමාදයකින් තොරව මිලදී ගැනීම සඳහාත් කටයුතු කර ඇත. වර්තමානයේ දී සෞඛ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඖෂධ මිලදී ගැනීම සඳහා සීමාවකින් තොරව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට එකඟතාව පළකර තිබෙන නිසා හිඟයකින් තොරව රෝහල්වලට ඖෂධ ලබාදීමට හැකි වී තිබේ. ඒ නිසා ඖෂධ හිඟය දැන් තුරන් වී ඇත.

ඉදිරි කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිත්වයට ඍජුවම බලපාන ගැටලු රැසක් විසඳීම සඳහා ප්‍රධාන පනත් හතක් මේ වන විට සංශෝධනය වෙමින් පවතියි. ඒ යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරියක් පිහිටුවීමේ පනත් කෙටුම්පත, ජාතික ඖෂධ පනත, දුම්කොළ හා මද්‍යසාර පාලන පනත, ජාතික මදුරු මර්දන පනත, ආහාර පාලන පනත වැනි පනත් හතක් මේ වන විටත් සංශෝධනය වෙමින් පවතියි.

ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරි කාල පරිච්ඡේදය තුළ තවත් වැඩ කටයුතු රැසක් සංවිධානය කර ඇත. ඒ අතරින් සෑම රෝහලකටම අනුබද්ධව ක්‍රීඩා හා සංස්කෘතික ඒකක පිහිටුවීම, බෝ නොවන රෝග පිළිබඳ දීප ව්‍යාප්තව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විෂන් 2020 වැඩසටහන යටතේ ඇසේ සුද වැසීමේ රෝගය හා වෙනත් අක්ෂි රෝගවලට ගොදුරු වූ පුද්ගලයින්ට අක්ෂි සායන පැවැත්වීම, ඇස් කණ්ණාඩි නොමිලයේ ලබාදීම වැනි කටයුතු රැසක් ක්‍රියාත්මක කෙරේ.

මෙරට ජනතාවගේ පෝෂණ කටයුතු නංවාලීම සඳහා ජාතික පෝෂණ කවුන්සිලයක් පිහිටුවා ක්‍රියාත්මක කිරීම ද සිදු කෙරේ. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඒකාබද්ධ කර එක් ආයතනයක් බවට පත් කිරීමත් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදුකර තිබේ.

රටක සංවර්ධනයට ඍජුව හා වක්‍රව බලපාන සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුදල් වැයකිරීම දිගු කාලීන සංවර්ධනයට හේතු වන බව රජයේ අදහසයි. ඒ නිසා වැඩි වැඩියෙන් සෞඛ්‍ය කටයුතුවලට මුදල් වැය කිරීමට රජය නිරන්තරයෙන්ම කටයුතු කිරීම සතුටට කරුණකි.